පවුල් දෙකේ අපූරු ගම්මානේ

2018-01-11 10:48:00       141
feature-top
* ගමට ඉන්නේ ‍තුන් දෙනයි. එක පිරිමියයි.
* මේ ගමේ ඉඩම් සල්ලි උල්පත්. වතුර තියෙනවා. ඕනෑම දෙයක් වැවෙනවා

මේ ගම මීට වසර කීපයකට පෙරදී නම් ඉතාම සරුසාර බත බුලතින් සපිරි මිනිසුන් සිටින අපූරු ගම්මානයකි. එහෙත් නවීන පහසුකම් අවට ගම්මානවලට එබිකම් කරද්දී මේ ගමේ ඇත්තන්ට ද ඒවායේ වටිනාකම හොඳින් වැටහෙන්නට විය. කාටවත් අතනොපා එදා වේල සරිකරගෙන ඔහේ ජීවත් වීමට හැකි වුණත් ඉන් එහාට යමක් මේ ගම සිටීමෙන් ඔවුනට ලබා ගත නොහැකි වීමෙන් සිදු වූයේ ගම දමා යන්නට හැකි සැවොම ගමෙන් බැහැරව පහසුකම් ඇති අවට ගම්මාන කරා සේන්දු වීමය. දැන් ගම පාළුවට ගොසිනි. එහෙත් දැන් වුවද මේ ගමේ පදිංචිවන කෙනකුට අනුන්ගෙන් නොඉල්ලා තියෙන දෙයක් ආහාරයට ගෙන ජීවත් වීමේ වාසනාව ඇත්තේය. එහෙම වැඩි අවශ්‍යතා නොමැති අය අතරින් දැන් ගමට ඉතිරිව සිටින්නේ පවුල් දෙකක් පමණි.

පවුල් දෙකක් පමණක් පදිංචි මේ අපූරු ගම්මානය පිහිටා‍ ඇත්තේ මීගහකිවුල කිතුලාන කන්ද පාමුලය. මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කලවැල්රුප්ප එම ගම්මානයයි. කලකට පෙර පවුල් 20 ක් පමණ මෙම ගම්මානයේ පදිංචිව සිටියද මාර්ග පානීය ජලය මෙන්ම විදුලිය ආදීවූ පොදු පහසුකම් නොමැතිකම හේතුවෙන් ගම්මානයේ බහුතරයක් ගම්මානයට පහළින් පිහිටි වෙනත් ගම්මාන හා මහවැලි ගම්මාන වෙත සංක්‍රමණය වූ බව මෙම ගම්මානයට පහළින් පිහිටි පුවක්ගහවත්ත ගම්වාසීහු පවසති.

මීගහකිවුල මොරහෙල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගමන් කර එතැන් සිට කන්ද ඉහළට විහිද ගිය අබලන් ගුරු පාර හා අඩි පාර ඔස්සේ තවත් කිලෝමීටර් හතරක් පමණ පා ගමනේ ගොස් මෙම ගම්මනය වෙත ළඟා විය හැක්කේය.

මේ වන විට මෙම ගම්මානයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව දෙකකි. එම පවුල් දෙකේ සාමාජික සංඛ්‍යාව තුනකි. ගමේ සිටින එකම පිරිමියා ඩී. එම්. මුතුබණ්ඩාය.

“මේ ගමේ කාලෙකට ඉස්සර විශාල පවුල් සංඛ්‍යාවක් ජීවත් වුණා. කන්ද පාමුල පිහිටීම නිසා වතුර ඇති තරම් තිබුණා. ගහ කොළත් සරුවට හැදුණා. කොස් දෙල් අඹ වගේ හැම දෙයක්ම ගම පුරාම. ඒ නිසා මිනිස්සුන්ට කෑමෙන් අඩුවක් වුණේ නැහැ. පහළ කුඹුරක් වැඩ කරගෙන ලුණු ටිකක් කඩෙන් ගෙනාවම හොඳටම ඇති.

මිනිස්සු ගමේ ඉඳල මේ කන්ද බැහැගෙන ගිහින් පහළ පාරට ඇවිත් බස් එකෙන්තමයි නගරෙට ගියේ . ඒ කාලේ අයට ඒවා එච්චර ගාණක් නැහැ. හැබැයි අලුත් පරම්රාවේ අය මේ විදිහට දුෂ්කරතා විඳින්න කැමැති නැහැ. ඒ නිසා ඒ අය ටිකෙන් ටික මේ ගම අත් ඇර දාල යන්න පටන් ගත්තා. අද වෙනකොට ගමේ ඉන්නේ පවුල් දෙකයි. එහා පැත්තේ ගෙදර නැන්දලත් ඉඳල හිටල තමා ගමට එන්නේ . ඒ අයත් අතුරුඇල පැත්තේ පදිංචිවෙලා ඉන්නවා. මම හිටියේ අයියා එක්ක. අයියා නැති වුණා. දැන් මම තනිවම ඉන්නවා. කිසි කරදරයක් නැහැ.

බොන්න වතුර තියෙනවා. කන්න ඇති තරම් මේ ගස්වල ගෙඩි හැදෙනවා. ඕනෑම දෙයක් වවන්න පුළුවන්. පාරක් නැති එක ලයිට් නැති එක මට එච්චර ගැටලුවක් නෙමෙයි, හැබැයි ඉතින් ඒව ලැබෙනව නම් මේ ගම ආයෙත් දියුණු වෙයි. මොකද මේ ගමේ ඉඩම් කියන්නේ සල්ලි උල්පත්. අදටත් නගරෙ කොස් දෙල් ගෙඩි රුපියල් 70-80 ට විකිණෙද්දී මේ ගමේ ගස්යට ඒව තොග පිටින් කුණු වෙනවා. ඒක හරිම අපරාධයක්.”




උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »