මුහුද සංවර වෙද්දී තල්මස් සැණකෙළි ඩොල්ෆින්නු රෑන් පිටින්

2018-03-15 12:00:00       113
feature-top
තල්මසා වැඩියෙන්ම කැමැති කූනිස්සන් ආහාරයට ගන්නයි. දිනකට කූනිස්සන් ටොන් තුනක් හතරක් සොයා මුහුදු පතුල කලඹන්නේ ඒ නිසයි.

රල එක පිට එක නැග එයි. එකිනෙකට හැප්පෙයි. විරුද්ධ දිශාවේ සිට නැග ආ විසල් රලකට හසු වෙයි. ඇඹරෙයි, සුසුම්ලයි, වැලපෙයි, ඉකිබිඳියි, සිනාසෙයි. රකුසු වෙස් ගනියි. විටෙක ශාන්ත වෙයි.

නාවික හමුදා බෝට්ටුවේ ඉදිරි පස ඇඳි මතට හේත්තු වී ඉමක් කොනක් නොපෙනෙන සිතිජ ඉම දෙස බලා සිටිත්ම සිතෙහි ඇදී - මැකී යන සිතුවිලි සමුදාය මේ යැයි නිශ්චිතව අරුත් ගැන්වීමක් කළ නොහැකිය. මන්ද යත් නිසි ඉලක්කයක් ඒ අතරේ හමු නොවීමය. ජීවිතයත් මහ මුහුද වගෙයි. විටෙක කැලඹේ. එතෙකිනුදු නොනැවතී ජිවිත - දේපළ ගිල ගනියි. විටෙක සමාධියකට සම වැදුණාක් මෙන් සන්සුන් වේ.

උදෑසන හයට මිරිස්ස ජැටිය වෙත ගාල්ල සිට පැමිණි නාවික හමුදා යාත්‍රාවට ගොඩ වු අප මේ වන විට මහ මුහුදේ, එනම් ගැඹුරු මුහුදේ කිලෝමීටර් පහකට ආසන්න වු දුරක් ගෙවා අවසන්ය. මේ ගමනේ අපේ ඉලක්කය වී ඇත්තේ මිහිමත දැවැන්තයින් පසු පස හඹා ගොස් ඔවුන් ලුහුබැඳ ගොස් ඒ අයගේ වග තුග ගැන බිඳුවක් විපරම් කිරීමයි.

මේ සඳහා විෂය දැනුම සහ මඟ පෙන්වීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිරිස්ස සමුදීය සංරක්ෂණ ඒකකයද අප හා සමඟ එක්ව සිටීම ගමනේ සාර්ථකත්වයට බොහෝ සේ ඉවහල් විය.

ආන්න වතුර මලක්, මිරිස්සේ වනජීවී මිතුරෙක් බෙරිහන් දෙයි. ඒ හා සමඟම සැමගේ නෙත් ඒ දිශාවට යොමු වුයේ මෙතුවක් දෑස් විඩාබර කළ මහ සයුරේ දැකුම විනා තල්මසකු කෙසේ වෙතත් කුඩා මාළුවෙක් හෝ නෙත නොගැටුණු බැවින්ය. කැලැතෙන දිය වර මත්තෙන් සිහින් දිය මලක් උඩට විසිරීමට පටන් ගෙන ඇති හැඩයි. හූස් හඬින් පිඹුමක්ද ඒ හා සමගම කන වැකේ.

“ඕන්න දැන් ටේල් එක ගහයි” මිතුරු මහානාම කියා කට ගන්නට ලැබුණේ නැත. විසල් මසකුගේ වල්ගයක් ජලයෙන් ඉහළට එසවී යළිත් ක්‍රමානුකූලව දියට පහත් වුයේ එහි ප්‍රමාණය මෙසේ නම් එය හිමි කරු කොතෙක් නම් විසල් වු සිරුරකට හිමි කම් කියන්නකු වේදැයි යන ප්‍රශ්නාර්ථය මා අභිමුව ඉතිරි කරමිනි. ඒ පැනයම අප කණ්ඩායමේ අනෙක් ඇත්තන්ගේ සිත්හි ද ලියැවී ඇති අයුරක් ඔවුන්ගේ දෑස් විස්මයෙන් පුළුල් වී ඇති ආකාරය දුටු මට සිතිණි.

දැන් වැඩය පටන් ගත්තාක් මෙනි. එක් තල්මසකු ටේල් එක ගසා දිය යටට ගියා පමණි. ඒ ආසන්නයේම තවත් තල්මසුන් ජලය විදීමටත්, ඉනික්බිති වරල ගැසීමටත් පටන් ගත්තේ තරගයට මෙනි. අප රැඳී සිටින සීමාවේ සිට හරි කවාකාර වු කිලෝමීටර් එකකට ආසන්න සිමාවේ විනාඩියකදී පමණක් මම එවැනි වු තල්මස් වල්ගා ගැසීම් තුනක් ගණනය කළෙමි.

මේ අපේ මුහුද අවට සිටින තල්මසුන්ය.

“ප්‍රධාන වශයෙන් තල්මසුන් ආකාර දෙකක් සාගරය ආශ්‍රිතව දැක ගන්න හැකියි. ඒ ආකාරයේ වූ වර්ග කිරීමක් සිදු වන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අයගේ ආහාර පුරුදු අනුවයි. එක් කොටසක් සත්ව ප්ලවාංග මත යැපෙන පෙරා බුදින්නන් හැටියට තමන්ගේ ආහාර සොයා මුහුදේ පිහිනමින් යනවා. අනෙක් කොටස ගොදුරු සතුන් සොය සොයා මුහුදේ පිහිනා යනවා. මේ ආකාර දෙකටම තමන්ගේ ආහාර අවශ්‍යතාව පිරිමසා ගත හැකි ආකාරයේ මුඛ පිහිටුමක් සොබාදහමෙන් උරුම වෙලා තියෙනවා.

පෙරා බුදින්නන් බාලීන් වේල්ස් (Baleen Whales) හැටියටත්, මසුන් ගොදුරු කරගන්නන් ටූත් වේල්ස් (Toothed Whales) හැටියටත් හඳුන්වනවා. අපි මේ දැක්කෙත් පෙරා බුදින්නෙක් හැටියට ප්‍රසිද්ධ නිල් තල්මසායි (Blue Whale). එයා තමයි දැනට වාර්තා වෙන මිහිමත දැවැන්තයා. අපේ මුහුදු සීමාවේ හමුවන්නේ ඉන්දියානු නිල් තල්මසුනුයි. මෙයා ප්‍රමාණයෙන් අඩි 60 ක් දක්වා වර්ධනය වෙනවා. නමුත් ලොකුම නිල් තල්මසුන් වාර්තා වෙන්නේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් මුහුදු කලාපන් ආශ්‍රිතවයි. ඒ අය ප්‍රමාණයෙන් අඩි 98 ක් දක්වා වර්ධනය වෙනවා.” මිරිස්ස වනජීවී සමුද්‍රීය ඒකකයට අනුයුක්තව සේවයේ නියුතු වනසත්ව නියාමක මහානාම මහතා අප දෑස් අබිමුව රඟ දෙන නිල් තල්මසුන්ගේ දැකුම අපට විස්තර කළේ තල්මසුන් දැකීමේ අවස්ථාවට සජීවී බවක් එක් කරමිනි.

මිරිස්ස මේ කාලයට තල්මසුන් බලන්න කොහොමත් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම විදෙස් සංචාරකයින්ගේ පුරවරයක් බවට මේ වනවිටත් මිරිස්ස - මාතර අතර වෙරළාශ්‍රිත කලාපය පත් වී හමාරයි. බොහෝ සංචාරකයින් වාර්තා වෙන්නේ උතුරු අර්ධ ගෝලය ආශ්‍රිත රටවලින්. ඒකට හේතුව වෙන්නේ මේ කාලයේදී ඒ අයගේ මාතෘ භූමිවල පවතින අහිතකර වු කාලගුණික තත්ත්වයයි. සීතල අධිකයි. ඒ හින්දා සමකාසන්න උණුසුම් රටවල් මේ අයගේ නවාතැන් බවට පත් වෙනවා. විදෙස් ජාතිකයින් අපේ රට වැනි ආසියාතික බිම්වල තාවකාලිකව පවුල් පිටින් මෙන්ම තනි තනිවත් ඇවිත් නවාතැන් ගන්නවා. හරියට පර්යටනික පක්ෂීන් හා සමානවයි. වෙනස වෙන්නේ සංක්‍රමණයේදී විහඟුන් වීසා නැතිව පියාඹා ඒමත්, විදෙස් ජාතික මානවයන් වීසා ලබා ගෙන අහස් යානයේ ඒමත් කියන සංසිද්ධිය විතරයි. දෙපාර්ශ්වයේම පර්යටනික බලාපොරොත්තුව එකයි.

ඒ වගේම ආගන්තුක කුරුල්ලන් තමන්ගේ රටවල් බලා පෙරළා පියාඹා යද්දී මේ විදෙස් මිනිසුන්ද තම තමන්ගේ රට රාජ්ජයන් වෙත ඇදී යනවා. ඒ වෙද්දී එනම් තමන් පෙරළා තමන්ගේ රටට සමීප වෙන කාලය වෙද්දී පෙර පැවැති අයහපත් කාලගුණික තත්වයන් පහව ඇති බවත් යළිත් ගිම්හානය ළඟා වී ඇති බවත් පර්යටනික කුරුල්ලෝ දන්නවා.

හැමදාමත් මිරිස්ස අවට මුහුදේ අපට තල්මසුන් දැක බලා ගන්න පුළුවන්ද?

“ඇත්තටම මේ කාලය තමයි තල්මසුන් බලන්න මුහුදු යන්න හොඳම කාලය. විශේෂයෙන්ම මහ මුහුද සංවර වෙන කාලය වෙන්නේ මේ කාලයයි. අවුරුද්ද පුරාම තල්මසුන් මේ සාගර කලාපය ආශ්‍රිතව ගැවසෙනවා. ජීවත් වෙනවා. නමුත් සංචාරකයින්ට මේ තල් මසුන් දැක බලා ගන්න හැකි වෙන්නේ මහුද ශාන්ත වෙන මේ කාලයේදීයි. අනෙක් කාලයේදී තල්මසුන් බලනවා තියා ධීවරයින් මුහුදු යන්නේත් ජිවිත අවදානම සහිතවයි. ඒ තරමට මුහුද කැලඹිලි සහිතයි.

නිල් තල්මසාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කූනිස්සන්. ඒකනේ මේ තල් මසුන් මළ පහ කරද්දී රතු පැහැයක් ගන්නේ. දිනකට කූනිස්න් කිලෝග්‍රෑම් 350 ක් - 400 කට ආසන්න ප්‍රමාණයක් ටොන් තුනහමාරක් හෝ හතරක් ගොදුරු කර ගන්න මේ අය රැළ සැදී මුහුදු අභ්‍යන්තරය කලතනවා. දිය වැල් ගලන පැත්තට විරුද්ධ පැත්තෙන් විශාල කට ඇර ගෙන ඉඳලා උදරය පිරුණාම කට වසා ගන්නවා. ඒත් එක්කම බඩින් සිදු කරන තෙරපුමෙන් කුස තුළ ඇති ජලය යළිත් මුඛය හරහා පිටතට යවනවා. එසේ එන ගමනේදී නිල් තල්මසාගේ මුඛයේ උඩ හනුවේ පිහිටා ඇති ගණනින් 300කට ආසන්න පෙරීම් ස්ථර හරහා ජලය ගමන් කරමින් කූනිස්සන්, ශාක ප්ලවාංග ආදිය උඩු හනුවේ පිහිටා ඇති කෙඳි හරහා පෙරී නිල් තල්මසාගේ ආහාර බවට පත් වෙනවා. මේ අය මුහුදු පතුළ පීරා පීරා හොයන්නේ ඒ රසවත් ආහාරයි. බලන්න මේ අපිට පේන වපසරිය ඇතුලේ නිල් තල්මසුන් තුන් දෙනෙක් විතර කෑම හොයමින් මුහුද යටට යනවා. ආයිත් හුස්ම ගන්න උඩට එනවා. මේ මුහුදු සීමාව විශාල තල්මසුන්ගේ හොඳ ගැවසුම් කලාපයක් වෙන්නේ ආහාර වගේම ගැඹුරු මුහුදු කලාපයක්ද වෙන හින්දයි ”

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ වාර්තා වන මුහුදු ක්ෂීරපායින් අතරේ තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මන්ද යත් ඒ සත්ව විශේෂ ප්‍රධාන වශයෙන්ම සංචාරක ව්‍යාපාරය හා සමඟ සෘජුවම බැඳී සිටිති. එක් පාර්ශවයකින් බැලූ කල අවිධිමත් වු සංචාරක ව්‍යාපාරයද මෙම මුහුදු ක්ෂීරපායින්ගේ පැවැත්මට යම් බාධා එල්ල කිරීමේ යම් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. අප රට අවට මුහුදේ වාර්තා වන තල් මසුන් අතරේ සුලභ දැකුමක් සහිත නිල් තල්මසා, වරල් තල්මසා, මොල්ලි තල්මසා, මින්කි තල්මසා, සෙයි තල්මසා සහ මන්ද තල්මසා ප්‍රධාන වෙති.

මහානාම මහතා මිරිස්ස තල්මසුන් නැරැඹීමේ කදිම මුහුදු කලාපයක් බවට පත් වීමේලා බලපා ඇති විද්‍යාත්මක පසුබිම සරල ගැළපුමකින් විස්තර කළේය.

“අපි දන්නවා නිල් තල්මසා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ කූනිස්සන් සහ ශාක ප්ලවාංග මත බව. ඒ ගොදුරු බිම් මිරිස්ස අවටදි නිර්මාණය වෙන්න බලපාන්නේ ගිං ගඟ නිල්වලා ගඟ සහ වලවේ ගඟ කියන ජල ප්‍රභවයන් දකුණු කලාපයෙන් මුහුදට වැටීමයි. ගොඩ බිමේ ඉඳන් කිලෝමීටර් 01 – 03 ත් අතර සීමාව අවසන් වෙත්ම පටන් ගන්නේ ගැඹුරු මුහුදයි. ගංගා දිගේ ගලා ගෙන එන මිරිදිය සාන්ද්‍රණයෙන් වැඩි කරදියත් එක්ක මිශ්‍ර වීමට මහාද්විපික තටකය කියන භූගෝලීය සාධකය බලපානවා. දිය වැල් මේ මහාද්වීපික තටාකයේ වැදී කරදිය සහ මිරිදිය යන දෙක කලවම් වෙනවා. මේ කලාපයට හිරු එළියෙනුත් අඩුවක් නෑ. හිරු රශ්‍මිය හොඳින් පතිත වෙනවා. ශාක ප්ලවාංග සහ කුනිස්සෝ කියන තල්මස් ආහාර මිරිස්ස නමැති ආහාර ගබඩාවේ ඒකරාශී වෙමින් වර්ධනය වීමේ යහපත් පරිසරයක් නිර්මාණය වී තිබීම නිල් තල්මසුන් වැනි වු විසල් ක්ෂිරපායි මසුන්ගේ වැඩි ගැවසීමකට හේතු වී තියෙනවා.

ඒ වගේම මගේ මතයකුත් මෙහිදී ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ මතය ගොඩ නඟන්න මේ දක්වා මිරිස්ස ආශ්‍රිත ප්‍රායෝගික වු අත්දැකීම් සහ නිරීක්ෂණයන්ද ඉවහල් වුණු බවත් සිහිපත් කරන්න ඕනී. අපිට මේ තල්මසුන් නිරීක්ෂණය කරන්න හැකි වෙන්නේ බහුල වශයෙන් මිරිස්ස, දෙවුන්දර හා මාතර අවට මුහුදු කලාපය ආශ්‍රිතවයි. ජාත්‍යන්තර නැව් ගමනා ගමන මාර්ගය පිහිටලා ඇත්තේත් මේ හරහායි. ඒ කියන්නේ ගොඩ බිම සිට කිලෝමීටර් 06 ක් පමණ වන දුරකින්. ඒ හරහා ජපානය, බංගලිදේශය හා මැද පෙරදිග වැනි රටවල් වෙත නැව් ප්‍රවාහනය සිදු වෙනවා. මේ මුහුදු ගමන් මාර්ග සියල්ලක්ම අන්තර්ජාතික නාවික මාර්ග නීතිවලට යටත්. ඒ, ඒ රටවල් බලා යා යුතු ගමන් මාර්ග අනෙක් රටවල්වලින් අතික්‍රමණය වීමක් මෙහිදි සිදු වන්නේ නෑ. නීති අකුරටම පිළිපදිනවා. ඉතින් මේ නැව්වල බඳේ යටි පැත්තේ පිහිටා ඇති පොප්ලර් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් කරදිය සහ මිරිදිය සාන්ද්‍රණයන් එකට මිශ්‍ර වෙනවා කියලයි මම හිතන්නේ. නිරන්තරවම සිදු වෙන මේ ක්‍රියාවලිය හේතුවෙන් සමුද්‍රීය ක්ෂීපායීන්ට හිතකර වු ආහාර බිම් මේ ආශ්‍රිතව ව්‍යාප්ත වීම ආරම්භ වෙනවා. ආහාර සුලභයි කියන්නේ සතුනුත් සුලභයි ”

මහුදු පතුළ කෙතරම් ගැඹුරු වූවත් නිල් තල්මසුන්ට හොඳහුස්මක් ගෙන කිමීදි යළිත් ජලයෙන් ඉහළට ඇවිත් ලබා ගත් හුස්මේ ප්‍රාශ්වාස වාතය පිට කිරීමට ගත වන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණි. තල්මසුන්ට නාස් විවර දෙකක් පිහිටා ඇත. කරමල් නොපිහිටයි. පෙනහළුවලින් හුස්ම ගනියි. දිය යට ගැඹුරේ විනාඩි 08 – 20 ත් අතර කාලයක් රැඳි සිටිය හැකියි. ඉනික්බිති යළිත් හුස්ම ගැනීමට දිය මතු පිටට පැමිණිය යුතුමය. එසේ පැමිණ රඳවා ගෙන සිටි ප්‍රාශ්වාස වාතය හූස් හඩින් විදුම් දිය පහරක් හා සමානව අඩි 23 ක් පමණ දුරක් ඉහළට විද හරියි. යළිත් හුස්මක් ගෙන ගැඹුරු දියට ආහාර සොයා කිමිදීමේදී ඇළයට ගැඹුරට කිඳා බසියි. එවිට තල්මස් වලිගය ජල තලයෙන් ඉහළට එසවෙන්නේ තල්මසාටද නොදැනී නිසඟයෙනි.

ඒ දැකුම බලා ගනු රිසින් දෙස් විදෙස් සංචාරකයින් මඟ බලා හිඳින්නේ නොතින් ආශාවකිනි. ඇතැම්විට එවැනි අවස්ථාවක් උදා වුවහොත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී තල්මස් වළිග කෙළවරට වන්නට එල්ලී සිටින සහජීවනයේ පණිවිඩය අපට කියාදෙන රිමෝරා නමැති මත්ස්‍ය විශේෂය පෙනෙනු ඇත.

තල්මසුන් පමණක් නොව උන් අතරේ ගැවසෙන ඩොල්ෆින් මත්ස්‍යයනුත් මිරිස්ස තල්මස් දැකුම් අතරට එක් කරන්නේ විවිධත්වයකි. විසල් රැළ සැදී මෙන්ම තිදෙනා බැගින් වු ඒකක ලෙසත් තල්මසුන් මුහුදේ පිහිනා යන දසුන සොඳුරුය. තල්මසුන් ලජ්ජාශිලිය. නමුත් ඩොල්ෆිනුන් එසේ නොවේ. විටෙක අප බෝට්ටුවේ රල පහර කපා ගෙන ඉදිරියෙනුත් අප පසුපසිනුත් උන් පැමිණියේ උඩ පනිමිනි. පවුල නමැති සංකල්පය මේ අය අතරත් අපූරුවට දැක ගත හැකිය. මව සහ පියා පිහිනන අතරේ ඩොල්ෆින් පැටවාගේ දාංගලය අපට අපේ කුඩාවුන් සිහිපත් කරවයි. වර්තමානයේදී සමුද්‍රීය ක්ෂිරපායින් සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර වු නැගීමක් මෑත කාලීනව සම්‍රද්‍රීය ක්ෂිරපායින් නැරැඹීමේ විෂයට සමගාමීව සිදු වීම හේතුවෙන්ය.

කෙසේ හෝ මුදල් උපයා ගනිමියි යන චේතනාව පෙරදැරිව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ඇතැමුන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වන සුමුද්‍ර දූෂණය මුහුදු ජීවීන්ට අත් කරන්නේ මහත් ව්‍යසනයකි. ඒ බව වටහා ගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත ක්ෂිරපායි සත්ව විශේෂයන් ලෙස සමුද්‍ර ක්ෂිරපායින් නම් කර ඇත. මුහුදු ක්ෂීරපායින් නැරැඹීමේ කටයුතු විධිමත් කිරීම සඳහා එම පනතේ නියෝගද පනවා ඇත.

මුහුදු ක්ෂිරපායින් නැරඹීම සදහා සංචාරකයින් රැගෙන යන සියලුම යාත්‍රා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නිසි බලපත්‍රයක් ලබා ගත යුතුය. එය වාර්ෂිකව අලුත් කරවා ගත යුතුය. එහිදි යාත්‍රාවේ යෝග්‍යතා සහතිකය, රක්ෂණය, ජීවිතාරක්ෂක ඇදුම් හා උපකරණ සහ පුහුණ ක්‍රියාකරු සහ සහය ක්‍රියාකරුගෙන් යාත්‍රාව පරිපූර්ණ විය යුතුය. එසේම මුහුදු ක්ෂිරපායින් නැරැඹීමේ බලපත්‍රයේ කොන්දේසි අතර මුහුදු ක්ෂිර පායින් දුටුවේ නම් මීටර් 400 සිට වේගය අඩු කර මීටර් 100 සිට එන්ජිම නවතා මුහුදු ක්ෂිරපායින් නැරැඹිය යුතුය. සතුන්ගේ ඉදිරියෙන් හෝ පසුපසින් සතුන් ගමන් කරන දිශාව ගමන් මාවතේ පසුපස සිට මෙහෙය වීම නොකළ යුතුය. සතුන් ආකර්ශනය කර ගැනීමට කෘත්‍රිම ආහාර, ආලෝක, ශබ්ධ තරංග හෝ වෙනත් උපක්‍රම භාවිතා නොකළ යුතුය. මේ සත්වයින්ගේ ආරක්ෂාව සදහා ජාත්‍යන්තර වශයෙන්ද ගත් තීන්දු තීරණ අතර ජාත්‍යන්තර තල්මසුන් කොමිසම විසින් 1970 සිට ඉන්දියානු සාගරය තල්මසුන් සඳහා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

නිවර්තන කලාපයේ පිහිටි ශ්‍රි ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථාන අතරින් එකක් වන බැවින් ශ්‍රී ලාංකේය ජෛව විවිධතවයේ යහපැවැත්මට යම් යම් තර්ජනයන් එල්ල වීම පිළිබදව අවධානය යොමු කළ යුතුව ඇත. මේ සම්පත සුරක්ෂිතව අනාගත පරපුර වෙත දායාද කිරීම ඔබේත් මගේත් සමස්ත අපගේමත් ඒකායන බලාපොරොත්තුව විය යුතුය.

විසල් සිරුරකින් හෙබි වුවත් මේ සතුන්ගේ හිත් අහිංසකය. නිර්ව්‍යාජය. උන්ට අවශ්‍ය වන්නේ නිදහසේ සුව විඳ ගනිමින් ජිවත් වීම පමණකි. ඒ අයිතිය අපි සදා සුරකිමු. පසෙකට වී හිඳ ඔවුන්ගේ සුන්දරත්වය පමණක් විඳ ගනිමු.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »