කහ ගංගාව සුදු කළ හංස සේනා

2018-03-06 11:37:00       528
feature-top
මේ පක්ෂී පර්යටනික සමයයි. සීය දෙසීය නොව විසිදාහකට තිස්දාහකට ආසන්න සුදු හංස සේනාවක්ම ගං තීරය ආක්‍රමණය කර අවසන්ය. හරියට කිරි ගංගාවක් ගැලුවාක් හා සමානය. කාලයක් පුරා කහ ගංගාව (මවු ගංගාව) නමින් හැඳින් වු මේ ජල ප්‍රභවය මේ හංස සේනාව නිසා පෙනෙන්නේ කිරි ගංගාවක් මෙනැයි මට හැඟේ. සැබැවින්ම හංසයින් විසල් රංචු ලෙස ගැවසෙන කිරි ගංගා ඇත්තේ කොහේද? අපේ රටේ නම් විය නොහැකිය. මවු ගංගාවත් එහි සැරි සරන සුදු හංසයිනුත් පිළිබඳ මේ කතාව අප ඇසුවේ චීනය බලා ගිය අප පරිසර කණ්ඩායමක් වෙතිනි. චීනයට ගිය ඒ ගමනේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය හිමි වුණේ ටික දෙනෙකුටය. පරිසරය පිළිබඳ හසළ දැනුමක් ඇති මේ සොඳුරු මිනිසුන් තමන් විදේශීය රටකදී ලබා ගත් ඒ අත්දැකීම් සම්භාරය අපේ රටට ගළපමින් ඉදිරියේදී සොබාදහමේ සුරක්ෂිතාවය වෙනුවෙන් භාවිතයට ගැනීමට නියමිතය.

“අපට මේ මහඟු අවස්ථාව ලැබුණේ පරිසරයට ආදරය කරන්න පුංචි සන්දියේ ඉඳලම තිබුණු පුරුද්ද නිසයි. ඒ පුරුද්දම අපට වෘත්තියේ මේ තාක් දුරක් එන්න මහෝපකාරී වුණා.”

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී ඡායාරූප ශිල්පී රෝහිත ගුණවර්ධන මහතා අප හා කථාවට එක් විය.

“Mother River - මවු ගඟ නැතිනම් කහ ගංගාව පිහිටලා තියෙන්නේ චීනයේ Swan City හැටියට හඳුන්වන හංස නගරයේයි. ඒ නගරයට වාර්ෂිකව පර්යටනික කුරුලු සමයේදී සුදු හංසයින් විශාල වශයෙන් සංක්‍රමණය වෙනවා. මේ හංසයින්ගේ නිජ බිම සයිබීරියාවයි. ඒ ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන විවිධ වු අයහපත් පාරිසරික වටපිටාව හේතුවෙන් මේ සතුන්ගේ ගොදුරු බිම්වල ආහාර අඩු වෙත්ම ආහාර අවශ්‍යතාව සපුරා ගත හැකි වෙනත් බිම් හොයාගෙන මේ අය විශාල වශයෙන් රංචු හැදිලා පියාසර කරනවා. හරියට අපේ රටට සැප්තැම්බර් අග ඔක්තෝබර් මුල සිට පැමිණෙන සියක්කාරයන් තාරාවුන් වැනි සංක්‍රමණික පක්ෂීන් හා සමානයි.

මේ සුදු හංසයින් චීනයට පැමිණෙන කාලය කියන්නේ මවු ගංගාව අවට පාරිසරික කලාපය පිළිබඳ එරට පරිසරවේදීන්ගේ, වනජීවී සංරක්ෂණ ආයතන ප්‍රමුඛ රජයේ සුවිශේෂී වු අවධානයක් යොමු වෙන සමයක්. ආන්න ඒ නිසාමයි වාර්ෂිකව සිදු වන මේ හංස ආගමනය හින්දම මේ නගරයට හංස නගරය කියන නම භාවිතයට එන්නේ.

හංසයන් තම රටට ආගන්තුක වුණත් කෙටි කාලයක තම රටේ නවාතැන් ගැනීමට සුදු හංස සේනාවක්ම ආවත් චීන රජය මේ සුදු හංසයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරීම ක්‍රියාමාර්ගවල නිරතවනවා.”

සුදු හංසයින්ගේ පැමිණීම සිදු වන කාලයේදී වාර්ෂිකව සංවිධානය කරන ‘සුදු හංස වනසතුන්ගේ ජාත්‍යන්තර පින්තූර ප්‍රදර්ශනය හා වැඩ මුළුව’ එහි එක් ක්‍රියාමාර්ගයකි. මේ වැඩ මුළුව සඳහා ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් 40 ක ඡායාරූප ශිල්පීහු, පාරිසරික ගවේෂකයෝ හා පර්යේෂණ නිබන්ධකයෝ 1000 කට ආසන්න පිරිසක් සහභාගී වෙති. අප රට ලද දුර්ලභ අවස්ථාවක් වූ මෙමගින් රටේ සුන්දරත්වය හා ජෛව විවිධත්වය මෙන්ම රටේ අගය ලොවක් හමුවේ කථා කිරීමට ද අවස්ථාව හිමිවිය. ‍

“අපේ කණ්ඩායම චීනය බලා පිටත්ව ගියේ අපේ රට සතු ජෛව විවිධත්වය ගැන චීනයට කියාදෙන්නයි. ඒ කියන්නේ අපේ රටෙනුත් ඉගෙන ගන්න බොහෝදේ චීනයටත් තියෙනවා. තරගය වෙනුවෙන් අප ඉදිරිපත් කරපු පීන්තූර චීනයේ තරග සංවිධායකයින් විසින් විනිශ්චය මණ්ඩලයක් හරහා තෝරා ගෙනයි අපට වැඩ මුළුව සඳහා ආරාධනා කළේ. අපිට ඒ හින්දා සිදු වුණා අපේ රටේ ජෛව විවිධත්වය ගැනත් එයාලට කියලා දෙන්න. ඔවුන් අපේ අදහස්වලට ඉතා ඕනෑකමෙන් ඇහුම්කන් දුන්නා.

චීනය කියන්නේ දියුණු රටක්. නමුත් ඒ දියුණුව කරා ළඟා වුණු ශීඝ්‍රගාමීත්වයම ඒ අය සොබාදහමින් ඈත් කළා. සොබාදහම ඔවුන්ට දඬුවම් කළා. ඒක තේරුම් ගත් නිසා ඔවුන් අද සොබාදහම රකින්න තම ශ්‍රමය හා ධනය උපරිමව යොදවනවා. අතීතය පාඩමක්. අනාගතය හරිගස්සා ගන්න. ඒ හින්දා සියලු පාරිසරික සංරක්ෂණ කාර්යයන් සඳහා මේ අය පාසල් ළමයින් හා තරුණ කණ්ඩායම් සහභාගී කර ගන්නවා.

ඒ අය අපේ රටෙන් ඉදිරිපත් කළ පින්තූර ගැනත් අපේ රටේ ජෛව විවිධත්වය හා සුන්දරත්වය ගැනත් අප හා කතාබහ කළා. අප හංස නගරයේ ගත කළ සති කිහිපය පුරා කහ ගඟ ආශ්‍රිත සුදු හංසයින්ගේ හැසිරීම් කැමරාවට හසු කර ගත්තු ආකාරය ආදී බොහෝ අත්දැකීම් ද අප හා හුවමාරු කර ගත්තා.”

ශ්‍රිලංකාව යනු ජෛව විවිධත්වයෙන් පොහොසත් රටකි. මේ ජෛව විවිධත්වය අපි අපේ රටේ අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කර දීම සදහා ගනු ලබන ක්‍රියා මාර්ග ගැන විශේෂයෙන්ම අනාගත පරම්පරාව ඉලක්ක කර ගෙන සිදු කළ යුතුයි. තරුණ සක්‍රීය දායකත්වයද මේ සඳහා ලබා ගත යුතුමයි.

“අපේ රට පක්ෂී පර්යටනික ගමන් මාර්ගයේ දකුණු අන්තයේ පිහිටි හොඳ නවාතැනක්. ඒකනේ රට රටවල සිට අපේ රටේ ආහාර සහ වාසස්ථාන හොයාගෙන පක්ෂීන් එන්නේ. චීනයට නම් සුදු හංසයින් විතරයි. ඒත් අපේ රටට ජලාශ්‍රිත වගේම වනාන්තර වාසී කුරුල්ලෝත් එනවා. ඇවිත් මාස හයකට ආසන්න කාලයක් රටේ නතර වෙලා ඉන්නවා. වනජිවී රක්ෂිත ආශ්‍රිතව මෙයාලගේ ගැවසීම නම් කොහොමත් සුරක්ෂිතයි. නමුත් රටේ වෙරළාශ්‍රිතව පැතිරුණු කලපු පරිසර පද්ධතීන් ඇසුරේ තමයි ජලාශ්‍රිත පක්ෂීන් බොහෝමයක් නවාතැන් ගන්නේ. මන්නාරමින් පටන් අරගෙන යාපනය දක්වාත්, යාපනය සිට මුලතිව් දක්වාත් කලපු රාශියක් තියෙනවා. මේ කලපු ආශ්‍රිත ප්‍රදේශ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වීම වගේම ඒ ඒ පක්ෂී විශේෂයන්ට ආරක්ෂිත වටපිටාවක් ඒවායෙ පවතීද යන කාරණය ගැනත් අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.

“චීනයට එන්නේ සුදු හංසයින් විතරයි. චීනය ඒ අය රකින්න. ඒ අය හදාරන්න සුදු හංස සමය භාවිතයට ගන්නවා. සොබාදහම ඔවුන් ඒ තත්වයට පත් කර තිබීම එයට හේතුවයි. අපේ රටට කොයිතරම් නම් කුරුලු සේනාවක් එනවද පර්යටනික පක්ෂී සමයට. ඔවුන් ආරක්ෂා කර ගන්න චීනයෙන් අපට ඉගෙන ගන්න බොහෝ දෑ තියෙනවා.” රෝහිත ගුණවර්ධන පවසයි.

චීනයේ ෂැන්මැක්සියා නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 04 ක්. නමුත් සීතලේ දියේ බැසගත් සුදු හංසයින් වතුර පීරමින් පැතිලි හොටේ ආධාරයෙන් ආහාර සොය සොයා සැනසිල්ලේ පිහිනා යන දසුන සජීවීව දුටුවත් අප රටේදී මේ පක්ෂීන්ට ඒ නිදහස එලෙසම බුක්ති විඳීමට අවකාශ ඇත්තේද යන්න ප්‍රශ්නයකි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »