බස් එක එළෙව්වේ හෙල්මට් දමාගෙනයි

2018-02-02 09:58:00       113
feature-top
තර්ජන ගර්ජන මැදින් අපේක්ෂා අභිමානවත් ගමනක

කාපට් දමා නව මාර්ග තැනුනද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ ගම්මාන අයත් වන්නේ තවමත් දූෂ්කර ගම්මාන ලේබලයටය. මේ ප්‍රදේශවල ජනතාව කලට වෙලාවට ගමනක් බිමනක් යන්නට ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නේය. විශේෂයෙන් මහරගම අපේක්ෂා රෝහලට යන එන්නෝද, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට, මහරගම ප්‍ර‍දේශයේ රැකියා සඳහා යන එන්නෝද, ත්‍රිවිධ හමුදාවේ සමාජිකයෝ පනාගොඩ හමුදා කඳවුරට මෙන්ම වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට මහ මඟ රස්තියාදු නොවි ගමනක් බිමනක් යන්නට නොමැතිකමින් අපමණ පීඩාවට පත්ව සිටියහ. ඔවුන් මේ සඳහා පිළියම් සෙවුයේ කලක සිටය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට, අදාළ මැති ඇමතිවරුන්ට කංකෙඳිරි ගාමින් ලිපි ලියමින් තමන්ට බස්රථයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපි ලියූහ. විටෙක ඔවුහු මහරගම ඩිපෝවෙන් ද තමන්ට බස් රථයක් දෙන ලෙස ඉල්ලා සිටියහ. අවසානයේ ඔවුන්ට ලංගම බස්රථයක් ලැබූණේ වලපනේ ඩිපෝවෙනි. ඉන් ගැමියෝ අපමණ සතුටට පත් වූහ.

රාගල සිට රුපහ මාර්ගයේ අධිකාරීගම, මහනුවර පස්යාල හංවැල්ල හරහා මහරගම දක්වා ගමන් ගන්නා මෙම බස්රථයේ මාර්ග අංකය වන්නේ වලපනේ මහරගම අංක 182ය. බස්රථය මෙම ජනවාරි මස දෙවැනිදා තම මංගල ගමන ඇරැඹියේ මගීන්ගේ ආශිර්වාද මධ්‍යයේය. බස් රථය ආරම්භයේ එතරම්ම ‍මඟින් සංඛ්‍යාවක් නොසිටිය ද බස් රථය නොකඩවා ධාවනය වන්නට වූයේය. නමුදු මෙම‍ බස්රථයේ ගමන් වාර ආරම්භ වීමත් සමඟ ඉන් කාට හෝ පහර වැදුණේය. මේ පහර වැදුණු පුද්ගලයා හෝ යම් පිරිසක් බස්රථයේ ගමන නතර කර දැමීමට බොහෝ වෑයම් වෙර දැරූහ.

කලක් තිස්සේ එසේ පීඩාවට පත්වූ ගම්වැසියෝ බොහෝ අමාරුවෙන් තම ගමට ලබාගත් බස් සේවාවේ මංගල ගමන ඇරැඹි දා අපමණ සතුටට පත් වූහ. ඒ තමන් මින් පෙර විඳි දුෂ්කරතා නිමාවට පත්වේයැයි කියා සිතාය. අතළොස්සකගේ ඕනෑකමට මේ බස්රියේ ගමන නතර කිරීමට කොතෙක් උත්සාහ දැරුවද ඒ සියලු බාධා නොසලකා මේ බස්රිය රැගෙන එන රියැදුරු හා කොන්දොස්තරවරුන් සිවු දෙනකු ගැන කතා නොකරම බැරි නිසාය.

වලපනේ සිට මහරගම දක්වා ධාවනය වන අපේක්ෂා බස්රථයට පළමු පහර දීම සිදු කැරුණේ මෙම මස අටවනදාය. ඒ කෑගල්ල ප්‍රදේශයේදීය. ඉන් පසු නවවැනිදා පස්යාලේදීද දහවැනිදා පන්නිපිටියේදී ද බස්රථය මැර ප්‍රහාරයට ලක්වුයේය. පහර දීමට ලක් වූ හා තර්ජනවලට ලක් වූ හැම දිනෙකම බස්රථයේ රියැදුරු කොන්දොස්තර ඒ ආසන්නයේම වූ පොලිසියට පැමිණිලි කළහ. නමුදු එයින් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව මඟීන් පවසන්නේ යළිත් ඉකුත් දාහතරවැනිදාද බස්රථය පහර කෑමට ලක් වූ බැවිනි. ගල් මුල් බෝතල් ආදියෙන් පහර දීම නිසා විටෙක බස් රථයේ ඉදිරිපස වීදුරුව බිඳී ගියේය. තවත් දිනෙක බස් රථයේ පිටුපස වීදූරුව බිඳී ගියේය. නමුදු අරුමය නම් මේ වන විටත් ලංගම බස්රථයට පහර දෙන පුද්ගයා හෝ සංවිධානාත්මක කල්ලිය පිළිබඳ තොරතුරු සොයා නොගැනීමය. එහෙත් සියලු බාධක නොසලකා ලංගම බස්රථය තවමත් දිනපතා වලපනේ සිට මහරගම අපේක්ෂා රෝහලට එන්නේය. යන්නේය.

සැබවින්ම සිදුවන්නේ කුමක් ද ?

බස් රථයේ රියැදුරු අජිත් වසන්ත අප සමඟ කී තොරතුරුය මේ.

“මේ බස්රථයේ රියැදුරන් දෙන්නෙක් හා කොන්දොස්තරලා දෙන්නෙක් ඉන්නවා. අනිත් රියැදුරු ඩබ්ලිව්. ජී ජයවීර. අපි බස් රථය රෑ අටට තමයි වලපනෙන් ගන්නේ. රාගලින් රෑ එකොළහට විතර පිටත් වෙනවා. නිලදණ්ඩාහින්නට එනකොට රෑ දොළහයි පනස්පහ විතර වෙනවා. වලපනේට එන්නේ එකයි විසිපහට. මහනුවරට පාන්දර 3.15 ට එනවා. පස්යාලට එන විට පාන්දර 4.45යි. ඉන් පස්සේ මහරගමට උදේ 6. 20 විතර වෙන කොට එනවා. මේ බස්රථය ගමන් ආරම්භ කළ පළමුවැනි දවසේ මඟීන් තිහක් විතර ඉන්න ඇති. මහරගම අපේක්ෂා රෝහලට යන රෝගීන්, රෝගීන් බලන්න එන යන අය වගේම වෙළදාමට මහරගම එන අය හමුදාවේ පොලිසියේ අය බස් රථයේ එනවා. ඒ අය අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එන අයත් ඉන්නවා. වලපනේ ඉඳලා කෙළින්ම එන්න ක්‍රමයක් නැති නිසා ඉස්සර මේ අයට බස් දෙක තුනක එන්න වෙනවා. එක්කෝ ඒ අය තමන්ගේ ගමන යන්න දවසකට දෙකකට කලින් තමයි කොළඹ එන්නේ. කෙහොම වුණත් දවසක් රන්වල හන්දියෙන් බීඩින් පටියකුත් අරන් නැග්ග හතර දෙනෙක් අපට පහර දෙන්න වගේ ආවේ. නමුත් බස් රථයේ ඉන්න යුද හමුදාවේ පොලිසියේ අයගේ පෙනුම දැකලා වෙන්නැති ඔවුන් මුකුත් කළේ නැහැ. නමුත් උදේ පාන්දර 4.45 ට පස්යාලෙන් වමට හරවන කොට බෝතලයකින් බස්රථයේ ඉදිරිපස වීදුරුවට ගැහුවා. වීදුරුව කුඩු වුණා . මගේ ඇස්වලටත් වීදුරු කුඩු විසි වුණා. අපි බස් එක නතර කළා. 119 කතා කරලා කිව්වා. මඟින් වෙනත් බස්වල නැගලා යන්න ගියා. නමුත් රුපහ පැත්තේ මඟියෙක් අපිත් එක්ක හිටියා. තව දවසක් ගලකින් ගැහැවුවා. ඒ අත්තනගල්ල පැත්තේ ඉදලා එනකොට. මේවන විට අපි පැමිණිලි පහක් දාලා තියෙනවා. නමුත් තවමත් මේ පිළිබඳ කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ”

වසන්ත පවසන්නේ කනගාටුවෙනි. ගම්මුන් ගමනට විඳි කරදර මඟ හරවමින් ලද මේ බසය හඳුන්වන්නේ අපේක්ෂා බස් රිය ලෙසිනි. සුව පහසුවට කරදරයක් නැතිව අපේක්ෂාවේ ආව ගිය මඟීන් දැන් කනගාටු වෙන්නේ කොයි මොහොතේ හෝ බස්රථය නතර වේවී කියාය. නමුදු වසන්ත කියන්නේ මෙවන් කතාවකි.

“පහර දෙයි කියන බය අපිට තියෙනවා. මේ සිද්ධියෙන් පස්සෙ හෙල්මට් දාගෙන ජැකට් දාගෙන තමයි බස් එක එළෙව්වේ. දැන් නම් හෙල්මට් එක ළඟ තියාගෙන ජැකට් එක දාගෙන බස් එක එළවනවා.”

මඟීයෝ වලපනේ සිට මහරගමට බස්රථයක් ලබා ගැනීමට කාලයක් තිස්සේ අපමණ වෙහෙසක් ගත්හ. ඒ වෙහෙසේ ප්‍රතිඵය ඔවුන් දැන් ලබමින් සිටින්නෝය. නමුදු මේ සිදු වූ කඩාකප්පල්කාරි ක්‍රියාව ගැන ඔවුහු කනගාටු වෙති.

“අපේ තියෙනවා මඟී හිමිකම් සුරැකීමේ සංවිධානයක්. ඒ සංගමය හරහා තමයි අපි මහරගමට බස් රථයක් ඉල්ලුවේ. මේ කර්යයයේදී අපිට නොයෙක් ප්‍රශ්න ගැටළු මතු වුණා. නමුත් අපිට අපේක්ෂා බස් එක ලැබුණා. බස්රථයට කළ පළමු පහර දීමේදී නම් කිසිම අලාභයක් සිදු වුණේ නැහැ. නමුත් ඉන් පස්සේ කළ පහරදීම්වලදි බස් එකට හානි සිදු වුණා. මේ වන විට නිට්ටඹුව, මහරගම, මහනුවර, පොලිසීවල පැමිණි දාලා තියෙන්නේ. එක වරක් බස්රථයට පහර දුන්නේ මහනුවර බුදු පිළිමය ඉදිරිපිටදී. මහනුවර ඒ ප්‍රදේශය ආවරණය වන පරිදි cctv කැමරා සවි කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් ඇයි මේ කඩාකප්පල්කාරීන් සොයා ගන්න බැරි වුණේ කියන එක අපට ප්‍රශ්නයක්.”අපේක්ෂා බස්රථයේ ආරම්භය හා දැනට මතුව ඇති තත්වය පිළිබඳ අදහස් දක්වමින් තරංග යාපා බණ්ඩාර එසේ පවසන්නේය.

පෞද්ගලික බස් ධාවකයන් නම් මෙවන් සිදූවීමක් වූයේ නම් මේ වන විටත් වර්ජනය කර හමාරය. නමුදු පහර පිට පහර වැදෙද්දිත් අපේක්ෂා තවමත් ධාවනයේය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතාගෙන් අපි කරුණු විමසුවෙමු.

“අපි කිසිම කෙනෙකුට බය නැහැ. ආරම්භ කළ බස් රථ සේවාව කාටවත් බයේ නතර කරන්නේ නැහැ. පසුගිය කාලයේ දුම්රිය වර්ජනය තිබූ අවස්ථාවේ ලංගම බස්රථ ධාවනය කිරීම ගැන ‍තර්ජන තිබුණා. ඒ වගේම යාපනයේදී බස් රථවලට පහර දිමක් සිදු වුණා. දැන් වලපනේ මහරගම අපේක්ෂා බස් රථයට පහර දීම් සිදු වුණා. නමුත් ලංගමය කවදාවත් පසු බසින්නේ නැහැ. ලංගමය දැන් ජව සම්පන්නයි. තර්ජන ගර්ජනවලින් අප නතර කරන්න බැහැ. අපි මහජනතාව වෙනුවෙන් අපේ සේවාව උපරිමයෙන් ඉටුකරනවා. මේ සිද්ධි සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙනවා.”

දැන් දැන් අපේක්ෂා බස්රථයට මඟීහු හුරුවෙමින් සිටිති. ඒ ක්‍රමයෙන් අපේක්ෂා බසය ගැන තොරතුරු පැතිර යාමත් සමඟය. වෙනදාට මහමඟටම කාලය ගෙවා දැමූ ගැමියෝ දැන් රාත්‍රියේ ගමෙන් පිටත්වී අපේක්ෂාව නැගී හිමිදිරියේම මහරගමට හෝ තමන්ට අදාළ ස්ථායට එන්නෝය. ඔවුහු තම කාර්ය නිමා කරගෙන දහවල් එකොළහමාර පමණ වන විට අපේක්ෂාවේ නැඟී සවස හය හමාර පමණ වන විට තම ගමට එති. ඔවුන්ට දැන් අපේක්ෂා සැනසිල්ලකි. මහමඟදි අපේක්ෂාට සිදුවන පහරදීම් තර්ජන පිළිබඳ ගැමියෝ විවිධ දේ කියන්නාහ. මේ ගැන තතු දත් අය පවසන්නේ මෙය‍ පෞද්ගලික බස් හිමියෙකුගේ කූට වැඩක් බවය.

කෙසේ වෙතත් බලධරයිනි මෙය ඔබේ අවධානයට ලක්විය යුත්තකි. අහිංසක ගැමියන්ගේ බලාපොරොත්තුවක් වූ අපේක්ෂා ඔවුන්ට රැක දීම කාගේත් යුතුකමකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »