විවිධ රටවල් ලෝක කාන්තා දිනය සමරන අන්දම

2018-03-09 10:46:00       360
feature-top
මාර්තු 8 ලෝක කාන්තා දිනයේ දී ලෝකයේ සිටින සෑම කාන්තාවගේම කාන්තා අයිතිවාසිකම් සහ ඔවුන්ගේ දේශපාලනික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණ සැමරීම සිදු කරයි. එමෙන් ම ලෝක ඉතිහාසයේ අමතක නොවන සලකුණක් එකතු කළ වීර කාන්තාවන් පිළිබඳ මතකය අවදි කිරීම ද සිදු කරනු ලබයි. ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා සෑම වසරකම සම්මන්ත්‍රණ, රැස්වීම්, රැළි, ප්‍රදර්ශන, උත්සව යනාදී බොහොමයක් පැවැත්වේ. 1975 දී ජාත්යන්තර කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගන්නා ලදී. එදා සිට අද දක්වාත් ඉන් නොනැවතී ඉදිරියටත් ජාත්‍යන්තර කාන්තා දිනයේ දී කාන්තාවන්ගේ අයිතාවාසිකම් සහ ඉල්ලීම් දිනා ගැනීම සඳහා තම උපරිම දායකත්වය දීම ලෝකයේ සෑම කාන්තාවක්ම සිදු කරයි. ලෝකයේ රටවල් කිහිපයක කාන්තා දිනය සැමරීම සිදු කරන අන්දම පහත සඳහන් වේ.

චීනය

චීන නීතියට අනුව, දිනකින් භාගයක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා හිමිකම් ලැබේ. ඒ වුව ද කාන්තා දිනයේ දී චීනයේ සාප්පු සංකීර්ණ සහ අන්තර්ජාල වෙළෙඳ සේවාවන්හි කාන්තා ඇඳුම්, පාවහන් සහ නොයෙක් මාදිලියේ කාන්තා ආභරණ සහ විලාසිතාවන් ප්‍රදර්ශන පැවැත්වේ. තව ද විවිධ වට්ටම් ලබා දීම මඟින් කාන්තාවන්ට අත්‍යවශ්‍ය දෑ මිල දී ගැනීමේ පහසුව ලබා දීමට වෙළෙඳුන් කටයුතු කිරීම චීනයේ කාන්තා දිනයේ දී සිදු කරන විශේෂ සිද්ධියකි.

එක් වරෙක චීන කාන්තාවක් වන ලී මයිසි, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් චීන නගරවල පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික හිංසනය සම්බන්ධ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධිය යටතේ මාස දෙකක කාලයක් පොලිස් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඇය ලන්ඩනයේ දී මහජනතාව අමතා චීනයේ පොදු ප්‍රවාහන සේවාවල සිදුවන කාන්තා හිංසනයන් පිළිබඳව වැඩිදුර කථා බහ කළාය. අවසානයේ දී ඇගේ ප්‍රකාශයන් තුළින් රාජ්‍ය නොවන සංවිධානවල නිරීක්ෂණයන් ද සිදු වී චීන කාන්තාවන්ගේ අනාගතය සඳහා යම් තරමක ප්‍රගතිශීලීභාවයක් අත්පත් කර ගැනීමට ඇය සමත් වූවාය.

ජපානය

කාන්තා දිනයේ දී ජපානයේ ටෝකියෝ නුවර කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය පිළිබඳව රැස්වීම් පවත්වනු ලබයි. පසුගිය වසරේ ජපානයේ අගමැති ෂින්සෝ අබේගේ මැදිහත් වීම මඟින් ජපානයේ ස්ත්‍රී ශ්‍රම බලකාය ඉහළ නැංවීමට සියලු කටයුතු සම්පාදනය කළේ ය. ලිංගිකත්වය විසින් ස්ත්‍රී පුරුෂභාවය දුර්වල කර ඇති අතර ඉන් කාන්තාවන් නිරතුරුවම ඌන සේවා නියුක්තව සිටින පිරිසක් බවට පත් වී තිබේ. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි වශයෙන් සිදුවන රටවල් 193 අතුරින් ජපානයට හිමි වන්නේ 163 වන ස්ථානය වේ.

පෝලන්තය

ජාත්‍යන්තර කාන්තා දිනයේ දී පෝලන්තයේ නගර 80 කට වඩා වැඩි පිරිසක ජනතාව විසින් අතිරේක පෙලපාළි පැවැත්වීම සිදු කරයි. විශේෂයෙන්ම ගබ්සාව සහ කාන්තාවන්ට සිදු වන අනේකවිධ අතවර පිළිබඳව තීන්දු තීරණවලට එළැඹීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීම එහිදී සිදු වේ. නීතී රීතී ක්‍රියා පටිපාටින්ට අනුකූලව ගබ්සාව මුළුමනින්ම තුරන් කිරීම සඳහා පෝලන්ත රජය විසින් අනුමැතිය ලබා ගැනීමට ද හැකි වී ඇත්තේ පසුගිය වසරක ජාත්‍යන්තර කාන්තා දිනයේ දී පැවැත්වූ රැස්වීම් හේතුවෙන් වීම විශේෂත්වයකි.

ලෙබනනය

ලෙබනනයේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සිදු කරනු ලබන්නේ කාත්තා අයිතිවාසිකම් සහ ඉල්ලීම් දිනා ගැනීම මුලික කරගෙනය.

එහි දී ලෙබනන් පාර්ලිමේන්තුව තුළ දේශපාලන නියෝජනයක් නොමැතිකම ප්‍රධානතම ගැටලුව වී තිබේ. ලෙබනන් මවුවරුන් විදේශිකයෙකු හා විවාහ වීමෙන් තම දරුවන්ට පුරවැසිභාවය ලබා ගැනීමට පසුබට වුවහොත් ඔවුන්ට සිදුවන ගෘහස්ථ හිංසනයන් සහ අතවරයන්ට එරෙහිව දඩුවම් ලබා දිය යුතු පුද්ගලයාට දඬුවම් නොදෙයි. වර්තමානයේදීත් මෙම තත්ත්වයට ලෙබනන් කාන්තාවන් බොහෝ දෙනා මුහුණ දෙති.

ඉන්දියාව

මෙදින ඉන්දියාවේ නව දිල්ලි නගරයේ දී කාන්තා කණ්ඩායම් 30ක් විසින් කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා ඉල්ලීම් දිනා ගැනීම සඳහා පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම සිදු කරයි. විශේෂයෙන්ම 2012 වර්ෂයේ දී දුෂණයට ලක්ව මරණයට පත් වු ජියොටි සිං නමැති වෛද්‍ය ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කාන්තාවෝ තම කාලය කැප කරති. සංස්කෘතියට උපරිම වටිනාකමක් දෙනු ලබන ඉන්දියාවෙහි මෙවැනි කාන්තා අපචාර සහ අනේකවිද හිංසනයන් මුළුමනින්ම තුරන් කිරීම කාන්තාවන්ගේ එක් බලාපොරොත්තුවක් බවට පත් වී තිබේ.එවැනි විපතක් තවත් කෙනෙකුට සිදු නොවේවා යන සිතුවිල්ල පෙරදැරි කර ගනිමින් සෑම ඉන්දීය කාන්තාවක්ම තමන්ට හැකි පමණින් කාන්තාවන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා රැස්වේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »