ඕෂෝ මහෝඝය

2018-04-05 10:13:00       540
feature-top
ශ්‍රී ලංකාවේ පළමුවරට පළ වන ඕෂෝ ජීවන චරිතාපදානය
හැඳින්වීම

ඕෂෝ වූ කලි අද්‍යතන අධ්‍යාත්ම ගවේෂකයන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් නවීන භාරතීය මුනිවරයෙකි. 1931 දී ජෛන පවුලක ඉපිද වයස 21 දී ලද ප්‍රඥාවලෝකනයෙන් පසු ජබල්පූර් සරසවියට බැඳී එහි කෙටි කලක් දර්ශනය ඉගැන් වූ හෙතෙමේ ඉනික්බිති බුද්ධි ජීවියකු හැටියට ලෝකයා ඇමතීමට පටන් ගත්තේ ගතානුගතික හර පද්ධතීන් අභියෝගයට ලක් කරමින් හා සාම්ප්‍රදායික අදහස් උත්කර්ෂයට නැංවූ විද්වත්, පූජකාදී ප්‍රබලයන් විවාදාභිමුඛව අක්‍රීය කරවමිනි.

ස්වීය වූ නවීන භාවනා ක්‍රමවේදයක් ගොඩනගා ගත් ඕෂෝ පූනේ නගරයේ සිය ආශ්‍රමයට ආ දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ආත්ම ගවේෂකයනට අධ්‍යාත්ම ගුරු වූයේ ය. අනතුරුව, තම සේවාව ලෝක ව්‍යාප්ත කිරීම සඳහා ඇමෙරිකාවට ගිය ඕෂෝ එහි කාන්තාර පෙදෙසක් ක්ෂේම භූමියක් බවට හරවා එහි ගොඩ නැංවූ ආශ්‍රමයක හිඳ සිය භාවනා ක්‍රමය තවදුරටත් පුළුල් කළේ ය. ඕෂෝ ඇමෙරිකාවට මහත් තර්ජනයක් කොට සැලකූ රේගන් පාලනය ආගමන විගමන නීති උල්ලංඝනය කළැයි යන චෝදනාවට වරදකරු කොට ’88 දී ඔහු පිටුවහල් කළේ රසායනික විසක් ද ශරීර ගත කරමිනි. ඒ හේතුකොටගෙන ඉන්දියාවේදී ඉන් වසර 5 කට පසු එනම් ’90 දී මිය යන විට ඕෂෝ 61 වැනි ප්‍රබුද්ධ වියෙහි පසු විය.

මෙහි සිංහලට නැගෙන ඕෂෝ ගේ ස්වයං දේශිත චරිතාපදානය ලියැවී ඇත්තේ ඔහුගේ දේශනා ඇතුළත් පොත් රැසකින් තෝරා ගැනුණු කතා බොහොමයකිනි. ඕෂෝ පොත් ලියා නැත. එහෙත් ඔහුගේ ලිපි, දේශනා, සංවාද, වැඩමුළු ආදිය පාදක කොට ගෙන සැකැසුණු පොත් හයසියයක් පමණ වෙයි. ඒවායින් බහුතරය භාෂා 50කට පමණ පරිවර්තනය වී තිබේ.

ඕෂෝ කුඩා කාලයේ රාජා ලෙසත්, ඉන් පසු පිළිවෙළින් රාජ්නීෂ්, ආචාර්ය රාජ්නීෂ්, භගවාන් ශ්‍රී රාජ්නීෂ් ලෙසත් හැඳින්වී ඇති අතර අවසානයේ ඔහු සිය නම ඕෂෝ (සැබෑ මිනිසා) යනුවෙන් වෙනස් කර ගත්තේ ය.

ඕෂෝ ගේ දේශනා ඇතුළත් පොත් සිංහලෙන් පළ වී ඇතත් ඔහු ගේ ජීවන චරිතය පිළිබඳ පොතක් මෙරට පළ වී නැත. සිළුමිණෙ හි මේ වෑයම එහි ඇරඹුමයි.
ඕෂෝගේ පූර්ව ජන්ම

දරුව බිහි වෙච්ච වෙලාවෙ ඉඳල තමයි ඒ දරුවගෙ ජීවිතේ පටන් ගන්නෙ කියලයි ඔබ හිතන්නෙ.

ඒක වැරදියි.

වයසක මනුස්සය මැරිච්ච හැටියෙ ම ඔහුගේ ජීවිතේ අවසන් වෙනව කියලනෙ ඔබ හිතන්නෙ.

ඒත් ඒක එහෙම නෙමෙයි.

ජීවිතය කියන දෙය උපතටයි, මරණයටයි වඩා බොහොම විශාලයි. ජීවිතය තුළ බොහෝ උපතුත්, බොහෝ මරණත් සිද්ධ වෙනවා. ජීවිතේ කොහෙත් ම ඇරඹුමක් නෑ. අවසානෙකුත් නෑ. ජීවිතයත්, සදාකාලිකත්වයත් සමපාතයි.

ජීවිතේ පටන් ගන්නෙ පෙර භවයෙ කෙළවරෙන්. ඔබ මිය යනකොට මිනිස්සු හිතන හැටියට නම් ඔබේ ජීවිතේ එක පරිච්ඡේදයක් අවසානයි. එහෙම අවසන් වෙන්නෙ අප්‍රමාණ පිටු සංඛ්‍යාවක් තිබෙන පොතක එක පරිච්ඡේදයක් විතරයි. එක පරිච්ඡේදයක් ඉවර වුණාට පොත ඉවර නෑ. පිටුවක් පෙරළුව විතරයි. තවත් පරිච්ඡේදයක් පටන් ගැනෙනව.

මැරෙන කෙනාට ඊළඟ භවය මැවිල පේනව. එහෙම වෙන්නෙ අර පරිච්ඡේදය අවසන් වෙන්න කලින්.

බුදුන් වහන්සේ ඒක හැඳින්නුවෙ ‘තණ්හාව’ කියලයි. වචනාර්ථයෙන් ගත්ත ම ඒ‍ෙක තේරුම ‘ආශාව’ වුණාට පාරභෞතිකව, එහෙම නැත්නම් අධ්‍යාත්ම විද්‍යාවට අනුරූපව බැලුව ම තණ්හාව කියන්නෙ ආශාවෙ පැවැත්ම. බලාපොරොත්තු කඩවීම්, සඵලවීම්, මානසික ඇද වැටීම්, ජය ගැනීම්, පරාජයවීම් සියල්ල සිදුවෙන්නෙ ඔබ ඔය ආශාව යනුවෙන් හඳුන්වන එක්තරා ක්ෂේත්‍රයක් තුළ යි.

මිය යමින් සිටින මිනිසාට මේ සියල්ල ම මිය යෑමට කලින් දැක ගන්න සිදු වෙනවා. ඒක නිකං සිහියට එනවා වගේ දෙයක්. ශරීරය යන්ඩනෙ යන්නෙ. නමුත් මනස ඔහුත් එක්ක යන්නෙ නෑ. ඇයි මොළය ඔහු සමඟ යන්නෙ නෑනෙ. ඒත් ඔහුගෙ මනසින් විදා හැරෙන ආශාව ඔහු ගෙ ආත්මයෙ එල්ලෙනවා. ඔහුගෙ ඊළඟ ජීවිතය තීන්දු කෙරෙන්නෙ ඒ ආශාවට අනුකූලවයි. ඉටු කර ගැනීමට බැරුව යමක් ඉතුරුවෙලා තියනවද අන්න ඒ ඉලක්කය හඹාගෙනයි ඔහු යන්නෙ.

ඔබේ ජීවිතය පටන් අරන් තියෙන්නෙ ඔබේ උපතට බොහෝ පසුපසින්. ඊට පිටුපසින් තිබෙන ඔබේ පෙර භවයේ අවසානයෙන්. ඒ අවසානය තමයි මේ ජීවිතයෙ මුල. එක පරිච්ඡේදයක් වැහිලා. තව පරි‍ච්ඡේදයක් ඇරඹෙනවා. දැන් මේ භවය තීන්දු කෙරෙන්නෙ ඔබ මරණාසන්නයේ පසු වූ අවසන් මොහොතේ තව දුරටත් කළ යුතු බවට සියේට අනූ නවයක් ම තීන්දු කර තිබූ දේ මත පිහිටලයි. ඔබ රැස් කළේ මොකක්ද, ඔබ බීජයක් හැටියට ගෙන යන්නේ මොකක්ද අන්න ඒ දෙය, ඒ බීජය ඔබට මල් ඵල හට ගන්වන ගසක් බවට පත් වේවි. බීජය දෙස බැලීමෙන් ඔබට එය තේරුම් ගැනීමට බෑ. නිශ්චිත සැලැස්ම තිබෙන්නෙ බීජය තුළ යි.

තමන් ජීවත් වුණු මුළු මහත් අවකාශය මනසින් දැක දැක, ඒකෙ නිසරුකම අවබෝධ කර ගෙන සම්පූර්ණ මානසික ඒකාග්‍රත‍ාවෙන් යුතුව කෙනෙකු මිය ගියොත් ඉබේ ම ඔහු ඉපදෙන්නෙ තියුණු, බුද්ධිමත්, ධෛර්යසම්පන්න පුද්ගලයකු හැටියටයි. එය ඉබේ ම කෙරෙන දෙයක්. ලෝකයෙ තියනව ශ්‍රේෂ්ඨ ආගම් හයක්. ඒ හය ම කොටස් දෙකකට වර්ග කළ හැකියි. යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම එක වර්ගයකට අයිතියි. ඒ ආගම්වලට අනුව විශ්වාස කෙරෙන්නෙ එක ජීවිතයක් පමණයි. හෙවත් මේ ජීවිතය පමණයි. ඒ අනුව ඔබ පසු වෙන්නෙ උපත හා මරණය අතරයි. ඊට එහායින් කිසිදු උපතක් හරි මරණයක් හරි නෑ. ජීවිතේ කියන්නෙ එච්චරයි. ඒ අය දිව්‍ය ලෝකය, අපාය, දෙවියන් කෙරෙහි විශ්වාසය තැබුවත් ඒ සියල්ල අදාළ ‍වෙන්නෙ අර එක ම ජීවිතයට විතරයි. බුද්ධාගම, ජෛනාගම, හින්දු ආගම ගැනෙන්නෙ පෙර කී දෙවන වර්ගයටයි. ඒවා පුනර්භවය කෙරෙහි විශ්වාසය තබා සිටින ආගම්. ඒ අනුව යමකු සත්‍යාවබෝධය ලබනතුරු සදාකාලිකව ම නැවත නැවතත් උත්පත්තිය ලබනවා ඇති. සසර සැරිසරණවා කියන්නෙ ඒකටයි. උත්පත්ති චක්‍රය නවතින්නෙ සත්‍යාවබෝධය ලද පසුයි.

මා භාවනා කර තිබෙනවා. මා මගේ ම පෙර භවයන් දැකිය හැකි තත්වයට පත්ව සිටිනවා. ඒ බව මා ඔප්පු කර තිබෙනවා. ඒ මගේ ඥානාවබෝධය. මා අත්දුටු දෙය. එයත් ඉන්දියානු උරුමය, එහි විශ්වාසය හෝ වෙනත් කිසි දෙයක් අතර සම්බන්ධයක් නෑ. මා කතා කරන්නේ මගේ ම බලධාරිත්වය ඇතිවයි.

ඊළඟ කොටස බෝධි ධර්ම හමුවීම

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »