ලංකාෙවම බාබර්ලා කොට්ටන් ගහ යටට එන්න!

2018-04-02 10:33:00       537
feature-top
මටත් පුංචි කාලෙ ලස්සන හීන තිබුණ. ඒත් තාත්තාගෙ මරණය එක්ක හීන අතහැරලා තාත්තගෙ රස්සාව කරන්න තෝරා ගත්ත. දැන් මම දරුවො තුන් දෙනෙක් නඩත්තු කරන්නෙ මේකෙන්.. දරුවන් දුකක් නොදී‍් ඉන්න පුළුවන් නම් ඒක තමයි සතුට වෙන්නෙ.

ඔහු නමින් මූර්ති ය. කා අසලවත් නැති අමුතු ආකාරයේ මැෂිමක් තබාගෙන ඔහු කතුරු මුවහත් කරයි. උතුරු නැගෙනහිර මෙන්ම අගනුවර ද ඇතුළු ලංකාව සතර දිග්බාගයෙන්ම පැමිණෙන කරනෑ වෑමියන්ගේ විශ්වාසවන්තම සහකරුවා මූර්ති ය.

කොළොම්තොට කාර්ය බහුල ම තැන් කිහිපයකි. ඉන් ගෑස්පහ හන්දිය එකකි. එදා ගෑස්පහ හන්දියේ වැඩිපුර ම ගැවසු‍ණේ මොරිස් මයිනර් වර්ගයේ ටැක්සි ය. පරණ නගර ශාලාව මෙතැනට එක් කළේ ගම්භීර පෙනුමකි. කාලය ගත වෙද්දී ගෑස්පහ හන්දිය ද රටේ වෙනත් තැන් මෙන් මහා වෙනසකට ලක්විය. මොරිස් මයිනර් ටැක්සි වෙනුවට ත්‍රිරෝද රථ පැමිණි අතර පැරැණි නගර ශාලාව දහසක් දනන් අතර හුදෙකලා තැනක් බවට පත් විය. මේ සියල්ල වෙනස්වෙද්දී අවුරුදු හැටකට කිට්ටු කාලයක් නො සැලී සිටි තැනක් තිබිණි. ඒ මූර්තිලාගේ කතුරු මුවත් මැෂිමයි. ගෑස්පහ හන්දිය මැද පදික වේදිකාවේ කොට්ටං ගහයට කතුරු මුවත් කඩයට රටේ දසත පිරිස් තම අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙති.

අප එහි යන විට ද කතුරු මුවත් සහ පිහිය මුවහත් කිරීමේ කාර්යයේ නියැළී සිටියේ එස් මුර්ති ය. ඔහුගේ සහායට සිටියේ ජෝසප් ෆ්‍රැන්සිස් ය. ඔහු මුර්තිට නෑකම අනුව මාමා ය. ෆ්‍රැන්සිස් මෙතැනට පැමිණ අවුරුදු හැටකි. ඔහු මූර්ති ගේ පිය­ාණන්වන ජ්‍යෙෂ්ඨ මූර්ති සමඟ එක්ව පිහිය මුවත් රැකියාවේ නියැළුණු අයෙකි. අවුරුදු හැටක් පුරා ඔහු ලැබූ අත්දැකීම් රැසකි. වත්මනේ මෙහි ප්‍රධානත්වය දරන කනිෂ්ඨ මුර්ති සමඟ වැඩට එක්වී අවුරුදු විස්සකි. අද ගෑස්පහ හන්දියේ නමක් තබා ගෙන කතුරු මුවත් රැකියාව කරන්නා කනිෂ්ඨ මුර්ති ය. අප මෙහි යන විටද ඔහු බරට ම වැඩ ය. කෙතෙක් වැඩ තිබුණ ද ඔහු අප සුහද සිනහවකින් පිළිගන්නට අමතක නො කළේ ය.

"අපි ෆොටෝ එකක් ගන්නද?" අපි ඔහුගෙන් විමසුවෙමු. එයට ද හිස සලා අනුමැතිය දුන් ඔහු තම රාජකාරිය වෙත අවධානය යොමු කළේ ය.

"ඇයි?" තම රාජකාරියට මද වේලාවකට විරාමයක් ලබා දුන් මූර්ති අපගෙන් විමසුවේ අවුරුදු ගණනක සිට දන්නා හිතවතකු මෙනි. අප පැමිණි කාරණය කියු විට ඔහු එයට එකඟ වුයේ ඉතාමත් කැමැත්තෙනි.

"අපේ පරම්පරා රස්සාව මේක තාත්තගෙන් පස්සෙ මම මේ රස්සාව කරනවා. මුලින් ම ගෑස්පහට කතුරු මුවත් ගෙනාවේ අපේ තාත්තා. ඔහු අකාලයේ මියගියාට පස්සෙ මමයි මේ රස්සාව ඊළඟට බාර ගත්තේ.

"ඇයි මේ රස්සාවම තෝර ගත්තේ..? අපි මුර්තිගෙන් විමසුවෙමු.

"අපි පුංචි කාලේ ඉඳන් ජීවත් වුණේ කතුරු මුවත් සල්ලිවලින් අපේ උස් මහත් වුනේ තාත්තා කළ මේ රස්සාව නිසයි. ඉතින් තාත්තගෙන් පස්සෙ මේ රස්සාව තෝරා ගත්තේ ඒ ගරුත්වය හින්දා.

මූර්තිගේ දැන් වයස අවුරුදු තිස් හතකි. මූර්තිගේ පියා ඔහුට අවුරුදු 14දී මිය ගියේය. මේ නිසා අධ්‍යාපනය ද අතරමඟ නවතා දැමූ ඔහු පවුලේ බර කරට ගත්තේ ය. ඒ පියාගේ රැකියාවම ජීවන වෘත්තිය කරගනිමිනි. මේ වයසට රැකියාවෙන් පරතෙරට ගොස් තිබේ.

“හැමෝටම මේ රස්සාව කරන්න බැහැ. ඒ හින්දා තමයි මෙතැනට මිනිස්සු රට වටෙන්ම එන්නෙ. මුර්ති සෙස්සන් මෙන් සල්ලි හම්බ කිරීමේ තරගයට වැදී නැත. ඔහු මුදල්වලට වඩා සේවය උතුම් කොට සලකති. ඔහුගෙන් කතුරක් හෝ පිහියක් මුවහත් කරගන්න‍ා කෙනකු නැවත පැමිණෙන්නේ මාස හයකට පමණ පසුව බව මූර්ති කියයි. ඒ තරමටම ඔහු රාජකාරිය දේවකාරිය සේ කරන්නෙකි.

“මට ඕනෑ දරුවොත් එක්ක කාලා බීලා සතුටින් ඉන්න අද වෙද්දි මම දවසේ වියදම කවර් කරගෙන රුපියල් පන්සියයක් දවසකට ඉතිරි කරනවා. ඇත්තෙන්ම මට මහ මන්දිර ඕනෑ නැහැ සතුටින් ඉන්න පුළුවන්නම් එච්චරයි ඕනැ. මුර්ති තුළ ඇති සරල ජිවන රටාව ඔහු අප වෙත පසක් කර දුන්නේ එලෙසිනි.

ගෑස්පහේ මූර්තිගේ කතුරු මුවත් කඩයට පැමිණෙන්නේ කරණවෑමි සහෝදරවරු ය.

“ලංකාවේම බාබර් සාප්පුවල අය මෙතෙන්ට එනවා. විශේෂයෙන් ම මඩකළපුවේ, වවුනියාවේ අයත් එනවා. ඒ විතරක් නොවෙයි යාපනයෙන් ද මෙතැනට බාබර් සාප්පුවල අය එනවා අපේ නම රට පුරා ප්‍රචාරය වෙලා තියෙන්නේ අවංකව වැඩ කරන සහන මිලකට වැඩක් ගන්න පුළුවන් තැනක් කියලා.

ආගම් ජාතිභේද ගැන මුර්තිගේ සිතේ කිසිදු පැහැදීමක් හෝ කැමැත්තක් නැත.

“ඇයි අපිට බැරි එකා වගේ ඉන්න ජාති ආගම් කිය කියා රණ්ඩු වෙලා වැඩක් නැහැ. එකට හිටියොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.”

බොහෝ තරුණයන් රැකියා නොමැතිව ළතැවෙද්දී මුර්ති තම රැකියාව ඔස්සේ සාර්ථක ගමනක් යයි.

“මම තරුණයන්ට කියන්නෙ එකම පණිවුඩයයි. එක දෙයක් බලා ගෙන ඉන්න එපා තමන්ට ලැබෙන ඕනෑම රස්සාවක් අවංකව කැප වීමෙන් කරන්න එතකොට සාර්ථකත්වය ස්ථිරයි.”

“මටත් පුංචි කාලෙ ලස්සන හීන තිබුණ ඒත් තාත්තාගෙ මරණය එක්ක හීන අතහැරලා තාත්තගෙ රස්සාව කරන්න තෝරා ගත්ත. දැන් මම දරුවො තුන් දෙනෙක් නඩත්තු කරන්නෙ මේකෙන්..දරුවන්ට දුකක් නොදී‍් ඉන්න පුළුවන්නම් ඒක තමයි සතුට වෙන්නෙ.”

“එදා කතුරක් මුවහත් කරන්න කීයක් ගත්තද.?” අප මුර්තිගෙන් විමසුවෙමු.

“තාත්ත වැඩ කරපු කාලෙ නම් රුපියල් එකයි පනහයි අය කළේ. සමහර වෙලාවට රුපියලයි ගත්තේ.. එදා එකයි පනහ අද වෙද්දි එකසිය පනහ වෙලා කාලයත් එක්ක රට වෙනස් වුණා ආර්ථික තත්ත්වය වෙනස් වුණා.

“එතකොට අද මේ රැකියාවෙන් ආදායම කොහොමද.? සාමාන්‍යයෙන් නෑසිය යුතු ප්‍රශ්නයක් වුවද අප ඒ ප්‍රශ්නය මූර්ති වෙත යොමු කළෙමු.

“කිසිම කරදරයක් නැතිව දෙදහසක් ගෙදර අරන් යනවා.. මාත් එක්ක වැඩ කරන මාමාටත් කන්න බොන්න දීලා රුපියල් දාහක් දෙනවා..”

මූර්තිගේ සහායට සිටින ජෝසප් ෆ්‍රැන්සිස් මහතාගෙන් අප විමසන්නටත් පෙර ඔහු සඳහන් කළේ ඔහු සතුටින් සහ කැමැත්තෙන් මෙහි රැකියාව කරන බව ය.

“අවුරුදු හැටකට කිට්ටුව මම මෙතැන වැඩ කරනවා..දැන් මුර්ති පුතා එක්ක වැඩ කරනවා කලින් මම මුර්තිගේ තාත්ත එක්ක වැඩ කළා .”

“මගෙන් පස්සෙ මේ රස්සාව ඉවරයි. මූර්තිගේ දුවා දරුවන් කතුරු මුවත් රැකියාව තෝරා ගන්නවාට මුර්තිගේ කැමැත්තක් නැත. “එයාල වෙන රස්සාවක් හොයා ගන්නවා නම් තාත්තා කෙනෙක් විදිහට මම සතුටුයි. ඒත් දරුවන් කැමැත්තෙන්ම මේ රස්සාව තෝර ගත්තොත් විරුද්ධ වෙන්නෙ නැහැ.” මූර්ති තුළ ජීවත් වන්නේ විවෘත හදවතක් ඇති මැදහත් මිනිසකුය යන්නට මෙම ප්‍රකාශය වුවද ප්‍රමාණවත්ය.

මූර්තිට වඩා වයසින් වැඩි ජෝෂප්ට පනහ හැට දශක දක්වා අතීත මතකයක් තිබේ. “ඉස්සර ගෑස්පහ හන්දියේ මේ වගේ වාහන නැහැ ටැක්සි කිහිපයක් තිබුණේ. ඒත් එක්කම ගොන් කරත්ත බහුලව තිබුණා එදා තිබුණ විදිහත් අද තත්ත්වයත් හාත්පසින් වෙනස්.” එදා මෙදා කොළඹ වෙනස් වු ආකාරය ගැන සජිවී සාක්ෂිකරුවකු ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.

මුර්ති තම ජිවනෝපාය උපයා ගන්නා කතුරු මුවත් මැෂිමද අමුතු ආකාරයේ එකකි. ඔහුට මේ මැෂිම උරුම වී ඇත්තේ සිය පියාගෙනි.

“මේක ක්‍රියාත්මක වෙන්නේ මහන මැෂිමේ මූලධර්මයට අනුවයි. අතින් කරකවන මැෂිමට වඩා මේකෙන් ඉක්මනින් හා සාර්ථකවත් කරන්න පුළුවන්.අපේ තාත්තා ඉන්න කාලේ ඔහු හදපු මැෂිමක් තමයි නවීකරණය කරමින් මම පාවිච්චි කරන්නේ. වෙන විදිහකට කියනව නම් මේක අපේ පරම්පරාවේ උරුමය විදිහට සඳහන් කරන්න පුළුවන්.”

මුර්තිට අනුව බාබර් සාප්පු බොහොමයක කතුරු මුවත් සිදු කරන්නේ ඔහුගෙනි.

“ඇයි මෙච්චර දුර ගෙවලා මෙතැනටම එන්නේ.?”

අප මූර්තිගෙන් විමසුවෙමු.

“කතුරු මුවත් කරන්න ගොඩක් අය ඉන්නවා ඒත් මේකත් වෙනම ශිල්පයක් ගිනි ගලක් මැෂිමක් තිබුණ කියලා හැමෝටම මේ දේ කරන්න බැහැ. අපි ට මේ වැඩේට පරම්පරාවෙන් උරුම වෙච්ච ශාස්ත්‍රයක් තියෙනවා. ඒ නිසා තමයි අපේ ළඟට රට වටෙන්ම සෙනග එන්නෙ.”

මූර්තිගේ කඩය වට කර ගෙන තවත් කතුරු මුවත් කඩ කිහිපයක්ද ගෑස්පහ හන්දියේ තිබේ. ඒ සියලු මුවත් කරුවෝ මූර්තිගේ නෑසියෝය.

“ඉස්සර ගොඩක් අය මෙතැන හිටියා ඒත් පසුව ඇති වු බාධා හින්දා ගොඩක් අය මෙතැන දාලා වෙනත් රස්සා හොයා ගෙන ගියා. අතීතය සිහිපත් කළේ මුර්තිගෙ මාමාවන ජෝෂප් මහතාය.

විවිධ බාධා ලෙස ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ වරින්වර පදික වේදිකාවෙන් ඉවත්වන ලෙස ඉහළින් ලැබුණු නියෝගයන්ය.

“අපි කොහොම හරි ආයෙ මෙතැනට ආව.අපි මෙතැනට නාවනම් අපිට වඩා පාඩු වෙන්නේ අපේ කස්ටමර්ස්ලාට. ජෝෂප් මහතා කියා සිටියේ එවැනි කතාවකි.

තැනින් තැනට ආවේණික රැකියා මෙන්ම ශිල්ප ක්‍රමද තිබේ. ගෑස්පහ හන්දියේ සිදු කරන්නේද මෙවැනි ආවේණික වෘත්තියකි. නගරයක් ගමක් ලස්සන වන්නේ ඒකාකාරී වෘත්තියවල නියැළීමෙන් පමණක් නොවේ. විවිධ වෘත්තීය සහ ශිල්ප ක්‍රම පැවැතීම තුළිනි. මුර්තිලාගේ කතුරු මුවත් ශිල්පයද අගනුවරට අලංකාරයක් ඇති කරන්නේ එබැවිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »