අලි මදි­වාට දැන් කොටි
වසර පහක සිට කොටි හපු­වන් සමඟ ජීවිතේ

2018-02-15 10:03:00       559
feature-top
මුතුබණ්ඩා තලාතුඔය මහ මැදගම ගලපාමුල ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ කලක සිටය. දක්ෂ ගොවියකු වූ ඔහු සිය අඹුදරුවන් රැක්කේ ගොවිතැනෙනි. විශාල වපසරියක විහිද පැවැති ඔහු‍ගේ තේ වගාව අතර

ගම්මිරිස් වගාවද වෙයි. නොසිතූ පරිදි පසුගිය දිනක ගම්මිරිස් කඩමින් සිටියදී ඔහු මුහුණ දුන් ඒ බියකරු සිද්ධිය සිහිපත් වෙද්දී දැනුදු ඔහුගේ ගත වෙව්ලයි. එම සිද්ධියෙන් තුවාල ලද ඔහු තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ මේ ලිපිය ලියන මොහොතේ ප්‍රතිකාර ලබමින් සිටියේය. තමන් මුහුණ දුන් අත්දැකීම මුතුබණ්ඩා මහතා අප හා විස්තර කළේ මෙසේය.

“මම වත්තේ ගම්මිරිස් කඩ කඩා ඉන්නකොට එකවරම මට නිකම් අතු පොඩිවෙනවා වගේ සද්දයක් ආවා. විපරම් කර බලද්දි මෙන්න ඈතින් කොටියෙක් යනවා. කළු පුල්ලි තියෙන ඌ හොඳට වැඩුණු සතෙක්. අපේ අම්මා මුත්තා කාලේවත් අපේ ගම්වලට මේ සතුන්ගෙන් කරදර තිබුණේ නෑ. මම ඒ ගැන හිත හිතා ගලක් උඩට නැගලා ගම්මිරිස් කඩ කඩා ඉන්නකොට පස්සෙන් ආව කොටියා එකවරම මගේ ඇඟට පැන්නා. මම ජීවිත ආසාවෙන් උගෙන් බේරෙන්න පොර කෑවා. එතකොට කොටියයි මායි ගලෙන් පහළට පෙරළුණා. මගේ වාසනාවට කොටියායි මායි වැටුණේ ගලේ දෙපැත්තටයි. ඒ නිසා මට ගෙදරට දුවගන්න පුළුවන් වුණා. නැත්තම් මගේ කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒත් මට තුවාලයි. පස්සේ ගෙදර උදවිය මාව රෝහලට ඇතුළත් කළා.”

මේ සිදුවීමත් සමඟ ප්‍රදේශය පුරා මහත් කොටි භීතියක් හටගත් අතර එම ප්‍රදේශයෙන් කොටින් පලවා හැරීම සඳහා කීර්ති බණ්ඩාරපුර වනජීවි කාර්යාලය මගින් අලිවෙඩි පවා ලබාදීමට පියවර ගෙන තිබුණි.

නාවලපිටිය බාර්කේපල් වත්තේ පදිංචිකරුවෝද දැඩි කොටි භීතියකට මුහුණ දී සිටිති. සිරිල් ඇන්තනී මහතාගේ බිරිය උත්තරා දේවි පසුගිය වසරේ මියගියේ කොටි ප්‍රහාරයකිනි.

“මේ පැත්තේ තියෙන්නේ තේ වතු. ඒත් දැන් මේ පළාත් වැඩිහරියක් කැලෑ වෙලා. අපේ ඩිවිෂන් එකේ වෙස්ටෝල් වත්ත විතරක් සුද්දගේ කාලේ අක්කර 1200ක් තිබුණා. ඒවා නඩත්තු නොකර ගස් කපා දැමීම් නිසා දැන් අක්කර 100ක විතර තමයි තේ තියෙන්නේ. ඉතිරි ඒවා කැලේට යටවෙලා. මේ කැලෑවුණු තේ වතුවලට දැන් කොටි බෝවෙලා. දැන් අවුරුදු 05ක විතර සිට මිනිස්සු වතු පාරවල්වල ගමන් බිමන් යන්නේ හරිම බයෙන්. අපේ ළමයි තනියෙන් ඉස්කෝලවලට යවන්න විදිහක් නෑ. කොයි වෙලාවේ කොටි පනියිද දන්නෑ. ගෑනු කට්ටිය තේ දලුකඩද්දි කොටියා පැනලා සෑහෙන දෙනෙක් තුවාල වෙලා. ගෙවල්වල එළුවෝ, හරක්, බල්ලෝ හදන්න බෑ. කොටියා ගෙවල් ළඟමට ඇවිත් උන් ඩැහැ ගන්නවා. මේ ගැන කාට කීවත් අපට විසඳුමක් නෑ.”

උඩරට කඳුකර ගම්මාන හා වතු ජනතාවගේ අලුත්ම දුක් අඳෝනාව වී ඇත්තේ කොටි කරදරයයි. අතීතයේ සිට සුන්දර කඳුකරය මිනිසාට චමත්කාරයක් ගෙන දුන්නේය. ගහකොළ දියඇලි සමඟ කඳුකරයේ දේශගුණය ගත සිත පුබුදුවාලයි. අනාදිමත් කාලයක සිට මෙම ප්‍රදේශවල මිනිසුන් ජීවත් වූ අතර ඉඳ හිට ඇති වන ස්වභාවික විපතකින් මිස අලි කොටි වග වලසුන් වැනි රුදුරු සතුන්ගෙන් මේ කඳුකර ගම්මානවලට උපද්‍රවයක් වූ බවට වාර්තා වී නොමැත. එකල මෙහි රක්ෂිත හා ස්වභාවික වනාන්තර නිසි ලෙස පැවති අතර පරිසරයට මිනිසාගෙන් හානි සිදු නොවීම නිසා ගම්මානවල ජීවත් වූ මිනිස්සු ද සැනසිල්ලේ ජීවත් වූහ. නමුත් පසුකාලයේ දී කඳුකරය තේ වැනි වැවිලි බෝග වගාව සඳහා එළිපෙහෙළි වූයේ රක්ෂිත හා ස්වභාවික වනාන්තර ශේෂ කරවමිනි. මේ සමඟ රටේ ආර්ථිකය ද ශක්තිමත් කරවමින් ජනාවාස ද පුළුල්වී ජනගහනය ද වර්ධනය විය.

එදා මෙලෙස කඳුකරයේ තේ වගාව පැතිර ගිය ද අද වනවිට මේ තේ වගා බිම් කැලෑ බවට පත් වෙමින් පවතී. ඒ සමඟ වන සතුන් ද වර්ධනය වී ඇති අතර, තේ වගාව සමඟ තිබූ ගම්මානවල ජීවත් වන්නවුන්ට මෙන්ම ඒ අවට ගම්මානවල වෙසෙන අයට වන සතුන්ගෙන් හානි පැමිණෙමින් තිබේ.

රිලවුන්, ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන් හා හාවුන් මෙන්ම කොටියා හා දිවියා ද මෙසේ ගම්වැදීම නිසා භවභෝග පමණක් නොව මිනිස් ජීවිතවලට පවා හානි පැමිණෙමින් තිබේ. මෙයින් වඩාත් භයානක වී ඇත්තේ කොටියා ගම් වැදීමය. ලංකාවට ආවේණික කොටියා විශාල ලෙස බෝවී ගම්වැදී ගෘහාශ්‍රිත සතුන් දඩයම් කිරිම හා මිනිසාට පහර දීම නිසා අද වන විට කඳුකරයේ බොහෝ ප්‍රදේශවල කොටි මිනිස් ගැටුමක් ඇති වී තිබේ. අලි මිනිස් ගැටුමට සමාන මෙම ගැටුම නිසා දුර්ලභ සතෙකු වන ලංකාවට ආවේණික කොටියාගේ ජිවිතයට විශාල තර්ජනයක් ඇති වී තිබේ.

දැනට අප රටේ වනාන්තරවල කොටිගහනය 700ක් පමණ වෙතැයි වනජීවී අංශ අනුමාන කරයි. ඉන් කොටින් 150ක් පමණ ජනාවාස ආශ්‍රිත කඳුකරයේ ජීවත් වන බවට ගණන් බලා තිබේ.

කොටි ප්‍රහාරවලට වඩාත් ලක් වන්නේ වතු හා ගම්බද ජනයාය. එම ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරකම් නිසා පසුගිය වසර පහේදී මෙම සතුන් 30ක් පමණ මියගොස් තිබෙන බව වනජීවී සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වේ. මේ වෙද්දී කොටි පහර දීම් නිසා එක් කාන්තාවක මිය ගොස් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

මේ වෙද්දී කොටින්ගේ වර්ධනයක් වාර්තා වී ඇති ප්‍රදේශ වන්නේ ගම්පොළ, ගලහ, පුපුරැස්ස, මිල්ලගහමුල, නාවලපිටිය, ෆෙන්රෝස්වත්ත, කැටඹුලාව, බාර්කේපල්, කොටගල, හැටන්, නෝර්වුඩ්, බගවන්තලාව සහ ගිනිගත්හේන ආදී ප්‍රදේශය. මෙම ප්‍රදේශවල කොටින් වර්ධනය වූවාසේම උන් අනතුරට පත්වීම් හා මියයෑම් ද වාර්තා වේ.

කොටින් උගුල්වලට හසුවීම් හා වස තබා මැරීම් මේ පළාත්වලින් විශාල ලෙස වාර්තා වී තිබේ. මෙම අවස්ථා අතරින් ශෝක ජනක කොටි මරණ 05ක්ම වාර්තා වූයේ ගම්පොළ ප්‍රදේශයෙනි. මෙයින් මිල්ලගහමුල ප්‍රදේ්ශයේදී උගුලකට හසු වූ කොටියෙකු දිනක් පුරා උගුලේ පැටලී වනජීවී නිලධාරීන් පැමිණීමට ආසන්න මොහොතේ මිය ගිය අතර මොරහේන හා ගලහ ප්‍රදේශවලදී ද එලෙසම කොටි දෙදෙනෙකු ද මියගොස් තිබුණි. ඒ අතර පුපුරැස්ස මණිකට්ටුව ප්‍රදේශයේ කොටියෙකු උස ගසක් උඩ මිය ගොස් සිටියේ කවුරුත් පුදුමයට පත් කරවමිනි. එම සතා උගුලකට හසුව එය කඩාගෙන කම්බිය සමඟ මෙම ගස මුදුනට නැඟ සිටිය දී කම්බිය ගසේ පැටලීම නිසා ඌ මෙසේ ගස උඩම මිය ගොස් සිටියේය.

කොටියෙකුගේ වඩාත් ශෝකජනක මරණය සිදු වූයේ වනජීවී වෛද්‍යවරුන් හා නිලධාරීන් ඉදිරියේය. ඒ ගම්පොළ කහවත්ත ප්‍රදේශයේදීය. උගුලකට හසුව සිටි තරුණ කොටියෙකු ඉන් මුදා ගැනීමට නිර්වින්දනය කිරීමට උත්සාහ කිරීමේ දී ඖෂධ අධි මාත්‍රාවක් වැදී එම කොටියා මිය ගිය අතර, වනජීවී අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් ද සිදු කරනු ලැබීය.

හැටන්, කොටගල, රොසිටා වතුයායේ තේ වතු ආශ්‍රිතව සැරි සරන කොටින් රක්ෂිතවලට පලවා හැරීම සඳහා නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පසුගිය දෙසැම්බර් මස 13 වන දින විශේෂ මෙහෙයුමක් දියත් කොට අලි වෙඩි ගසා එම සතුන් පලවා හැර ඇත්තේ ගම්වාසීන් ද සහභාගී කරගෙනය. පසුගියදා මෙම වත්තේ සිදු වූ කොටි ප්‍රහාරයකින් එකවර හත් දෙනෙකු තුවාල ලැබූ අතර ගම් වැදුණු මෙම සතා අල්ලා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව ද බොහෝ වෙහෙසක් ගත්තේ ය. මෙම වතුයායේ කොටින් විශාල ලෙස සැරිසැරීමත් සමඟ වතු කම්කරුවන් වතුවල දෛනික වැඩට යෑම පවා ප්‍රතික්ෂේප කර තිබුණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ හැටන් කලාපයේ හා උඩවලව කලාපය ඇතුළු ස්ථාන රැසක සේවය කරමින් හා කොටින් පිළිබඳ ගවේෂණයේ යෙදෙන්නන් සමඟ කටයුතු කර අත්දැකීම් බහුල වන සත්ව අඩවි ආරක්ෂ ක අනිල් ජයන්ත විතානගේ මහතා මේ කොටි ප්‍රශ්නය ගැන පැහැදිලි කළේය.

“මුලින්ම කිව යුතුයි අපේ රටේ අය කොටියා හා දිවියා පටලවාගෙන ඉන්න බව. සමහර අය කියනවා ලංකාවේ කොටි නෑ කියලා. මේවා දුර්මත. අප රටට ආවේණික කොටියා Panthara Pardus Kotiya යන විද්‍යාත්මක නමෙන් හැඳින්වෙනවා. සමෙහි කහපාට පසුබිමේ කළුපාට පුල්ලි තිබෙන්නේ ඌටයි. මේ සතාගේ පහර දීම් වාර්තා වුණත් මරණ වාර්තාවී ඇත්තේ අවමවයි. නාවලපිටියේ සිදු වූ මරණයත් සැක සහිතයි. උගේ ආහාර රටාව අනුව යෑමේදී යම් අවස්ථාවක මිනිසුන්ට පහර දී පලාගිය අවස්ථා ඇති වෙලා තිබෙනවා. ලෝකයේ දුර්ලභ සතුන් අතර දෙවෙනි තැනට පත්ව ඇති මේ සතා ආරක්ෂා කළ යුතුව තිබෙනවා.

නිමල්කා සජීවනී මහත්මිය පරිසරවේදිනියකි. එමෙන්ම කොටින් පිළිබඳ ගවේෂණයේ යෙදෙන්නියකි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනියක ද වන ඇය කොටියාගේ චර්යාවන් පිළිබඳ මෙසේ පැවසුවාය.

“ලංකාවට ආවේණික මෙම සතා පිළිබඳව අප දීර්ඝ ගවේෂණයක නිරත වී සිටිනවා. ඒ වගේම මිනිසා මෙම සතා සමඟ කෙසේ කටයුතු කළ යුතු ද යන්න ගැන අප වැඩමුළු මගින් මිනිසුන්ට යම් දැනුමක් ලබා දෙනවා. මිනිසා මෙන්ම කොටියා ද ආරක්ෂා වන අයුරින් මෙම ගැටුමට විසඳුමක් දිය යුතුයි. එසේ නොවුණහොත් නොනවතින කොටි - මිනිස් ගැටුම් ඇතිවේවි. මේ සඳහා වගකිවයුතු ආයතනයක් මැදිහත්විය යුතුයි.”

කෙසේ නමුත් කඳුකරයේ මෙලෙස කොටිගහනය ඉහළ යෑමත් සමඟ කොටි හමේ වටිනාකම දන්නා ජාවාරම්කරුවන් සිදුකළ කොටි හම් අලෙවි කිරීමේ ජාවාරමක් පේරාදෙණිය පොලීසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත්තේය.

මෙම සතා මිනිසුන් ගෘහාශ්‍රිතව ඇති කරන සතුන් විශාල ලෙස දඩයම් කිරීම නිසා මිනිසාගේ ආර්ථිකයට ද එය විශාල ලෙස බලපා තිබේ. එය ගම්බද හා වතු දිළිඳු ජනයාට දරා ගැනීමට නොහැකි තත්වයක් වන අතර කොටියාගේ හිරිහැර නිසා බිඳවැටී ඇති සමාජ හා ආර්ථික තත්වයද සමඟ ජීවිත අවදානම ද බෙහෙවින් ඉහළ ගොස් තිබේ.

මෙම ගැටලුව විසඳීමට වගකිව යුතු අංශ සමඟ රජයද මැදිහත් විය යුතු බව ජනතාව බලාපොරොත්තු වන අතර එසේ නොමැති වුවහොත් තම ගම්බිම් හැර දමා යෑමේ අවදානමක් මතුව ඇති බවද ඔවුහු පවසති.

වනජීවි නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශ මෙම සත්වයා බේරා ගැනීමේ කටයුතුවලට පමණක් මුල්තැන දෙන බවට ද ගම්මු චෝදනා නඟති.

එහෙයින් ගම්මු කොටියාගෙන් සිය ජීවිත හා ගෘහාශ්‍රිත සතුන් බේරා ගැනීම සඳහා උගුල් ඇටවීම හා වස දීම වැනි උපක්‍රම යොදති. එමගින් මේ සතාගේ ජීවිතය ද බලවත් අනතුරකට ලක්ව තිබේ.

සත්වවේදියකු වන කේ. ජී ගුණරත්න මහතා කොටි මිනිස් ගැටුමේ දී දෙපාර්ශ­්වයම ‍බේරා ගත හැකි ක්‍රියාදාමයක් යෝජනා කරයි.

“වන සත්ව තුරුලතා ආඥා පනත අනුව දැඩි ආරක්ෂිත සත්වයෙකු වන කොටියා බේරා ගැනීම පිළිබඳ මැදිහත් විය යුතුවා මෙන්ම මිනිසා ද බේරා ගැනීමට මැදිහත් විය යුතුයි. මන්ද මිනිසා බේරා ගැනීමෙන් කොටියා ඉබේම බේරෙනවා. මේ නිසා කොටි ගැවසෙන ප්‍රදේශවල මිනිස් වාස භූමි ඇත්නම් වහාම මේ සතා ආරක්ෂිත ස්ථානවලට ඉවත් කළ යුතුයි. ඒ සඳහා නිර්වින්දන ක්‍රම අනුගමනය නොකර කූඩු මගින් මෙම සත්වයා අල්ලා ගත යුතුයි. මෙම කටයුත්ත ප්‍රදේශයේ ජීවත්වන මිනිසාට දැනෙන ආකාරයෙන් සිදුකරනවා නම් මිනිසා කොටියා පිටුපස නොයාවි.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »