ඒ කාලේ වයිල්ඩ් ලයිෆ් කළ හැටි

2018-04-09 10:41:00       223
feature-top
දශක තුනකට වැඩි කලක් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු එහි සේවයට බැඳුණු මුල්ම දිනයේ ලද අත්දැකීම් රැසක් ඉදිරිපත් කරන ලිපියකි.

ඒ, 1990 දසකයයි. එවකට බූන්දල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුව සිටියේ ප්‍රේමසිරි සෙනෙවිරත්න මහතා ය. ඔහු වනසතුන් වෙනුවෙන් ම ජීවිතය කැප කළ නිහඬ පුද්ගලයෙකි. චාම් ජීවිතයක් ගත කළ ඔහුගේ රාජකාරී නිල නිවාසය වූයේ ද වනෝද්‍යාන කාර්යාලයේ පිහිටි කුඩා කාමරයකි. එය රෑ කල පහන් වූයේ අඩ අඳුරේ බවුන් වඩන ලන්තෑරුමක ආලෝකයෙන් ය. විවේකයක් ලද සැම විටෙක බූන්දල බලා ගොස් දින කිහිපයක් සෙනෙවිරත්න මහතාත් සමඟ වනෝද්‍යානයේ සංචාරය කිරීම මගේ පුරුද්දක් ව තිබුණේ ය. එවන් දිනවල සිය නිල කුටියේ ඇති එක ම ඇ‍‍ඳේ ගුදිරිය මට පරිත්‍යාග කරන මේ සුහද මිතුරා ලෑලි ඇඳ මත රෙදි කඩක් එළාගෙන නිදා ගනී. ඔහු ඒ තරමට ම මානුෂ්‍යවාදී ය. ඒ නිසා ම හම්බන්තොට පසු කර බූන්දල බලා යන ගමන්වලදී වැලිගත්ත හන්දියෙන් බසයෙන් බසින මට කාස්ටක අව්වේ කැකෑරෙන ලවණ කළපු තීරයේ සීතල සුව පහස විඳ විඳ පයින් ම වනෝද්‍යානය දෙසට ගමන් කිරීම ඉමහත් සතුටක් ගෙන දුන්නේ ය.

දිනක් උද්‍යානපාලක සෙනෙවිරත්න මහතා රෑ හොර රහසේ ම මා ද කැඳවාගෙන වනෝද්‍යානය තුළ පිහිටි පතිරාජහෙළට ගියේ ය. එය අවසර ලත් ධීවරයන්ට මසුන් ඇල්ලීමට ඉඩ දුන් වනගත මුහුදු ප්‍රදේශයකි. වනෝද්‍යාන තුළ ධීවර කටයුතු පවත්වාගෙන යෑමට ඉඩදීමෙන් විවිධාකාර වැරැදි ක්‍රියා සිදුවන බව රහසක් නො වේ. වනසතුන් දඩයම හා දරට ගස් කැපීම එහිලා ප්‍රධාන ය. මැදියම් රැයේ උද්‍යාන පාලකවරයා පතිරාජහෙළට ගියේ ඒ ගැන සොයා බැලීමට ය.

තිස් වසරකට පෙර ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු ප්‍රථම දින රාජකාරියේදී ආධුනික සේවකයකු ලෙස විල්පත්තු වනෝද්‍යානයේදී මෙවන් ධීවර වාඩි නිරීක්ෂණ රාජකාරියක යෙදුණු බවත් එදා ඒ ලැබූ අත්දැකීම සේවයට හොඳ පන්නරයක් සේ ම ජීවිතයට කදිම සිහිවටනයක් ද වූ බව සෙනෙවිරත්න මහතා ඒ මොහොතේ සිහිපත් කළේ ය.

සම්මුඛ පරීක්ෂණය

වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් අමරණීය සේවයක් කළා වූ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මුඳුන්මල්කඩ ලෙස අදටත් වනලෝලීන් විසින් ආදරයෙන් සමරනු ලබන්නාවූ ද පර්සි ද අල්විස් මහතා සෙනෙවිරත්න මහතාගේ කැලෑ ගුරුවරයා විය.

කාලය ගත වෙනවා දැනුණේ නැත. පතිරාජහෙළ පහළින් ගැඹුරු ප්‍රපාතයක වැලපෙන සමුදුරු රළ පෙළ එක දිගට නඟන දුක් ගී යාදින්න සොඳුරු වන ලෝලියකුගේ දුෂ්කර අතීතයට අත්වැල් එක් කළේ ය. ඔහුගේ ම වචනවලින් ඊට සවන්දීම රසවත් ය. හැඟුම්බර ය.

“මට මුලින් ම පත්වීම ලැබුණේ විල්පත්තුවට. ඒ 1966 අවුරුද්දේ. සම්මුඛ පරීක්ෂණයේ දී මගෙන් ඇහැව්වා ඇයි මේ වගේ රස්සාවකට එන්න හදන්නේ, මේක හුඟක් දුක් විඳින්න වෙන රක්ෂාවක් නේද කියලා. මං කිව්වා කමක් නැහැ. කැලෑ ජීවිතයට මං ආසයි කියලා. එදා සම්මුඛ පරීක්ෂණයට අපි නවදෙනෙක් ඇවිත් හිටියා. මාත් එක්ක හතරදෙනයි තෝරා ගත්තේ. එදා සවස ම අපට පත්වීම් ලිපි දුන්නා විල්පත්තුවට ගිහිං සේවයට වාර්තා කරන්න.”

“පසුව දා උදේ අපි හතර දෙනා කොළඹ කොටුවට ඇවිත් කෝච්චියෙන් අනුරාධපුරයට ගියා. විල්පත්තු ව‍නෝද්‍යානයේ පිවිසුම් දොරටුව තියෙන්නේ පුත්තලම් පාරේ තිඹිරිවැව. අනුරාධපුරේ ඉඳලා සැතපුම් 28 ක් දුරයි. බස් එකක නැඟලා එදා සවස තිඹිරිවැවට ආවා. නොච්චියාගම පහුකළාට පස්සේ පාර දෙපැත්ත ම ගන කැලෑව. අතරින් පතර පුංචි පොල් අතු ගෙවල් කීපයක් විතරයි තිබුණේ. තිඹිරිවැව හන්දියේ දෙමළ අයෙක් පුංචි තේ කඩයක් දමාගෙන හිටියා. වෙන ගෙවල් දොරවල් මොකුත් නැහැ. පුත්තලම් අනුරාධපුර පාරේ යන එන ලොරි එතැන තමයි තේ බොන්න නතර කළේ. කඩේ තිබුණේ විස්කිරිඤ්ඤා විතරයි. ඒවා කාලා අපි එදා රෑ කඩේ මිදුලේ තිබුණු බංකු දෙකක නිදාගත්තා.”

“ඒ දවස්වල විල්පත්තු වනෝද්‍යානයේ කාර්යාලය තිබුණේ මරදන්මඩුවේ. පස්සේ තමයි අද තියෙන ඔය හුණුවිලගමට ගෙනාවේ. තිඹිරිවැව ඉඳලා හැතැප්ම 17 ක් අපි දැන් පයින් ම යන්න ඕනැ මරදන්මඬුවට. රූස්ස වනාන්තරය මැද්දෙන් වැටුණු කරත්ත පාර තියෙනවා. කඩෙන් පාන්ගෙඩි දෙකකුත් අරගෙන උදේ නවය වෙන‍කොට අපි ගමන් ආරම්භ කළා. කාගේවත් මඟ පෙන්වීමක් නැතුව ජීවිතයේ ප්‍රථම වතාවට අපි හතරදෙනා ම දැන් විල්පත්තු කැලේ මැද්දෙන් ඇවිදගෙන යනවා. කලින් දවසේ ගෙදරින් ඇඳගෙන ආපු ඇඳුම තමයි තාමත් ඇ‍ඟේ. හරි හමන් කෑමකුත් නැහැ.”

“තිඹිරිවැව ඉඳලා හුණුවිලගමට හැතැක්ම අටක් දුරයි. දවල් දොළහමාර වෙන කොට අපි හුණුවිල ගමට ආවා. එතැන තිබුණ වනසත්ව මුර මඬුවක්. බුරුත කණු උඩ මඬුව හදාගෙන මුරකාරයන් තුන්දෙනෙක් නතර වෙලා හිටියා. ඒ අයත් එක්ක කතා කරලා, පාන්ගෙඩි දෙකත් කාලා, අපි ටික වේලාවක් මහන්සි නිවා ගත්තා.”

“දවල් එකට විතර හුණුවිල ගමින් පිටත් වුණා. මරදන්මඩුවට තවත් හැතැප්ම නවයක් යන්න තියෙනවා. වෙහෙස වුණත් ගමන අපි හතරදෙනාට ම හරිම විනෝදයක්. පාර වරදින්න කියලත් නැහැ. එකම කරත්ත පාර. පුරුද්දයි පුහුණුවයි නැති නිසා සත්තු ගැන නම් පොඩි සැකයක් තිබුණා. අතරමඟ තැන තැන එළිමහන් තණ පිට්ටනි හමුවෙනවා. ඈත ඉඳන් අපි බලනවා අලි ඉන්නව ද කියලා. ගහක් කොළක් නැති නිසා ඒ වගේ තැන්වලට අව්ව ටිකක් සැරේට දැනුණා.”

“පස්වරු තුනට විතර අපි දැක්කා කැලේ මැද්දෙන් ජීප් එකක් එනවා. හිමින් හිමින් ඇවිත් අපේ මඟ හරස් කරලා ජීප් එක නැවැත්තුවා. වනජීවී අධ්‍යක්ෂ ලීන් ද අල්විස් මහත්තයයි, දිසා වන සත්ව ආරක්ෂක පර්සි ද අල්විස් මහත්තයයි ජීප් රථය ඇතුළේ හිටියා. නමුත් ඒ මහත්වරු අප සමඟ වචනයක්වත් කතා කළේ නැහැ. ඒ සැරේ මං ගිහිං ලීන් ද අල්විස් මහත්තයාට කතා කළා. එතුමා වාහනයෙන් බැහැලා ඩ්‍රයිවර්ට කිව්වා අප හතරදෙනා මරදන්මඬුව කාර්යාලයට ගිහිං දමන්න කියල. පස්සේ තමයි අපි දැනගත්තේ කලින් දවසේ කොළඹ ඉඳන් විල්පත්තුවට ආව ලීන් ද අල්විස් මහත්තයා අපට කැලෑව හුරු පුරුදු වෙන්නත් එක්ක පයින් එන්න සලස්සලා තියෙන්නේ වුවමනාවෙන් ම බව.”

“අපි මරදන්මඬුව කාර්යාලයට ගිහිං පැයකට විතර පස්සේ ලීන් ද අල්විස් මහත්තයා ආවා. අපට කිව්වා ජීප් රියේ ම නොච්චියාගමට ගිහිං හැළිවළං සහ හාල් තුනපහේ බඩු ගේන්න කියලා. උ‍දේ හිටං පයින් ගාටපු පාරෙන් ම අපි ආපහු ජීප් එකකින් නොච්චියාගම ගියා. වුවමනා බඩුමුට්ටුත් අරගෙන මරදන්මඬුවට එනකොට හොඳ‍ටෝම අන්ධකාර වැටිලා. පර්සි ද අල්විස් මහතාගෙන් එදා රෑ අපට කෑම ලැබුණා.

හැතැප්ම 19ක්

පසුදා පාන්දිරින් ම පර්සි ද අල්විස් මහත්තයා අප එක්කරගෙන ගියා කෝනවල ප්‍රදේශයේ තිබෙන පාදිලි කොකෙකුගේ කූඩුවක් බලන්න. ඒ හැතැප්ම පහක දුර ගමනක්. අපි ගියේ පයින්මයි. අතරමඟදී අපට හමුවුණා මුවන්, වළිකුකුළන් හා මඩවළක ලැගලා හිටිය ගෝනෙක්. ඒ හැම සතෙකු ගැන ම අල්විස් මහත්තයා අපට විස්තර කියා දෙනවා. කෝනවලට ගියාට පස්සේ උස් ගසක් මුදුනේ තිබුණු පාදිලිකොකාගේ කූඩුව පෙන්නලා අපට කිව්වා ගහට නැඟලා බිත්තර තියෙනව ද කියලා බලන්න. මං ගහට නැග්ගා. ඒත් බිත්තර තිබුණේ නැහැ.

එතැනින් අපව එක්කරගෙන ගියා මරවිලට. ඒක හැතැප්ම 19ක ගමනක්. ටික දුරක් යනකොට පිටි පස්සෙන් ජීප් එක ආවා. අපට වාහනයට ගොඩ වෙන්න කිව්වා. කුඹුක්විල, මානික්කපොළ උත්තු, කාලවිල්ලු යන වනගත ප්‍රදේශ පහුකරගෙන පස්වරු දෙක වන විට අපි මාරවිලට ළඟා වුණා. එතැන මුර මඩුවේ කෝරලේ කියලා කෙනෙක් හිටියා. දවල්ට බත් උයාල අප සමඟ ගිය අනෙක් පිරිසට කෝරලේ කන්න දුන්න. ඒත් අපට කන්න දුන්නේ නැහැ. අපි මිදුලේ ගසක් යටට වෙලා බලං හිටියා. ටික වේලාවකට පසුව කෝරලේ අපි ළඟට ඇවිත් ‘වයිල්ඩ් ලයිෆ්වල හැටි ඔහෝම තමයි’ කියලා යන්න ගියා. අපි බඩගින්නේ.

මරවිලෙන් පිටත්වෙලා ආයෙමත් අපි ගියා තවත් සැතැප්ම අටක් එපිටින් තිබුණු අත්තවිල්ලුවට. රියැදුරු සමඟ ජීප් රථය අත්තවිල්ලුවේ නතර කරලා රාත්‍රි හතට පමණ අපි ගන කැලෑවේ පයින් ම සංචාරය කරන්න පටන් ගත්තා. මුලින් ම කොල්ලන්කනත්තට යන්න ඕන කියලා අල්විස් මහත්තයා කිව්වා. ඒ පැරැණි මන්නාරම් පාරේ පිහිටි වනගත ප්‍රදේශයක්. ගමන හරි ම දුෂ්කරයි. ගිනිපෙට්ටි, විදුලිපන්දම් වැනි කිසිම රාත්‍රි ආලෝකයක් රැගෙන යෑම තහනම් කියලා සුදු ලේන්සුවක් හරි සුදු කමිසයක් හරි ඔළුවේ ගැට ගහගන්න කියලා අපට නියෝග කළා.

පැරැණි මන්නාරම් පාර

ඉදිරියෙන් ම අල්විස් මහත්තයා ගමන් කරනවා. අප්පුහාමි ඊළඟට. ඔහුගේ පිටිපස්සෙන් අපි යනවා. ඉදිරියෙන් යන කෙනාගේ ඔළුවේ බැඳපු සුදු රෙදි කෑල්ලේ ඡායාව තමයි ඊළඟට යන කෙනාගේ මඟ සලකුණ. දැන් හොඳට ම රෑ වෙලා. දවසට ම කිසි ආහාරයක් නැතුව අපි ගමන් කළා. අඳුරේ කිසි දෙයක් පේන්නේ නැහැ. පාන්දර දෙකට පමණ විලක් ළඟ නතර වුණ නිලධාරිතුමා පාන් පෙත්ත බැගින් අපට බෙදා දුන්නා. පාන් පෙත්ත කාලා අපි බඩ පිරෙන්න විලෙන් වතුර බිව්වා. අන්ධකාරේ බිව්වට ඒ වතුර මොනවද කියලවත් අපි දන්නේ නැහැ.

විනාඩි දහයක් වත් එතැන විවේක ගත්තේ නැහැ. ආයෙමත් ගමන් ආරම්භ කළා. එළිවෙන පාන්දර යාමෙට අපි කොල්ලන්කනත්තට ළඟාවුණා. එය මුහුද අද්දර පිහිටි දර්ශනීය ප්‍රදේශයක්. ඒ පැරැණි මන්නාරම් පාර බව අපි දැනගත්තේ එතකොටයි. එහි ඔරු තබාගෙන ධීවරයෝ කිහිපදෙනෙක් සිටියා. අල්විස් මහතා ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කළා. ඊට සහභාගි වෙන්න කියලා අපටත් උපදෙස් දුන්නා. ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කරලා බැලුවා වන සතුන් මරාගෙන කාලා තියෙනවද කියලා. සැක කටයුතු දෙයක් හමු වුණේ නැහැ. එහිදී උදේ කෑමට අපට අල්විස් මහත්තයාගෙන් පාන් ගෙඩියක් ලැබුණා. ලුණු වතුරෙන් වක්කරපු උණු තේ අපට ධීවරයන්ගෙන් ලැබුණා.

වැඩි වේලාවක් එතැන නතර නොවී අපි උදේ හයට පමණ කරුවලකුඩාව බලා පිටත් වුණා. පැරැණි මන්නාරම් පාරේ පුත්තලම දෙසට පිහිටි කරුවලකුඩාව තවත් සැතපුම් දහයක් ඈතින් තියෙන්නේ. ඇවිදලා ම දැන් කකුල් පණ නැහැ. ඒ ගමනේදී මගේ නළල කැලේ අත්තක හැප්පිලා ලේ ගලන්න පටන් ගත්තා. ඒත් ගමන නතර කළේ නැහැ. මුරකරු අප්පුහාමිගේ ප්‍රථමධාර පෙට්ටියෙන් බෙන්සොයිල් බිඳු කීපයක් මගේ අල්ලට හැලුවා. ඇවිදින ගමන් එය නළලට තියලා තදකරගෙන මම ගියා. හෙවණක් නැති මන්නාරම් පාරේ අව්වේ වේළෙමින් යන අපට දැන් හොඳ‍ටෝම බඩගිනියි. අතරමඟ හමුවන සැතපුම් ගණන් විශාල හැම විල්ලුවක් වටා ම අපට ගමන් කරන්න සිදු වුණා. පර්සි ද අල්විස් මහත්තයා ඉදිරියෙන් ම යනවා. අපට කිට්ටුවෙන් යන අප්පුහාමි අපෙන් හොඳටෝම බැණුම් අහනවා. කරුවලකුඩාව කියන්නේ ධීවරයන්ගේ තාවකාලික නවාතැනක්. කල්පිටිය දූපතේ ඉඳලා ඔරුවලින් කළපුව හරහා කරුවලකුඩාවට එන ධීවරයන්ගෙන් හා දඩයක්කරුවන්ගෙන් වනෝද්‍යානයට සෑහෙන්න තර්ජන එල්ල වන බව අප්පුහාමිගෙන් අපි දැන ගත්තා.

වහලෙන් මුරගෙට

කරුවලකුඩාව මුහුදු තීරයෙන් ආයෙමත් වනාන්තරය දෙසට හැරුණු අපි තවත් සැතපුම් 8 ක් දුර ඇවිද ‍ගොස් දවල් එක වන විට පොම්පරිප්පුවට ආවා. එය ඓතිහාසික නටබුන් තියෙන තැනක්. එතැන අපේ මුරපොළක් තියෙනවා. මුරකාරය ඒ වෙලාවේ හිටියේ නැහැ. මුර මඩුව වසා දමලයි තිබුණේ. වහලෙන් මුරගෙට පැනලා හාල් තුනපහේ බඩු අරගෙන අපි දවල්ට උයන්න පටන් ගත්තා.

‘පොම්පරිප්පුවේ සිට කැලේ මැද්දෙන් අත්තවිල්ලුවට සැතපුම් පහක් තියෙනවා. ජීප් රථය තියෙන්නේ අත්තවිල්ලුවේ. එහි ගොස් ජීප් රථය රැගෙන එන්න’ නිලධාරිතුමා නියෝග කළා. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මට කිව්වා පැරැණි සේවකයකු එක්ක ගිහිං ජීප් රථය අරගෙන එන්න කියලා.

කලින් දින රාත්‍රියේ පටන් එක දිගට ඇවිදලා අධික වෙහෙසට පත්ව සිටියත් මං අත්තවිල්ලුව බලා ගියා. අප එහි ළඟා වන විට වේලාව සවස තුනයි. රියදුරු රථයේ නළාව නාද කර කර අපි එනතුරු මඟ බලා සිටියා. අපේ ගමන් මඟ නිවැරැදි කිරීමට එසේ වරින් වර නළාව නාද කළ බව රියදුරුගෙන් මට දැන ගන්න ලැබුණා.

ජීප් රථයේ නැඟලා අපි පොම්පරිප්පුවට ආවා. නිලධාරිතුමා මට දවල්ට කන්න කිව්වත් මං බඩගින්නේ ම සිටියා. හිරු බැස යන්නට ආසන්න මොහොතේ අපි පොම්පරිප්පුවෙන් ගමන් ආරම්භ කළා. ජීප් රථය පදවාගෙන ආවේ පර්සි ද අල්විස් මහත්තයායි. පැය තිස් අටක දුෂ්කර ගමනකින් පසුව රාත්‍රි අටට පමණ අපි ආපසු මරදන්මඩුව කාර්යාලයට ළඟා වුණා. මේ ආරම්භය පමණයි. එවක් පටන් මා විල්පත්තුවේ ගත කළ දෑ අවුරුදු කාලය පුරාම එවන් පුහුණු අභ්‍යාසයන්හී හා රාජකාරිවල නිරන්තරයෙන් නියැළීමට අපට සිදුවුණා.

ප්‍රේමසිරි සෙනෙවිරත්න මහත්මා අද ජීවතුන් අතර නැත. විශ්‍රාම සුවයෙන් නි‍වසේ සිටියදී හදිසි දුක්මුසු ආපදාවකට ලක්ව ඔහු ජීවිතයෙන් සමුගත්තේය. මේ සටහන එතුමාගේ නාමයට උපහාරයක් වේවා!”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »