නොකා නොබී දරු රකිනා වැලහින්න

2018-03-07 10:38:00       530
feature-top
දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් ගැහැනු සත්තු සිවු දෙනෙක් සිටිති. එහෙත් උන්ට නම් මවු සෙනෙහේ අරුමය විඳින්නට වරම් නැත්තේය. එයට හේතුව දෙහිවල සත්ව උද්‍යානයට පිරිමි ජිරාෆ් සතෙකු නැති අඩුවය. ජිරාෆ් ලා නොමැති තැන සතුන් වත්තේද පිබිදීමක් නැතිබව බලධාරීහුද තේරුම් ගෙන සිටිති. එනිසාම පිරිමි ජිරාෆ් සතෙකු ළඟදීම ගුවනින් මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇත්තේය.

මීට පෙර දෙහිවල සත්ත්ව උද්‍යානයේ සත්ත්ව අභිජනන වැඩ සටහන යටතේ ජිරාෆ් සතුන් සාර්ථකව අභිජනනය කළද පසුකාලීනව එය නතර වී ගියේ එහි සිටි එකම පිරිමි සතා මිය යාම නිසා ය. ළඟදීම ලංකාවට එන මේ ජිරාෆයාද ලැබෙනුයේ මීට පෙර අපේ රටින් ලබාදුන් ඇත් පැටවුන් වෙනුවෙන් හුවමාරුවටය. ජිරාෆයා ලෙහෙසියෙන් ගෙන ආ හැකි සතකු නොවන්නේ ඌ උසෙන් අන් සතුන් අභිභවන නිසාය. ඒ නිසා ජිරාෆ් ලංකාවට ගෙන ඒමට සිදුව ඇත්තේ ඒ සඳහාම වෙන්වූ බෝයිං 777 වර්ගයේ ගුවන් යානයකිනි. රටකින් රටකට සත්ත්ව ප්‍රවාහනයෙදී බලපාන IATA නමින් යුතු නීති පද්ධතියක් ඇත්තේ ය. මේ නිසා ජිරාෆ් ගෙන ඒමේදි ඒ සඳහා පූර්ව සූදානමක් තිබිය යුතුය. ප්‍රවාහනයට පෙර ශරීර නිරෝගිතාව වැනි කරුණුවලින් මේ සතා පෙහොසත් විය යුතුය. ජිරාෆ් ගුවන් ගත කරන්නේ ඒ සතාටම වෙන්වු ගුවන් යානයක ඌටම වෙන්වූ කූඩුවකය. ඒ අනවශ්‍ය කලබල වීම වැළැක්විමටය. මේ කූඩුවට නැගීමට බැසීමට මාස කිහිපයක පෙර සිටම මේ සතා සූදානම් විය යුත්තේ ගුවන්ගත වීමේ ආරක්ෂක පියවරක් වශයෙනි.

මවකට දරුවෙකු අහිමි වු විට ඇය හඬා වැලපෙන්නේ වැලහින්නක සේයැයි අපේ ව්‍යවහාරයේ ඇත්තේය. කටවචනයකට පමණක් සීමා නොවූ මේ අපූරු උපමාවේ යථාර්ථය මේ දිනවල සත්ත්ව උද්‍යානයේ සැරි සරන්නන්ට අපූරුවට දැක ගත හැකි වන්නේය. ඒ දෙහිවල සත්ත්ව උද්‍යානයේ වලස් කූඩුවෙනි.

වැලහින්නට ඇත්තේ නිමා නොවන දාරක ප්‍රේමයකි. දරුවෙකු ලැබුණු පසුව වැලහින්නට කුසගින්දර දැනෙන්නේ නැත. ඒ දිනක් දෙකක් නොව සතියක් හමාරක් නොව මාස ගණනක් බඩ ගින්දර නොදැනෙන්නේ කුසෙන් වැදූ පැටියාට ඇති මවු සෙනෙහස නිසාය. වැලහින්නකගේ මෙම මාතෘ ප්‍රේමය විටක අමරණීය වන්නේ මනසින් පිරිපුන් මිනිසුන් තුළ පවා නොමැති සෙනෙහසක් උ‍න් වෙත ඇති හෙයිනි.

“දෙහිවල සත්ත්ව උද්‍යානයේ සත්ත්ව අභිජනනය යටතේ මේ වැලහින්නට පැටියා ලැබුණේ ගිය අවුරුද්දේ අප්‍රේල් 10 වැනිදා. මේ වන විට අවුරුද්දක් ගිහිනුත් මේ අම්මත් පැටියත් තවමත් ඉන්නේ කූඩුවේ ඉපදුණු තැනමයි. වැලහින්න පැටියෙකු ලැබුණු පසුව හරීම වෙනස්. පුදුම විදිහෙ දරු සෙනෙහසක් තියෙන්නේ. වැලහින්නක් පැටියා ඉපදිලා මාස එකහමාරක් දෙකක් යනකම් කිසිම ආහාරයක් ගන්නේ නැහැ. අපි කොච්චර ආහාර දෙන්න උත්සාහ කළත් ඌ වතුර විතරයි බොන්න එන්නේ. කිසිම ආහාරයක් නොගෙන නිරාහාරව පැටියා ළඟට වෙලා ගුලිවෙලා පැටියා ආරක්ෂා කරනවා. මේ නිසා මේ කාලය වන විට වලස් අම්මාගේ බර වගේම ශරීර සෞඛ්‍යයත් සෑහෙන්න අඩු වෙනවා. මේ අම්මා ගොඩාක් ජීවිත අවදානමෙන් පෙළෙනවා. පැටියා ලැබුණ පසු වැලහින්න හරීම ප්‍රචණ්ඩයි. පිරිමි සතාගෙන් පැටවුන්ට හානි වෙන්න පුළුවන් නිසා පිරිමි සතාට ළඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ගැහැනු සතා පිරිමි සතාවත් ප්‍රතික්ශේප කරනවා. පැටියට මාස තුනක් තුනහමාරක් ගියහම පැටියා පිටේ තියාගෙනයි අම්මා හැම තැනම යන්නේ. පැටියාට කිසිම කරදරයක් නොවී පිට උඩ තියාගෙන යන්න හැකි වන විදිහට මේ කාලයේදී වලස් මවගේ පිටේ රෝම සකස් වෙනවා.”දෙහිවල සත්ත්ව උද්‍යානයේ සහකාර පාලක පාලිත පෙරේරා වලස් මවු සෙනෙහස ගැන අපට විස්තර කළේය.

මේ පුංචි අක්කර කිහිපයක භූමි භාගයෙන් අපට ගතහැකි බොහෝ දේ තිබේ. සත්ත්ව උද්‍යානයේ සතුන්ගේ මවු සෙනෙහසට වැට මායිම් නැත. මොවුන් කිසිදා ආදරයක් සෙනෙහසක් භුක්ති නොවින්දද දරු පැටවුන්ට උපරිමයෙන් සෙනෙහස දැක්වීම උරුමයෙන්ම පැමිණියාක් සේය.

බ්ලැක් රයිනෝවකගේ උත්පත්තිය සත්ත්ව උද්‍යානයකට අතිශයින් දුර්ලභ සිදුවීමකි. දෙහිවල සත්ත්ව උද්‍යාන බලධාරීන්ද පසුගිය කාලය පුරාම මහත් වෙහෙසක් ගත්තේ පුංචි බ්ලැක් රයිනෝ පැටවකුගේ මුහුණ බලන්නටය. මන්ද මෙම සතුන් විශේෂය මේ වන විට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති නිසා ආරක්ෂා කරගැනීමේ වගකීමක් සත්ත්ව උද්‍යානයකට ඇති නිසාය. එසේම මෙවැනි සතුන් සත්ත්ව හුවමාරු වැඩ සටහන යටතේ ගෙන්වන්නේ නම් ඒ සඳහා යන වියදමද අධිකය. කෙසේ වෙතත් දිවා රෑ නොනිදා ගත් උත්සාහයේ සාර්ථක ප්‍රතිපලයක් ලෙස සත්ව උද්‍යාන බලධාරීන්ට බ්ලැක් රයිනෝ පැටවකුගේ මුහුණ දකින්නට හැකිවීම සුවිශේෂය.

“ඊස්ටන් බ්ලැක් රයිනෝ කියන්නේ ගොඩාක්ම වඳවීමේ තර්ජනයට ලක්වූ සතෙක්. ඒත් මේ සතා අපේ සත්ත්ව උද්‍යානයේ ඉතා හොඳින් අභිජනනය වුණා. දැන් මේ රයිනෝ ජෝඩුවට ගැහැනු පැටියෙක් ඉන්නවා. බ්ලැක් රයිනෝ අභිජනනය කිරීම හරිම අපහසු කටයුත්තක්. මොකද මේ සතුන් දෙදෙනා හරීම දරුණුයි. ඒ වගේම අභිජනන කාර්යයේදි මෙයින් පිරිමි සතා ගොඩාක් දරුණු වෙනවා. ගැහුනු සතා අමාරුවෙන් ගැබ් ගත් පසු පිරිමි සතා නිතරම ගැහැනු සතාට හිංසා කරන්න උත්සහ ගන්නවා. මේ නිසා අපේ කාර්යය වුණේ ගැබ් ගත් පසු මේ දෙන්නා වෙන්කිරිමයි. සමහර විට ජල තුවක්කු වගේ සතුන්ට හානිකර නොවන බය කරන උපකරණ යොදාගෙන ගැහැනු සතා ආරක්ෂා කරන්න සිදු වෙනවා. බ්ලැක් රයිනෝ කෙනෙක් අභිජනනය වෙනවා කියන්නේ සත්ත්ව උද්‍යානයකට අතිශය සුවිශේෂි දුලබ අවස්ථාවක්. මේ සඳහා මුළු සත්ත්ව උද්‍යානයම ඒ වන විට සූදානම් වෙන්නේ බ්ලැක් රයිනෝගේ අභිජනන කාර්යයට. පැටියා ඉපදිලා සෑහෙන කලක් යනකම් අපේ කණ්ඩායමක් දිවා රෑ මේ සතුන් නිරීක්ෂණය කරනවා.” එසේ පැවැසූයේ දෙහිවල සත්ත්ව උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනූෂා මානවඩු මහත්මියයි.

විශාලත්වයෙන් යුතු අලංකාරත්වයෙන් අනූන මැකෝ ගිරවා අපේ රටට ආගන්තුකයකු නොවූවත් මේ කුරුලු විශේෂය ඉතා හොඳින් දෙහිවල සත්ත්ව උද්‍යානයේදි අභිජනනය වී ඇත. සාමාන්‍යයෙන් කූඩු තුළ ජිවත්වන මේ කුරුලු විශේෂයට අභිජනන කාර්යය කිරීමට විශේෂිත වර්ගයේ කූඩුවක් ඇවැසි වේ. අභිජනන කාර්යයේදි මේ කූඩු තුළ කොටුවන මැකෝ ජෝඩුව අවසානයෙන් කූඩුවෙන් පිටතට යන්නේ පැටවුන් හොඳින් උස් මහත් වූ පසුවය. තම පැටවුන් ළඟ සිටිනතාක් මොවුන් නැවතත් පැටවුන් දමන්නට නොපෙලඹෙන්නේ පැටවුන්ට ආරක්ෂාව ලබාදිය යුතු නිසා ය.

“ මේ මැකෝ වර්ගයේ කුරුල්ලන් බිත්තර දාන්නේ ඔවුන්ට විශේෂයෙන් තැනූ මේ කූඩුවල. බිත්තරවලින් පැටවුන් බිහිවෙන්න දින 28 ක් 30 ක් විතර යනවා. පැටවුන් ආරක්ෂා කරන්න අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට කූඩුවේඉන්නවා. මාස 4 ක් 5 ක් යන විට පැටවුන් මේ කූඩුවෙන් ඉවත් කළ යුතුයි. නැතිනම් කුරුලු පැටවුන් ඉන්නකම් මේ අම්මයි තාත්තයි නැවතත් පැටවුන් දාන්න උත්සහ කරන්නේ නැහැ. මේ සතුන් හරීම හීලැයි. ආගන්තුකයකු කූඩුව ළඟට එනවානම් මේ සතුන් හරිම අවධානයෙන් ඉන්නේ. පැටවුන් ලැබෙන්න ඉන්න කාලෙදි මේ මැකෝ ගිරවුන්ගේ පෝෂණය ගැන අපි බලන්න ඕන. විටමින් හා චීස් වගේ ආහාර නිතර නිතර දිය යුතුයි. නැතිනම් අභිජනන ක්‍රියාවලිය කාර්යක්ෂම නොවෙන්න පුළුවන්.” මැකෝ ගිරවුන්ගේ භාරකරු ලෙස කටයුතු කරන අසංග පුනාන්දු පවසයි.

මේ වන විට දෙහිවල සත්ත්ව උද්‍යානයේ අපේ රටට පරිසරයට මෙන්ම දේශගුණයට ආගන්තුක වඳවී යන යන සත්ව විශේෂ බොහොමයක් අභිජනනය කර ඇත්තේ ය. බන්දුල පෙතියා නැමැති මාළු විශේෂය, ගැටහොඹු කටුස්සා, උරුලෑ විශේෂ මෙන්ම කබැල්ලාවන්ද ගහනයන් සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා අභිජනනයෙන් බිහිකළ සතුන් අපේ රක්ෂිතවලට මුදා හැර ඇත. මේ අභිජනන කටයුතු ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් බොහෝ දුරස්ව සිදුවුණද උන්ගේ දරු සෙනෙහසේ නම් වෙනසක් නැතිය.

පැටවුන්ට අසීමිතව ආදරය කිරීම පමණක් නොව අසීමිතව ආරක්ෂා කිරීමට මේ සතුන්ට කිසිවකු ඉගැන්වූයේ නැත. ඔරං ඔටන්, සිංහ ධේනුව, වැලහින්න මෙන්ම මැකෝ ගිරවුන්ද ස්වභාව ධර්මයාට කියා දුන්නේ ඒ අගනා පාඩමය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »