වසර 33කට පසු යළි සෝමාවතී වනාන්තරයට

2017-12-14 10:46:00       126
feature-top
වගුරු තෘණ බුදින අලි කීපදෙනෙක් ඒ වනවිටත් වෙට්ටය මැදට බැස සිටියහ. වෙරුගල් ‍සොරොව්වේ දිය බැස යන රාවය නිසල පරිසරයට ජීවය කවයි. මහවැලි ඉවුරු දෙපසට විදුලි පන්දම එල්ල කර බැලූ මට ඉවුරු ඉම දිදුලන රන්වන් නෙත් යුග එක දිගට දිස්වන්නට විය. ඒ තරමටම ග‍ඟේ කිඹුල්ලුය. මහ රැයේ තුරු මුදුන් මත සිට අඩ නින්දෙන් අවදිව කෙරෙන මොනර යාතිකාය. ඉවුරු බිඳින වල් ඌරන්ගේ හොග්.. හොග්..ගොසය. වෙරුගල් නදිය එකම කෙළිමඬලක් සේ වෙල්ලායි වෙට්ටය වටා රැඟුම් පායි.

තිස්තුන් වසරක දිගු නිහැඬියාවක් බිඳිමින් යළිත් සෝමාවතී වනාන්තරයේ වනසැරියක් සඳහා මට ආරාධනයක් ලැබු‍ණේ ය. අප කණ්ඩායම අටදෙනෙකුගෙන් සමන්විත විය. පහන්තරුව බටහිර අහසේ තිලකය තබන හෝරාවේ කොළඹින් ගමන් ආරම්භ කළ අපි උදෑසන අට වන විට කන්තලේ වනජීවී කාර්යාලයට ළඟා වීමු. දින තුනක වනසැරියකට අවසරය ලබාගෙන අප මුලින් ම පැමිණියේ නිදහස් වනසැරියට මා අත්පොත තබන ලද අල්ල - කන්තලේ පාරේ පිහිටි සිරිමංගලපුර කැලෑ ගම්මානයටය. නමුත් එය අද කැලෑගමක් නොවීය. ස්ථාවර ජන ගම්මානයකි. විදුලිය වැටක් වනාන්තරයට සීමා බාධක පනවා තිබුණේය.

උදා හිරුරැස් වැලඳ සිරි සිරි සුළ‍ඟේ බබළන ඉලුක්යායන්, අලුත් දවසකට ගී ගයන කුරුල්ලන්, පිල් විදහා නටන මොනරුන්, ගොනු කුර ගැටෙන හඬට බියපත්ව ඔබ‍ මොබ පැන දුවන බෝල වටුවන්, රූස්ස වෘක්ෂ රාජයන් හෝ ඒ අතරින් හොරෙන් හොරෙන් එබී බලන වඳුරු රිළා ගන පමණක් නොව නිදහස් වන පිවිසුමකට එදා මා කැඳවාගෙන ගිය අඩිපාරක සලකුණක් වත් අද ඉතිරි වී නොතිබුණේ ය.

කෙසේ නමුත් පෙර කල මා සිත රැඳි වන ඉමක සලකුණු ඔස්සේ අපි වනාන්තරයට ගියෙමු. වැඩි ඈතක යන්නටත් පෙර මඟ සොයාගත නොහැකි අපි මංමුළා වීමු. තිස් වසරක් පුරාවට නිදහසේ වැඩුණු ගන තුරු පඳුරු පැරැණි කරත්ත පාර අන්තර්දහන කර දමා තිබිණ. පඳුරු බිඳිමින් අලුත් හිඩැසක් පාදාගෙන ජීප් රථ දෙක ඉදිරියට ගෙන යෑමට පැය තුනකට අධික කාලයක් අප දැරූ උත්සාහය සාර්ථක කරමින් අත්හැර දැමූ ට්‍රැක්ටර් පාරකට අපි අවතීර්ණ වීමු. හතර අත බලන මා නෙත් පාරේ සැබෑ අරුත වටහා ගත්තේය. එකල මා දුටු සෝමාවතී වනාන්තරයේ හල්මිල්ල වන යායට කුමක් සිදුවී ද? වටිනා කියන කඳක් ඇති කිසිදු වෘක්ෂ රාජයෙක් වනයේ ඉතිරි කර නොතිබුණේය.

අප යන මේ ගමනේ ඉලක්කය වූයේ සිරිමංගලපුර සිට සැතපුම් දහ අටකට එපිටින් සෝමාවතී වන අභ්‍යන්තරය මැද පිහිටි “කොමනච්චි” වනගත ප්‍රදේශයට ළඟාවීමය. අලි ඇතුන් විසින් මඟ හරහට පෙරළා දැමූ ගස් කඳන් බාධක ඉවත් කර කර අති දුෂ්කර ගමනක යෙදීමට අපට සිදුවිය. අවසානයේ අප ළඟා වූයේ ඉන් ඔබ්බට කිසි ම මඟ සලකුණක් නැති ගන වන ඉසව්වකට ය. මාවතක් පාදාගෙන ඉදිරියට යෑමට අප උත්සාහ කළ ද එමඟින් කැලෑ හොරුන්ට ඉනිමං බැඳීමක් සිදුවිය හැකි බැවින් ඒ අදහස අත්හැර දැමූවෙමු. මන්ද ට්‍රැක්ටර් පාර අවසාන වූ තැනින් ඔබ්බට වාහන වනාන්තරය තුළට රිංගා ඇති බවට සලකුණු නොතිබුණේය.

එක්වර ම ගස් ගොමු අතරින් මතු වූ පාපැදිකරුවන් තිදෙනෙක් අප ඉදිරියේ නතර වූහ. පාපැදි පිටුපස බැඳි බර මලු තුනක් ද විය. අපේ දර්ශනය ඔවුන් භීතියට පත් කළ බවක් පෙනිණ. එබිය දුරැලනු වස් අපි උන් පිළිවිසිමු. ඔවුහු වෙරුගල් ගම්මානයේ අහිංසක වැසියන් තිදෙනෙකි. මසුන් අල්ලා ගින්නෙන් වියැළා සති දෙකතුනකට වරක් ගමට ගෙන යෑම ඔවුන්ගේ රැකියාව විය. ගින්නෙන් වියළන ලද ලූල් කරවලවලට සෝමාවතී වනාන්තරය ප්‍රසිද්ධය. අප දැන් රැඳී සිටින්නේ මහවැලි ගඟට යන පැරැණි කරත්ත පාරේ බවත් මින් ඔබ්බට ඒ පාර අද නැති බවත් මේ ගැමියන්ගෙන් අපට දැනගන්නට ලැබුණෙන් කොමනච්චිය බලා යෑමේ අදහස අත්හැර ආපසු හැරෙන්නට අපි තීරණය කළෙමු.

මගේ සෝමාවතී වනගත දිවිය අවසන් වූයේ 1984 දීය. ඒ එකල පැවැති රටේ අයහපත් වාතාවරණය නිසාය. අල්ල - කන්තලේ පාරේ සිත්තාරුව, සිරිමංගලපුර හා මාවිල්ආරුව ඔස්සේ වනයට ඇතුළු වීමට එදා පාරවල් තිබුණත් ඒ සියල්ල අද අභාවයට ගොස් ඇත. මේ වනවිට වේලාව සවස හතර පසු වී තිබිණ. ඒ වල් අලි කැලයෙන් එළියට බසින හෝරාවයි. නිසි මඟක් තොටක් නොමැතිව ජීප්රථ දෙකක් වනය මැද රඳවා තබා ගැනීම යෝග්‍ය නැත. එහෙයින් අපගේ රාත්‍රි නවාතැන සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම අත්‍යවශ්‍ය වූයෙන් මාවිල් ආරු වැව් බැම්ම තෙක් පසු බැසීමට අපි තීරණය කළෙමු.

මාවිල් ආරු සොරොව්ව අසලට අප ළඟා වන විට අන්තර් මෝසම් වැසි සමයක උදාව කියා පාමින් අහස වැසි වලාකුළින් බරව තිබුණේ ය. ඈත වන ඉම වසාගත් වෙල්ලායි වෙට්ටය ඉමක් කොනක් නොපෙනෙන වගුරු තලාවක මා නෙත් අතරමං කළේය. ඈතින් ඇදී අවුත් මෑතින් මතුවන වෙරුගල් ආරය, තිගං දොරුවක බෙදී බිඳී අවුත් තුන් දිග් බලා ගලන මහා ජලකඳකි. පසෙකින් මාවිල් ආරු සොරොව්වය. එතුළින් නික්මෙන ජලකඳ සෝමපුර, දෙහිවත්ත, නීලපොළ ඔස්සේ මූතුර්, සාම්පූර් තෙක් දියවර රැගෙන යයි. බැම්ම මධ්‍යයෙහි ඇත්තේ වෙල්ලෙයි ආරු සොරොව්ව ය. අල්ලෙයි වැවට ජලය සපයන මේ සොරොව්ව අලි ඔළුව, සේරුවිල, කිලිවෙඩ්ඩි ප්‍රදේශ පෝෂණය කරයි. ඊළඟට ඇත්තේ ප්‍රධාන වෙරුගල් ගඟ හරස් කළ වෙරුගල් සොරොව්වය. වෙරුගල් මුහුදු බොක්ක තෙක් විහිදී පැතිරී ඇති ඓතිහාසික ද්‍රවිඩ ගම්මානවලට ජලය සපයමින් පහළ මහවැලියේ ජලධාරිතාවෙන් අඩක් ම පාලනය කරන්නේ මේ වෙරුගල් සොරොව්ව ය.

මහවැලි ග‍ඟේ ඓතිහාසික හැරවුම් ලක්ෂය වන කන්දකාඩු ඇළ ඔස්සේ අඩි පනහේ ස‍මෝච්ඡ රේඛාවෙන් පහළට ඇදී යන මහවැලි දියකඳ සෝමාවතී වන මැද පිහිටි මල්වත්ත විල්ලුවේදී මාවිල් ආර ද නිර්මාණය කරමින් ඊසා දිග් භාගය දෙසට ඇදී යයි. ඉනික්බිති වෙල්ලායි වෙට්ටයේදී වෙරුගල් ආරු දියකඳ සමඟ අතිනත් ගන්නා මේ දිය දහරාවෝ සමස්ත වෙල්ලායි වෙට්ටය ම සදා දිය සීරාවෙන් පෝෂිත ස්පොන්ජියක් හෙවත් දියළු බුමුතුරුණක් බවට පත්කරමින් කොට්ටියාරම් පත්තුවත් සෝමාවතී වනාන්තරයත් නිරතුරු ආරක්ෂා කර දෙති. අප දැන් රැඳී සිටින්නේ ඒ සීතල බුමුතුරුණේ අමිල පහස ලබන මාවිල්ආරු වැව් බැම්ම උඩය.

මෝසම් සුළඟ වැසිබර අහස කිති කැවීය. වලාකුළු පෙරළාගෙන සුළං දහරා ඇදී ආවේය. සොඳුරු වෙට්ටය අඳුරු වෙස් ගත්තේය. වෘක්ෂ රාජයෝ කිටි කිටියේ ඇඹරෙන්නට වන්හ. ගොදුරු පැතූ සැඳෑ විහඟුන්ගේ විලාප හඬ දසත පැතුරුණේ ය. ධාරානිපාත වැස්සට මුවා වනු වස් අපි වාහන තුළට ගාල් වීමු.

පැයකට වැඩි කාලයක් ඇද හැළුණු වැහි කෝඩය සැඳෑ අහසේ අඳුරු පැහැය දුරු කළේය. නිරාවරණ වෙට්ටය අමුතු සිරියක් ගත්තේය. වගුරු තෘණ බුදින අලි කීපදෙනෙක් ඒ වන විටත් වෙට්ටය මැදට බැස සිටියහ. වෙරුගල් සොරොව්වේ දිය බැස යන රාවය නිසල පරිසරයක පිවිතුරු පැවැත්මට තව තවත් ජීවය කැවීය. දසක තුනකට පසුව දුටු වෙල්ලායි වෙට්ටය මා නෙතට හුරුපුරුදු පුංචි දූපතක් වෙතට අප කැඳවීය. රාත්‍රි නවාතැනට එය කදිම තෝතැන්නකි. වක්කුලම් ගැසී ගලන වෙරුගල් ආරුවේ ස්වාභාවික රංගන රටාව විසින් ම මේ දූපත නිර්මාණය කර තිබුණේය. එහි පිවිසීමට ඇති පීත්ත පටියක් වන් කුඩා බිම්තීරුව හැරුණුවිට මුළු දූපත ම වෙල්ලායි වෙට්ට වගුරු කලාවෙන් වට වී තිබීම අසිරිමත් දර්ශනයක් විය.

දූපත මැදට ළඟා වූ විට පෙර නුදුටු වෙනසක් මට දැනුණේය. ගරා වැටුණු ගොඩනැඟිල්ලක සුන්බුන් පොළොවට සමතලා වී ඇත. පසුව දැනගන්නට ලැබුණේ කලක් එහි සටන්කරුවන්ගේ නවාතැනක් ඉදිකර තිබුණු බවක් පසු කලෙක හමුදා ප්‍රහාරයක් හමුවේ එය විනාශ වී ගිය බවත් ය. වැසි දියෙන් තෙත් බරිත නොවූ ඒ භූමිය මත අපි කූඩාරම් තනා ගතිමු.

සියලු කටයුතු නිමාවේ රාත්‍රි අන්ධකාරය වෙට්ටය මැද අප තුරුලු කර ගත්තේ ය. මා මිතුරු කැළ දුෂ්කර වන සැරියකට හැඩගැසුණු සැබෑ කෑලෑ‍ජෝන්ලා වීම ආඩම්බරයකි. පුංචි කඳවුරු භූමියට මන්ඳ ආලෝකය සපයා දුන්නේ වාහනයේ විදුලි කෝෂයයි. පුංචි ශීතකරණය රාත්‍රි ආහාරයට කුකුළුමස් සපයා දුන්නේය. ගිනි උදුන දැල්වීමට ඇවැසි විශේෂ අඟුරු වර්ගයක් කොළඹින් ම රැගෙනවිත් තිබිණ. ලිග්ගල් තුනක් මත යකඩ තැටියක් තබා රෝස් කරගත් කුකුළු මස් හා පාන් පෙති අපේ රාත්‍රි ආහාරය විය.

මනරම් රාත්‍රියක විසිතුරු සිරිය උදා විය. රාත්‍රි ආහාරයෙන් පසුව ඇඟපත දෝවනය කර ගැනීමට අපි වෙරුගල් සොරොව්ව පාමුලට ගියෙමු. යන්තමට‍ හෝ ගඟ දිය බැසීමට තිබුණේ එම ස්ථානය පමණි. මහවැලි ගංතෙර රඟ සොබා දැන සිටි ‍මම සොරොව්ව උඩට ගොස් පහළින් ගලා යන ගඟ දිය ඉවුරු දෙපසට විදුලි පන්දම එල්ල කර බැලුවෙමි. ඉවුරු ඉම දිදුලන රන්වන් නෙත් යුග එක දිගට දිස්වන්නට වන. ඒ තරමට ම ග‍ඟේ කිඹුල්ලු ය. එවන් අත්දැකීමක් පෙර දැක නොතිබුණු මා මිතුරු කැළ අතිශය තෘප්තියට පත්වූහ. වනගත මහවැලිය කිඹුලන්ගේ පාරාදීසයකි. ගඟ දිය නොපාගා බාල්දියෙන් දිය රැගෙන ගත දෝවනය කර ගැනීමට කවුරුත් වග බලා ගත් හ.

සුවිශාල වපසරියකින් හෙබි දියළු වගුරු තලාව පිස එන සීතල සුළඟ රැළි ගතට විඩා ගෙන දුන්න ද මැදියම් රැය ගෙවෙන තුරා හතර වටින් නැඟුණු හස්ති කාහල නාදය වරින් වර අප කූඩාරමෙන් එළියට කැඳවීය. වැසි බර මුදා හළ අහස පැහැදිලි සඳ එළියෙන් නැහැවී තිබිණ. සඳ කැන් වතුරේ පාවෙන ධූම වලාවක් සේ මිහිඳුම් සළුව වෙට්ටය වසාගෙන තිබුණේ ය. ගත හිරිගඩු පිපෙයි. නෙත අඳුරේ රසය විනිවිද දකියි. සිත මනු ලොවින් අප දිව ලොවට රැගෙන යයි. අඩ නින්දෙන් අවදි වන මොනරුන්ගේ යාතිකා ය. පිනි බිඳු සල සලා ඉවුරු බිඳින වල් ඌරන්ගේ හොග්... හොග්... ගොසය. බාවෙන් රුවල් පදින කිඹුලන්ගේ ජල තරංග ය. වෙරුගල් නදිය එක ම කෙළිමඬලක් සේ වෙල්ලායි වෙට්ටය වටා රැඟුම් රඟයි.

අඩ නෙත් පියැවුණු පාන්දර යාමය ගෙවී ගියේ ය. හිමිදිරි නින්දෙන් අවදි වූ මම කූඩාරමෙන් එළියට ආවෙමි. දූපත සෙවණ කළ කුඹුක් ගස මුදුනේ මොනර රංචුවකි. උන් තවමත් නින්දෙන් පිබිදී නැත. බොල් පින පිසින උදා හිරුරැස් වඩින තුරා උහු උදාසීනව බලා සිටිති. වෙරුගල් සොරොව්ව තවමත් හඬා වැටේ. මම මාවිල් ආරු බැම්ම දිගේ ඇවිදගෙන ගියෙමි. වගුරු මඩේ බැස සිටින අලියෙකි. සෙසු සගයන් වනගත වන කනිසමේ තනි ඇතින්නක් පමණක් හුදෙකලා වූයේ ඇයි? මේ වන විට අපේ නඩයේ තවත් දෙදෙනෙක් ඒ දෙසට එමින් සිටිය හ. වඩාත් ඇතින්නට ළං වී අපි ඇගේ ඉරියව් පිරික්සා බැලුවෙමු. අප දසුනෙන් සැක සංකාවට පත් ඇය හෙමින් හෙමින් පියවර මනිමින් ඇවිද යෑමට උත්සාහ දැරුවාය. උගේ පසුපස එක් පාදයක් ආබාධයකට ලක්ව තිබුණේ ය. යහමින් ඉදිමී ඇති එම පාදය වෙඩි උණ්ඩයක ප්‍රතිඵලයක් විය හැකි ය. තුන් පාදෙන් කුන්දු ගස ගසා ඌ ඈතට යන තෙක් අපි වේදනාවෙන් බලා සිටියෙමු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »