එයා සුදුයි මෙයා කළුයි දැන් මොකද අපි කරන්නේ?

2018-04-11 11:47:00       361
feature-top
අමන්දා සුදු ජාතික කාන්තාවකි. මයිකල් කළු ජාතික පිරිමියෙකි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ ඵලය නිවුන් දියණියන් ය. ඔවුහු ද අයෙක් සුදු ය. අයෙක් කළු ය. එතැන් පටන් ඔවුන්ෙග් ජීවිතයේ ආ අත්දැකීම් විවිධාකාර ය.

මෙයින් දොළොස් වසරකට එහා එපිට දවසක දී අමන්දා - මයිකල් ප්‍රේමය ආරම්භ වූයේ අසම්මතයක් ලෙසිනි. අසම්මතය පැතිර පැවැතියේ අමන්දාගේ කොකේසියානු සහ මයිකල්ගේ නීග්‍රොයිඩ සම්භවය හරහා ය. කෙසේ වෙතත් ඔවූහු සම්මතය හැර පියා අසම්මතයේ ඉගිළ ගියහ; කූඩු තැනූහ.

ඉන් ටික කලකට පසු කිරිල්ලිය ගැබ්බර වූවා ය. පුදුම ය, එකවර පැටවුන් දෙදෙනකුගේම බර උහුලන්නට සිදුවි ය. වැලේ ගෙඩි වැලට බර නැත. මවක වීමේ පරම සතුට ඈ එතුළ උහුලමින් සිටියා ය. එසේ වුවත් එක කුතුහලයක් මේ යුවළගේ සිත් තුළ කැරලි ගසමින් පැවැතියේ ය. උපදින පැටවුන්ගේ සම සුදුම සුදු වෙයි ද නැත්නම් කළුම කළු වෙයි ද එහෙමත් නැත්නම් දෙකට ම ඇති - නැති තලෙළු පැහැයක් ගනී ද යන්න ඒ කැරැල්ලයි. පෙනුම කොයි සැටි වුවත් ඒ පැටවුන් අපේමයි කියන අපරිමිත දාරක ප්‍රේමය ඔවුන්ගේ හදවත් තුළින් දෝර ගලා යමින් තිබිණ. එහෙත් උඩු හිත කියනවාට වඩා වැඩි දෙයක් දැනෙන්නේ යටි හිතට ය. ඒ නිසා අමන්දාගේත් මයිකල්ගේත් හිත් එකිනෙකකුට නො දැනෙන ලෙස මේ ගැටලුව අබිමුව සසැලෙමින් තිබිණ.

ප්‍රශ්නයට හරියට ම උත්තරයක් ලැබුණේ අමන්දා දරු බරෙන් නිදහස් වුණු දිනයේදී ය. දින වකවානු ඇතිව කිවහොත් 2006 වසරේ ජූලි තුන්වැනිදා ය. සොබා දහම ඔවුන්ට තිළිණ කර තිබුණේ ලස්සන ම ලස්සන පුංචි බෝනික්කියන් දෙදෙනෙකි. පුදුමයකට මෙන් මේ පැටික්කියන් දෙදෙනා පෙනුමෙන් දෙවිධියක ය. එක් පැටික්කියක් අම්මාගේ සුදත් කොකේසියානු හැඩරුවත් උරුම කරගෙන සිටියා ය. අනෙක් පැටික්කියට තිබුණේ තාත්තාගේ නීග්‍රොයිඩ හැඩහුරුකම් ය. සොබා දහම මේ අම්මාටත් තාත්තාටත් ආදරයේ වත්කම් සමාන සහ සාධාරණ ලෙස බෙදා දී නො තිබිණැයි ඉතින් කෙසේ කියන්නද?.

“... ඒ දෙන්නා ප්‍රෑම් එකේ තියාගෙන තල්ලු කරගෙන යද්දී තමයි ගැටලුව මතුවුණේ. ප්‍රෑම් එක ළඟින් යන එන අය ප්‍රෑම් එකට එබිකම් කරලා පළමුවෙන් අහන්නේ නිවුන්නුද? කියලා. ඒකට ඔව් කියලා උත්තරයක් දීපුවාම ඔවුන්ගේ ඇස් උඩ ඉන්ෙදනවා. එක්කෙනෙක් සුදුයි; අනෙක් එක්කෙනා කළුයි කියලා ඔවුන් පුදුමයෙනුත් පුදුමයට පත්වෙනවා. මම ඉතින් ඒ වෙලාවට උත්තර දෙන්නේ ඔව්, ඒක ජාන හින්දා වෙච්චි දෙයක් කියලා. ...” අමන්දා එසේ කිව්වේ ඇමෙරිකා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් මේ මෑතකදී ය.

අමන්දා එහෙම කියන විට මයිකල් සිටියේ පුදුමාකාර නො ඉවසිල්ලකිනි. තමන්ගේ අපූරු දුවරුන් දෙන්නා ගැන තවත් කුමක් හෝ කියන්න ඔහුගේ කට පොපියමින් තිබිණ.

“.... ඒ වුණාට, ඒ දෙන්නගේම නාස් මගේ වගෙයි. ...” කියමින් ඔහු හරි තැනදී කාටත් නාස් ලණුව දමා ගත්තේ ය.

“... අපට ලැබුණ දේ ගැන අපි වධ වෙන්නේ නැහැ. අපි ඒක සන්තෝෂයෙන් පිළිගන්නවා. ...” යැයි කියා ඔහු ඊළඟට පැවසී ය.

එවෙලෙහි අමන්දා කියා සිටියේ “ ... කාලය ගතවන විට ලෝකය එයාලගේ ලස්සන දැක්කා. ...” කියා ය.

දුවලා දෙන්නට ඔවුන් තබා තිබෙන්නේත් මවගේ සහ පියාගේ සංස්කෘතීන් එකට මුහු වී යන, එහෙත් පද පෙරළියේ පමණක් වෙනසක් ඇති නම් දෙකකි. අම්මාගේ සුදු දුව මාර්ෂියා මිලී මැඩ්ජ් බිග්ස් ය. ඒ දුව කැමති දඟකාර කොලුගැටයකු මෙන් හැසිරෙන්නට මිස හුරුබුහුටි කෙල්ලක කරන කියන වැඩ කරන්නට නොවේ. කෙටියෙන් කිවහොත් පුංචි කෙල්ලන් කැමැති රෝස පාට ඇයට කායමකි. තාත්තාගේ දුව මිලී මාර්ෂියා මැඩ්ජ් බිග්ස් නම් ගතින් මෙන්ම හිතෙනුත් කෙල්ලෙක වන්නීය. ඇයට ඇත්තේ කෙල්ලකටම ගැළපෙන ඇවතුම් පැවතුම් ය. අනෙක් කෙල්ලන් මෙන් මිලී කැමැතිත් රෝස පාටටයි. එහෙම බලනවිට කළු හමක් ඇති කෙල්ලක සියුමැල්ලියක නොවේ යැයි කොහොම කියන්න ද?. මේ දුවලා දෙදෙනා හෙට අනිද්දා ළමිස්සියෝ වන තරමේ වයසක දැන් පසුවෙති. ලොව කලාතුරකින් පිහිටන දෙවර්ණ එහෙත් එක කුස එකවර හොත් සහෝදරත්වයේ ආශ්චර්යය ඔවුන්ට දැන් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ නිසා ඔවුනුත් දැන් වර්ණ භේදයේ අසාධාරණය ගැන කතා කිරීම ආරම්භ කර ඇත.

“...වර්ණ භේද වාදය කොතැනද තියෙන්නේ එතැනදී මිනිසුන්ව විනිශ්චය කෙරෙන්නේ හමේ වර්ණයෙන් මිසක් සැබෑ මනුෂ්‍යයාගෙන් නෙවෙයි. ...” කියා තාත්තාගේ දුව මිලී පවසයි. අම්මාගේ සුදු දුව - මාර්ෂියා නම් කියන්නේ වර්ණ භේදවාදය මිනිසුන්ව වේදනාවට පත් කරන ඍණාත්මක දෙයක් බවයි. එමෙන්ම ඈ මෙසේ ද පවසන්නීය.

“...අපව දුටු පමණින් මිනිස්සු හිතන්නේ අපි දෙන්නා හොඳ යාළුවො කියලා. නිවුන්නන් වූ අපෙන් කෙනෙක් සුදුයි, අනෙකා කළුයි කියලා අවබෝධ කරගත්තම ඔවුන් තිගැස්සෙනවා. ...”

එකිනෙකාට සංග්‍රහ කර ගැනීමේදී වර්ණය පදනම් කරගත් විවිධත්වයක් තමන් තම දියණියන් දෙදෙනා කෙරෙන් නොදකින බව මයිකල් සහ අමන්දා පවසති. එක කුස එකට පිළිසිඳ එකට මෙලොව එළිය දුටු වර්ණ දෙකක දෙදෙනෙකුට සහෝදරත්වයෙන් පෑහෙන්නට පුළුවන් නම් සෙසු ලෝකයාට වර්ණය ගැටලුවක් වන්නේ කෙසේ ද?. වර්ණය, අවි ඔසවන්නට තරම් කාලකන්නි සමාජ පිළිලයක් වූයේ කොහොම ද?

මිනිසුන්ගේ සමේ වර්ණය තීරණය වන්නේ, ජාන සංකීර්ණයකින් බව ඇමෙරිකාවේ මැසචුසෙට්හි බ්‍රෝඩ් ඉන්ස්ටිටුට් නමැති ආයතනයේ පර්යේෂක ආචාර්ය ඇලිෂියා මාර්ටින් පවසයි. මිනිසුන් කෙරෙන් දෘශ්‍යමාන වන වෙනස්කම් ඉතිහාසයේ අහඹු සිදුවීම් නිසා හටගත් ඒවා බව නූතන විද්‍යාව විටෙක පෙන්වා දෙයි. එම අහඹු සිදුවීම් අතර ජාන විකෘති, සංක්‍රමණ, ස්වභාවික වරණය, ඇතැම් ප්‍රජාවන් හුදකලා තත්ත්වයට පත්වීම සහ මිනිසුන් අතර අන්තරාභිජනනය වැනි කාරණා ඇති බව විද්‍යා ලේඛිකා එළිසබෙත් කොල්බර්ට් පෙන්වා දෙන්නීය. එවැනි හේතු නිසා ඇතිවන සමේ වර්ණ වෙනස්වීම පදනම් කරගෙන මිනිසුන් වර්ග කර වෙනස්කම්වලට භාජනය කිරීම කෙතරම් අඥාන ක්‍රියාවක් ද යන්න මෙයින් පැහැදිලි වේ. වර්ණභේද පිළිවෙත පිළිබඳ කතිකාවතේ නව පරිච්ඡේදයක් පටන් ගන්න මිලී - මාර්ෂියා අක්කා - නඟාලා ඒ නිසා හොඳ අත්තිවාරමකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »