ගිනස් වාර්තා පිට වාර්තා තබන හඟු­ර­න්කෙත ජානක

2018-03-08 11:22:00       219
feature-top
විනාඩියකදි මිලි මීටර් 12ක් ඝනකම ග්‍රෑරෑම් නමසියයක් බර සෙ.මීටර් 100ක් දිග කම්බි 18ක් හස උපයෝගී කරගෙන නැමිය හැකියැයි ඔබ සිතනවාද? ඇතැම්විට එසේ කිරීම අපට එය සදාතනික සිහිනයක්ම නේද? එහෙත් එවැනි ක්‍රියාවක් යථාර්ථයක් කළ ජවසම්පන්න තරුණයකු අපේ රටේ සිටිනවා.ඔහු ජනක කාංචන මුදන්නායක. ගිනස් වාර්තාලාභී ජනක අප සමග කළ කතා බහයි මේ.
2020 දී ලෝකයේ ශක්ති­මත්ම මිනිසා   
තර­ග­යට යෑම මගේ බලා­පො­රො­ත්තු­වයි

*පසුගිය දිනවල ඔබ අපේ රටේ කතාබහට ලක්වූ සුවිශේෂී චරිතයක් වුණා. මුලින්ම ඒ ගැන මතකය අවදි කරමු.

ආමේනියානු ජාතික ආමෙන් අඩ්‍රොන්ස් තැබු විනාඩියකට කම්බි 18ක් නවා තැබු ලෝක වාර්තාව බිඳ හෙළීම නිසයි පසුගිය කාලයේ මා ගැන කතාකළේ. ඒ මිලි මීටර් 12ක් ඝනකම, ග්‍රෑම් 900ක් බර සෙන්ටි මීටර් 100ක් දිග කම්බි 22ක් තත්පර 48කදි ඔළුවෙන් නවා මම එම වාර්තාව පිහිටෙව්වා.එය පැවැත්වුණේ නුවර නාගරික රථගාලේදි .

*එම අවස්ථාවේ තවත් වාර්තා හතරක් තබන බවට ඔබ අනාවැකි පලකළා..

ඔව්. මේ වසරේ අ‍ගෝස්තු වන විට නැවක් දත්වලින් ඇද ලෝක වාර්තාවක් තැබීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයට අමතරව කෝච්චිය, ප්ලේන් එක සහ ටොන් 20ක් බර බස් එකක් මීටර් 30ක් දුර ඇදීමට බලාපොරොත්තු වෙනවා. එම වාර්තා පිහිටුවීමෙන් පසු අඩි 60ක් උඩ සිට කිලෝ ග්‍රෑම් 50ක් බර අයිස් කුට්ටි 50ක් ඇඟ මතට දැමීමත්, මීටර් 30ක් දුර ටොන් එකක් බර වෑන් එකක් තත්පර 14කින් ඇදගෙන දිවීම ආදි වාර්තා 14ක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

*මෙයට පෙරත් ඔබ ගිනස් වාර්තා කිහිපයක්ම තැබුවා.

ඔව්. ඒ ටොන් එකහමාරක් බර එල්.300වර්ගයේ වෑන් රථ 32ක් අතැඟිලි මතින් ධාවනය කිරීම, විනාඩියක් තුළදී මිලි මීටර් 12ක් ඝනකම යකඩ කම්බි 18ක් දත්වලින් ඇදීම, කිලෝ ග්‍රෑරෑම් පණහක් බර පිටි බෑග් 17ක් මීටර් 30ක් දුරට දත්වලින් ඔසවාගෙන යෑම.

* ජනක කොහොමද මෙවැනි ත්‍රාසජනක අද්දැකීම්වලට මුහුණ දෙන්නේ.ජීවිතය ගැන බියක් දැනෙන්නේ නැද්ද?

මේ හැම රෙකෝඩ් එකක්ම තබන්නට පෙර මම පෙරපුහුණුවීම් කරනවා. මෙම කම්බි රෙකෝඩ් එ‍ක තබන්න කලින් අට සැරයක් පුහුණුවීම් කළා. එම සෑම අවස්ථාවකදීම විනාඩියකදි කම්බි 22යි නැමුවේ. එහෙත් වාර්තාව තබන අවස්ථාවේ කම්බි 22නැමීමට තත්පර හතළිස් අටයි ගියේ.විනාඩියම ගත්තානම් තවත් කම්බි පහක් විතර නවන්න තිබුණා.මුල් හරියෙදි මට හිතුන වාර්තාව තියන්න බැරිවෙයි කියා. එහෙත් අවසාන තත්පර කිහිපයේදි මට යකා වැහුණා . මාර ශක්තියක් ආවා.හරියට උන්නත් එකයි මළත් එකයි වගේ හැඟීමක්. ඒ වෙලාවට බය කියන දේ අහලකට වත් එන්නෙ නෑ.

*ඔබේ තාත්තා වසන්ත ගිනස් වාර්තා ලාභියෙක්..

ඔව්. තාත්තා හඟුරන්කෙත ගාමිණි වසන්ත.ඔහු තමයි මගේ මුල් ගුරුතුමා. තාත්තා අද ජීවතුන් අතර නැහැ.ඔහු ගිනස් රෙකෝඩ් කිහිපයක්ම තැබුවා. ඒවායින් කෝච්චිය කටින් ඇදීම, අයිස් කුට්ටි කැඩීම, කිලෝ ග්‍රෑරෑම් පණහක් බර හාල් බෑග් පණහක් මීටර් සියයක් කටින් ඇදීම එම වාර්තා. එම වාර්තා වෙනත් රටවලින් බිඳ හෙලා තිබෙනවා. කම්බි 50ක් අඩුම කාලයකදි දත්වලින් අල්ලා නැමීමේ තාත්තා තැබූ වාර්තාව තවම කඩා නැහැ.මගේ උත්සාහයක් තිබෙනවා තාත්තාගේ වාර්තා අලුත් කිරීමට.

*මෙවැනි වාර්තා තැබීමට විශාල මුදලක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට අතහිත දෙන්නේ කවුද?

පසුගිය කාලයේ තැබූ වාර්තාවට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු පළාත් සභාවේ කාර්ය මණ්ඩලය සහාය දැක්වුවා. අමාත්‍ය මහින්ද සමරසිංහ, එස් බී. දිසානායක,නාරද දිසානායක මහත්වරු සහ මා රැකියාව කරන වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දසනායක මහතා ඇතුළු සහෝදර සේවක සේවිකාවන්ද උදවු උපකාර කරනවා.ඔවුන් මට රාජකාරි වගකීම්වලින් මුදාහැර තිබෙනවා ක්‍රීඩා කටයුතු වෙනු‍වන්.

*මෙවැනි බිහිසුණු දේවල් කරනවාට ගෙදර අය කැමැතිද?

මගේ අම්මා තැපැල් දෙපාර්තමේන්තුවෙ තැපැල් ස්ථානාධිපතිවරියක ලෙස සේවයකර දැනට විශ්‍රාමිකයි. ඇයට මෙවැනි භයානක වැඩ පුරුදුයි. මොකද මගේ තාත්තත් ගිනස් වාර්තා පිහිටවු නිසා. මල්ලි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමාකර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නංගි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැකියාව කරනවා. බිරිඳ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. ඇය නම් බයයි ම‍ම මේ වගේ වැඩ කරනවට.මගේ එකම පුතාට වයස අවුරුදු පහයි.

*ජනක ශාරීරික සුවතාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවාද?

මගේ උස අඩි පහයි අඟල් එකොළහයි. බර කිලෝ අනූ අටයි. කෑම බීම ගැනීමේදි විශේෂයක් නැහැ. මගේ පුහුණුකරු අනිල් හර්ෂණ සෑම විටම මගේ ශරීරය මනාව පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. දිනකට පැය හයක් ව්‍යායාම් කරනවා.ඔහුගේ අනු දැනීම නැතිව මම යකඩ කෑල්ලක්වත් උස්සන්නේ නැහැ.
 
* ගිනස් වාර්තා තියන ඔබ මේ දිනවල රියැලිටි වැඩසටහනකත් දකින්න ලැබෙනවා.

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඉදිරිපත්කරන යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ අවසාන දස දෙනා අතරට පැමිණියා. මාර්තු 10 අවසන් තරගය පැවැත්වෙනවා. ජයග්‍රහණය ලැබේවියැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා එස්. එම්. එස් මනාපය තමයි අවශ්‍ය වෙන්නේ.තවත් දෙයක් කියන්න තියෙනවා මගේ නම කියා ගත්ත එක්තරා පුද්ගලයෙක් බස්රථවල සිගමන් යදිනවා. රැවටෙන්න එපා ඔහුට. සල්ලි දෙන්න යන්න එපා. එහෙම කෙනෙක් දැක්කොත් පොලීසියට භාරදෙන්න.

*අපේ රටේ ශක්ති සම්පන්න මිනිසකු වු ඔබට සමාජය වෙනුවෙන් යම් මෙහෙවරක් කළ හැකියි. ඒ සඳහා ඔබගෙන් යම්කිසි මෙහෙවරක් සිදුවෙනවාද?

මම දැනටමත් මධ්‍යම පළාතේ පාසල් සිසුන්ගේ මානසික කායික වර්ධනය ඇති කිරීම සඳහා වැඩමුළු පවත්වනවා.එයට අමතරව ක්‍රීඩා උත්සව සඳහා සහභාගි වෙනවා. 2020දි ලෝකයේ ශක්තිමත්ම මිනිසා තෝරන තරගයට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »