ගල්ගමුව හඬවා නිහඬ වූ ගිජිඳා නිවන් සුව පතනෙමු ඔබට සැමදා

2017-12-13 10:32:00       113
feature-top
මේ ඇතා කවදාවත් අපේ වගා පාළු කරලා නෑ. එකම ගෙයක්වත් කඩලා නෑ. හොඳ බුද්ධිමත් සන්සුන් සතෙක්. ඇවිදිද්දි කද්දි බොද්දි වුණත් ඒ සන්සුන්කම අහිංසකකම විනීතබව අපි මේ ඇතාගෙන් දැක්කා. අපේ දරුවො උදේට පාසල් යද්දි පවා මෙයා පාරෙ හිටියොත් අනේ අයින් වෙලා කැලේට යනවා. අන්න ඒකයි මේ සතාගේ තිබුණු ගුණය. ඒ විදිහටයි අපි එක්ක මේ ඇතා ජීවත් වුණේ. අද මේ ඇතා නැති අඩුව මේ මුළු ගල්ගමුවටම දැනෙනවා. මිනිස්සු මේ තරම් ඇතා වෙනුවෙන් පින් දහම් කරන්නෙ ඒකයි.”

ගල්ගමුවේ දළපූට්ටුවා හෙවත් ගල්ගමුවේ සාඩම්බරය නික්ම ගොස් සතියක් ගෙවී හමාරය. ඒත් තවමත් ප්‍රදේශයේ ජනතාව ඇතා ගැන සිහි කරති. සුසුම් හෙළති. ගමේ වන ළැහැබ, වෙල් දෙණිවල පවා ඇත්තේ මලානික පාළු මූසල ගතියකි. වෙනදා මේ වෙල් දෙණිවල පෙනී සිටින ඒ සද්දන්තයා යළි කවදා දකින්නදැයි ගම්මු අසති. මිනිස් හදවතකින් සතකු වෙනුවෙන් දුක් සුසුමක් පිට වෙන්නේ නම් ඒ එම සතා වෙනුවෙන් හද පත්ලෙන්ම නැඟි දුක් ගින්න නිසාය. ඒ සද්දන්තයා ඇවිද ගිය ඒ ගම් පළාත්වල පමණක් නොව මුළු රටේම මිනිස් හදවත්වලින් දුක් සුසුම් පිටවන්නේ මේ සතාට කළ අපරාධයක තරමයැයි හදවතේ දුක ඇවිලෙද්දීය.

නරුමයින් මේ සතා අකාලයේ විනාශ කළද ඒ දැවැන්තයා නමින් කෙරෙන පින්කම් අද මුළු ප්‍රදේශය පුරාම තැනින් තැන තවමත් ඇසේ. ගමේ විහාරස්ථානවලට අද ගම්වාසීන් එක් වන්නේ ඒ සද්දන්තයා යහපත් තැනක උපදින්නට යැයි පින් පෙත් දීමටය. ගමක් ගමක් පාසා දළපූට්ටුවා වෙනුවෙන් ‍එලෙස දානමය පිංකම් හා වතාවත් පැවැත්වෙන්නේ ඒ තරම් භක්තියක් ආදරයක් ළෙන්ගතුකමක් මිනිසුන්ගේ සිතේ ඒ ඇත් රජා වෙනුවෙන් ඇති නිසාය.

කහල්ලපල්ලේකැලේ රක්ෂිතයේ සොරොව්වැව ප්‍රදේශයේදී ඉකුත් 30 වැනිදා මේ හස්තියාගේ සිරුර සොයා ගැනීමත් සමග ගල්ගමුව පුරා ඇති වූ ශෝකී බව මේ දින කිහිපයේම දකින්නට ලැබුණි. වෙහෙර විහාරස්ථානවල මේ ඇතා වෙනුවෙන් පින්කම් කටයුතු සිදුවන්නේ ප්‍රදේශයේ ප්‍රභූ කෙනෙකු වෙනුවෙන්වත් නොපැවැති ආකාරයෙනි. බොහෝ ස්ථානවල ඇතාගේ රූපය ප්‍රදර්ශනය කරමින් ඇතා‍ගේ ගුණ වර්ණනා කරමින් ඇතා වෙනුවෙන් ශෝකය පළ කර තිබෙනු දක්නට ලැබිණි. ගල්ගමුවේ මිනිසුන් මේ හස්ති රාජයාට කෙතරම් ආදරය කළේදැයි දන්නේ ගමේ මිනිසුන්ම පමණි.

“මේ ඇතා මැරුවා කියලා දැනගත්තට පස්සෙ මේ ගල්ගමුව විතරක් නෙමේ මුළු රටම ඇඬුවා. අපි මේ ඇතාට ආදරේ කරපු තරම දන්නෙ අපි විතරයි. මේ කාලකන්නි අපිට නැති කළේ රටේ සම්පතක්. ගල්ගමුවේ උරුමයක්. මේ පළාතේ මිනිසුන් කවදාවත් මේ තරම් දුක්වී කම්පා වූ අවස්ථාවක් අප දැක නැහැ. එය අපටත් පුදුමයක්.

මේ සතා අපේ හේන්වලට ආවත් රෑට වතුපිටිවලට ආවත් කවදාවත් වෙන අලි වගේ විනාශකරලා යන්නෙ නෑ. බඩපිරෙන්න කෑවත් කවදාවත් ගෙවතු වගා විනාශ කරලා නෑ. අඩුම තරමින් එකම ගෙයක්වත් කඩලා නෑ. අපි මේ ඇතාට ආදරේ කළේ අන්න ඒ නිසයි. හොඳ බුද්ධියක් තියන අලියෙක්. අපේ ළමයි පවා ගොඩක් ආදරේ කරපු සතෙක්. තිරිසනෙක් වුණත් හොදින් ආදරෙන් කතා කළාම අපූරුවට හැරිලා යනවා. අන්න ඒකයි මේ සතාගේ තිබුණු ගුණය. අපේ උරුමය දැන් අපිට නැතිවෙලා. දරාගන්න අමාරුයි. මේ ගල්ගමුව පුරාම මේ සතාගේ සුවඳ තිබුණා.”යැයි ගල්ගමුව සියඹලෑව ප්‍රදේශයේ පදිංචි බී. සරත් කුමාර මහතා පැවසීය.

ගල්ගමුවේ පදිංචි කේ. ඒ. ධර්මසේන මහතා දළ පූට්ටුවා හොඳින් හඳුනන්නේ ඔහුගේ ඉඩමට මේ සතා කීප වරක්ම පැමිණ ඇති නිසාය.

“අප අහලා තියෙන විදිහට ලංකාවේම හිටියෙ දළ පූට්ටුවෝ හතර දෙනයි. ඒ හතරෙන් එක්කෙනෙක් ගල්ගමුවෙ ඉන්නවා කියලා අපි හරි ආඩම්බරෙන් තමා හිටියෙ. ඒත් මේ වසවර්තියෝ ඒ සම්පත අපිට නැති කළා. ඒත් අපි මේ දුක නිකම්ම දරා ගත්තෙ නෑ. මෙයා වෙනුවෙන් අද ගල්ගමුවේ බොහෝ තැන්වල දාන දෙනවා. අපි සියඹලෑව වැසියන් එකතු වෙලා පසුගිය 03 වැනිදා ඒ වගේ දානයක් දීලා ඇත් රාජයාට පින් අනුමෝදන් කළා. පසුගිය 08 වැනිදාත් 09 වැනිදාත් සියඹලන්ගමුව වැව් ඉස්මත්තේදී දානයක් දී දේව කන්නලව්වකුත් පැවැත්වූවා.”

හොරොව්වැව ප්‍රදේශයේ දළ පූට්ටුවා මරා දමා තිබූ ස්ථානයේ ද භික්ෂූන් වහන්සේ දෙනමක් වැඩම කරවා පාංශු කූලය දී හස්ති රාජයාට පින්පෙත් පැමිණ වූයේ මෙතෙක් රටේ කිසිම වන අලියකු ලබා නොගත් ආකාරයේ ආදරයක් දයාවක් හා ළෙන්ගතුකමක් මේ ඇතා මිනිසුන් වෙතින් ලබා සිටි නිසාය. ඇතා මරා දමා සතියක් ගෙවී ගියත් අදත් ගල්ගමුවේ ඇතා වෙනුවෙන් පින් අනුමෝදනා කටයුතු සිදු කෙරේ. සියඹලෑවේ ගම්වාසීන් එකොළොස්නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමුවේ මේ ඇත් රාජයාට ඇති ගරුත්වය නිසාය. එම පින්කමේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ සියඹලෑවේ විමලසිරි නවරත්න මහතාය.

“අපේ ගමට ආඩම්බරයක් වූ මේ ඇතා වෙනුවෙන් අවසානයේ අපට කරන්න ඉතිරි වෙලා තිබුණෙ මේ දේවල් විතරයි. සියඹලෑව හා මැදවච්චිය පන්සල් දෙක එකතු කරගෙන අපි ඇතා වෙනුවෙන් අට පිරිකර එකොළහක් පූජා කළා. උපදිනා මතු ආත්මභවයකදී මෙවන් අකල් මරණයක් අත් නොවී අවසානයේ මිනිස් ආත්මයක් ලැබේවායි පතමින් අපි ඇතාට පින් පෙත් දුන්නා.

මේ ඇතා ගැන කියන්න ගොඩක් දේවල් තියනවා. රෑට අපේ ගෙදර වත්තටත් එනවා. ඇවිත් සීරුවෙන් ගස්ගබු ගහෙන් ගෙඩියක් දෙකක් කඩාගෙන කාලා යනවා. මම වගාකරලා තියන කොටසටත් එනවා. ඇවිත් පොකුණෙන් වතුර බීලා අපූරුවට යනවා. අපට කිසිම කරදරයක් තිබුණෙ නෑ. මිනිස්සු අස්සෙම වගේ තමා මෙයා හිටියෙ. ඇත්තටම කිව්වොත් හීලෑ වගේ. යන්න කිව්වොත් හැරිලා ආපහු යනවා. ඒ තරම් කාරුණිකයි. ඉතිං ඒ වගේ කෙනෙක් තමා අපිට නැති වුණේ. අපි ගොඩක් සෙවිල්ලෙන් හිටියා මේ සතා ගැන. මේ ගමේ හැම කෙනාගේම වගේ දුරකතනවල මේ ඇතාගේ ෆොටෝ තියෙනවා. අපි ඇතාට ඒ තරම් ආදරෙයි.”

“මේ ගල්ගමුවෙ මිනිස්සු මේ ඇතාට කොයි තරම් ආදරේ කළාද කියලා අපි දන්නවා. තිරිසන් ආත්මයක හිටපු මේ ඇතාගේ ගුණ අපි දැක්කා. මේ ඇතාගේ තිබුණේ අහිංසක ලක්ෂණයි. ඇවිදිද්දි කද්දි බොද්දි වුණත් ඒ සන්සුන්කම අහිංසකකම විනීතබව අපි මේ ඇතාගෙන් දැක්කා. ඒත් අද මේ ඇතා නැති අඩුව මේ මුළු ගල්ගමුවටම දැනෙනවා. මිනිස්සු ඒකයි මේ තරම් පින් දහම් කරන්නෙ. සංඝයා වහන්සේ නමක් විදිහට මේ ඇතාට මම ගොඩක් ආදරේ කළා. මේ ඇතා මරලා කියලා අර කැලේ ඇතුළේ හොයද්දි මුරුගසන් වරුෂාව මැද්දෙ මමත් ඒ දේවල්වලට ගියා. ඒ අපිට කැක්කුමක් තිබුණ නිසා. ඉතිං දැන් අපි බලන් ඉන්නේ මේ අපරාධකරුවන්ට දෙන දඬුවම මොකක්ද කියලා” යැයි කංකාණියාගම විහාරස්ථානයේ අමරවංශ නා හිමියෝ පැවසූහ.

“අපේ දරුවෙකුටවත් අලියෙක් කියලා පෙන්නන්න හිටියෙ ඔච්චරයි. අවසානේ එයත් නැති වුණා. දැන් මේ හේන් වතුපිටිවලට යද්දි එද්දි පවා අපිට මේ ඇතා මතක් වෙනවා. අපි හේන්වල වැඩ කර කර ඉද්දි එකපාරම මතුවෙනවා. හරියට මැජික් එකක් වගේ. ‘‘කොහෙද මේ දවල්? ආපහු ගියොත් හොඳයි“ කියද්දි වැලි ටිකක් අරන් ඇඟට ගහගෙන ටිකක් වෙලා බලන් ඉඳන් පිටිපස්ස හැරිලා හරි උජාරුවෙන් යනවා. අපේ දරුවො උදේට පාසල් යද්දි පවා මෙයා පාරෙ හිටියොත් අනේ අයින් වෙලා කැලේට යනවා. ඒ විදිහටයි අපි එක්ක මේ ඇතා ජීවත් වුණේ. ඒත් දැන් ඒ හැමදේම අපිට නැති වුණා.” සියඹලෑව ගමේ සිරිසේන මුදියන්සේ මහතා පවසන්නේ මෙතෙක් නිතර දෙවේලේ දුටු සතා යළි කිසි දිනක දකින්න නොලැබීමේ වේදනාවෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »