දුම්රිය පොළ බිත්ති හැඩ කළ පාසල් සිසු සිතුවිලි

2018-03-02 10:35:00       525
feature-top
හැමදාම පසුකරන් එන ගල්කිස්ස දුම්රිය ස්ථානය එදා සුදු වතින් සැරැසුණු පාසල් සිසු සිසුවියන්ගෙන් පිරිලා. දුම්රිය ස්ථානයේ බිත්ති ඒ සිසු සිසුවියන්ගේ සිතුවම්වලින් හැ‍ඩ ගැන්වෙන අයුරු මා ආශාවෙන් බලා හිටියා. ළමා ලෝකයේ සුන්දරත්වයත් සමඟ නිදහසේ සිතුවිලි ගලා යෑමට තිබූ ඉඩහසර ඒ දරුවන්ගේ නිර්මාණවලින් අගේට පෙන්නුම් කරමින් තිබුණා. මේ දරුවො දුම්රිය ස්ථානයට වෙලා මොකද්ද මේ කරන්නේ? මගේ සිතේ ඇති වුණේ කුතුහලයක්.

මේ දරුවන්ගේ අතින් බිහිවූ සිතුවම් වැඩි ප්‍රමාණයක් ඇඳලා තිබුණේ ලෝක සාමය තේමාව කරගෙනයි. ආගමික සාමය ජාතීන් අතර සාමය මේ දරුවන් අපේක්ෂා කරනවා.

ඒ චිත්‍රවල වූ වර්ණ සංකකලනයන් හරිම අපූරුයි. ඒ පාට අතරේ සැඟවුණු ඔවුන් අපේක්ෂා කරන ලෝකය නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ වැඩිහිටියන් වන අපිටයි. ලෝක සාමය හා ජාතීන් අතර සාමය සංකල්පයක් නොවේ සැබෑවක් වේවි කියලා ඔවුන් ට විශ්වාසයි.

ඔවුන් පරිසරයත් සිතුවමට නඟා තිබුණා . අප පරිසරයට ආදරය නොකළොත් එහි විපාක විඳින්න සිදුවන්නේ අපේ අනාගත පරපුරට. නිදහසේ හුස්ම ගන්න පුළුවන් ලෝකයක් අපට ඉතුරු කරන්න යන පණිවුඩය ඒ වර්ණ ඇතුළේ සඟවලා තිබුණා. සංස්කෘතිය, ආගම, දේශීයත්වය, තේමා කරගත් සිතතුවම් ද ඇඳලා තිබුණා.

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ බිත්තිවල මේ සිතුවම් අඳිමින් හිටියේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශවල පාසල් දරුවන්. ඒ පාසල් අතර ගල්කිස්ස උසස් බාලිකා මහා විද්‍යාලය, ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විද්‍යාලය, ශාස්ථ්‍රානන්ද විද්‍යාලය, සොයිසා පුර මහා විද්‍යාලයේ හා කඳවල මහා විද්‍යාලයේ සිසු දරුවන් හිටියා. දරුවන්ගේ විනය, සංයමය, සහයෝගය ඉතා ඉහළ අගයක තිබුණා. ඒ ඔවුන් කලා කරුවන් බැවින් වෙන්න ඇති. කලාව මිනිසා තුළ හික්මීම හා සංයමය ඇති කරවනවා.

මිනිස් සිත සංයමයෙන් හා හික්මීමෙන් පුරවන්න කලාවට පුළුවන්. චිත්‍ර කලාව මිනිස් සිත සංසුන් හා නිදහස් කරනවා. කෙනෙකුගේ සිතේ ඇති සිතිවිලි වර්ණ හා රේඛා මගින් නිහඬව අනෙක් පුර්ගලයන් වෙත පණිවුඩයක් ගෙනියනවා. මේ දරුවන් කරමින් සිටියේත් තම සිතේ ඇති සිතිවිලි සමාජය වෙත මුදා හැරීමයි.

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ බිත්ති සිතුවම් නිර්මාණය කරමින් සිටි මේ දරුවන්ට අනුග්‍රහය දැක්වූයේ 306 ගල්කිස්ස සිංහ සමාජයයි. බිත්ති සිතුවම් අඳින්න අවශ්‍ය පින්සල්, තීන්ත, දරුවන්ට ඔවුන් රැගෙන දුන්නා. ගල්කිස්ස සිංහ සමාජයේ ලේකම් නාරායන් සාමි ජනනාතන් අපට දුම්රිය ස්ථානයේ දි හමු වුණා.

“ගල්කිස්ස සිංහ සමාජය අවුරුදු විසි හයකට කලින් දවසකත් මේ වගේම පසල් සිසුන් ලවා ගල්කිස්ස දුම්රිය ස්ථානයේ බිත්ති සිතුවම් ඇන්දා. ඒවා කාලයත් සමඟ විනාශ වූණා. ඉතින් අපි නැවතත් චිත්‍ර අන්දවන්න හිතුවා. අපි සිතුවම් පහළොහක් අඳිනවා. එක් චිත්‍රයක් අඩි 8ක් දිග 4ක් පළලයි. මේ සඳහා අපට වියදම් වුණේ ලක්ෂ තුනක පමණ මුදලක්. මේ සිතුවම් ඇඳිමට ලැබණු අවස්ථාව නිසා දරුවන් ලබන සතුට හා ඔවුන් ලබන අත්දැකීම් කෝටි ගණනක් වටිනවා. අපිට ඒ සිතුවම් මගින් හොඳ පණිවුඩ කිහිපයක් සමාජගත කිරීමට අවස්ථාව ලැබෙනවා.”ඔහු පැවසුවා.

“මෙය අපට ලැබුණු හොඳ අවස්ථාවක්. අපි පැනල් දෙකක් අඳිනවා. අපි සිතුවම් ඇන්දට මෙතරම් විශාල ඉඩක අඳින්න මෙතෙක් අපට අවස්ථාව තිබුණේ නැහැ. අපි හැමෝම ආදර්ශ චිත්‍ර ඇන්දා ඇඳලා අපේ පාසලේ චිත්‍ර ගුරුතුමියට දුන්නා. ඒ අතරින් තෝරාගත් චිත්‍ර දෙක අපි කණ්ඩායම් දෙකක් ලෙස සාමූහිකව අඳිනවා.” දෙහිවල මධ්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් පැවසුවා.

ගල්කිස්ස උසස් බාලිකාවේ යෞවනියන් පිරිසක් තවත් තැනක මනා සංයමයෙන් යුතුව සිතුවම් අඳින අන්දම දුටු මා ඔවුන් ළඟට ගියා. “මේක අපේ පාසල ලද හොඳ අවස්ථාවක්. සිතුවම නිමකර අපේ පාසලේ නමත් චිත්‍රයට උඩින් ලියනවා. මේ වගේ ප්‍රසිද්ධ ස්ථානයක සිතුවම් අඳින්න ලැබීම අපට වටිනවා. එවිට සමාජය අපිව හඳුනා ගන්නවා. අනික ලොකු ඉඩක චිත්‍රයක් අඳින්න ලැබීම සතුටක් වගේම අපට හොඳ අත්දැකීමක් වුණා.”

සොයිසා පුර මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමී භාග්‍යා දරුවන් ලද මේ අනගි අවස්ථාව පිළිබඳ සතුටු වන්නේ දරුවන්ගේ හැකියාව හා දක්ෂතා වර්ධනයට ඉන් විශාල ඉඩප්‍රස්ථාවක් ලැබෙන නිසයි.

“මේ අවස්ථාව දරුවන්ට අභියෝගයක්. මෙවැනි කටයුතුවලින් සාමුහිකව සහයෝගයෙන් කටයුතු කරන්න ඔවුන් යොමු වෙනවා. එක් කණ්ඩායමක ළමයි පස්දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනාම වෙන වෙනම තරගයට චිත්‍ර ඇන්දා. ඒත් ඒ අතරින් තෝරාගත් එක් චිත්‍රයක් අද ඔවුන් මේ බිත්තියේ අඳිනවා. මගේ පාසලෙත් ස්මාට් ක්ලාස් රූම් හදනවා. ඒත් සමහර දරුවන්ට දක්ෂතා තිබුණත් පින්සලක් චිත්‍ර අඳින්න පොතක් හෝ පාට ටිකක් ගන්න වත්කම නැති අවස්ථා තියෙනවා. එහෙම එකේ මේ දරුවන්ට ලැබුණේ අගනා අවස්ථාවක්”ඇය කීවාය.

රත්මලාන හින්දු විද්‍යාලයේ සිසුන් චිත්‍රයට නගමින් සිටියේ ලෝක සාමය තේමා කරගත් චිත්‍රයක්.

“අපි හිතන්නේ ආගම් ජාති විධිහට බෙදෙන්නේ නැතිව මිනිස්සු සමගියෙන් ඉන්න ඕන කියලයි.”

ඒ වචන ඇතුළෙ හැංගිලා තිබුණේ අපේ රටේ අනාගතය පිළිබඳ සුබ නිමිත්තක් කියලයි මටනම් හිතුණේ. ඒත් වර්තමාන වැඩිහිටි පරපුර හා රටේ නායක කාරකාදින් මේ දරුවන්ගේ අපේක්ෂාව තේරුම් ගනීවිද ?

කඳවල මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය ඩිලාන් කුමාරි. ඇයද දරුවන් සමඟම හිටියා.

“චිත්‍ර මගින් දරුවන්ගේ මනස කියවන්න පුළුවන්. ඔවුන්ගේ ශික්ෂණය ඇති කරන්න දරුවන්ගේ ආවේග ආකල්ප චිත්‍ර මගින් හඳුනා ගන්න පුළුවන්. චිත්‍ර කියන්නේ ඉතා හොඳ සෞන්දර්ය විෂයක්. චිත්‍ර අඳින දරුවා සංවේදී යහපත් පුරවැසියෙක් වෙනවා. පාසල් පද්ධතියෙන් අපේක්ෂා කරන්නේ යහපත් පුරවැසියන් බිහි කිරීම. මම හිතන්නේ දෙමවුපියන් තම දරුවන්ට චිත්‍ර ඇඳීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. මෙය මගේ පාසලේ දරුවන්ට ලැබුණු මාහැඟි අවස්ථාවක්” ඩිලාන් ගුරුතුමිය දරුවන් වෙනුවෙන් සිංහ සමාජයට ස්තුති කිරීමටත් අමතක කළේ නැහැ.

බෞද්ධ බාලිකා මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය මනෝජා මහත්මියත් අප සමඟ කතා බහ කළා. ඇගේ අදහස වුණෙත් ලෝකයට විවෘත වීමට මෙය දරුවන් ලද අනගි අවස්ථාවක් බවයි.

“සාමූහිකව කටයුතු කරන්න. ලැබී ඇති සීමිත සම්පත් උපයෝගී කරගෙන නිර්මාණය අලංකාර කරන්න. ලැබී ඇති වර්ණ භාවිතයෙන් නිර්මාණ නිමා කිරීමට මෙන්ම වර්ණ නිෂ්පාදනය කර ගැනීම මගින් තම සිතුවම අලංකාර කර ගැනීමට ත් ඔවුන් හුරු වූණා. ඒ විතරක් නොවෙයි ලැබී ඇති විශාල ඉඩ ප්‍රමාණය නිවැරැ‍දිව භාවිත කිරීම හා කාලය කළමනාකරණය කර ගැනීමටත් මෙය ඔවුන්ට හොඳ පාඩමක්.” මනෝජා ගුරුතුමිය කීවාය.

පාසලෙන් එළියට ඇවිත් විවෘත පරිසරයක සිතුවම් ඇඳීමට ලැබීම යෞවන යෞවනියන්ට අලුත් අත්දැකීමක්. ඔවුන් ඒ අලුත් අත්දැකීම සතුටින් බුක්ති වින්දා. ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිතුවම් අඳින්න ඇවිත් තිබුණෙ පාසලේ සිටින දක්ෂම චිත්‍ර ශිල්පීන් පිරිසයි. ඔවුන්ගේ කුසලතා ඉතා විශිෂ්ටයි. අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉතා ඉහළයි. මේ අපේ රටේ අනාගත පුරවැසියෝ.

ඔබත් ගල්කිස්ස දුම්රිය ස්ථානය හරහා යනවිට ඔවුන් අපට දී ඇති නිහඬ පණිවුඩය කියවන්න. ඔවුන් අපේක්ෂා කරන්නේ ආගම් හා ජාතීන් අතර සාමයෙන් යුතුව අලුත් හුස්මක් අරන් හෙට ලෝකය ගොඩනඟන්නයි. ඒ ලෝකය ඔවුන් වෙත උරුම කර දීමට කැපවීම වැඩිහිටියන්ගේ යුතුකම හා වගකීමයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »