ලොව හැර ගිය මහා විද්‍යාඥයා ස්ටීවන් හොව්කින්

2018-03-19 10:41:00       114
feature-top
මිනිසකුට මේ මිහිමත යා හැකි දුර අපමණය. අල්ප මාත්‍රයකුදු අඩුවක් නොතබා මේ යුගයේදී ඒ බව මුළුමහත් විශ්වයටම සනාථ කර පෙන්වූ එකම මිනිසා මහා විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ය. දෑත් දෙපා අවසඟව හුනස්නෙන් නැඟිටින්නට බැරිව සිටියදීත් මරණයේ බියකරු සෙවනැලි දෑස් මානයේ නලියන විටදීත් ඔහු ලොවට මහා සොයාගැනීම් දායාද කළේය. මතු පරම්පරා ගණනක් වෙනුවෙන් ඔහු නව දැනුම උත්පාදනය කළේය. ඒ දැනුම ඔහු බෙදා දුන්නේය; සටහන් කර තැබුවේය; ඒ සියල්ල කිසිවකු නොසිතූ නොපැතූ තැනෙකින් නවතා දමා ඔහු අන්තිමට යන්නට ද ගියේය. ඔහු සමුගෙන ගියේ නොකල්හි නොවුණත් ඔහු වන් මිනිසකුගේ නික්ම යෑම දැරීම ලෝකයට බෙහෙවින්ම අසීරුය.

පරක් තෙරක් නැති විශ්වයේ බොහෝ දේ ගැන ස්ටීවන් හොව්කින් කතා කළේය. කළු කුහර, ඒවායේ විකිරණ විමෝචනය, ක්වන්ටම් යාන්ත්‍රණය, සාපේක්ෂතාවාදය ගැන මෙන්ම විශ්ව න්‍යායික විද්‍යාව ගැනත් ඔහු ගැඹුරින් කතා කළේය. ක්වන්ටම් ආචරණ නිසා කළු කුහරවලින් නිරන්තරයෙන් විකිරණ විමෝචනය වීමේ සංකීර්ණ ක්‍රියාවලිය අපූරුවට විස්තර කරන්නට ඔහුට හැකි විය. 'හොව්කින් රේඩියේෂන්' වශයෙන් නම් කෙරුණේ ද එම ක්‍රියාවලියයි. සාපේක්ෂතාවාදය සහ ක්වන්ටම් යාන්ත්‍රණය එකට එක් කිරීමෙන් ඇතිවන අලුත් තත්ත්වය ගැන තවත් අවස්ථාවකදී හෙතෙම කතා කළේය. නව ඥානය තුළින් අනාගත ලෝකයට එබිකම් කර බලන්නට ඔහුට හැකි විය.

එපමණක් නොව ලොව ඇතැම් සිද්ධාන්ත තේරුම් ගැනීම දෙවියන් වහන්සේව තේරුම් ගැනීමක් හැටියට ඔහු පෙන්වා දුන් අවස්ථාද ඇත. එපමණට ම ඔහු ලෝකය විනිවිද දුටු මිනිසෙකි. ගුරුත්වාකර්ෂණය ශූන්‍ය බවට පත් කළ යානයකදී විඳිය හැකි ආශ්චර්යය ඔහු පෞද්ගලික අත්දැකීමක් බවට පත් කර ගත්තේය. ශරීර බර ශූන්‍යයත්වට පත්කර ගත් ආබාධ සහිත පළමු පුද්ගලයා ලෙස නව වර්තාවක් තබන්නට එනිසා ඔහුට හැකි විය. මේ අරුමය ඔහු කර පෙන්වූයේ ලෝකයට අභ්‍යාවකාශ තරණය ගැන පාඩමක් කියා දෙන්නට මිස අනෙක් කාරණයකට නොවේ.

ස්ටීවන් හොව්කින්, න්‍යායික භෞතික විද්‍යා සහ විශ්ව න්‍යාය විද්‍යා දැනුම ග්‍රන්ථාරූඪ කළ පඬි රුවනකි. ඔහු පළමුවෙන්ම රචනා කළේ 'අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ටයිම්' නැමැති කෘතියයි. ස්ටීවන් අතින් එය ලියැවුණේ 1988 වසරේදීය. විශ්වයේ ව්‍යුහය, සම්භවය, වර්ධනය සහ අවසන් ඉරණම පිළිබඳ තොරතුරු එහි ඇත. ගැඹුරු විද්‍යාත්මක වචන භාවිතයකින් තොරව ලියැවුණු මේ කෘතිය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි මට්ටමේ එකකි. කෘතිය ප්‍රකාශයට පත්ව වසර 20ක් ගත වනවිට එයින් පිටපත් මිලියන 10කට වඩා අලෙවි වී තිබිණ; 2001 වනවිට එය හාෂා 35කට පරිවර්තනය වී තිබිණ.

'අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ටයිම්' කෘතිය වසර පහක්ම වාර්තා බිඳ හෙලමින් අලෙවි වූ කෘතියක් හැටියටත් නම් කිරීමටද හැකිය. එයින් මතු ඔහු අතින් තවත් කෘති සෑහෙන සංඛ්‍යාවක් රචනා විය. 'බ්ලැක් හෝල්ස් ඇන්ඩ් බේබි යුනිවර්සස් ඇන්ඩ් අදර් එසෙස්', 'ද යුනිවර්ස් ඉන් අ නට්ෂෙල්', 'ඔන් ද ෂෝල්ඩර්ස් ඔෆ් ජයන්ට්ස්', ' ගොඩ් ක්‍රියේටඩ් දි ඉන්ටිජර්ස්', 'ද ඩ්‍රීම්ස් දැට් ස්ටෆ් ඉස් මේඩ් ඔෆ්' සහ 'මයි බ්‍රීෆ් හිස්ට්‍රි' යන කෘති ඒ අතර ප්‍රමුඛය. ඒ හැරුණු විට ඔහුගේ සම කර්තෘත්වයෙන් ලියැවුණු කෘති රාශියක් ද තිබේ.

ඔහු ළමයින් වෙනුවෙන් ලියන්නට පටන් ගත්තේ සිය දියණිය ලුසී හොව්කින් සමඟ එක්වය. ඔහු අතින් ලියැවුණු විද්‍යාත්මක පත්‍රිකා සංඛ්‍යාව කෙළවරක් නැත. මේ සෑම කෘතියක්ම ඔහු කළේ තමන් සතු විද්‍යාත්මක දැනුම අද්‍යතන පරම්පරාව සමඟ මෙන්ම ඉදිරියේදී පහළ වන පරම්පරාවන් සමඟ බෙදා හදා ගැනීමේ අරමුණෙනි. මේ නිසා ස්ටීවන් හොව්කින් ඉතා විශිෂ්ට විද්‍යා සන්නිවේදකයකු හැටියටත් හැඳින්විය හැකිය.

මහජනයා දැනුම්වත් කිරීමේ දේශනවල ඔහු කැපී පෙනෙන කතිකයකු විය. ඔහුගේ හරබර දෙසුම්වලට විවිධ තරාතිරමේ අය විශාල වශයෙන් සහභාගී වූහ. පසුගිය නොවැම්බරයේදී චීනයේ බෙයිජිංහි පැවැත්වුණු 'ටෙන්සෙන්ට් වී සමිට්' සමුළුව වීඩියෝවක් අධාරයෙන් අමතමින් ඔහු කියා සිටියේ පෘථිවිය තවත් වසර 600කින් දැවෙන අවසානයකට ළඟා වනු ඇති බවකි.

“ ... වසර 2600 වනවිට මෙහි ජනගහනය අධික වෙනවා. එකල මිනිසුන් සිට ගත් විට ඔවුන් එකිනෙකෙකුගේ උරහිස් එකටඑක ගැටේවි. විදුලිය භාවිතය ඉහළ යෑම නිසා එදාට මේ පෘථිවිය දැඩි උණුසුමෙන් යුත් ගිනි බෝලයක් බවට පත්වෙනවා. ...” යැයි ඔහු එහිදී පැවසීය.

සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු තවත් අවස්ථාවකදී කියා සිටියේ කෘත්‍රිම බුද්ධිය සහිත මෙවලම් රජකරන දවසක් පැමිණෙනු ඇති බවයි. එදිනට එමඟින් මිනිසුන් විස්ථාපනය කෙරේයැයි කියන බිය තමන්ට ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. තවත් අවස්ථාවකදී ඔහු කියා සිටියේ වසර සියයකින් පසු තමන්ට ජීවත්වීමට වෙනත් ග්‍රහ ලෝකයක් මිනිසා සොයා ගත යුතුව ඇතැයි කියාය. කාලගුණ විපර්යාස, අධික ජනගහනය, මෙන්ම වසංගත ආදිය නිසා පෘථිවිය මතදී මිනිසා දැඩි ලෙස පීඩාවට පත්වන බව ඔහු එහිදී පෙන්වා දී තිබිණ.

ස්ටීවන් හොව්කින් මේ සියලු කියුම් කෙරුම් සහ වික්‍රමයන් පෑවේ රෝද පුටුවකට සීමාවුණු, එක්තරා අන්දමක 'සිරගත' ජීවිතයක් තුළ එල්බ ගෙනය. වයස අවුරුදු 22දී වැළඳුණු ස්නායු ගත ආබාධයක් ඔහුට එවන් අවාසනාවන්ත ඉරණමක් අත් කර දී තිබිණ. ඒ වන තුරුම ඔහු භුක්ති වින්දේ සාමාන්‍ය මනුෂ්‍යයකු භුක්ති විඳින අන්දමේ ජීවිතයකි. ළමා කළ වුව ඔහුගෙන් කිසිදු වෙනසක් දිස් වුණේ නැත. ප්‍රාථමික පාසලේ සිසුන් කණ්ඩායමට වැටී සෙල්ලම් කරන්නට ඔහු බෙහෙවින් ඇබ්බැහි වී සිටියේය. ගිනි කෙළි, ගුවන් යානා ආකෘති මෙන්ම බෝට්ටුවල ආකෘති ඔහු නිපද වූයේ ඒ දඟ මළු ගොන්නට වැටී නටන අතර තුරය. පන්තියේ ගණිත ගුරුවරයාගේ සහය ඇතිව අපතේ යන ද්‍රව්‍යය යොදාගෙන පරිගණකයක් නිපදවන්නට මේ කණ්ඩායම වරක් සමත් වූහ.

ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිත විද්‍යා අංශයේ ප්‍රධානියා හැටියට කටයුතු කළ ස්ටීවන්ගේ පියාට, ස්ටීවන්ව වඩාත් හොඳ පාසලකට යවන්නට මේ කාලයේදී ආර්ථික ශක්තියක් තිබුණේ නැත. ස්ටීවන්ට බාල තවත් නැඟනියන් දෙදෙනෙකුගේත් දරුකමට හදාගන්නා දරුවකුගේත් බර ඒ පියාට දරන්නට සිදුව තිබුණේය.

එසේ වුවද හොව්කින් යුවළ අධ්‍යාපනයේ ඇති වැදගත්කම මැනැවින් අවබෝධ කරගෙන සිටියහ. අධ්‍යාපනයට ඒ හැටි උනන්දුවක් නොදක්වන ස්ටීවන්ව ශිෂ්‍යත්ව විභාගයකින් සමත් කරවා ඉහළ පෙළේ පාසලකට ඇතුලු කරගන්නට පියාට වුවමණාව තිබිණ. පියාගේ ඒ සිහිනය බිඳ වැටුණේ ශිෂ්‍යත්ව විභාගය පැවති දින ස්ටීවන් දැඩි ලෙස රෝගාතුර වීම නිසයි. ඒ නිසා හැමදාම එකට වැටී නැටූ කොල්ලන් නඩය සමඟ තවදුරටත් නටන්නට ස්ටීවන්ට ඉඩ ලැබිණ. කාලයත් සමඟ ස්ටීවන් අධ්‍යාපනය පැත්තට යොමු වන්නට පටන් ගත්තේය.

එහිලා ඔහුගේ පන්තියේ ගණිත ගුරුවරයාගෙන් කෙරුණු උනන්දු කිරීම වැදගත් වූ බව සඳහන් වේ. ඒ නිසා ඔහු වැඩියෙන් කියැවූයේ ගණිත විෂයට අදාල පොත පතය. තාත්තාට වුවමණා වුණේ පුතාව තමන් ද ඉගෙන ගත් ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයටම යැවීමටයි. රැකියා අවස්ථා බහුල වෛද්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්නේ නම් මැනවැයි කියා ඒ පියා තම පුතාට එදා අවවාද දුන්නේය. එසේ වුවත් පුතා කළේ ගණිතය අංශයට නැඹුරුවීමයි. එය ඔහුගේ ජීවිතය නවමු මාවතකට යොමු කළ දෛවෝපගත සිද්දිය විය.

එවක් පටන් ඔහුගේ අධ්‍යාපන ජීවිතය ගොඩනැඟුණේ ගණිත සහ භෞතික විද්‍යා අංශ පදනම් කරගෙන බව සඳහන් වේ. තම පියාගේ සිහිනයක් සැබෑ කරමින් ඔහු ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ද පිවිසියේය. ඉන් මතු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී පශ්චාද් උපාධි අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කරන්නට ස්ටීවන්ට ඉඩ ලැබිණ. ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු හැටියට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය උගතුන් අතරට පිවිසෙන්නට ස්ටීවන්ට ඉතා තරුණ වයසේදීම හැකි වුණේ මේ පසුබිම තුළයි .

එසේ වුවත් ඒ වනවිට ඔහු ස්නායුගත මාරක රෝගයට බිලී වී හමාරය. ඔහුට වයස අවුරුදු විසි දෙකේදී අනාවරණය වුණු මේ ස්නායු රෝග තත්ත්වය ගැන අවධානය යොමු කළ වෛද්‍යවරුන් 1963දී පැවසුවේ වසර දෙකකට වඩා වැඩි කාලයක් ඔහු ජීවත් නොවනු ඇති බවකි. ඒ පණිවුඩයත් සමඟ ඔහු පුරුදු දිවියට යළිත් පිවිසියේ අත් වාරුවක් ද අතැතිවය. ඉන්පසු ලිවීමේ අපහසුතා පැන නැඟෙන්නට පටන් ගැනිණ. වයස අවුරුදු හතළිහ එළඹෙන්නට පළමුව කතන ආබාධවලටත් මුහුණ දෙන්නට ඔහුට සිදුව තිබිණ. කතනය මුළුමනින්ම නැවතුණේ 1985 වසරේදී ඔහු නියුමෝනියා රෝගයට බිලිවීමත් සමඟයි. එවෙලෙහි ඔහුගේ ශ්වස නාල ද්වාරය ආශ්‍රිත පෙදෙස ශල්‍යකර්මයකට භාජනය කෙරිණ. ඉන් මතු ඔහුගේ හඬ බැහැරට නිකුත්වුණේ කතන චලන, හඬ බවට පත් කෙරෙන “වොයිස් සින්තසයිසරයක්” හරහාය. එහෙත් තමන් පෙළන රෝගී තත්ත්වය ගැන ඔහු දුක් වූ බවක් පෙනෙන්නට නොතිබිණ. ඒ ගැන කිසිවක් සඳහන් කරන්නට වුව ඔහු ඉදිරිපත් වූයේ ඉතාමත් කලාතුරකිනි.

වෛද්‍යවරුන් අවුරුදු දෙකකට ලන්සු තබා තිබුණු ජීවිත ගමන වසර පනස් හතරක් දක්වා දීර්ඝ වීම ඔහුට දෛවයෙන් ලබුණු අසිරිමත්ම තිළිණය වූයේය. ඒ පනස් හතර වසර තුළ ඔහු දෙවරක් විවාහ විය. 1965 දී ස්ටීවන් පළමුවෙන්ම විවාහ වූයේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය වූ ජේන් වයිල්ඩේ සමඟයි. ජේන් ඔහුට මුණගැසුණේ ඔහු රෝගීබවට පත්වන්නට පළමුවය.

තිස් අවුරුදු විවාහ දිවිය 1995දී දික්කසාදයෙන් කෙළවර වන විට ඔවුහූ දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ දෙමව්පියෝ වී සිටියහ. 1995දී ස්ටීවන් හොව්කින් දෙවනුව විවාහ වූයේ ඔහුට උපස්ථාන කළ හෙදියක සමඟයි. එලයිනේ මාසන් නම් වූ ඇයත් ඔහුත් අතර විවාහය 2006 වසරේදී දික්කසාදයකින් නිමා විය.

දෛවය ඔහුගෙන් බොහෝ දේ උදුරාගත්තේය; තවත් බොහෝ දේ ඒ දෛවයම ඔහුට තිළිණ කළේය.

ඒ බාධකද ආශ්චර්යයන්ද මධ්‍යයයේ රෝද පුටුවකට කේන්ද්‍ර වුණු ශරීරය වත්තන් කරගෙන අතිශය සීමාන්තික චලන සමූහයක් එහා මෙහා කරමින් හෙතෙම ලෝකයට සැබෑවටම අරුතක් එක් කළේය. ඒ යුතුකම ඔහු ලෝකයට ඉටු කළේ රෝද පුටුව මත හිඳගෙන සිටියදී වුව පසෙකට කඩා වැටෙන හිසෙනි; තමන්ගේ පාලනයෙන් තොර මුඛයෙන් ඇතැම් විට වැගිරෙන ඛේටය නිසා කරදර විඳිමිනි.

අපට ජීවත් වන්නට ඔහු තරම් අනුප්‍රාණය දුන් මිනිසකු මේ යුගයේ තවත් ඇත්ද?.

ගැලීලියෝ ගැලීලිගේ මරණයෙන් හරියටම තුන් සියක් වසරක් පිරෙන දා උපත ලද ස්ටීවන් හොව්කින්ග් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ උපත සිදුවුණු මාර්තු 14වැනිදා අප හැර ගියේය.

ජීවත් වුණු හැත්තෑ හය වසරක කාලයේදී ඔහු ලෝකයට ඉතිරි කළ දේ බොහෝමය. ඒ නිසා ඔහු අපේ යුගයේ ගැලීලියෝ ගැලීලි ලෙස හඳුන්වන්න ද එහෙමත් නැත්නම් අපේ යුගයේ ඇල්බර්ට් අයින්ස්ටයින් ලෙස හඳුන්වන්න ද කියා නොහැඟේ.





උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »