හිතූමතේ නොයා යුතු නකල්ස්

2018-04-18 10:33:00       523
feature-top
* වරක් ගිය පමණින් සියල්ල දන්නවායැයි සිතා රක්ෂිතයට ඇතුළුවීම දැඩි අවදානමක්.
* නොසිතූ ලෙසින් එන මීදුම අකලට වහින වැසි උන්හිටි ගමන් වතුර වැඩිවන දොළපාරවල් භයානකයි.

විනෝදය පමණක් අරමුණු කරගෙන නකල්ස් රක්ෂිතයට ඇතුළු වීම තරමක් අවදානම්ය. අලංකාර පරිසර පද්ධතිය, එහි ඇති ගංගා දියඇළි, වන සතුන් (වැඩිපුර සිටිනුයේ දිවියන් හා ගෝනුන්ය) දැක ගැනීමේ ආසාව පෙරදැරි කරගනිමින් කැලයට ඇතුළු වුවද එය භයානක වන්නේ නකල්ස් රක්ෂිතයේදි නොදැනුවත් කමින් අතරමං වීමේ ඇති ඉඩකඩ බහුල නිසා ය.

“ඔබේ පා සටහන් පමණක් ඉතිරි කරමින් වනාන්තරයේ සුන්දරත්වය අත්විඳින්න. ආපසු යන විට එහි සුන්දර මතකය පමණක් රැගෙන යන්නට අමතක නොකරන්න.” වනාන්තරයේ සුන්දරත්වය අත්විඳින්නට යන්නන්ට දිය හැකි වටිනා ආදර්ශ බොහොමයක් වනජිවි මෙන්ම පරිසර අඩවිවලට පිවිසීමේදි සලකුණු කර ඇත්තේ ඒ අයුරිනි. සුන්දරත්වයට ඇලුම් කරන්නන්ට හා පරිසරයට ආදරය කරන්නන්ට පරිසර චාරිකාවේදි උකහා ගැනීමට ඇති එකම දේ වන්නේ පරිසරයෙන් ලබන සුන්දර මතකයන් පමණකි. එසේම පරිසරය රැකගන්නට පමණක් නොව වඳවී යන ස්වභාවික උරුම රැකගැනීමට පරිසර චාරිකාවේදි ඉතිරි කර පැමිණිය යුත්තේ පා සලකුණු පමණක්ම බවද මතක තබා ගත යුතුය. නමුත් වර්තමානයේ බොහොමයක් පරිසරය අත්විඳින්නන් මේ සුන්දර මතක ගොන්නට බොහෝ අමිහිරි අත්දැකීම්ද මුසු කරගත් වාර අනන්තය. ලංකාවේ පරිසර පද්ධතීන්හි ඇති සුන්දරත්වය දෙනෙතින් අත්විඳි බොහෝ පිරිස් එහි සුන්දර මතක පමණක් ඉතිරි කරමින් පරිසරය අත් වින්දද, ඇතැමෙකු ඉන් එහා ගිය අමිහිරි අත්දැකීම්ද මේ පරිසර චාරිකාවලදී ලබන අන්දම දිනෙන් දින මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබීම කනගාටුදායකය.

රටම උණුසුම් කළ එවැනි පුවතක් මේ නොබෝදා යළි වාර්තා වූයේ නකල්ස් රක්ෂිතයෙනි. විනෝද චාරිකාවක යෙදුණු හෝමාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් නකල්ස් රක්ෂිතයේදි අතරමංවී ඇති බවට ලද ආරංචියයි. මේ ආරංචිය ලද සැණින් ඔවුන් සෙවීමට උඩුදුම්බර, රත්තොට හා ලග්ගල පොලිසිය මෙන්ම නකල්ස් වන අඩවි කාර්යාලය එක්ව මෙහෙයුමක් ඇරැඹුවේ එම රක්ෂිතයට ගිය සිය දරුවන් ගැන මේ වනතුරු කිසිම තොරතුරක් නැතැයි 119 හදිසි ඇමතුමට ඥාතියෙකු කළ දැනුම්දීමක් අනුවය. හත් දෙනකුගෙන් යුතු ඒ තරුණ පිරිස හෝමාගම, අත්තනගල්ල සහ පමුණුව යන ප්‍රදේශවලින් පැමිණියෝ වෙති. පාතදුම්බර, පන්විල, බඹරැල්ල ප්‍රදේශයෙන් නකල්ස් රක්ෂිතයට අනාරක්ෂිතව හා අනවසරයෙන් ඇතුළු වූ ඔවුන් අවසානයේ නකල්ස් රක්ෂිතයේ විටින් විට ඇතිවන විවිධ පාරිසරික තත්ත්වයන් හේතුවෙන් පාර සොයාගත නොහැකිව මේ පිරිස අතරමං වූ බවට වාර්තා වී ඇත. නමුත් පන්විල පොලීසිය පවසන්නේ වාර්තා වූ අන්දමින් මේ තරුණ පිරිස අතුරුදහන් වීමක් සිදුනොවී ඇති බවය. සිදුව ඇත්තේ තරුණයන්ගේ දුරකතන ක්‍රියා විරහිත වීමෙන් ඔවුන් හා දෙමවුපියන් අතර සන්නිවේදනය ඇණ හිටීමෙන් දරුවන් අතරමංව ඇති බවට දෙමවුපියන් අතර වැරැදි වැටහීමක් පමණක් ඇතිවීම බවය. මේ පිරිස නකල්ස් කඳු තරණයට ගොස් නොමැති බවත් ඔවුන් නකල්ස් ආශ්‍රිතව ඇති වෙනත් කන්දක් නැඟ ඇති බවත් පොලිසිය පැවසීය. තරුණයන් හා වැඩිහිටියන් අතර සන්නිවේදනය ඇණ හිටීමත් සමඟ තරුණ කණ්ඩායම කන්දේ අතරමංව ඇතැයි සිතූ වැඩිහිටියන් වහා අදාළ ස්ථාන දැනුම්වත් කර තරුණයන් සෙවීම ආරම්භ කර ඇත. මෙහෙයුම ක්‍රියාත්මක වන අතරේ කණ්ඩායමේ තරුණයන් තිදෙනෙක් නිවෙස් බලා බස් රථයකින් ගමන් කරමින් සිටියහ. තමන් ඇතුළු පිරිස සොයා මෙහෙයුමක් අරඹා ඇති බවට එම තරුණයන් තිදෙනා දැනගෙන ඇත්තේ ගුවන් විදුලිය හරහා එම පුවත ප්‍රචාරය වෙද්දීය. ඉන් පුදුමයට පත් එම තරුණයන් පොලිසිය තමන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව දැන වහාම පොලිසිය අමතා ඇත්ත තත්ත්වය දන්වා තිබේ. පොලිසියට ඇමතුම ගන්නා විට ඔවුන් පිරිසක් බඹරැල්ල ප්‍රදේශයට එමින් සිටි බවද පවසා ඇත. තමන් නිරතුරු ගවේෂණ කටයුතුවල නිරතවන අය බවත්, ඒ සඳහා කුඩාරම් හා ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේ පූර්ව සුදානමින් රැගෙන ගිය බවත් මෙම පිරිස පොලිසියට දන්වා තිබේ.

“අපි බස් එකේ එද්දි ‍ගුවන් විදුලියෙන් කියැවුණා අපේ කණ්ඩායම නකල්ස්වල අතරමංවෙලා පොලිසියෙන් හොයනවා කියලා. ඒක අහලා අප පුදුම වුණා. පොලිසිය අප හොයන බවක් අපි දැනගත්තෙත් එතකොටයි. අපි එන්න පැය දෙකකට කලින් තුන්දෙනෙක් පිටත් වුණා. දෙන්නෙකුට මළ ගෙදරක යන්න තිබුණා. තවත් කෙනෙකුට ජොබ් එකේ වැඩකට යන්න තිබුණා. ඒ නිසයි ඔවුන් කල් ඇතිව පිටත් වුණේ.” ඉන් තරුණයෙක් පොලිසිය හා පැවසීය.

තරුණයන් පිරිස එකට රක්ෂිතයට ඇතුළුවී වෙන්ව රක්ෂිතයෙන් පිටවුයේ ඇයිද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇතැයිද ඔවුන් පවසන කරුණුවල සැකමුසු තැන් ඇතැයි ද යනුවෙන් පොලිසිය පවසා ඇත. තරුණයින් පිරිස පසුව දන්වා ඇති ආකාරයට නකල්ස් කලාපයට ඇතුළුවී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රවේශ මාර්ගවලින් නොවන බවටද අනාවරණය වී තිබේ. රිවස්ටන් ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවීම තහනම් වන හෙයින් මෙලෙස අනවස‍රයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් තරුණයන්ට පොලිසිය අවවාද කර ඇතැයි ද වාර්තා විය. නකල්ස් රක්ෂිතය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ පරිසර සුන්දරත්වය වින්දනය පිණිස ඇති තෝතැන්නකි. නමුත් බොහෝ පරිසර හිතකාමින් මෙම පරිසර සුන්දරත්වය අත්විඳින්නේ නිසි අවබෝධයකින් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලිවේ. නකල්ස් රක්ෂිත පරිසරය විඳිය යුත්තේ ඒ ගැන මනා අවබෝධයෙන් යුතුව ප්‍රවේශ වුවහොත් පමණි. නකල්ස් රක්ෂිතයේ වරින් වර සිදුවන පාරිසරික වෙනස්වීම්, රක්ෂිතයට ප්‍රවේශවීම් මෙන්ම එහි මංපෙත් හා විවිධ පාරිසරික තත්වයන් ගැනද නරඹන්නන් සිතිය යුතු කරුණු බොහෝය.

මාතලේ වන පාලක ආර්.එම්.කේ ආර් ඉලුක්කුඹුර මහතා වගකීමකින් තොරව යන නකල්ස් ගමන් ගැන අප හා තොරතුරු හෙළි කළේය.

“නකල්ස් රක්ෂිතය කියන්නේ කුරු වනාන්තරයක් (Pigmi forest). ලංකාවේ තවත් මෙවැනි ආකාරයේ කුරු වනාන්තරයක් තියෙන්නේ නුවරඑළියේ පිදුරුතලාගලයි. බොහෝ සංචාරකයින් නකල්ස් රක්ෂිතයට පිවිසෙන්නේ මේ කුරු වනාන්තර දැක ගැනීමේ ආසාවෙන්. ලංකාවේ සමහර වනාන්තරවල අඩි 10ක් 12ක් පමණ උස යන බොහෝ ගස් මේ ප්‍රදේශයේ වැවෙන්නේ ඉන් තුනෙන් එකකටත් වඩා අඩු උසින්. එහෙම වෙන්න හේතුව මේ ප්‍රදේශයේ පවතින අධික සුළඟ හා මීදුමයි. නකල්ස් වනාන්තරය හෙක්ටයාර් 17,825 ක්. මෙයින් තුනෙන් දෙකක කොටසක් මාතලේ දිස්ත්‍රීක්කයටත් තුනෙන් එකක කොටසක් මහනුවර දිස්ත්‍රීක්කයටත් දිවෙනවා. මේ නිසා නකල්ස් රක්ෂිතයට පිවිසීමේ නිල මාර්ග දෙක විහිදෙන්නේ මාතලෙන් හා මහනුවරින්. මාතලේ දිස්ත්‍රීක්කයේ නිල පිවිසුම ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයෙනුත් මහනුවර දිස්ත්‍රීක්කයේ නිල පිවිසුම හුන්නස්ගිරිය හරහා ඩීන්ස්ටන් වලිනුත් පවතිනවා. මීට අමතරව මහනුවර තංගප්පුව හරහාත්, මහනුවර පන්විල හුන්නස්ගිරිය හරහාත් පිවිසුම් මාර්ග පැවැතුණත් ඒවා නිල පිවිසුම් මාර්ග නොවෙයි. මෙසේ නිල පිවිසුම් මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීමේදි ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු අතර මාර්ගෝපදේශක සහායත් ලබා ගත හැකියි. ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමෙන් වන රක්ෂිතයට ඇතුළුවීමේදි ඔබේ ආරක්ෂාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දරණ බව සහතික වීමත් සිදු වෙනවා. ආනාරක්ෂිතව ඇතුළු වීමේ අවදානම අඩු කිරීමටත් එය හේතු වෙනවා. නමුත් රක්ෂිතයට ඇතුළු වීමේ විවිධ මාර්ග තේ වතු හරහා වැටී ‍තබෙනවා. බොහෝ දෙනා නීති විරෝධි ලෙස මේ මාර්ග හරහා රක්ෂිතයට ඇතුළු වෙනවා. එසේම එක්වරක් ආ අයෙකු දෙවැනි වර කිසිම සහායක් නොගෙන කැලයට ඇතුළු වෙන්න උත්සාහ කරන්නේ තමන් ඇතුළත මාර්ග දන්නවායැයි සිතා සිටින නිසායි. නමුත් මේ සංචාරකයින් නොදන්නා දෙයක් තියෙනවා. නකල්ස් රක්ෂිතය කියන්නේ අති සුන්දර පරිසරයක් වුවත් මෙය දැඩි අවදානම් ගමනක් බව මේ සංචාරකයන් දන්නේ නෑ. පළපුරුදු කෙනෙකු වුවත් මේ කැලේ ඇතුළට ගියාට පසු අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කැලේ ඇතුළේදි නොහිතපු ආකාරයට මීදුම ගලලා පාරවල් වැසී යන්නට පුළුවන්. නැතිනම් නොහිතන වැසි ඇතිවෙන්න පුළුවන්. තෙල්ගමු ඔය වගේ කැලේ ඇතුළින් ගලා බසින බොහෝ ගංගාවන් භයානක අනතුරු ඇතිකරවන්න පුළුවන්. පසුගිය කාලයෙත් වුණේ එවැනි කණගාටුදායක සිදුවීමක්. කදුකරයට වැසි ඇති වුණොත් නකල්ස් කදුකරයට වැසි පොඳක් නැති වුණත් හිටි ගමන් මේ ඔයවල් වල වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කැලේ ඇතුල සුන්දර වුනාට බොහෝම දුෂ්කරයි. කඳු ශිඛර බහුලයි. සමහර ඒවායේ අවම උස අඩි 3500 ක් විතර වෙන්න පුළුවන්. මේ නිසා මේවායින් අනතුරු වීමේ ඉඩකඩ බහුලයි.

හදිසියකදි කතා කරන්න ගෙයක් දොරක් නැහැ. ගොඩාක් වෙලාවට ජංගම දුරකතන වල සංඥා කැලේ ඇතුළෙදි නැතිවෙලා යනවා. එහෙම වුණොත් පාරක් පවා සොයා ගැනීමේ දුෂ්කරතා මතුවන්න පුළුවන්. නකල්ස් රක්ෂිතයට ඇතුළු විමේදි ප්‍රවේශ පත්‍රයක් ගත යුතුයි කියලා අපි අවධාරණය කරන්නේ ඒ හරහා යන එන අය ගැන අපි දැනුවත් විය යුතු නිසයි.” විනෝදය පමණක් අරමුණු කරගෙන නකල්ස් රක්ෂිතයට ඇතුළු වීම තරමක් අවදානම්ය. අලංකාර පරිසර පද්ධතිය, එහි ඇති ගංගා දියඇළි, වන සතුන් (වැඩිපුර සිටිනුයේ දිවියන් හා ගෝනුන්ය) දැක ගැනීමේ ආසාව පමණක් පෙරදැරි කරගනිමින් කැලයට ඇතුළු වුවද එය භයානක වන්නේ නකල්ස් රක්ෂිතයේදි නොදැනුවත් කමින් අතරමං වීමේ ඇති ඉඩකඩ බහුල නිසා ය. නියමිත ප්‍රවේශ මාර්ග හරහා රක්ෂිතයට ඇතුළු විය යුතු අතර වැඩිපුර ආහාර පානද රැගෙන ඇතුළු වීම වඩාත් උචිත බව බලධාරීහූ පවසති. වන අඩවි නිලධාරීන් පවසන්නේ අමතර ජංගම බැටරි මෙන්ම ප්‍රථමාධාරද රැගෙන යායුතු වන්නේ අනතුරක් වුවහොත් සිදුවිය හැකි විපත වඩාත් දරුණු විය හැකි නිසාය. නකල්ස් රක්ෂිතය තුළ නවාතැන් ගැනීම තහනම් වන අතර කූඩාරම් ගසා නවාතැන් ගන්නේ නම් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගත යුතුය.

“නකල්ස් කියන්නේ සුළඟ මෙන්ම මීදුම අධිකව ගලන වන අඩවියක්. ගොඩාක් අය සැහැල්ලු ගමනක් කියලා හිතුවට මේක දුෂ්කර ගමනක්. මාර්තු සිට අගෝස්තු අප්‍රේල් දක්වා කාලයේ වර්ෂාව අඩු නිසා නකල්ස් ගමනට හොඳම කාලය ඒ කාලයයි. ඒ වගේම නොවැම්බර් සිට ජනවාරි මස දක්වා කාලය වර්ෂාව නිසා ගමන තරමක් දුෂ්කර වෙනවා. ඒ නිසා නොයෑම තමයි හොඳම දේ. මේ කැලයට තේ වතුවලිනුත් ඇතුළු වෙන්න පුළුවන්. ඒත් අපි ඉල්ලන්නේ ඔබේ ආරක්ෂාවට එහෙම යන්න එපා. ඔබ නියමිත ප්‍රවේශ මාර්ග ඔස්සේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් කැලයට ප්‍රවේශ වන ලෙසයි. එහෙම වුණොත් කවුද කැලයට ගියේ කවුද එළියට ආවේ කියන අවබෝධය අපිට තියෙනවා. මේ කොහෙන් ඇතුළු වුණත් කැලේ ඇතුළේ මාර්ග තියෙනවා. ඒත් ඒ මාර්ග සමහර විට දන්න කෙනෙකුට වුවත් සොයා ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. නකල්ස් අති සුන්දර අත්දැකීමක් විඳින්නට හැකි ගමනක්. නමුත් ඒ අත්දැකීම විඳින්නට නම් නකල්ස් ගැන දැනුම්වත් වෙලා මේ ගමනට සැරසෙන්න කියලයි.” මහනුවර වන අඩවි නිලධාරිවරයකු අප හා පැවසීය. නකල්ස් හි සුන්දරත්වය අත්විඳින්නට පැමිණෙන්නන්ට සිතන්නට බොහෝ දේ ඇත්තේය. හුදු විනෝදය පමණක් අරමුණු කරගනිමින් අනවසරයෙන් කැලයට ඇතුළු වීමෙන් ඔබ නොදැනුවත්වම රට කලඹන බොහෝ අසුන්දර දේ අවසානයේ අපට අසන්නට සිදුවන්නේය. නකල්ස්හි සුන්දරත්වය විඳගනිමින් සුන්දර මතකයන් පමණක් ඔබ ආපසු රැගෙන යායුත්තේය. ඒ අසුන්දර මතකයන් කිසිවක් අපට ඉතිරි නොකරමිනි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »