ලෝකයේම සුහදත්වයත් රැගෙන නිපොන්මාරු ඇවිත් ගියා

2018-02-28 10:30:00       530
feature-top
* රටවල් 11ක තරුණ තරුණියෝ 242ක්
* අපේ රටෙන් 12යි

නිපොන්මාරු... අපි හමු වූ පළමු වතාව.

මොන තරම් අපූරු ද... මට ඔබෙන් දැනගන්න හුඟක් දේ තියෙනවා.

‘කොනිචිවා...’ (ආයුබෝවන්!) සේරට ම කලින් මම මගේ රටට ඔබ පිළිගන්නවා.

‘ජගත් තරුණ නෞකා වැඩසටහන’ හෙවත් ‘Ship for world youth Leaders…’ වැඩසටහන යටතේ භද්‍ර යෞවන යෞවනියන් දෙසිය හතළිස් දෙදෙනකුත් අරන් ලෝක වටේ යන ගමනේ ඔබ කොළඹ වරායටත් ඇවිත්.

ඇත්තටම ඔබ එන කල් අපි බලාන හිටියා.

නිපොන්මාරු ජපන් නැවේ නැගිලා ලෝකෙ වටේ යන අපේ අය දැක බලා ගන්න විතරක් ම නෙවෙයි, මේ තරුණ වැඩසටහනේ තොරතුරු දැන කියා ගන්න. ශ්‍රී ලංකාවේ ආරාධනයට මෙහි පැමිණි රට රටවල තරුණ පිරිස මුණ ගැහෙන්න.

ඉතින්! ඔබ බොහොම කඩවසම් නෙව!

උසින් මහතින් දිගින් පළලින්. ඒ විතරක් නෙවෙයි පාටින් වුණත් ඒ තේජාන්විතකමමයි.

තරුණ සිතිවිලි... තරුණ ජවය ඔබේ ගත පුරා දුව පැන යන නිසා වෙන්න ඇති.

ඔබේ උස බලාගන්න නම් එකිනෙක ගොඩවෙලා තට්ටු හතක් මට නගින්න වෙනවා.

එතකොට ඔබේ දිග මැන ගන්න මේ ජැටියෙ මං මොන තරම් දුර ඇවිදින්නද... එහෙම නම් හරියට ම මීටර 124 ක් මේ ජැටියෙ මං ඇවිද යා යුතුයි.

මේ තරම් විශාල ජපන් නැවකට ගොඩ වෙන්නෙ පළමු වතාවට.

ඒ නිසා ඔබ මට, කොහොමත් විශේෂයි.

ජැටියෙ එහා කෙළවරේ ඉඳන් මෙහාට ඇවිද්දත් මෙහා කෙළවරේ හිට එහාට ඇවිද්දත් ඔබව බලලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා ඔබ එක්ක කතාව ඇති.

මං නැවට ගොඩවෙනවා.

මොකද, මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ නැව ඇතුළෙ නිසා. අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. කීරගල, ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනක බණ්ඩාරනායක, තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ රන්දික වැලිඅංගෙ ඇතුළු නිලධාරින් සහ ජපන් අමුත්තන් රැසක් ඒ මාධ්‍ය හමුවෙ කරුණ කිව්වෙ නිපොන්මාරු ගමනේ වැදගත්කම ගැන. රටක් හැටියට ඒක අනගි අවස්ථාවක්.

මෙවර ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කණ්ඩායමේ නායකත්වය දැ‍රුවෙ චමල් රන්දුනු. තක්ෂිලා මධුෂානි, සුපිපි පණ්ඩිතරත්න, මධූෂා එරන්දි, මාධව කසුන්, හසිත් සඳරුවන්, සඳුන් මධුෂික, චතුසරා ධනංජනී, ඒ.ආර්. අසාම්, අචිනි නදිෂානි, එදික ජයලත්, ලහිරු සුපුන් ගමගේ... අපේ රටෙන් නිපොන් මාරුවට නැව් නැඟපු කණ්ඩායමේ දොළොස් දෙනා.

දවස් 45 ක් තිස්සෙ නන්නාඳුනන පිරිසක් එක්ක නැවක ජීවත් වුණු ඔවුන්ගෙන් අහන්න දේ බොහොමයි.

මිත්‍රත්වය... අන්‍යෝන්‍ය අවබෝධය... ඉවසිලිවන්ත භාවය, දරා ගැනීම... නායකත්වය... ඔවුන් ලබා ගත් සංස්කෘතික... සාමාජික දැනුම හුවමාරුව... පෞරුෂ වර්ධනය... මෙකී නොකී දහසක් දේ නිපොන් මාරුව ඇතුළෙ අත් විඳි හැටි ඔවුන්ගෙන් ම දැන කියා ගන්න වුවමනා වුණත් චමල් හැරෙන්න මේ දෙසිය හතළිස් දෙදෙනාගෙන් එක් කෙනෙක්වත් ඒ වෙලාවෙ නැවේ හිටි‍ෙය නැහැ.

මාධ්‍ය හමුව පැවැත්වෙන වෙලාවෙ ක්ෂේත්‍ර චාරිකාවකට ඔවුන් පිටව ගිහින්. අනතුරුව තිබුණු ජපන් තේ පැන් සංග්‍රහය මාධ්‍ය හිතවතුන් වෙනුවෙන්මයි. ලා පැණි රස බත් කැටයක්, වර්ණ ගැන්වූ රාබු පෙති සහ කුකුළු මස් බැදුමට පස්සෙ හැමෝටම උණු තේ කෝප්පයක්. සීමා සහිත ලෙස නැවේ ස්ථාන කිහිපයක් බලන්න අවසර ලැබුණෙ ඔය සියල්ලට පස්සෙ.

මගීන් 425 ක් ගමන් කරන්න පුළුවන් වුණත් සුඛෝපභෝගි මේ නැවේ හැමදාම ගමන් කර තිබෙන්නෙ ඊට අඩු පිරිසක්. මගේ හිත ගියේ සුන්දර රටක ශාලාවට. නවීන විදුලි ආලෝක ප්‍රයෝගයන්ගෙන් සමන්විත ඒ වේදිකා අංගණය, බාල් නැටුමකට... ගැයුමකට විතරක් නෙවෙයි, නාට්‍යයක රසවිඳින්නත් හැකි තරමට සුන්දරයි.

කොහේ ඇවිද්දත් හිත නතර වුණේ නැවේ බැල්කනි කොටසේ. නැව් බඳට බරවෙලා ඈත මුහුද දිහා ඕනෑතරම් වේලාවක් බලා ඉන්න පුළුවන් එතැන, කාට වුණත් කවි සිතිවිලි පහළ වන තැනක්. අඩුම තරමේ හුදෙකලාව ගැන ජීවිතය ගැන... වචන පේළි ටිකක්වත් හිතට ඒවි.

ජපන් කොඩිය ලෙළ දෙන නැවේ ඇණිය ළඟට යන්න ඇත්නම්... හදිසියේ ආ සිතිවිල්ල හිතට වධ කළත් ඊට අවසරයක් නොලැබුණේ ආරක්ෂක හේතූන් මත. ඒත් දින 45 ක් මේ නැව ඇතුළෙ ජීවත් වූ තරුණ පිරිසට නම් ඒ අවස්ථාව ලැබෙන්න ඇති.

1980 ජපානෙන් ලෝකෙට ආරම්භ වූ මේ වැඩසටහන හැම අවුරුද්දක ම සංවිධානය වෙන්නෙ ජපන් රජයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. අපේ ර‍ෙට් තරුණ තරුණියන්ට නිපොන්මාරු වැඩසටහනේ අවස්ථාව ලබා ගන්න සියලු කටයුතු සංවිධානය කරන්නේ ජපන් තානාපති කාර්යාලය, තරුණ සේවා සභාව සහ නිපොන්මාරු ආදි සහභාගිත්ව ශිෂ්‍ය සංගමය එකට එකතු වෙලා.

ගුවනින් ජපානෙට යන හැම රටක ම තරුණ පිරිස, සාම්ප්‍රදායික ජපන් නිවෙසක දින දෙකක් ගත කිරීම මෙහි පළමු පියවර. ජපන් සංස්කෘතිය පිළිබඳ ඔවුන් පළමු අත්දැකීම ලබන්නෙ ඒ ජපන් නිවැසියන් සමඟ ජීවත් වීමෙන්.

ඊළඟට යෝකොහාමා වරායෙන් ඔවුන් ගොඩවෙන්නේ මිට්සුයි සමාගමට අයත් නිපොන්මාරු නෞකාවට. වසර පුරා දැවැන්ත මගී නැවක් ලෙස දහස් වාරයක් මහ මුහුදෙ එහා මෙහා ගිය නිපොන් මාරු එතැන් පටන් දින 45 කට බොහොම තරුණ නැවක් බවට පත්වනවා. තරුණ වැඩසටහන වෙනුවෙන් ජපන් කැබිනට් කාර්යාලය මේ නැව කුලියට ගන්නා නිසා.

නැවේ කාර්ය මණ්ඩලය සියලු ම දෙනා ජපනුන්. කොතැනක දුටුවත් හිස පහත්කර ආචාර කරන ඔවුන් ළඟ බොරු අහංකාරකම් නැහැ. හිනාවෙලා ආචාර කරන හැටි ඉගෙන ගන්නත් අපේ රටේ සමහර අයට ජපන් ජාතීන් ‍හොඳ ආදර්ශයක්.

කොහොම වුණත් තාක්ෂණයෙන් විද්‍යාවෙන් සහ ධනවත් භාවයෙන් ඉහළ ම රටක් වන ජපානය තමන්ගෙ රටේ තරුණ පිරිස, ‘රටට ම වැඩ කරමින් සිටින මානසිකත්වයෙන් මොහොතකට මුදවලා ලෝකෙ දකින්න හදලා දීපු අවස්ථාවක් ලෙසයි මෙය හඳුන්වන්නේ.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මෙක්සිකෝව, මොසැම්බික්, පේරු රාජ්‍යය, පෝලන්තය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ඕමානය, ශ්‍රී ලංකාව සහ ජපානයේ තරුණ තරුණියන් 242ක් එක ම නැවකට ගොඩ වන්නේ ඒ අනුව.

නැවේ ඉඩෙන් තමන්ගේ රටේ තරුණ තරුණියන් සියයට පණහකට මේ සඳහා අවස්ථාව දෙන ජපානය, ඉතිරි සියයට පණහ ලෝකයේ සෙසු රටවලට ලබා දෙන්නේ ඔවුන් හිත හොඳ මිනිසුන් බව පසක් කරමින්. රටවල් සමඟ හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින්.

ඇත්තට ම ජපන් රජය මේ සඳහා එක් කෙනකු වෙනුවෙන් දරන මුදල රුපියල් ලක්ෂ 30ත් -35ත් අ‍තර ප්‍රමාණයක්. මේ සා විශාල මුදලක් වියදම්කොට දවස් 45ක මෙවැනි නැව් ගමනකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද... ඒ ගැන දන්නෙ, ඒ අත්දැකීම විඳපු කෙනෙක්. බුද්ධික ඉද්දමල්ගොඩ, නිපොන් මාරු ශ්‍රී ලංකා ආදි සහභාගිත්වයන්ගේ සංගමයේ සභාපතිවරයා.

“ලෝකයෙන් හුදෙකලා කරලා මුහුද මත පා කර හරින තරුණ පිරිස දවස් 45ක් තිස්සේ යාත්‍රා කරන්නේ, ගත කරන්නේ තෙරක් නොපෙනෙන මහ සයුරේ. ඥාතින්ගෙන් ගෙවල්වලින් ඈත්වූ පසු අන්තර්ජාල පහසුකම් පවා අවම කරනවා. ඔවුන් හුදෙකලා වනවා. එහෙත් කණ්ඩායම් හැඟීමෙන් හිතන්න ගන්නවා. තම තමන්ගෙ රටවලට ආ‍වේණික තරුණ ප්‍රශ්න ගැටලු අභියෝග පිළිබඳ කතා කරනවා. විසඳුම් හොයනවා.

ඔවුන් නායකයන් සේ හිතන්න පටන් ගන්නවා. සාමූහිකව වැඩ කිරීම අදහස් හුවමාරුව, ජාත්‍යන්තර සබඳතා ප්‍රයෝජනයට ගැනීම පුරුදු වනවා.

1982 පටන් අපේ රට නියෝජනය කළ තරුණ නායකයන් අතර අද වඩාත් සක්‍රිය වූ ජනාධිපති නීතිඥ අල් සබ්‍රි, මාධ්‍යවේදි සිසිර පරණතන්ත්‍රී, චම්පිකා ලියනාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ... වැනි විවිධ ක්ෂේත්‍රවල නායකත්වය දරන අය ඉන්නවා.,,

බුද්ධික කියන්නෙ, නිපොන්මාරු අත්දැකීම ලබපු ලංකාවේ සෙසු චරිත ගැන. 2010 අවුරුද්දේ පටන් මේ දක්වා ම ආදි සහභාගිත්වයින්ගේ සංගමයේ සභාපතිවරයාත් ඔහු.

ඇත්තට ම, නැවට යන තරුණ පිරිස ‍තෝරා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද... ඕවා හරි විදියට ම කෙරෙනවද... කාට හරි හිතේවි.

“ජපන් රජයත් සමඟ ගිවිසුම් අත්සන් කළාට පස්සෙ, තරුණ සේවා සභාව, ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරනවා. ඒ එන දහස් ගණනක් අයදුම් පත්‍ර අනුව තරග විභාගයක් පැවැත්වෙනවා. ජපන් තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාවෙන් එසේ තෝරන සියලු දෙනා ම පුහුණුවීම් පටන් ගන්නෙ නැවට යන්න හය මාසෙකට කලින් සිටයි. එය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමෙන් යුතු හය මාසයක පුහුණු වැඩමුළුවක්.

ගැටලුවලට මුහුණ දීම දරා ගැනීම... විසඳුම් සෙවීම... පදනම් වූ මේ පුහුණුව තුළ නැටුම් ගැයුම් වැයුම් පවා ඇතුළු සංස්කෘතික අංග පවා ඇතුළත්.

කොයිතරම් විභාග සමත් වුණත් සංස්කෘතික අංග පිළිබඳව දැනුමක් අවබෝධයක් මේ යන තරුණ පිරිස අතර තිබිය යුතුමයි.

මොකද නැව යන ගමනෙදි හැම රටක ම තරුණ තරුණියෝ තමන්ගෙ රටේ අනන්‍යතාව... සංස්කෘතිය. කලාව ගැන කියැවෙන ජාතික දිනයක් පැවැත්විය යුතුයි. සංස්කෘතිකාංග පැවැත්විය යුතුයි...”

බුද්ධික කියන්නෙ හැම අංශයක් පිළිබඳව ම මේ තරුණ පිරිස දැනුවත් වීම ගැන.

නිපොන්මාරු තරුණ නෞකාව තමන්ගෙ රටට ගෙන්වා ගන්නත් රටරටවල් අතර ඇත්තේ තරගයක්. ඒ අතරින් හොඳ ම සත්කාරක රට ලෙස අපේ රටට තිබෙන්නෙ සුවිශේෂි තැනක්. ඒ නිසාම වසරක් හැර වසරක් නිපොන්මාරු නැවේ එක් නවාතැනක් වන්නට අපේ රටට පුළුවන් වෙලා.

ලෝකෙ අපිට කොහොම සැලකුවත් ජපානෙ කියන්නෙ අපිට කවදත් හිතවත් රටක්. 80 දශකයෙ ශ්‍රී ලංකා තරුණ සේවා සභාව අපිට ලැබුණෙත් ජපන් රජයෙ තෑග්ගක් විදියට. ජපානෙන් අපේ රටට ලැබුණු එහෙම වටිනා සිහිවටන ඕනෑ තරම්.

මේ තරම් වටින දේ වුණත් අවභාවිත වන අවස්ථා නැතුවා නෙවෙයි. නිපොන් මාරු නැවේ නැඟිලා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණු තරුණයො දෙන්නෙක් අතීතයේ දවසක වාර දෙකකදි ජපානෙදි අතුරුදන් වුණේ අපේ රටට එහෙම කළු පැල්ලමක් එකතු කරමින්.

රටේ ගෞරවය නොහිතන එහෙම අතළොස්සක් දෙනා නිසා, අද නිපොන්මාරු නැවට යන අපේ රටේ තරුණ තරුණියෝ ගිවිසුමක් අත්සන් කළ යුතුයි. ඒ ගිවිසුමට අනුව, ඔවුන් හැමෝම රුපියල් මිලියනයක ඇපයකට යටත්. ඒ නිසා ජපානෙදි අතුරුදන් වෙන්න හිතනවා නම් එක පාරක් දෙපාරක් නෙවෙයි, දහ පාරකටත් වඩා හිතන්න වෙනවා.

ඔළුව කැරකිලා.. වමනේ ගිහින්... බඩ කැලැතීගෙන යන අපහසුතා රැසක් එක්ක ‘සී සික්’ හැදෙන එක, මේ මුහුදු ගමනෙදි කාටත් පොදු දෙයක්. වෛද්‍යවරයෙක් හෙදියන් කිහිප දෙනෙක් ඉන්න පුංචි පහේ රෝහලකුත් නැවේ තියෙන්නෙ මේ සියලු අපහසුතාවලට විසඳුම් දෙන්න.

ඒත් ගෙදර මතක් වෙලා ඔවුන්ට කතා කරගන්න බැරිව ‘හෝම් සික්’ හැදෙනකොට නම් තත්වය ඉඳුරා වෙනස්. එහෙම වෙලාවට හිත සන්සුන් කරගන්න හොඳම බෙහෙත තමයි, ජැපනීස් ඩ්‍රම් ක්ලබ්, ජැපනීස් ටී ක්ලබ්, ජැපනීස් මාෂල් ආර්ට් ක්ලබ්, ජැපනීස් ලැන්ග්වේජ් ක්ලබ්, සිංහල කල්චර් ක්ලබ්, සිංහල ලැන්ග්වේජ් ක්ලබ්... වගේ තැනකට ගිහින් ඒ දෙවල් ඉගෙන ගන්න එක.

හැම රටකම සිසුන් තමන්ගෙ රටේ දේ අනෙක් අය එක්ක බෙදා ගන්න මෙහෙම ‘ක්ලබ්’ එකක් හදනවා. ලංකාවෙන් සිංගප්පූරුවට ගිහින් එතැනින් යළි ජපානෙදි නැවෙන් බහින දවස එන‍කොට මේ හැම කෙනෙක් ම බොහොම ධනවාදි සහ සුබවාදීව හිතන යමක් කමක් වැඩිපුර දන්නා පුද්ගලයෙක් බවට පත්වෙලා.

ඉතින්, ජීවිතේ කියන්නෙ නැවක් ද... නැව් ගමනක් ද... එහෙමත් නැතිනම් වරායක් ද...

ඔබම හිතන්න! ඒත් මං හිතන්නෙ වෙනස් දෙයක්.

මේ සියල්ල රැඳිලා තියෙන්නෙ අපි හැමෝගෙම ජීවිතවලට බලපෑම් කරන නායකයා අතේ. එහෙමත් නැතිනම් නැව ගෙනියන ‘කැප්ටන්’ අතේ.

නැව් නැඟිලා හරි අපේ මිනිස්සු සැබෑ නායකත්වය ඉගෙන ගන්න එක රටකට වැදගත් වෙන්නේ ඒ නිසා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »