ගලේ තැබූ අඩි සලකුණු කාගෙද මන්දා

2018-01-30 11:29:00       203
feature-top
* අවට ජනතාවගේ අතමිටත් සරුවෙලා
* පාද සලකුණු ගැන හීනෙන් ඇවිත් කිව්වා
* දෙවියෝ අපේ ගම දිහා බැලුවා

මේ සිරිපා වන්දනා සමයයි. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය වන්දනා මාන කිරීම පිණිස දිවයිනේ නන් දෙසින් බැතිමතුන් වැල නොකැඩී ඇදෙමින් තිබියදී හනුමාන් දෙවියන්ගේ පාද සටහනක් ඇති බව කියන ස්ථානයක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ ශ්‍රීපාද අධි රක්ෂිතයට යාබද මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයෙනි. එහි නිව් ෆෝක්මෝර් වතුයායේ පිහිටි ගල්තලාවේ අඟල් දෙකක් පමණ ගැඹුරට අඩි 1 1/2 ක් දිගින් හා අඩි 1/2 ක් පමණ පළලින් යුක්ත වන සේ පිහිටි මෙම පාද සලකුණු දැක බලා ගැනීමට ජනතාව රැස් කකා ඒමට පටන් ගැනීමත් සමඟ ජනමාධ්‍යයේ අවධානයද ඊට යොමු විය. ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයට වන්නට මෙම ස්ථානය පිහිටා තිබීම නිසාම මෙහි කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් ඇති බවට මතයක් පැතිරෙද්දී තවත් පැත්තකින් මෙය පාංශු ඛාදනය හේතුවෙන් ස්භාවිකව නිර්මාණයවූ එකක් බවටද ප්‍රචලිත විය.

අක්කරයක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන ගල් තලාවේ ශ්‍රීපාද අධි රක්ෂිතය සීමාවට මීටර 30 ක පමණ දුරින් පිහිටි මිනිස් පාද සටහන් ස්වරූපයේ සලකුණු දෙක දැක බලා ගැනීමට පැමිණෙන පිරිස දිනෙන් දින වැඩි වීමත් සමඟ එහි ආගමික වතාවත් ඉටු කිරීම සඳහා පූසාරිවරයෙක්ද පැමිණ සිටියේය. බැතියෙන් එහි එන ඇතැම් පුද්ගලයන් මායම්වී සිහිසුන්ව ඇද වැටුණු බව ද පැවසිණ. වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම ස්ථානය සොයා ගනු ලැබුවේ පසුගිය 19 වැනිදාය. වයෝවෘද්ධ පුද්ගලයකු සිහිනෙන් පැමිණ තමන්ට මෙම ස්ථානය පිළිබඳ දැනුම් දුන් බව වතුයායේ පදිංචි කේ. පරමනාදන් අප හා පැවසීය. මෙම ගල්තලාවට බටහිර දෙසින් ශ්‍රීපාද කන්ද දිස්වෙන අතර මෙහි සිට ශ්‍රීපාදස්ථානයට ගුවන් සැතපුම් 20 ක පමණ දුරක් ඇත. මස්කෙළිය නගරයේ සිට මෙතැනට දුර කිලෝ මීටර 25 ක් පමණ වේ. සාමිමලේ ඩී.සයිඩ් මංසන්ධියේ සිට ගාඩ්මෝර් වතුයාය දක්වා කිලෝ මීටර් නවයකින් යුත් මාර්ගය ඉතා අබලන්ය. එතැන් සිට කඳු බෑවුම් සහිත අතීශය දුෂ්කර වතු මාර්ගයක් ඔස්සේ කිලෝ මීටර 07 ක් ගෙවා මෙතැනට පැමිණිය හැකිය. මේ ගමන ත්‍රිරෝද රථයකින් පැමිණීමට රුපියල් දහසක මුදලක් අය කෙරෙන අතර මේ දිනවල ඒ වෙනුවෙන්ම විශේෂ ත්‍රිරෝද රථ සේවා ක්‍රියාක්මක වෙයි.

දමිළ ජාතික හින්දු බැතිමතුන් බහුතරයක් ජීවත්වන මෙම ප්‍රදේශයේ වැඩි දෙනෙක් වතු කම්කරුවෝ වෙති. ඔවුන් සියල්ලෝ හනුමාන් දෙවියන්ගේ පා සටහන් යැයි විශ්වාස කරමින් ගල් තලාවේ ඇති පා සටහන් බැතයෙන් වන්දනා කරති. දුර බැහැරින් පවා ජනතාව මෙහි පැමිණීම නිසා ෆෝක්මෝර් වතුයායේ මෙතෙක් තිබූ නිස්කලංකත්වය බිඳී ගොස් තිබේ. හුදෙකලාවූ පරිසරයක සිටි වතු ජනතාව දැන් නන් දෙසින් පැමිණෙන ජනතාවගේ සිරි දැක ඔද වැඩී ඇති සෙයකි. එසේ පිටතින් පැමිණෙන සැමට එහිදී ප්‍රදේශවාසීන්ගෙන් හිමි වන්නේ සුහද පිළිගැනීමකි. පාසල් වයසේ පසුවන දරුවන්ට මෙම ස්ථානය අවට කෙළි බිමක් වැනිය. ඔවුන් රිසිසේ දුවපැන ඇවිදින්නේ මෙතරම් ජනතාවක් මතක ඇති කාලයක වත්තට පැමිණ නොමැති බැවිනි. පුද පූජාවලට අවශ්‍ය බුලත්, හඳුන් කූරු, මල් පහන් හා කපුරු මෙන්ම සිසිල් බීම වර්ගද අලෙවි කෙරෙන ජංගම වෙළෙඳ සල් කිහිපයක්ද මෙම ස්ථානයේ දැන් ඉදිව තිබේ.

“තලප්පාවක් හිස බැඳ කෝටුවක් අතින් ගත් වයසක පුද්ගලයෙක් සිහිනෙන් මට කතා කළා. ගල් තලාවේ තැනක පාද සටහන් දෙකක් තිබෙනවා ඒක බලලා එයට පුද පුජා පවත්වන්න උඹට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කිව්වා. මේ ස්ථානය ආරක්ෂා කර ගන්න කියලා එතුමා මට දැනුම් දුන්නා. ඒත් එක්කම මට ඇහැරුණා. වෙලාව රෑ 12.00 ට විතර ඇති. නැගිටලා මම ටිකක් කල්පනා කළා. මේ හීනේ දැක්කේ පසුගිය පළමුවැනිදා. පහුවදා මම මේ හීනේ ගැන අපේ ලොකු පූසාරි තුමාට කිව්වා. හීනෙන් මට මේ පණිවිඩේ දීලා තබෙන්නේ දෙවි කෙනෙක් කියලා එතුමා කිව්වා. ඒ ස්ථානය පරීක්ෂා කරලා ඇත්ත නැත්ත දැනගමු කියලා පූසාරිතුමා පැවසුවා. අපේ වත්තට බොන වතුර ගන්න උල්පත තියෙන්නේ මේ ගල් පර්වතය ළඟයි. පහුවෙනිදා වතුර පාර හදන්න ගිය වෙලාවේ වත්තේ කීප දෙනෙක් එක්ක ගලේ බැඳී තිබූ පාසි ඉවත් කරා. පැය තුනක් විතර අපි එතන ගතකළා. පාසි ඉවත් කරන කොට මුලින් දකුණු කකුලේ සලකුණ හමුවුණා. ඒකට තාවකාලික ආවරණයක් හදලා ආයෙත් ගල සුද්ද කළාට පස්සේ වම් පාද සටහන හම්බ වුණා. පස්සේ වත්තේ සියලු දෙනාම ඇවිත් පහන් පත්තු කරලා සුවඳ දුම් අල්ලලා පූජා පැවැත්වූවා. අපේ ගෙවල්වල ඉඳන් මේ ස්ථානයට කිලෝ මීටර් දෙකක් විතර ඇති. අපි මේක හනුමන් දෙවියන්ගේ පාද සටහන් බවට විශ්වාශ කරන නිසා මේ ස්ථානයේ කෝවිලක් බැඳලා පුද පූජා පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” මෙම ස්ථානය සොයාගත් කේ.පරමනාදන් මහතා පැවසුවේය.

ෆෝග්මෝර් තේ වතුයායේ පදිංචි විශ්‍රාමික වතුකම්කරුවෙකු වන එම්.මුණුසාමි මහතා ද මේ ගැන අප හා තොරතුරු කීවේය. “ශ්‍රීපාදස්ථානය තියෙන මේ ඉසව්වේ නොයෙක් හාස්කම් තිබෙනවා. ඒක නැහැයි කියලා කාටත් කියන්න බැහැ. මේ ගල් තලාවේ දෙවි කෙනෙක් ඉන්නවාද කියලා අපි දන්නේ නෑ. ඒත් මේ තරම් විශාල පා සටහන් කාගෙද? බොරු කළොත් රැවටෙන්නේ අපිමයි. මේක අපටත් අපේ ගමටත් ලොකු ආශීර්වාදයක්. මේක හනුමන් දෙවියන්ගේ පාද සටහන බවට අපි විශ්වාශ කරනවා. ඒක එහෙම නොවෙයි නම් මොකක්ද කියලා කියන එක පුරා විද්‍යා නිලධාරීන්ට අයිති දෙයක්. ගමේ ජනතාව ලොකු භක්තියකින් තමයි මෙතන්ට පුද පූජා කරන්නේ. ගොඩක් ඈත ප්‍රදේශවලිනුත් කට්ටිය එනවා. මමත් පූජා තියනවා ”

එස්. ආරුමුගම් මෙම පාද සටහන් දැක බලා ගැනීමට හා පුද පූජා පැවැත්වීමට එතැනට පැමිණෙන ජනතාවට මල්, සුවඳ කූරු, කපුරු මෙන්ම බිස්කට් හා සිසිල් බීම අලෙවි කරන්නේය.

“මෙය අපේ ගමට ආශිර්වාදයක්. අද කොච්චර නම් සෙනඟක් අපේ වත්තට එනවාද. වෙනදට මේ පැත්ත හරිම පාළුයි.ගමට එන්න තියෙන දුෂ්කර පාරේ මෙතැනට එන්න යන්න පැය හතරක් පහක් යනවා. මෙතැන හොඳ වෙළෙදාමක් තියෙනවා. දෙවියෝ අපේ ගම දිහා බැලුවා කියලයි මම හිතන්නේ. වත්තේ කුලී වැඩ හැර අපට වෙන ආදායම් මාර්ග නැහැ.” පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ නිලධාරී පාලිත අත්තනායක මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

“මෙම ස්ථානය අපි හොඳින් පරීක්ෂා කළා. ඒ අවට පරිසරය පිළිබඳවත් දත්ත එක්රැස් කර ගත්තා. මේවා මිනිස් පාදයක ප්‍රමාණයට වඩා විශාල වුවත් පාදයක ස්වරූපය එහි දක්නට ලැබෙනවා. මේ සම්බන්ධව අවසන් නිගමනයකට එළඹිය හැකි වන්නේ පරීක්ෂණ සියල්ල අවසන්වූ පසුවයි. ඉතිහාසයේ මානව ක්‍රියාකාරකමක් සිදුවෙලා තිබෙනවාද? ඒ නිසා ශේෂවූ සාධක තිබෙනවාද? කියන කාරණා ඔස්සේ තමයි පුරා විද්‍යා වටිනාකමක් තිබෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. මානව ක්‍රියාකාරකමක් සිදුවූ බව කියන කාරණය පමණක් පදනම් කර ගනිමින් සාධක නොමැතිව යම් දෙයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීම අසීරුයි. සාධක පමණක් ඉතිරි වූ පමණින්ද ස්ථිර නිගමනයටකට ඒමට බැහැ. එනිසා මේ ගැන ස්ථිර යමක් පැවසිය හැකි වන්නේ අදාළ පරීක්ෂණවලින් පසුවයි.” යනුවෙන් අත්තනායක මහතා පැවසීය.

පාෂාණය එතරම් ශක්තිමත් එකක් නොවන බැවින් කාලයක් පුරා ඛාදනයට ලක්වීමෙන් ස්වභාවිකව මෙම සලකුණු මතුව ඇති බවට ඇතැම්හු අනුමාන කරති. මෙම ස්ථානය මුස්ලිම් ජාතිකයකුට අයත් පෞද්ගලික ඉඩමකි. පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් ලබාදෙන වාර්තාව අනුව ඉඩම සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරන බව ඔහු පවසයි. අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්. පී. ජී. සුමනසේකර මහතාද පසුගියදා එහි ගොස් ස්ථානීය පරීක්ෂාවක් සිදු කළේය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »