නියඟය පරදා සමඟිය ජයගත් ගමක්

2018-02-05 10:28:00       542
feature-top
* ගමට පොදුවේ අක්කර 100ක්. හැම පවුලකටම අක්කර 3 - 4 ක්. ගමේ හැමෝගෙම දවස ගෙවෙන්නේ හේන් යායේ. වැඩ කෙරෙන්නේ පොදුවේ සමගියෙන්. සාරථකත්වයේ රහස එයයි‍.
* වී ගොවිතැන් කර ගන්න බැරි වුණා කියා නොකා නොබී ඉන්න බෑ. වගා මේ මට්ටමට ගෙනාවේ වතුර සමඟ ලොකු හරඹයක් කරලයි. වැවේ වතුර ටිකෙන් ටික අරන් කාණු දිගේ යායට ගෙනාවා.
* යාය අස්වැද්දුවේ දැඩි නියං සමයේ

ලොව විවිධාකාර පුද්ගලයෝ වෙසෙති. ඇතැමුන් සිය දහඩිය මහන්සිය වගුරා තම ජීවිතය රක්ෂා කරගන්නට වෙහෙස මහන්සි වෙද්දී තවත් කොටසක් සැප සොයමින් අනුන්ගේ දේ උදුරා ගෙන ජීවත් වීමට වෙර දරති. ලෝක ස්වභාවය එය වේ. නමුත් තමා මෙන්ම තම දූ දරු දෙමවුපිය ඥාති හිතමිත්‍රාදීන් සියලු දෙනා වෙනුවෙන් මහ පොළොව සමග පොරබදා හරිහම්බ කරගන්නා උදවියද අප අතර වෙති.

ඔවුන්ට ශක්තියකට ඇත්තේ අහසෙන් වැටෙන දියබිඳත් මහ පොළොවේ රඳා ඇති දිය සුඟත් සරුසාර පසත් පමණි. එහෙත් ඒ සියල්ලත් සමඟින් ඔවුන්ට සිය දෑතේ හා සිතේ සවියත් මහ පොළොවේ සරු පසත් ශක්තියක්ව තිබේ. විටෙක ස්වභාව ධර්මයා රුදුරු රකුසෙකු මෙන් ප්‍රචණ්ද වුවද පරිසරයට හිතකාමී මිනිසුන් ස්වභාව ධර්මයා විසින්ම රැක ගැනීම සිදු කරයි. ස්වභාව ධර්මයේ නේක විපර්යාස මතින් සිය ධෛර්ය නිසාම ජීවිත ජයගත් සුන්දර මිනිසුන් පිරිසකගේ කතාවක් අපට අසන්නට ලැබුණේ ගල්ගමුවේ ඉද්දමල්පිටිය ගම්මානයෙනි. මේ පිරිසගේ උත්සාහයේ කතාව මෙලෙස අපට සටහන් තබන්නට තරම් හේතු වූයේ ඔවුන් සමගියෙන් යුතුව නිර්මාණය කළ අපූරු ‍හේන් යාය නිසාය. එම හේන් යායේ වපසරිය අක්කර සියයකට ආසන්නය. අපි ඒ සරුසාර වගා බිමට නිස්කලංක සැන්දෑවක ගියෙමු. අප යනවිටත් ඔවුන් තම වගා භූමියේ හරි හරියට වැඩය. ඉර බැස යන මොහොත දක්වා සිය දහදිය ශ්‍රමය වගුරමින් මහ පොළොව සරුකරන ඔවුන් දැකීම ද නෙතට රසඳුනකි. ඒ සොඳුරු සැන්දෑවේ ඔවුන් අප සමග කියූ දෑ බොහෝය.

අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව නගරය පසුකර කිලෝමීටර් තුනක් පමණ විත් බුදුරුවකන්ද පාසල අසලින් වම් පසට හරවා එන විට මේ අපූරු ගොවි මහතුන්ගේ සුන්දර පාරාදීසය දක්නට ලැබේ. සදාහරිත තුරු ගොමු මැදින් යද්දී හමන සිහින් මදනල ගතට ගෙන දෙන්නේ සිසිලකි. සිතට සුවයකි. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 84 මොළෑව පළාතේ පිහිටි ඉද්දමල්පිටිය නමැති ගම්මානය මේ තරම් අපූර්වත්වයෙන් හැඩ කොට හේන් වගාවක නවමු ආශ්වාදයක් ගෙනෙන්නට ඒ ගමේ මිනිසුන් දරන්නේ මහා වෙහෙසකි.

කර්කශ පොළොව සමඟ හැපෙමින්... වැසි දෙවියන්ට යදිමින්.... තම බඩ ගින්දර නිවා ගන්නට වැසි පොදක් ඉල්ලමින් ඔවුන් ගන්නා වීර්යය සුළු පටු නොවේ. උපන්දා පටන් සිය ජීවිතය කෘෂිකර්මාන්තයටම කැප කළ මොවුන් දුකත් සැපත් සතුටත් බෙදාගන්නේ මේවායින් ලැබෙන ගෙඩි කරලින්ය. බීජයක් සිටුවා ඉන් හට ගන්නා පුංචි ළපටි දෙපියලි පැළය දකිනවා තරම් ඔවුන්ට වෙනත් සතුටක් නොමැති තරම්ය. මේ සියල්ල ගැන ඔවුන් අප සමඟ පැවසුවේ දුකත් සතුටත් දෙකම කැටිකර ගෙනය.

“අපේ ගමේ පවුල් 70 ක් විතර ඉන්නවා. හැම දෙනාම වගේ කරන්නෙ ගොවිතැන්. නමුත් දැන් කන්න හතරක් විතර අපට වී ගොවිතැන කරන්න බැරි වුණා. ඒත් එහෙමයි කියලා අපිට නොකා නොබී ඉන්න බෑනේ. ඉතිං ඒ නිසා අපි ගමේ කට්ටිය එකතු වෙලා හේන් යායක් වවන්න කතා වුණා. මාස තුනක් හතරක් විතරක් යද්දි අපි මේ යාය කපලා පුච්චලා හේනක් විදිහට සකස් කළා. ඊට පස්සෙ තමා අපි වගා කරන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට අක්කර තුනක් හතරක් වගේ ප්‍රමාණයක් තියනවා. අපි හැම දෙනාම එකතු වෙලා අපි හැම දෙනාටම උදව් කරනවා. ඒ නිසා සාර්ථකව මේ කටයුත්ත කරගෙන යන්න අපිට පුළුවන් වෙලා තියනවා.

වගාව පටන් ගනිද්දි අපිට ලොකු අභියෝග ගොඩක් තිබුණා. නමුත් අපි අභියෝග බාරගෙනයි මේ කටයුත්ත සඳහා යොමු වුණේ. අපේ පළාතේ ගොඩක් තැන්වල හේන් වගා කරනවා. ඒත් මේ තරම් ලස්සනට මේ තරම් පිළිවෙළකට හේනක් වවලා තියෙනවා අපි දැක නෑ.” හේන් යායට මඟ පෙන්වමින් අප කැටුව ගිය ඩබ්. ජී. ආනන්ද විජේසිංහ මහතා පැවසීය.

යාය ආරම්භයේ ඇත්තේ ඉතාමත් පිළිවෙළට අලංකාරව තැනූ දඬුවැටකි. ඉන් ඇතුළු වූ පසු නෙතට ලක්වන්නේ මේ දුප්පත් මිනිසුන්ගේ දහඩිය මහන්සිය හා කදුළු මේ පොළෝ තලයට එක් කළ උත්සාහයේ ප්‍රතිඵලය. අද ඔවුන්ගේ ඒ සියලු දුක්ඛ දෝමනස්සයනට නිසි පිළිතුරු ලැබී ඇත්තේය. සැබැවින්ම ඔවුන් පවසන්නේ ඔවුන්ගේ සිහින මල්ළුල ගැන්වී ඇති බවය.

හරිත වර්ණයෙන් දිදුළන හේන් යායේ කළු පොළෝ තලයේ උඩට මතු වී ඇති විවිධාකාරයේ පැළ අපූරු රටාවක් මවයි. ඒ දුටු සැමගේ සිත් පහන් කරයි.

“අද වෙද්දි මෙතරම් ලස්සනට අපේ බෝග හැදිලා තියෙන්නේ මේ අත්වලට පිං සිද්ධ වෙන්නයි. අපි මේවා අස්වැද්දුවේ වතුර එක්ක පුදුම හරඹයක් කරලා. මොකද මේ පළාත්වලට වතුර හිඟයි. සමහර කාලවලට ඇත්තේම නෑ. නමුත් අපි වතුර නැති එක අභියෝගයක් කර ගත්තෙ නෑ. අපි වගා ළිං කැපුවා. නමුත් වතුර තිබුණෙ බොහොම සුළු ප්‍රමාණයයි. ඒත් අපි කානු දිගේ ගමේ වැවෙන් වතුර ටික ටික අරන් අස්වැද්දුවා. එහෙම තමා මේ තරම් ලොකුවටවත් මේ පැළ ගොඩනැඟුවෙ. අපිට තියන එකම අභියෝගය වතුර. වතර නැතිකමෙන් අපි ගොඩක් හෙම්බත් වෙනවා. අනික් දේවල් අපිට කොහොම හරි හොයා ගන්න පුළුවන්. මේ දේවල් කරන්න ගල්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් අපත් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අය අපිට උපදෙස් ලබා දෙනවා මේවා කරන්න ඕනෙ විදිය ගැන. මේ වගාවන්වලට අවශ්‍ය බීජ ටිකත් අපිට ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලයි ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවයි එකතු වෙලා. ඉතිං ඒ උදව්වට අපි මහන්සි වෙලා වවනවා. ඒත් ඉතිං වතුර වගේම පොහොර සම්බන්ධයෙනුත් අපිට ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියනවා. කඩේ පොහොර නෑ. කළු නික හොයනවා වගේ තමා අපි පොහොර හොයාගෙන පරිස්සමින් මේ වගාවන්ට දාන්නේ” අප හා එසේ පැවසුවේ කේ. ජී. විජේරත්න ගොවි මහතාය.

ඔවුන්ගේ හේන් යායපුරා විවිධාකාරයේ වගා දක්නට ලැබේ. එක් පැත්තකින් බඩඉරිඟු යාය උසට උසේ සුළඟේ සැලෙද්දී ඊට යටින් පෙනෙන තෙක් මානයේ දිස්වන්නේ රටකජු, මෑකරල් හා මිරිස් වගාවන්ය. ඒ අතරේ තිබ්බටු වගාද දැකිය හැකිය. විවිධ ස්ථානවල කොටස් වශයෙන් කව්පි, උඳු, මුං යනාදි ධාන්‍ය වර්ගද වගා කර ඇත්තේය. ඒ හැරුණු විට වී වගා කළ ලියදි දෙක තුනක්ද හේන් යායේ නිලට නිලේ ලෙළ දෙන අයුරු චමත්කාරය.

වගා අතර ඇවිදිමින් අපි ඔවුන් සමඟ කතාබහට එක් වුණෙමු.

“අපි මේ යාය වවන්න අරන් දැනට මාස තුන හතරක් විතර වෙනවා. දැන් අස්වනු නෙළන කාලෙ හරි. උඩහ කොටසේ අයනම් කලින් වගාව ආරම්භ කරපු නිසා දැන් අස්වනු නෙළනවා. මේවා මේ තරම් ලොකු මහත් කරන්න අපි ගන්නෙ ලොකු මහන්සියක්. ඇත්තටම අපිට වගා කරන්න මුදල් නෑ. මුදල් හොයා ගන්නෙ ණයක් වෙලා. ඒ වෙනුවෙන් අපිත් එක්ක හැමවෙලේම ඉන්නවා ගොවිජන සේවා බැංකුව. අඩු පොළියට අපිට ණය දෙනවා. ඒක අපිට ලොකු හයියක්. මුලින් වගේ නෙමේ. දැන් අපිට දවසෙ හැම වෙලාවෙම මේ හේන එක්ක තමා ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නෙ. මොකද අස්වනු නෙළන කාලය නිසා වන සතුන්ගෙන් මේවා ආරක්ෂා කර ගන්න ඕනෙ. අපි ගස් උඩ හේන් යාය මැද පැළවල් හදාගෙන තියනවා. ඉතිං හරිම නිදහසක් දැනෙනවා මේ හේන් යායට ආවට පස්සෙ. අපි මේ ඉන්න හැම දෙනාම උදේම එනවා මේ යායට. ආයේ රෑ වෙලා තමා යන්නෙ. ගෙදරට වැඩිය නිදහසක් මේ ගස් දිහා බලාගෙන ඉද්දි අපිට දැනෙනවා. මේ හදල තියන පැළක් ඇතුළෙම උයනවා. මෙතන ඉඳලම කෑම ටිකත් කනවා. යායෙ ඇවිදින ගමන් සත්තු ටිකත් එළවනවා. ඒ විදිහට තමා ජීවිතේ ගෙවෙන්නෙ. අපි මේ අස්වනු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට අරන් යනවා. මේ දවස්වලනම් තිබ්බටු කිලෝව රුපියල් දෙසීයට විතර වගේ දෙන්න පුළුවන්” වගා අතර සිටි කේ. එම්. කුසුමාවතී මහත්මිය පැවසුවාය.

ගොවිතැන් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වෙමින් ඔවුන්ට උපදෙස් ලබා දෙන හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් යොමුකරන ගල්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර අයි. ජී. එස්. කුමාර ජයතිලක මහතා ද මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වීය.“මේ හේන් යාය දැක්කාම සතුටකට වඩා දැනෙන්නෙ පුදුමයක්. මොකද මම එහෙම කිව්වෙ මේ ගොවි මහත්තුරු සහ ඒ අයගේ බිරින්දෑවරුන් මේ යාය අස්වැද්දුවේ ලොකු ඉඩෝරයක් තියෙන කාලෙක. පොළොව පොඩ්ඩක් තෙත් වෙන්න වැහි පොදක් ගියාට ඒක කොහොමත් ප්‍රමාණවත් වුණේ නෑ මේ වගාවට. ඉතිං අපේ උපදෙස් අනුව අපි හැම දෙනාම එකට එකතු වෙලා තමා මේ යාය නිර්මාණය කළේ. මම නිරන්තරයෙන් මේ අය එක්ක සම්බන්ධ වෙලා එයාලගේ ගැටලු හොයනවා බලනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගමේ ඉන්නා කාන්තාවනුත් ඉතාම උනන්දුයි සහ දක්ෂයි. හරියට මහන්සි වෙලා මේ දේවල් කරනවා. ඒ නිසා ඉදිරියේ දීත් අපි මේ අය එක්ක එකතු වෙලා වගාව ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා”

ගල්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය නිලධාරී ඩී. ඩබ්. එස්. ප්‍රදීප් මහතා මුල සිටම මේ ගම්මුන් හා සම්බන්ධ වෙමින් ඔවුන්ට උපරිම සහාය දැක්වුයේය.

“ගල්ගමුව වගේ අති දුෂ්කර පළාතක මේ වගේ හේන් යායක් වවනවා කියන්නෙ ගොඩක් ලොකු අභියෝගයක්. මේ අය ඒ අභියෝගය බාරගත්තා. මේ අයගේ උත්සාහය ගැන හරිම සතුටුයි. වතුර නැතුව වගා ළිං කපලා ඒ අයගේ ශ්‍රමයෙන් මේ වගේ ලොකු දෙයක් කරනවා කියෙන්නෙ රටටම ලොකු ආදර්ශයක්. අපේ කාර්යාලයෙන් ඒ අයගේ අඩුපාඩු හොයල බලලා ඒවාට විසඳුම් දෙනවා. කුමාර මහත්තයා නිරන්තරයෙන් මේ අයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.”

බටහිර අහස තැඹිලි පාටින් හැඩ වෙද්දී අතොරක් නැතිව ගස් මුදුන් පත් සිඹ සැනසෙන කුරුලු කිරිලියන්ගේ හඬ හැම අතින් ඇසේ. මොනරුන්ගේ මහා හඩ මාලා තවත් පසෙකිනි. නිලෙන් පිරුණු හේන් යායත් ගස් මුදුන් මත තැනුණු පැල් කොටත් සිහින් මදනලත් සමඟින් දිවිගෙවන ඔවුන් ට සමුදී අපි ඒ සැඳෑවේ එතැනින් නික්ම ආවෙමු. ගොම්මන් ඇඳිරිය ක්‍රමයෙන් පරිසරය ගිල ගනිද්දී ඒ පරිසරයෙන් මිදී ආ අප සිතට දැනුණේ එතැන දමා එන්නට බැරි තරමේ මහා ලෝභකමකි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »