කන්දක් මුදුනේ පුංචි පැලක දිවි ගෙවනා පවුලක්

2017-12-27 11:22:00       525
feature-top
දැන් රාත්‍රියේ මෙන්ම හිමිදිරියේ ද රට පුරා පවතින්නේ සීත කාලගුණයකි. විටෙක මේ සීතල ඉසිලිය නොහැකි තරම්ය. නමුදු ජෛව විවිධත්වය අතින් වෙනස්ම පරිසර තත්වයක් උසුලන අම්බුළුවාව කන්ද හා ඒ අවට දහවල් කාලයේදී වුවද දැඩි සීතල බවක් ඇත්තේය. රාත්‍ර‍්‍රියේ මෙන්ම මෙන්ම සන්ධ්‍යා භාගයේදී ද හිමිදිරියේදී ද මේ සීතල උහුලාගෙන සිටීම බොහෝ අසීරුය. වැඩිහිටියන්ට කෙසේ වෙතත් පොඩ්ඩන්ට නම් සීතල දරා ගැනීම බෙහෙවින් අසීරුය. නිවෙසක් ඇති , සැප පහසුවට ඉන්නට ඇති ඇත්තන් බ්ලැන්කට් පොරවාගෙන සීතලෙන් මිදෙන්නට හදන කාලයක සීතලට තව තවත් තුරුලු වෙමින් ජීවිතය සොයන පුංචි පැංචන්ගේ ශෝචනීය පුවතක් ඉකුත් දා අසන්නට ලැබිණි . ඒ අම්බුළුවාව කන්ද මුදුනිනි. තොරතුරු ලද සැණින් අම්බලාන හා වත්තේකඩේ ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙකු සමඟ මේ පුංචි වුන් සොයා ගියෙමු.

“ අම්බුළුවාව කන්ද මුදුනේ දරුපවුලක් බොහෝම අසරණව ජීවත් වෙනවා. ”

යන අතරමඟදී ගම්මු විවිධ දේ කියන්නට වූහ. අවසානයේ අපි ඔවුන් සිටිය ඉසව්වට ළඟා වුණෙමු. ඒ අවට ඇත්තේ කැලෑ රොදකි. ඉලුක් මානා ආදී තෘණවලින් අවට වල් බිහි වී ඇත්තේය. පසුගිය වසරේදී අම්බුළුවාව නාය ගිය කුණු කන්ද ඉස්මත්තේ මාවනැල්ලට අයිති කැලෑබද බිමක මෙම දරුපවුල පදිංචියට පැමිණ ඇත්තේය. හතර අත වට කර ගැනීමටවත් නිවෙසක් තනා ගැනීමට වත් වත්කමක් නැති ඔවුන්ගේ නවාතැන සකස් වී තිබුණේ තහඩු ලී දඬු මෙන්ම කාඩ්බෝඩ් ආදියෙනි. ඒ පුංචි මඩුවෙහි දරුවන් පස්දෙනෙකු හා මව පියා දිවි ගෙවන්නේ කෙසේ දැයි එහි ගිය අපට සිතා ගැනීමටවත් නොහැකි තරම්ය.

රාත්‍රිය ළඟා වී නොතිබුණ ද අම්බුළුවාව කඳු පෙදෙසින් හා හෙම්මාතගම අවට කඳු පන්තියෙන් හමන සුළඟින් දැඩී සිතලක් පරිසරය වෙළාගෙන තිබිණි. අහම්බෙන් එහි ගිය අපට ඒ පරිසරයේ වැඩිවේලා ගත කිරීම බොහෝ අසීරු විය. සීතල අපට එසේ නම් කාලයක් තිස්සේ මේ දරු පැටවුන් මෙහි කෙසේ ගතකරනවා ඇතිද? මේ නිවෙසේ හිමිකරු හතළිස් හැවිරිදි එස්. මහේන්ද්‍රය. ස්ථිර රැකියාවක් නැති ඔහු අතට අසුවන ඕනෑම කුලි වැඩක් කරන්නේය. ඔහුගේ බිරිය චිත්‍රාංගනී විසි අට හැවිරිදිය. දරුවන් පස්දෙනෙකු සමඟ ගෙවන ජීවිතයේ අසීරුතාව කියන්නට වචනා ගළපා ගන්නට මහෙන්ද්‍රට බෙහෙවින් අසීරු විය. ඔහු අප හා කතා කළේ බොහෝ වේලාවකට පසුය.

“මගෙ වැඩිමල් දරුවට අවුරුදු එකොළහයි. අනිත් එක්කෙනාට අවුරුදු දහයයි. තුන් වෙනියට අවුරුදු පහයි. එයාව ලබන අවුරුද්දේ ඉස්කොලේ දාන්න ඕන. හතර වැනි දරුවට අවුරුදු තුනයි. බාලම පුතාට වයස අවුරුද්දයි. දුවයි පුතයි ඉස්කෝලේ යනවා. මට ස්ථිර රස්සාවක් නැහැ. කුලී වැඩ කරලා තමයි ජීවත් වන්නේ. ඒ ගොල්ලෝ ඉස්කොලේ යන්නේ ගම්පොළට. අපිට වෙන කරන්නම දෙයක් නැහැ. නැත්නම් අපි මේ වගේ තැනක ගෙයක් අටවගෙන දුක් විඳින්නේ නැහැ. ”

මහේන්ද්‍ර කුලියක් කරගෙන පැමිණෙන තුරු චිත්‍රාංගනි අනෙක් දරුවන් බලාගෙන පැල්පතට වී සිටින්නීය. කැලේ සිටින වල් ඌරන් වැනි සතුන්ගෙන්ද සර්පයන්ගෙන්ද ඇය දරුවන් ආරක්ෂා කර ගත යුතුය .

“අපි දරුවෝ අරගෙන කොහේ යන්න කියලා යන්න ද? දරුවන්ට සීතල උහුල ගන්න අමාරුයි. තේරෙන්නේ නැහැ මේ අයව කොහොම හදා ගනන්නද කියලා අපිට ඉන්න තැනක් නොතිබුණත්, ජීවත් වෙන්න ආදායමක් නැති වුණත් මේ දරුවෝ අපිට සම්පතක්. දවසක් මහ හුළඟකට වහලේ ගැලවිලා ගියා. මේ හරියේ මුවා වෙන්න තැනක් නැහැ. එදා රැ අපි දරුවොත් තුරුලු කරගෙන ගහක් යට ගත කළේ. මීට කාලෙකට කලින් අපිව මෙතනින් එළවලා දමන්න හැදුවා. ඒත් දෙයියනේ අපි කොහේ කියලා යන්න ද? නැදෑයෝ හිටියට එයාලත් දුප්පත්. අපිට උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ. එ්ත් අපි අපේ දරුවන්ට කොහොම හරි හොඳට උගන්වනවා.”

නාවලපිටිය ප්‍රදේශයේ ජීවත් වූ මහේන්ද්‍රට චිත්‍රාංගනි හමුවන්නේ දඹුල්ල ප්‍රදේශයේදීය. ඒ ඔහු කුලී රස්සාවක් සොයා දඹුල්ල ප්‍රදේශයට ගිය ගමනකදීය. ඔවුන් අතිනත ගත්තේ ඉන් කලකට පසුය.

“ ආදරය කරලා අපි විවාහ වුණත් ඉන්න හිටින්න තැනක් අපිට එදා ඉඳලා තිබුණේ නැහැ. මුලින් කුලි නිවාසවල හිටියා. දරුවන් ලැබුණාට පස්සේ එහෙම කුලි නිවාසවල ඉන්න අපිට මුදල් නැති නිසා අම්බුළුවාවේ ඉඩමක කුඩා කාමරයක් පමණක් තිබුණු නිවෙසක අපි දරුවන් එක්ක ජිවත් වුණා. අවුරුදු 6 ක් විතර එතැන සිටිද්දී ඉඩම අයිතිකාරයා ඉ‍ඩම විකුණනවා කියා අපට අයින් වෙන්න කිව්වා. එදා ඉඳන් අපි ඉන්නේ මේ පැලේ.

වැස්සට හරි අමාරුයි දෙපාරක් මෙ ගෙදර වහලය සුළඟට ගහගෙන ගියා. හරි හමන් වැසිකිළියක් නැහැ. ඉටි රෙද්දකින් වටකරගෙන තමයි ඒ කටයුතු කෙරෙන්නේ. වැස්ස දවසට ‍මේ ‍ගේ ඇතුළට වතුර එනවා. එතකොට අපි දෙන්නා නැගිටලා දරුවෝ තුරුලු කරගෙන තේ කහට එකක් බිලා එළිය වැටෙනකල් අමාරුවෙන් ඉන්නවා.

මෙ පුංචි අඩි 8 ක විතර කුඩා කැල්ලේ තමයි හැම දේම කරන්නේ දරුවෝ පාඩම් කරන්නේ එළියේ කුණූ අරන් යන්න හදපු කොන්ක්‍රීට් පාරේ නමුත් හවස ඉඳන් එළිය වැටෙනකල් සුළං වැඩි නිසා එළියේ ඉන්නත් බැහැ. සුළං සීතල වැඩි සමහර දවස් වලට ගිනි මැළයක් ගහ ගෙන සීතලට ඉන්නවා. ළඟ අහල පහළ ගෙයක් දොරක් නැහැ. කෑ ගැහුවොත් කාටවත් ඇහෙන්නේ නැහැ. සතා සිවුපාවුන් සර්පයන් පවා ඉන්න මේ කන්දේ දරුවන් ඉන්නේ බයෙන්. අපට වෙන කිසිවක්ම ඕනෑ නැහැ. කාට හරි පුළුවන් නම් අපිට ගෙයක් හදලා දෙන්න ඒක ලොකු පිනක්. ”

කුමන දුක් කරදර විඳ හෝ ජීවන ගමන එකට යන්නට සපථ කරගත් මහේන්ද්‍රට හා සීතාට ඔවුන්ගේ දරුවන් පස්දෙනා ජීවත් කරවීම සඳහා දැන් ඔබේ පිහිට අවශ්‍යම කාලය උදා වී ඇත.

ස්වාභාවික ආපදාවන්ට ගොදුරු වුවද මේ දරුවන් සිටින්නේ ප්‍රබෝධයෙනි. හෙට කුමක් සිදුවන්නේදැයි කියා ඔවුහු නොදනිති. නමුදු මේ පොඩිත්තන්ට හෙටක් සදන්නට ඔබට සිතක් පහළ වන්නේ නම් අමතන්න සිත්මල් යායට. දුරකථන අංකය..0112429265


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »