පරිසර විනාශයක් අත ළඟ
මීගමු කලපුවට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

2018-03-05 10:19:00       555
feature-top
සොබා සෞන්දර්යයෙන් අනූන මීගමු කලපුවට සම්බන්ධ ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකකි. ජාඇල ලෙසින් මීගමු කලපුවට එක්වන ඌරුවල් ඔය ඉන් එකකි. අනෙක් ජල මූලාශ්‍රය වන්නේ දඩුගම් ඔය නමින් මීගමු කලපුවට එක්වන අත්තනගලු ඔයයි. මේ ජල පෝෂක ප්‍රදේශ අද වන විට ඉදිව ඇති කර්මාන්ත ශාලාවලින් එකතුවන ඉලෙක්ට්‍රොනික හා රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත්තේය. මෙය බරපතළ පාරිසරික ගැටලුවකි.

කුණු; එහෙමත් නැත්නම් කැළිකසළ පිළිබඳ සමාජයේ විටින් විට කතාබහ ඇතිවන්නේය. පසුගිය කාලයේ කොළඹ කුණු පිළිබඳ පමණක් නොව බොහෝ නගරවල කැළිකසළ බැහැර කිරීම සම්බන්ධව විවිධ ගැටලු තිබිණි. කුණු කඳු නාය ගියත්, තවතවත් කුණු කඳු ගොඩ ගැසුණත් ඇතැම් තැන්වල අදටත් කුණු බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නැත. ඉඳහිට තැනක විධිමත්ව කුණු ප්‍රතිචක්‍රීකරණය සිදු කරන්නේය. නිවෙසේ හා කර්මාන්තශාලාවලත් නගර‍යේත් කන්තෝරුවලත් එකතුවන කුණු ගැන සමාජ‍යේ මහා ලොකුවට කතාබහක් තිබුණ ද මේ කියන්නට යන කුණු ගැන නම් සමාජයේ තවමත් පුළුල් කතිකාවතක් ගොඩනැඟී නැත.

මීගමු කලපුව ආශ්‍රිත ප්‍රදේශය එක් අතකින් බලද්දී නෙතට රසඳුනකි. අනෙක් අතින්, මීගමු කලපුව යනු අපේ රටේ දැනට ඇති විශාලතම මත්ස්‍ය තිඹිරිගෙය ලෙස හැඳින්වූව ද වරදක් නැත. එයට හේතුව නම් මත්ස්‍ය අභිජනනයට මෙම පරිසර තත්ත්වය ඉතා යෝග්‍ය වන බැවිනි. මීගමු මාළුවලට ඇත්තේ ද හොඳ ඉල්ලුමකි. නමුදු දැන් දැන් මීගමු කලපුව ආශ්‍රිත පරිසරය විනාශ වෙමින් පවතින බව දන්නේ කීයෙන් කීදෙනා ද?

කලපුව ආශ්‍රිත තෙත්බිම්වල කැළිකසළ බැහැර කිරීම මේ විනාශයට හේතුවක් ලෙස සැලකීමට පුළුවන. කැළිකසළ යැයි කියූ පමණින් නිවෙස්වල, නාගරිකව එකතුවන, කැළිකසළ මෙන් ‘මෙන්න තොගයක්’ යැයි කියා පෙන්වීමට නොහැකිය.

වර්තමානයේ මීගමු කලපු පරිසරයට බැහැර කෙරෙන ඉලෙක්ට්‍රොනික හා රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් සිරුරට මෙන් ම පරිසරයට ද කලපු ආශ්‍රිත සත්ව ප්‍රජාවට ද සිදුවන හානිය ඉතා බලවත්ය.

මීට කලකට පෙර අප වෙනත් කටයුත්තක් එනම් දඬුගම් ඔය දිගේ මීගමු කලපුව පෙනෙන තෙක් මානයක බෝට්ටු සවාරියක් ගියෙමු. හිමිදිරියේ ගිය ඒ ගමන ඉතා සොඳුරුය. ඕලු හා මානෙල් ආදී වූ නෙකමලින් හැඩවුණු දඩුගම් ඔය දෙපස සිරි බලමින් යන අප මද දුරක් යද්දී දුටුවේ ජලය මතුපිට මාළුන් මැරී පාවෙමින් සිටි අයුරුය.

‘ඇයි මේ?’

අපි කැඳවාගෙන ගිය සගයාගෙන් විමසුවෙමු.

‘ඔහොම තමයි. සමහර කාලවලට මේ ඔයේ සිය දහස් ගණනින් මාළු මැරෙනවා. ගොඩක් ම එහෙම වෙන්නේ වැහි කාලයට. මිනිස්සු කියනවා ඔය කර්මාන්ත ශාලාවල තියෙන රසායනික අපද්‍රව්‍ය වැස්ස කාලෙට වතුරත් එක්ක ගහගෙන යන්න ඉවත් කරනවාලු. ඒවා ජලයට කලවම් වුණාම තමයි මාළු මැරෙන්නේ. මේ දඬුගම් ඔයට, මීගමු කලපුවට ඕවා අලුත් දේවල් නෙමෙයි.’

එදවස අප සමඟ ගිය සගයා එසේ කීවද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙන් ම රසායනික අපද්‍රව්‍ය මීගමු කලපුවට අද බලවත් තර්ජනයක් වී ඇත්තේය. එය මේ මේ යැයි කියන්නට ගණන් බලන්නට කිසිවෙක් නැත. ඇතැමෙක් මේ ගැන කතා කිරීමට අකමැතිය. තවකෙක් මෙයින් ඇතිවන ආර්ථික හෝ වෙනත් වෙනත් වාසි නිසා කතා කිරීම මඟහැර හිඳින්නෝ ය. කොහොම වුණත් ජෛව විවිධත්වය අතින් දෙදිය හුවමාරුව (වඩදිය බාදිය නිසා) නිසා මත්ස්‍ය අභිජනනයට ඉතා හිතකර කලාපයක් වන මීගමු කලපුව ආශ්‍රිත පරිසරයට ක්‍රමයෙන් සිදුවන හානිය පිළිබඳ කතාබහ කළ යුතු මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු කාලය දැන් එළැඹ ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහ පවසන්නේ මෙවැනි කතාවකි.

“මීගමු කලපුවට එකතුවන ඉලෙක්ට්‍රොනික මෙන් ම රසායනික අපද්‍රව්‍ය ප්‍රමාණය දවසින් දවස වැඩියි. කෙනෙක්ට ගිහිල්ලා බලලා මෙන්න ප්‍රමාණය කියලා එකවර පෙන්නන්න පුළුවන්කමක් නැහැ. නගරයේ තිබෙන කුණු ලොරියක් කලපුවට ගෙනැල්ලා හලනවාට වඩා මේ රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් කලපුවට සිදුවන හානිය වැඩිය. මේවා ගැන නිසි නියාමනයක් සිදුවන බව අපට දැනගන්නට ලැබී නැහැ.”

මීගමු මාළුවලට වෙළෙඳපොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි. ඒ ඉල්ලුම ද සමාජයෙන් බැහැරව යන දවස වැඩි ඈතක නොවෙතැයි මේ කලපුවට සිදුවීමට යන විපත දුටු අපට සිතේ. එයට හේතුව වන්නේ මෙම රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ශරීරගතවීමෙන් මාළුන්ට ද යම් බලපෑමක් ඇති වීමය.

ඒ පිළිබඳ කළ විමසුමකදී ප්‍රදේශවාසියකු මෙසේ පැවසුවේය.

මීට කාලෙකට පෙර කලපුවේ මාළු මැරුණා. උන්ගේ ඇස් කහපාට වෙලා තිබුණා. ඒ ගැන පරීක්ෂණ පවත්වපු ආයතනය කිව්වේ මාළුවා මැරුණේ වයස නිසා කියලා. නමුත් අපේ සහෝදර ධීවරයෝ කියනවා කලපුවේ මෙන් ම මුහුදෙත් සමහර තැන්වල දැල් එළන්න බැහැ කියාල. ඔවුන් ඒවාට කියන්නේ පොලිතින් මඩ කියලා.

වඩදිය බාදිය තත්වයට නිරන්තරයෙන් ම ලක්වන මීගමු කලපුවේ ජලය සාම්පල් පරීක්ෂා කිරීමෙන් ජලයේ තත්ත්වය කීම යම් තරමකට අසීරුය. මීගමු කලපුව මෙන් ම මුතුරාජ කඩොලාන පරිසරය ද අද වන විට මේ රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයට ගොදුරු වෙමින් තිබෙන්නේය. කටුනායක, සීදූව, කුරණ, ඒකල හා ජාඇල වැනි නගර කාර්මිකරණයට ලක්ව ඇත්තේය. ඒ නගර ආශ්‍රිතව ඇති කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය කලපු පද්ධතිය ආශ්‍රිත තෙත්බිම්වලට මුදා හැරීම හේතුවෙන් මේ ව්‍යසනය සිදුවෙමින් පවතින්නේය.

රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මිනිස් සිරුරට කෙබඳු බලපෑමක් ඇති කරන්නේදැයි යන්න පිළිබඳ අප නිරන්තරව ම මේ පිළිබඳ අවධානයෙන් සිටින වෛද්‍ය නලින් ලසන්ත මහතාගෙන් විමසීමු.

“උතුරුමැද පළාතේ තියෙන වකුගඩු රෝගවලට බැර ලෝහ බලපානවා වගේ තමයි මෙයත්. මීගමු කලපුවේ සිටින ඉස්සන් කකුළුවන්ගේ මේ ජලයේ තියෙන විෂ තැන්පත් වී තිබීමෙන් ඒවා ආහාරයට ගැනීමෙන් යම් දෙයක් සිදුවීමට තිබෙන අවදානම වැඩියි. අද වන විට මේ ධීවර ප්‍රජාව ඒ අමිහිරි සත්‍ය දන්නේ නැහැ. ඇතැම් අය මෙය පිළිගන්න කැමති නැහැ. මේ රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල බලපෑම මීගමු කලපුවට පමණක් නොවෙයි මීගමුව ආශ්‍රිත සමස්ත සමුද්‍ර කලාපයට ම ඍජුව ම බලපානවා. ඇතැමුන් කැමති නැහැ මේ ගැන කතා කරන්න. හේතුව තමයි මීගමුවේ මාළු පිළිබඳ විශ්වාසය නැති වෙනවා කියලා. නමුත් මේ ගැන සමාජය තුළ කතාබහක් ඇති විය යුතු සේම මීට විසඳුමක් ද සෙවිය යුතුයි.”

මිනිසුන් අපද්‍රව්‍ය දෙස බලන්නේ උදාසීනවය. ඇතැමුන් මේ සඳහා සොයන්නේ කෙටිකාලීන විසඳුම් ය. ඇතැමුන් ආර්ථික වාසි උදෙසා අනුන්ගේ කුණු ගෙන ගොස් කොහේ හෝ දමන්නේ සමාජ සුබසාධන කටයුතු කරන ආකාරයෙනි. මීට කලකට පෙර ක්‍රීඩාංගණයක් පස්පුරවා සකසන්නේ යැයි කියා කර්මාන්ත ශාලාවකින් ඉවත්කරන ලද අපද්‍රව්‍ය තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ බිමකට ගෙන ගොස් දැමීය. නමුත් එම තෙත්බිම් කලාපයේ ඇති දෙදිය හුවමාරුව එනම් වඩදිය බාදිය තත්වය මත මේ අපද්‍රව්‍යවල ඇති රසායනික විෂ ජලයට මුසුවීමෙන් මුහුදට ද යන්නේය. ප්‍රදේශවාසීන් පැවැසුවේ එම ක්‍රීඩාංගණය ඉදිකරන මාර්ගයේ ගමන් කිරීමෙන් පාදවල යටිපතුල් තුවාල වූ බවය. ආසාදනයට ලක්වූ බවය.

කොහොම වුවත් වෙරළාසන්න මෙන් ම කලපුව ආශ්‍රිත පරිසරයට සිදුවන හානිය පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරු (කොළඹ උතුර කාර්යාලයේ) සනත් පද්මසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.

“මීගමුව වෙරළ කලාපයත්, මීගමු කලපුවේ සිට කිලෝමීටර් දෙකක් යනතුරුත්, කලපුවේ සිට ගොඩබිම පැත්තට මීටර් සියයක් යනතුරුත් අපද්‍රව්‍ය බැහැර කිරීමට කිසිසේත්ම ඉඩක් නැහැ. එහෙම සිදු කැරෙනවා නම් ඊට නඩු දැමීමට නීතිය ක්‍රියාත්මක කිරීමට අපට පුළුවන්කම තියෙනවා. එසේ අපද්‍රව්‍ය බැහැර කරන අයට දවස් හතක්, දවස් දාහතරක් වශයෙන් කල් දෙනවා ඒවා ඉවත් කිරීමට. කොහොම වුණත් ජනතාවත් හැමවිටම මේ පරිසරය පිරිසුදුව තබා ගැනීමට සහාය දිය යුතුයි.

පරිසරය පිරිසුදුව තබා ගන්න යැයි කොතෙක් කීවද මිනිසුන් මේ සම්බන්ධව බොහෝ උදාසීනය. ඔවුන් හැමවිටම සොයන්නේ ලෙහෙසිය හා පහසුවය. මෙනිසා හෙට ගැන සිතා නොව අද මේ මොහොත ගැන පමණක් සිතා කටයුතු කරති. එනිසා සිදුවන විනාශයද බොහෝය. අද වන විට මීගමුව කලපුව ආශ්‍රිත පරිසරය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධ අදහස් දක්වන ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු මෙසේ පවසයි.

“අද මීගමු කලපුව බලවත් පාරිසරික ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ තමයි මේ පරිසරයට මෙන් ම ඒ අවට ඇළමාර්ග ආශ්‍රිතව ඉලෙක්ට්‍රොනික හා රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම. මෙය මත්ස්‍ය සම්පත වඳවී යාමටත් හේතුවක් වෙනවා. මේ රසායනිකවල තිබෙන බැර ලෝහ හා පිළිකා කාරක මාළුන්ගේ ඇ‍ඟේ දීර්ඝ කාලීනව තිබීමෙන් මේ මාළු අනුභව කිරීමෙන් පිළිකාමය තත්වයන් ඇති වෙන්නට පුළුවන්. සමහර කාලවල මීගමු කලපුවට සම්බන්ධ වන ඇළ මාර්ගවල විශාල වශයෙන් මත්ස්‍යයින් මැරෙනවා. ඒකට හේතුව තමයි, වැහි කාලයට ගබඩා කරගෙන තිබෙන රසායනික අපද්‍රව්‍ය ටැංකි ගණන් ජලයට මුදාහැරීම. හැම අවුරුද්දකම වගේ මෙය වන දෙයක්. මේ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු ආයතන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මීගමුව කලපුව නිසා දිවි රැක ගන්නා ධීවරයෝ තුන්දහසකට අධික පිරිසක් ඉන්නවා. නමුත් මේ හැමෝටම මෙය ඉදිරියේදි විශාල තර්ජනයක් වෙනවා.”



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »