මඟුල්මඩුවේ ධර්ම විවාදයක්

2017-12-12 11:05:00       44
feature-top
අවමානය දරාගත නොහැකි වූ රජු රාජකීය පයිංඩකාර මොහොට්ටාල විමසුවේ “මෙතැනට ඔබින දේශනාවක් පැවැත්වීමට සුදුස්සෙක් මේ දිවයිනේ සිටින්නේ නම් කැඳවව!“ කියාය.

මොලමුරේ මුරපොළේ ආරක්ෂක කටයුතු වෙරළබඩ තීරයෙන් රට මැද්දට එන්නට වලි-කන ලන්දේසීන් වැළැක්වීමේ සිට කටුවන සටන දක්වා කෙරීගෙන ගියේ වේහැල්ලේ පරපුරේද දායකත්වයෙනි. මේ අතර ඊට බොහෝ ඈත සිට සිරිපා පියුමේ බෞද්ධ උරුමය වෙනුවෙන් පැවැතුණු සටනද කාලෙන් කාලෙට විවිධ ස්වරූප ගනිමින් ඉදිරියට ආවේය.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නායක මහාස්ථවිරයන් විසින් 1975 වසරේදී පර්යේෂණාත්මකව සංග්‍රහ කරන ලද 'වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න ස්වාමීන්ද්‍ර ශාසන ඉතිහාසය' ග්‍රන්ථයේ මෙන්ම ගොඩකවෙල තරුණ බෞද්ධ සංගමයේ අනුශාසක සහ ඓතිහාසික අම්මඩුව කුඩා කතරගම දේවාලයේ සහ ගොඩකවෙල ටැම්පිට රජමහා විහාරයන්හි බස්නායක නිලමේ උදය ඇමටියගොඩ බණ්ඩාර මහතා විසින් 2004 වසරේ සම්පාදිත 'සපරගමුවේ වංශකථාව' සාහිත්‍යමය ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් වන පරිදිත්, මහාවංශය වැනි තවත් බොහෝ ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වන පරිදිත් බුදුරදුන් සිරිපතුල පිහිටුවූ දින සිට බෞද්ධ අයිතියේ පැවැති සමනොළ ගිර, ක්‍රිස්තු වර්ෂ 1581දී බලයට පැමිණ ශිව ආගම වැලඳගෙන භික්ෂූන් ඝාතනය කළ සීතාවක පළමුවැනි රාජසිංහ රජු විසින් හින්දු පූජකයන්ට පවරා දෙනු ලැබිණි. එකසිය හැත්තෑ එක් වසරක් පුරා මෙසේ පැවැති සිරිපතුල 1707දී බලයට පත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ වෙත පවරා දුන්නේ විශේෂ හේතුවක් මතය.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය වන විට උපසම්පදා ලද භික්ෂුවක සොයාගැනීම කළුනික සොයන්නා වැන්න. මේ අතර ගුරු පැහැති සිවුරක් සහිත භික්ෂුවක අනුරාධපුරයේ සිට මහනුවර බලා වඩිනු දුටු රාජපුරුෂයන් ඒ බව රජුට සැල කළ පසු, උන් වහන්සේ වැඩමවන්නට යානාවක් පෙරමඟට යැවීමට රජු නියෝග කළේය. එහෙත් යානාවකින් ගමන පුරුදු නැතැයි කී උන් වහන්සේ පා ගමනින්ම හඟුරන්කෙතට වැඩියෝය. උපසපන් භික්ෂූන් නොසිටීම නිසා කණගාටුවෙන් සිටි මහජනයාද මේ පිළිබඳ මහත් සතුටට පත් වූහ. එහෙත් පසුව සොයා බලන විට ඒ සන්‍යාසි බමුණෙකි. රජු බැහැදැකීමෙන් පසු ඔහුට නතර වීම සඳහා නිවෙසක් රාජකීය උද්‍යානයෙන්ම පිළියෙල කර දී දින කීපයක් ගත වන විට මෙරට බුදුසසුන හොඳින් පවතින බව පෙන්වීමට හඟුරන්කෙත මඟුල් මඬුවේදී ධර්මදේශනාවක් පැවැත්වීම සුදුසුයැයි රජුට කල්පනා විය. මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ වැඩ සිටින සාමණේර නායක දෙනම ප්‍රමුඛ මහනුවර වැඩ විසූ සියලු සාමණේරවරුද ලාඩ භාෂා පරිවර්තක රන් මොලවක අධිකාරම් නිලමේද තවත් බොහෝ උගත්තුද රැස්ව බමුණා සමඟ ධර්ම විවාදයකට එක් වූහ.

මඟුල්මඩුවේ පසෙක බමුණාය; අනෙක් පස සාමණේරවරුය. භාෂා පරිවර්තකයා තම වගකීම ඉටු කරමින් මැද අසුනකය. මේ සියල්ල සිදු වන්නේ රජ සහ ඇමැතිවරුන් අසුන් අරා සිටින අතරය. මහජනයා පොදි-කමින් මේ වාද-විවාදවලට සවන් දෙති. එහෙත් සිදු වූයේ මහත් අවාසනාවන්ත සිද්ධියකි. බමුණා සමඟ කරට කර වාද කිරීමට තබා, කතා කිරීමට හෝ දන්නා පඬිවරයෙක් නොවීය. උභය විහාරවාසී නායක සාමණේරවරුද තල් අතු අස්සේ මුහුණු සඟවාගෙන ලජ්ජාව වසන් කර ගත්හ.

අවමානය දරාගත නොහැකි වූ රජු රාජකීය පයිංඩකාර මොහොට්ටාලගෙන් විමසුවේ “මෙතැනට ඔබින දේශනාවක් පැවැත්වීමට සුදුස්සෙක් මේ දිවයිනේ සිටින්නේ නම් කැඳවව!“ කියාය. ඒ හැකියාව සහිත උගතකු සිටින බව කීමෙන් ප්‍රමෝදයට පත් රජ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ වහා මඟුල් මඩුවට වඩම්මන ලෙස අණ කළේය.

පල්කුඹුරේ අත්ථදස්සි සාමණේරයන් වහන්සේ තමන්ට වැඩිමල් බැවින් උන් වහන්සේගෙන් අවසර ගත් සරණංකර සාමණේර නම සිංහලෙන් සහ පාලියෙන් මධුර මනෝහර ධර්මදේශනාවක් පැවැත්වූයේ මඟුල්මඩුව උද්යෝගයෙන් ඇලළී යන අයුරිනි. අන් සියල්ලට වඩා වැදගත් වූයේ ඒ ධර්ම දේශනයෙන් පසු මිසදිටු බමුණාද සෑහීමකට පත් වීමයි. රටේ බුද්ධිමත් උගතුන්ගේ වටිනාකම සහ ඉන් රටට අත් වන ගෞරවය රැකගැනීමට මනා ධර්මස්කන්ධයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේගේ පැවැත්ම කොතරම් වටනේද යන්න පිළිබඳ රජුටද අවබෝධ විය.

ඒ අනුව සංඝරාජ හිමියන්ට රජුගෙන් ලද ආරාධනාව පරිදි නවගුණ අතරේ එන 'බුද්ධෝ' යන පාඨය තේමා කරගත් 'සාරාර්ථ සංග්‍රහය' සම්පාදනය කර රජුට ප්‍රදානය කිරීමට සරණංකර සාමණේර හිමියන්ට හැකි විය. ඉන් පසු රජුගේ ආරාධනය වූ 'භෙසජ්ජ මංජුසා' නමැති පාලි පද්‍ය ග්‍රන්ථයට සිංහල සන්නයක් ලිවීමේ භාරධුර කාර්යයද ඉටු කර-ලීමට ගෝළයන්ගේ සහායද ඇතිව උන් වහන්සේ සමත් වූහ. මේ ශාස්ත්‍රීය සේවාවට ප්‍රසාදයක් වශයෙන් රජ සරණංකර හිමියන්ට එදා මහත් වූ ත්‍යාගය වන ඇතකු පරිත්‍යාග කරන්නට සැරසුණේය. භික්ෂූන්ට 'අලි පිළිපැදීම' අකැප බව පැවසීම නිසා වෙනත් ත්‍යාගයක් ගැන රජු සිතන්නට විය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »