යන ගමන වැරැදී මෙහි ආ ආගන්තුකයා
යන්න ගියේ වෙන රටකට ආවේ අපේ රටට

2018-03-20 11:17:00       545
feature-top
බලාගත් අත බලාගත් වනම බලා හිඳියි. මොකක් නමුත් මහා බර කල්පනාවක නිමග්නව ඉන්න හැඩයි. ඒ බැව් එක් දිශාවක් දෙසටම යොමු ව ඇති නෙත්වලින් පිළිබිඹු වේ. මේ බැල්මට යොමුවී දැන් විනාඩි 20 කටත් ආසන්නයි. ඒත් වගේ වගක්වත් නැතිව මෙයා තමන්ගේ දැහැනටම සම වැදී සිටියි. මම ටිකක් විතර මේ ආගන්තුක මිතුරා වෙතට සමීප වීමී. හේ ලැග සිටි අත්තෙන් නික්මී ගසෙහි ඉහළ අත්තක් වෙත සේන්දු විය. ඒ මෙතෙක් සම වැදී හුන් දැහැන බිඳීම ගැන “ක්‍රෑක්” හඬින් නෝක්කාඩු කියමිනි.

තම උපන් බිමෙන් සැතපුම් දහස් ගාණක් මෙපිට ආගන්තුක රටක ඌ තනිවී සිටියි. දැන හැඳිනකම් පෑ අයත් තරහා වී ඇත. හුදෙකලා බවේ රසය තනිවම බුක්ති විඳින සෑම මොහොතකම සිත දිව යන්නේ උපන් බිමටමය. ඒ බැව් විනාඩි විස්සකට අධික කාලයක් තිස්සේ අනිමිස ලෝචනයේ යෙදී සිටි‍ අයුරු දකිද්දී සිතා ගත හැකිවිය. හැබෑටම තනිකමට පෙම් බැඳි මේ නොදත් මිතුරා කවුද?

“ මේ කුරුල්ලා මම දැක්කේ ජනවාරී මාසයේ මුල් සති කිහිපයේ සිටයි. ඒත් අමුත්තක් දැනුණේ නෑ. මොකද අපේ රාජකාරියත් එක්ක මෙයා ගැන සොයලා බලන්න තරමේ ඉස්පාසුවක් මට තිබුණේ නෑ. ඒත් මෙයා ගැවසෙන සීමාව ළඟින් යන හැම විටෙකදීම මේ කුරුල්ලා අපේ රටේ ජීවත් වෙන අනෙක් කුරුල්ලන්ට වඩා යම් වෙනස්කම් සහ හැසිරීම් රටා සහිත බව පසක් වුණා. ඔය අතරේ අපේ සංචාරක නිවහනට ලැගුම් ගන්න ආවා චීන ජාතිකයින් පිරිසක්. එක් දිනක් ඒ විදේශීය කණ්ඩායමේ හිටපු සංචාරක මඟ පෙන්වන්නෙකුගෙන් මේ කුරුල්ලාගේ වතගොත දැන ගන්න හැකි වුණා” සරත්චන්ද්‍ර හෝටල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ උඩවලව පිහිටා ඇති සෙන්චූරියා වයිල්ඩ් පෞද්ගලික සමාගමට අයත් උඩවලව සංචාරක නිවාසයේ ප්‍රධාන සූපවේදී පෝෂිත සරත්චන්ද්‍ර තම අත්දැකීම් අප සමග බෙදා හදා ගත්තේ ඒ අයුරිනි. “මේ කුරුල්ලා අපේ රටට ආගන්තුකයෙක්. ඒ කියන්නේ වීසා නැතිව තමයි උඩවලවට ඇවිත් තියෙන්නේ. මේ ගැන දැන ගත්තු අපේ රටේ කට්ටිය ආගන්තුක සත්කාර පැත්තකට දමා මේ අමුත්තට කොටන්න පටන් අරගෙන. හැබැයි ආගන්තුකයා මේ ටික දවසට යාළුවන් පිරිසකුත් අපේ රටෙන් හොයා ගෙන. ලංකාවේ මේ කොණ්ඩ යාළුවොත් එක්කම තමයි මේ ආගන්තුක පිටරැටියාගේ දවස ගෙවෙන්නේ. එයා සංක්‍රමණික විහඟ මිතුරෙක්. මින් පෙර අපේ රටේදී වාර්තා වී නැති බව සඳහන් වෙන පර්යටනික කුරුල්ලෙකි.

මේ වසරේ ජනවාරී මැද සිට මේ දක්වාම මෙයා නතර වෙලා ඉන්නේ උඩවලවේ ජලාශය කිට්ටුව තියෙන වන වදුළුවලයි. තනියට ඉන්නේ කොණ්ඩ කුරුල්ලො. කපුටෝ, කුරුලුගොයින්, උකුස්සන් වගේ අය දුටු ගමන් වහන් වෙන්නමයි හදන්නේ. මොකද ඒ අය නම් කරුණා විරහිතව මේ පිටරැටි කුරුලු යාළුවට කොටනවා.”

නමින් පොදු කඳුකර තිරාසිකයා (Common Rock Thrush / Rufous – tailed Rock Thrush) නමින් හඳුන්වන මේ පක්ෂි විශේෂය අයත් වන්නේ ටර්ඩිඩේ (Turdidae) නමින් හඳුන්වන තිරාසික කුලයටයි. මේ විශේෂයට අයත් කුරුල්ලන් වාසය කරන්නේ දකුණු යුරෝපය, මධ්‍යම ආසියාව හා උතුරු චීනය ආශ්‍රිතවයි. දකුණු යුරෝපයට සාමාන්‍ය නිවැසියන් වුණත් උතුරු යුරෝපයට නම් ආගන්තුකයි. හරියට මේ අපේ රටට වාගේමයි. තමන් වාසය කරන නිජ බිම්වලට සිසිර සෘතුව පැමිණෙත්ම ඒ බිම් අතහැර ආහාර, ගොදුරු බිම් සොයා ගෙන (තාවකාලිකව) අප්‍රිකාවේ දකුණු සහරා ප්‍රදේශයන් බලා පර්යටනය කරයි. මේ පක්ෂීන් පර්යටනික විහඟුන් අතරේ ශක්තිමත් සංක්‍රමණිකයෝ ලෙස හැඳින්වෙති. ප්‍රමාණයෙන් මයිනා සහ කොණ්ඩ කුරුල්ලාගේ අතරමැදි අයෙක්. දිග සෙන්ටිමීටර් 17 – 20 ත් අතර වේ. වර්ණයෙන් උඩු කය නිල් මිශ්‍රිත කළු පැහැයකි. යටි කය ගඩොල් මිශ්‍ර දුඹුරු පැහැයකි. පපුව, බඩ වත කළු දුඹුරු කඩ ඉරි සහිතය. පිට කොන්ද ප්‍රදේශයේ සුදු පැහැය කැපී පෙනේ. හොට, පාද සහ ඇස් කළු පාටකි. ප්‍රධාන වශයෙන් ලිංගික ද්විරූපතාවයක් සහිතය. එනම් කුරුල්ලාට සාපේක්ෂව කිරිල්ලිය අඳුරු පාටකි. සිරුර පුරා තිත් රටා සහිත බැව් සදහන්ය. එසේ නම් මේ අපේ රටට අතරමං වී පැමිණ ඇත්තේ කුරුල්ලෙකි. නිවැසි පරිසරයේ වියළි කඳුකර බිම් මොවුන්ගේ ගැවැසුම් කලාපය වේ. ඒ බිම්හි පිහිටි ගල් කුහරවල බිජු ලයි. බිත්තර 04 – 05 ත් අතර ගොනුවකි.

පෝෂිත ලබා දුන් තොරතුරේ සත්‍ය - අසත්‍යතාව සෙවීමට අපි ද පසුගිය දිනෙක උඩවලව බලා ගියෙමු. ඒ මේ පක්ෂියා මෙන්ම තවත් එවැනිම වු ආගන්තුක විහඟ මිතුරන් කිහිපදෙනෙකු දකුණු කලාපය ආශ්‍රිතව ගැවසෙන බවට ලද තොරතුරක් නිසාය. උඩවලව ජලාශයේ පිටාර තැන්න අවට විසිරුණු ගස් සහිත සෙවණ ස්ථාන මේ පක්ෂියාට කදිම ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර තිබිණ. රාත්‍රී ලැගීමද මේ ගස් අතරමය.

අප රජ සියක්කාරයන් ලෙසින් හඳුන්වන සුලභ පර්යටනික විහඟුන් ද මේ දිනවල බූන්දල ආශ්‍රිතව දැක බලාගත හැකිය. බූන්දල යනු කුරුල්ලන් දැක බලා ගැනීමට හොඳ තැනකි. මෙරටට ඇතුළු වන කුරුලු විශේෂ අතරින් වනගත පාරිසරික තත්ත්ව ආශ්‍රිතව දිවි ගෙවීමට ප්‍රිය ඇත්තෝ, සමුදුර සොයා ගලා බස්නා ගංගා නිම්න ඔස්සේ රට අභ්‍යන්තරයටත්, ජලාශ්‍රිතව දිවි ගෙවනා විහඟ මිතුරෝ සිරිලක නැගෙනහිර සහ බටහිර වෙරළ තීර ඔස්සේ බූන්දල තෙත් බිම් පරිසර පද්ධතියේ ව්‍යාප්තව ඇති කලපු, වගුරු බිම්, ලවණ හැල් සහ තෘණ බිම් ආශ්‍රිතවත් නවාතැන් ගනිති. එයට හේතුව වෙරළ දීගේ දකුණට වෙන්නට ඇති අවසන් නවාතැන් පළ වශයෙන් බූන්දල ආරක්ෂිත වනජීවී රක්ෂිතය තුළ ජලාශ්‍රිත කුරුලු මිතුරන් සඳහා අවැසි ආහාර සහ ලැගුම් බිම් සොබා දහම විසින් නිර්මාණය කර තිබීමය. නිදහසේ හැසිරෙන කුරුල්ලන් අතරේ ගැවසෙමින්, නමුදු ඔවුන්ගේ නිදහසට බාධා නොවන පරිදි කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනය සඳහා ඉදිරියට එළැඹෙන කාලයේදී බූන්දල කදිමය.

වනසංචාරයක් පිණිස වනපෙතකට පිවිසෙන ඔබ දිනයේ උදෑසනත් සවස් යාමයේදීත් තම සංචාරයට කාල වේලාව වෙන් කර ගැනීම වඩාත් සුදුසුය. එයට හේතු වන්නේ එම හෝරාවලදී වනජීවීන්ගේ උද්යෝගකර හැසිරීම් රටා නිරීක්ෂණය කළ හැකි වීමය.

සාමාන්‍යයෙන් සංක්‍රමණික පක්ෂීන් සෑම වසරකම එ‍ළඹෙන වර්ෂයේ අප්‍රේල් - මැයි මාස දක්වා නතරව සිට පිටත්ව යාම සිරිතය. ඒ අතරේ සියක්කාරයින්ට හිමි වන්නේ සුවිශේෂීත්වයකි. විසල් වු රෑන් සෑදී සංචාරයේ යෙදෙන සියක්කාරයා නමැති සංක්‍රමණික පක්ෂීන් ගේ පැමිණීම මීට පෙර වසරවලදී බුන්දල ආශ්‍රිතව පැහැදිලි ලෙස වාර්තා නොවීය. එසේ වුවත් බූන්දලට නාවත් මේ අය මන්නාරම සිට යාපනය දක්වාත්, යාපනය සිට මුලතිව් දක්වාත් වන කලපු ආශ්‍රිතව වාර්තා විය. එසේ තිබියදීත් 2013 අප්‍රෙල් මාසයෙන් පසුව බූන්දල ආශ්‍රිතව විසල් රෑන් වශයෙන් සියක්කාරයින් වාර්තා නොවීම පිළිබඳ හේතු සොයා නිසි අධ්‍යයනයක් කළ යුතුය. කෙසේ වුවද ඔන්න බූන්දල හොයා ගෙන මේ විහඟ මිතුරන් නැවත පැමිණ ඇතැයි යන පුවත පරිසර කුරුලුලෝලීන්ට අගනා පණිවුඩයකි.

හිස කළු පිළිහුඩුවා යනු මෙරටට එන අති දුර්ලභ සංක්‍රමණිකයෙකි. මේ දිනවල විල්පත්තු ජාතික උද්‍යානයේ නෙළුම්විල ආසන්නයේ මේ පක්ෂීන් හොඳින් දැක බලාගත හැකිය. රෙඩ් හෙඩඩ් බන්ටින් සහ රයිනෙක් වුඩ්පෙකර් යන සංක්‍රමණික පක්ෂීන්ද උඩවලව ජාතික උද්‍යානය ආශ්‍රිතව හමුවන දුර්ලභ සංක්‍රමණක විහඟුන්ය.

මේ පක්ෂීන්ගේ ගිම්හාන නැවතුම්පළ අපේ රටවීම අපට ආඩම්බරයකි.

අප මුලින්ම දැක්වූ කුරුල්ලා සැබැවින්ම අතරමංවී අපේ රටට පැමිණි කුරුල්ලෙකි. අපේ රටේ දි මේ පක්ෂියා අතරමංව හුදෙකලාවීම නිසා වැඩිපුර ශබ්ද නොකළත් උන් මිහිරි හඬින් ගී ගයන පක්ෂියෙකි. මෙවැනි පක්ෂීන් යළිත් වරක් අපේ රටෙන් දැකගත ‍නොහැකිවනු ඇත. උන් හඳුන්වන්නේ අයාලයන් වශයෙනි. මෙය අවසන් දැකුමද විය හැකියි. එබැවින් යළිත් වරක් අපේ රට තුළදී දැක ගැනීම කෙසේ වෙතත් එක් වරක් හෝ අපේ නෙත් මානයට පැමිණීම ගැන අපේ ස්තුතිය මේ අහිංසක විහංගයාට පුද කරමු.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »