දෙවිඳුන් නොදැක උරණ වී කළ රාවණා කැපුම

2018-01-04 10:54:00       114
feature-top
කෝවිල් බිමේ ඇති ප්‍රාර්ථනා ගස අපූරු තැනකි. දරු සම්පත් අපේක්ෂිත නව යුවතිපතීන් කුඩා තොටිලි දස දහස් ගණනක් නුග වර්ගයේ මේ ගසේ එල්ලා ඇත්තේ මෙහි එන යන හැමගේ නෙත් සිත් ද ඒ ප්‍රාර්ථනා හා මුහුකරමිනි.

ත්‍රිකුණාමල ප්‍රදේශය ඈත අතීතයේ සිටම දිස්ත්‍රික්කය ඓතිහාසික වටිනාකම් සහිත සිද්ධස්ථාන, නෙත්කලු සිත්කලු පරිසර පද්ධතීන් හා ශෝභමාන වෙරළ තීරය නිසා සංචාරක ආකර්ෂණය ඉහළින් දිනාගත් සාවියකි. යුද උණුසුම පහව යෑමත් සමඟ මේ ප්‍රදේශයට දෙස් විදෙස් සංචාරකයන් ඇදී ආවේ යුද්ධයේ නටබුන් දැක බලා ගැනීමටත් සමඟය. දැන් ගෙවී යන සෑම දිනකම මේ විචිත්‍රවත් බිම දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන පාරාදීසයක්ව පවතී. මුහුදු දිය නෑමටත්, කෙළි දෙළෙන් කාලය ගෙවීමටත් මෙහි ඇත්තේ නොතිත් නිදහසකි. කිලෝ මීටර් කිහිපයක් දිගට දිවෙන මනරම් වෙරළ තීරය, කරදිය නා ගොඩ එන හැමට මිරිදිය නෑමට ඇති නාන කාමර, කීයක් හෝ අඩුවෙන් කරවල මිලට ගත හැකි කඩ මෙහි එන බොහෝ දෙනෙකු නිති ගැවසෙන ස්ථාන බවට පත්ව තිබේ.

සුප්‍රකට කන්නියා උණු වතුර ළිං පරිශ්‍රය ද බොහෝ දෙනෙකුට හුරු තැනකි. ක්‍රි.ව. 143 - 167 සමයේ රජ පැමිණ ඇති භාතික තිස්ස රජ දවස කරවු බව පැවසෙන උණු දිය ළිං රජමහා විහාර පරිශ්‍රය කලක සිටම පුරාවිදු බිමක්ව පවතී. ඉකුත් 2016 වර්ෂයේ දී සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ත්‍රිකුණාමලය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 5.13 ක මුදලක් වැයකොට මෙම භුමියේ බොහෝ අලුත්වැඩියා සිදුකොට ඇත. එහෙත් තවත් සිදුවිය යුතු දෑ ඇති බව පැහැදිලිය. සෑම සති අන්තවලදී මෙන්ම දිගු නිවාඩුවලදී මෙහි එන රථ වාහන සංඛ්‍යාව විශාලය. එනිසා රථවාහන නැවතුම් පොළ තවත් සංවර්ධනය විය යුතුය.

ලන්දේසීන් විසින් ඔවුන්ගේ ආරක්ෂක මර්මස්ථානයක් ලෙස කි.ව. 1675 දි කරවන ලද බව පැවසෙන ලන්දේසි බළකොටුව ත්‍රිකුණාමලය නගර මායිමේ පිහිටා ඇති තවත් සුවිශේෂි තැනකි. ඉන් පිවිසි කිලෝ මීටර් එකහමාරක් පමණ ගිය තැන්හි කෝනේෂ්වර කඳු මුදුනේ ඇති තිරුක්කෝනේෂ්වර කෝවිල ජාතිවාදයේ අමිහිරි මතක දුරස් කරන්නකි. දමිළ ප්‍රජාවගේ සංස්කෘතික තෝතැන්නක් වන කෝවිල් බිම සිංහල ජනයාගේ පා පහසින් ද සැනැහෙනුයේ ජාතීන් අතර ඇති සංහිඳියාව මොනවට කියාපාමිනි.

කෝවිල් බිමේ ඇති ප්‍රාර්ථනා ගස අපූරු තැනකි. දරු සම්පත් අපේක්ෂිත නව යුවතිපතීන් කුඩා තොටිලි දස දහස් ගණනක් නුග වර්ගයේ මේ ගසේ එල්ලා ඇත්තේ මෙහි එන යන හැමගේ නෙත් සිත් ද ඒ ප්‍රාර්ථනා හා මුහුකරමිනි. මෙහි සිට දිස්වන මුහුදු සීමාව විචිත්‍රවත් දසුනකි. කෝවිල් බිම පිවිසුමේ ඇති රාවණා කැපුම සොබාදහමේ තවත් විශ්මිත මැවුමකි. පූජාවකින් අනතුරුව දෙවියන් විද්‍යාමන නොවීම හේතුවෙන් රාවණා රජු කඳු මුදුනේ දේවාලය ඉවත් කිරීම සඳහා කෝනේෂ්වර කන්ද සොලවා ඇති බවත්, එහිදී කන්ද මදක් හෝ නොසෙල්වීම හේතුවෙන් කෝපවූ රජු අත රැඳි කඩුවෙන් කැපුමක් සිදුකොට ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. එම ස්ථානය රාවණා කැපුම ලෙස හැඳින්වේ.

වර්ෂ 1624 දී පෘතුගීසි පාලකයින් විසින් කඩා විනාශ කරන ලදැයි පැවසෙන මෙම කෝවිල් බිම 1950 වර්ෂයේ දී යළි සොයාගනු ලදුව 1952 වර්ෂයේ දී කෝවිලක් ලෙස නැවත ප්‍රතිස්ථාපනය කරන ලද බව පැවසේ. රාවණා රජු සමයේ පටන් මෙම කෝවිල් බිම පැවැත එන බව දමිළ ජන විශ්වාසයයි. වර්තමානයේ මෙම භුමිය සංචාරක ආකර්ෂණය දිනු බිමක් මෙන්ම හොඳ වෙළෙද බිමකි. මෙම භුමියේ දී අභය දානය ලැබ නිදැල්ලේ සරන මුවන් ගේ දසුන හැමගේ නෙතට රසඳුනකි.

නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩ වන් වෙල්ගම් රජමහා විහා රයත්, කාවන්තිස්ස රජ දවස සිදුකරන ලද විහාර කර්මාන්තයක් ලෙස සැලකෙන සේරුවිල මංගල රජමහා විහාරස්ථානයත් දැන් බොහෝ සෙයින් සැදැහැති වන්දනාමානයට පාත්‍ර වන පුජා භුමි බවට පත්ව තිබේ. අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජ දවස දෙතිස් ඵල බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් වෙල්ගම් රජමහා විහාරය කරවු බව ඉතිහාස කතාවල කියැවේ.

පළමුවැනි භාතිය, දෙවැනි අග්බෝ, පළමුවැනි විජයබාහු හා පළමුවැනි පරාක්‍රමබාහු රජ දරුවන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇති බව පැවසේ. රජරට සොළී පාලනයට යටත්ව තිබු වකවානුවේ දී බෞද්ධ වෙහෙර විහාර සොළීන් විසින් විනාශ කරනු ලැබුව ද ඔවුන් වෙල්ගම් විහාරය ආරක්ෂා කිරීම ඉතිහාසඥයන්ගේ ද මවිතයට හේතුවකි. වෙල්ගම් විහාරය අසල වෙල්ගම් බළකොටුවේ දෙමළ බෞද්ධයින් විසීම එයට හේතුවී ඇතැයි අනුමාන කෙරේ.

අතීතයේ අප රටේ දහම් කේන්ද්‍රස්ථානයක් ලෙස පැවැත පසුව යුද්ධය හේතුවෙන් කලක් විවිධ බලපෑම්වලට යටත් වෙමින් තිබුණද වෙල්ගම් විහාර භුමිය විවිධ අසීරුතා මැද දැන් යළි ගොඩනැගෙමින් පවතී. මෑත කාලයේ දී ඉදිකොට ඇති බුද්ධ මන්දිරය සහ ඝණ්ටාකාර හැඩයෙන් යුතු චෛත්‍යය ඒ අතරය. එහෙත් පෙර රජ දවස පටන් පැවැත එන ඉපැරැණි විහාර ආරාම, ස්තූප, පිළිම වහන්සේ ආදිය නටබුන්ව පවතී. ත්‍රිකුණාමලය නගර සීමාවට කිලෝ මීටර් අටක් පමණ මෙපිටින් කන්නියා ප්‍රදේශයේ රූස්ස වනයට මායිම්ව විහාර භූමිය පිහිටා ඇත.

කාවන්තිස්ස රජ දවසේ කරවන ලදැයි කියැවෙන සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මෙහි එන බොහෝ දෙනෙකු ගොඩවදින සිද්ධස්ථානයකි. බුදුන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට ඉදිකොට ඇතැයි පැවසෙන සුප්‍රකට මංගල මහා සෑය මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ අන්‍යතාවයි. වන්දනාකරුවන්ගේ ආකර්ෂණය වැඩිවන අන්දමින් මෙහි නව ඉදිකිරීම් සැලසුම් කොට ඇති බව සඳහන් ය. ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්

දෙමායිමේ ඉකුත් යුද සමයේ ත්‍රස්තයින්ගේ වියරු රජදහනක්ව ඇති රූස්ස, හු‍ෙදකලා වන මායිම්ව විහාර භුමිය පිහිටා තිබේ. මෙහි වෙහෙර විහාර ආශ්‍රිතව දැකිය හැකි තවත් අපූර්වත්වයක් නම් බුදු පුදට නියං සායට හැදුණු වරාමල් ද හරි හරියට රැගෙන ඒමය. එය අනෙක් බොහෝ තැන්හි දැකිය නොහැකි විශේෂත්වයකි.

මේ නේක දුෂ්කරතා සපිරි බිම ජීවන කොටගත් බොහෝ දෙනෙකුට දැන් ඇත්තේ ජීවත්වීමේ සටන ය. මෙහි පැමිණෙන පිරිස් වෙත මඟ දෙපස රැඳෙමින් යමක් විකුණා කීයක් හෝ සොයා ගැනීමට වෑයම් කරන පිරිස ද බොහෝය. කාපට් ඇතුරූ මහ මඟ ඉගිළ යන නේක වාහන වෙත අතපා නවතා පලතුරු, වරාමල් හා නෙළුම් මල් විකිණිමෙන් දිවි රැක ගන්නා උදවියගෙන් මෙහි අඩුවක් නැත. ඒ ආයාචනා සපිරි දෙනෙත්හි ලියැවී ඇති කතාව නිවැරැදිව කියවා ගත් කල්හි ජාතිවාදයෙන් නන් දොඩවන්නන්ගේ මුව ගොළුවනු සහතිකය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »