වේරැස්ස නිසා වැස්සට බය නෑ

2017-12-11 11:27:00       533
feature-top
අපේ දැනුමෙන් අපේ සල්ලිවලින් කොළඹ වැසි ජලයට විසඳුම් ගෙනෙන වේරැස්ස ව්‍යාපෘතිය

“ඔන්න රත්තනපිටිය යට වෙලාලු”
“ඒ හැටි වැස්සෙත් නැතිව, දැන් ඉතිං වැඩට ගිහින් හමාරයි”

මොරසූරන වැස්සට පමණක් නොවෙයි සාමාන්‍ය වැස්සකදි රත්තනපිටිය, බෝකුන්දර පසුකර එකසිය විස්ස මාර්ගයේ ගමන් ගන්නෝ එසේ මැසිවිලි නැඟූහ. ඒ වසර කිහිපයකට පෙරය. එහෙත් දැන් ධාරානිපාත වැසි වහිද්දී එම මාර්ගයේ ගමන් ගන්නන් පමණක් නොව රත්තනපිටිය ඇළ ඉවුර දෙපස හා ඒ අවට පදිංචි කරුවෝ ද සැනසුම් සුසුම් හෙළන්නාහ.

“අපි මේ ගෙයයි ඉඩමයි විකුණන්න දාලා තිබුණේ. පොඩ්ඩ වැස්සත් මේ පැත්ත යට වෙනවා. කොයි වෙලේ වහිනවද කියලා කාටද කියන්න පුළුවන්. වහිනකොට අපේ එක ම වැඩේ තමයි වටේ තියෙන ඇළ දිහා බලන එක. රෑකටවත් හරියකට නින්දක් නැහැ. කිහිප දෙනෙක් ම ඒ කාලේ මේ ගේ ගන්න ආවා. ඒත් ඒ අයට තේරුණාම වැස්සට මේ පැත්ත යට වෙනවා කියලා, ඒ වැඩේ හරි ගියේ නැහැ. නමුත් මේ පැත්ත හැදුවට පස්සේ දැන් සමහරු ඇවිල්ලා අපි කිව්ව ගාණටත් වැඩියෙන් ගේ ඉඩම ඉල්ලනවා. ඇත්තම කිව්වොත් පින් සිද්ධවෙනවා මේ පැත්ත හැදුවට.....”

රත්තනපිටියේ පදිංචිකාරියක එසේ පැවැසුවේ වැසි වතුරට දැන් තම නිවෙස යටනොවන බව පෙන්වමිනි.

රත්තනපිටිය, බොරැලැස්ගමුව බෝකුන්දර ආදි ප්‍රදේශ වැසි ජලයෙන් යට වීම නිසා මීට වසර කිහිපයකට පෙර ජනතාව බොහෝ පීඩා වින්දහ. ඇතැම් දිනෙක පාර ජලයෙන් යටවී තිබුණ විට, රථවාහන තදබදයට හසුවීමෙන් වරු ගණන් පාරේ තිබූ බස් රථ කොළඹ නෑවිත් මඟින් හරවාගෙන යළිත් බණ්ඩාරගම, හොරණ, මිල්ලනිය ආදි ප්‍රදේශවලට ම යන්නට ගියේය. ඒ අතීතය බෙහෙවින් අමිහිරි වූ‍යේය. එමෙන් ම උදේ රාජකාරියට පැමිණි අය වැසි දිනවලට න‍ිවෙසට ගියේ රාත්‍රි දහය ද පසුවීය. එපමණටම මේ මාර්ගයේ ගමන් යෑම මිනිසුන්ට තිත්ත වී තිබිණි. නමුදු ඒ අමිහිරි යුගය නිමා වී ඇත්තේය. දැන් මහා වැස්සකට වුව එම ප්‍රදේශ යටවන්නේ නැත. ජලය ක්‍රමවත්ව ගලා බසින්නේය.

කොහොමද එහෙම වුණේ.

විටෙක රත්තනපිටිය ඇළ මාර්ගය සකස් කරනු දුටුවෙමු. තවත් විටෙක ප්‍රධාන පාර කාපට් කරනු දුටුවෙමු. තවත් විටෙක බෙල්ලන්විල, පිල්ලෑව පන්සල අවට සුව මංතීරු මෙන් ම වැව් සාදා නිමකරනු දුටුවෙමු. සෙවණට ගස් සිටුවනු දුටුවෙමු. අවසානයේ දකින දකින නෙතට ප්‍රිය අයුරින් පරිසරය සකස් වී තිබෙනු දුටුවෙමු.

කොහොමද එහෙම වුණේ, කවුරු ද එය කළේ. මේ විදෙස් සැලැස්මක්වත්ද?

මිනිස්සු විවිධ මත පළකරද්දි අපි මේ සංවර්ධන කටයුත්තේ අගමුල සොයා ගියෙමු.

අවසානයට ඒ කටයුත්තේ නියමුවන් අපට මුණගැසිණ. ඒ කාර්යය කළේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවය.

“මේකට කියන්නේ “වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” කියලා. මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි යමු ඒ ස්ථාන බලන්න.” යෝජනාව ගෙන ආවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු, අතිරේක සාමාන්‍යාධිකාරි කේ. රාජපක්ෂ මහතාය. මේ ව්‍යාපෘතියේ සැලසුම ද රැගෙන නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු හෂිණි ලෙනෝරා මහත්මිය හා ප්‍රජා සංවර්ධන කළමනාකරු නිශාන්ත යාල්කුඹුර මහතා ද ගමනට එක් වූහ.

එකසිය විස්ස බස් මාර්ගයේ යන එන්නන්ට බෝකුන්දරත් කටුවාවලත් අතර ඇති ඇළ මාර්ගය මහා අරුමයක් නොවේ. එක්දහස් නවසිය ගණන්වල පටුවට තිබූ ඇළ දැන් පුළුල් ඇළකි. ලඳු කැලෑවක් බඳු වූ ඒ වගුරු බිමේ දැන් පය ගසා ඇවිදින්නට පමණක් නොව වාහනයකට වුවද ගමන් ගැනීමට පුළුවන. අද එය හැඳින්වෙන්නේ මහ ඇළ යනුවෙනි. මහ ඇළ දිගේ මද දුරක් යන විට හමුවන්නේ කරදියාන කුණු කන්දය. (ප්‍රදේශවාසීන් පවසන අන්දමට අද එය සාර්ථක කුණු ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත.) ඇළ මාර්ගය අසලින් දිවෙන පාරේ කෙළවර වන්නේ බොරුපන යකඩ පාලම ළඟ ය. එමෙන්ම මහ ඇළ අවසානයේ එක් වන්නේ බොල්ගොඩ ගඟටය.

“අපි කරදියාන කුණු කන්දගාවට එනතුරු මහ ඇළ සංවර්ධනය කර තිබෙනවා. වැසි ජලය එක්වුණාම ක්‍රමවත්ව බැහැලා යන්න ක්‍රමයක් නැහැ. අද මේ මහ ඇළ මීටර් දහයක් පළලයි. ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේදි අපි පරිසරය ගැන වඩාත් හිතුවා. ඒ කාලේ කවුරු හෝ මෙහි ගස් සිටුවා තිබුණා. අපි ඒ ගස් තිබෙන්නට හැර තවත් ගස් අලුතෙන් සිටුවා තිබෙනවා. ඒ වගේ ම මෙහි ඇවිදින මං තීරු ඉදිකරනවා. මේ ඇළේ හරක් එගොඩ මෙගොඩ ගිය තැනක් තියෙනවා. එතැන අපි වෙනස් කරන්න ගියේ නැහැ. වේරැස් ග‍ඟේ ජලය මේ ප්‍රදේ‍ශයේදි ස්ථාන තුනකින් තමයි වතුර බැස යන්නේ. එක් ස්ථානයක් තමයි මේ මහ ඇළ. අනිත් තැන බෙල්ලන්විල. අනෙක් තැන ‍‍බොරලැස්ගමුව. ව්‍යාපෘතිය සඳහා සැලසුම හැදුවේ 2003 වසරේදී. ව්‍යාපෘතිය ඇරැඹුවේ දෙදහස් දහතුන වසරේදී.”

රාජපක්ෂ මහතා ව්‍යාපෘතිය සම්බන්ධව පැහැදිලි කරන්නට වූයේය.

එකල සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක් නොතිබූ ජනතාව එක එක කතා කියන්නට වූයේය. අරයාට මෙයාට ඇඟිල්ල දිගුකරන්නට වූයේය. එමෙන් ම වැසි ජලය උතුරා යෑමෙන් ඇළවල් පිටාර ගැලීමෙන් නිරන්තර පීඩා වින්දාහ. මහ ඇළ පසු කර 120 මාර්ගයේ බොරලැස්ගමුව පැත්තට එනවිට හමුවන්නේ අම්බලම් ඇළය. එයට අම්බලම් ඇළයැයි කියන්නට ඇත්තේ කලකට පෙර ඒ ආසන්නයේ අම්බලමක් තිබූ බැවිනි. අද වන විට එහි සුන්බුන්වත් එම ස්ථානයේ නැත. කලකට පෙර පිරිවෙන මාවත හා ඒ අවට ප්‍රදේශය ද යට වූයේය. කලක් වගුරක්ව පැවැති බිම දැන් වැවක් ඉදිකර ඇත්තේය.

මෙහිදී අපට තවත් කතාවක් අසන්නට ලැබිණි. කවුරුන් විසින් හෝ ඒ බිම කුණු දමා ගොඩකර ඉදිකිරීමක් කිරීමට මාන බලමින් සිටි බවය. දැන් එය වැළකී එතැන ඇත්තේ අලංකාර වැවකි. දැන් එම වැවේ ඕලු මානෙල් මල් පිපී ඇත්තේය. තවමත් ඒ අවට බිම සකස් වෙමින් තිබෙන්නේය. වැවට අනෙක් පසින් පාරේ ඉදිවෙමින් තිබෙන්නේ උද්‍යානයකි. ඒ උද්‍යානය සුවිශේෂීය.

“පාඨලි චම්පික ඇමැතිතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ ස්ථානය ඉදිකරන්නේ. මෙය විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ඉදිකැරෙන උද්‍යානයක්. මේ ඇළ මාර්ගය හරහා තමයි පිරිවෙන පාර ඒ අවට වැසි ජලය ගලා බසින්නේ. පිඟන් සංස්ථාවට මැටි ගත් වැව් මුල්කරගෙන තමයි වතුර ගලා බසින්න හදලා තියෙන්නේ. රත්තනපිටිය වතුර ගලා බසින්නේ බෙල්ලන්විල වැවටත් එතැනින් බොල්ගොඩ ගඟටත්.”

රාජපක්ෂ මහතා බෙල්ලන්විල ඒ අවටත්, පිල්ලෑව පන්සල අවට භූමි පෙදෙසත් පෙන්වමින් පැවසීය.

කලකට පෙර වෙළෙන්දන් සිටියේ බෙල්ලන්විල පන්සල අවටය. නමුදු දැන් මාර්ගය පැහැදිලිය. අවට පරිසරය සොඳුරුය. වසර දොළහක් තිස්සේ එම ප්‍රදේශයේ තැඹිලි වෙළෙදාමේ නියුතු ඉන්ද්‍රානි අපට කියූ කතාවයි මේ.

“මම හිටියේ පන්සලගාව. මේ හරියේ ඉස්සර කැලෑව වගේ තිබුණේ. නමුත් පාර හදලා ඇළ හදලා ඉවු වුණාට පස්සේ මට මෙතැනට එන්න වුණා. මම උදේ 6 වෙනකොට මෙතනට එනවා. ආයේ යන්නේ හවස හයමාරෙන් පස්සේ. දැන් වෙනදට වඩා මිනිස්සු මේ පාරෙන් යන නිසා බිස්නස් තියෙනවා.” ඉන්ද්‍රානි පවසන්නීය.

බෙල්ලන්විල පුදබිම අවට පරිසරය දැන් සොඳුරුය. පුදබිමට එන්නන් මෙන් ම විවේකයෙන් කාලය ගතකරන්නට එන්නන් දැන් එබිම සුලබය. බෙල්ලන්විල අවට නැරැඹූ අප ඉන්පසුව ගියේ රත්තනපිටිය ඇළ ඉවුර දිගේය. පෙර දවස එහිවූ අබලන් නිවෙස් වෙනුවට දැන් එහි ඇත්තේ නිවෙස්ය. ව්‍යාපාර ගොඩනැඟිලි. මෙහි සිදුව ඇති වෙනස දන්නේ එබිම පදිංචිකරුවන්ය. අතුල ඩයස් එහි පාරම්පරික පදිංචිකරුවෙකි.

“අපි පුංචි කාලේ මේ ඇළ අඩි විස්සක් පමණ පළල ඇති. පුංචි වැස්සටත් යටවෙනවා. අපේ ඉඩම්වලින් මේ සංවර්ධන කටයුතුවලට බිම් ගියා. ඒවාට වන්දි ලැබුණා. මේ පැත්ත හදලා ඉවර වුණාට පස්සේ අපිට හොඳ පරිසරයක් ලැබුණා කියලා දැනෙනවා. එය සතුටක්. දැන් වැස්සත් දැනෙන්නේ නැහැ.”

කලක් ඔවුහු බොහෝ දුක්වින්ද හ. වැස්සට ඇළ පිටාර ගැලූ විට එහා මෙහා යන්න බැරිව පීඩා වින්දහ. ඒ යුගයේ ඔවුන් විඳි දුක අපට පැවසුවේ ඇළපාරේ පදිංචි එස්.ඒ. සමරවීරය.

“අපි අනූගණන්වලදි තමයි මේ ගේ හදාගෙන පදිංචියට ආවේ. වැස්සට ගෙවල් යටවුණේ නැහැ. ඒත් ඇළපිටාර ගලලා පාර යට වුණා. එතකොට නම් මේවා දාල යන්න හිතුණා. මගේ දරුවෝ ඉගෙන ගත්තේ කොළඹ ඉස්කෝලවල. පාර වතුරෙන් යටවුණාම වතුර බෝතලෙයි, සපත්තු දෙකයි, රෙදි කෑල්ලයි අරගෙන තමයි මම දරුවන් වාහනයට නග්ගන්න පාරට යන්නේ. වතුරේ සෙරෙප්පු දාගෙන ගිහිල්ලා කකුල් හෝදලා පිහදාලා දරුවන්ට සපත්තු දාලා තමයි වාහනයට නග්ගන්නේ. වැස්සට මේ පැත්ත යටවීමෙන් අපි හරියට දුක් වින්දා. දැන් නම් එහෙම නැහැ. පාර හදනකොට මගෙ වහලේ කපන්නත් වුණා. ඒත් අපි ඒවා ගැන කනගාටු වෙන්නේ නැහැ.”

එදා කිසිවෙක් නොගිය ඇළ පාරේ දැන් මහ රෑ සමහරු රේස් පදිති. මිනිස්සු විකල්ප මාර්ග ලෙස ද මේ පාරවල් භාවිත කරති.

රත්තනපිටියෙන් පසුව අපි ගියේ කටු ඇළ දිගේය. එක් ඇළක් දැන් කොන්ක්‍රීට් දමා වසා ඇත්තේය. එය ගලනු පෙනෙන්නේ නැත. නමුදු ඇළ මාර්ගය නිතර පිරිසුදු කරන්නේය. කටු ඇළේ ජලය ගලා බසින්නේ සූරියමල් වැවටය. එය තවමත් ඉදිකරමින් පවතින්නේය. ස්වාභාවික ගහකොළ රැක ගනිමින් වැව ඉදිකරන්නේය. මේ වැව්වල, ඇළවල සියලු ජලය අවසනායේ ගලා බසින්නේ බොල්ගොඩ ගඟටය.

අති සාර්ථක යැයි කිව හැකි ‘වේරැස් ගඟ” යෝජනා ක්‍රමයේ අරුමය නම් එහි සැලසුම විදේශීය එකක් නොවීමය. සියල්ලේ ම පිඹුරුපත් සකස්කර ඇත්තේ අපේ රටේ ඉංජිනේරුවෝය. ඇතැමෙක් මේ ව්‍යාපෘතියට විරුද්ධ වූහ. තවකෙක් වරදින්නේ කොතැන දැයි කියා බලා සිටිය හ. තවකෙක් මෙය පිටරට සමාගමකට දෙන්නට බලා සිටියහ. නමුදු අවසානයේ දේශීය ඉංජිනේරුවන්, පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව තම සාර්ථකත්වය පෙන්වා දුන්නේය.

දවසකට දෙකකට මාසයකට අවුරුද්දකට නොවන තවත් වසර හතළිහකටත් මේ ප්‍රදේශ ජලයෙන් යටවන්නේ නැතැයි ඔවුහු ස්ථිරවම පවසන්නාහ. දැන් දැන් මෙම ව්‍යාපෘතියේ සියලු කටයුතු අවසන් වීමට ආසන්න ය.

නගර සැලැස්ම ක්‍රියාත්මක වී අවසානයේ දැකිය හැක්කේ සුන්දර නගරයකි. පැපිලියාන ආසන්නයේ කුඹුරු ගොවිතැන් කරනු ඇතැයිද, තක්කාලි, මෑකරල් ආදි එළවළු කොටු වවතැයි ද ඔබ පිළිනොගනු ඇත. නමුදු පැපිලියානේ සිට ගම්සභා හන්දිය දෙසට යන විට හමුවන ඇළේ ඉවුර දිගේ ගිය විට එක් පසෙක කුඹුරු ද අනෙක් පස එළවළු කොටු ද දැකිය හැකිය.

මේ සියල්ල ව්‍යාපෘතියේ සාර්ථකත්වය කියා පාන්නාහ. අද ඒ සඳහා වියදම් වී ඇත්තේ ද ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු මුදලකි.

“මේ ව්‍යාපෘතියට විදේශ රටවල ආධාර නැහැ. විදේශීය උපදේශකයෝ නැහැ. මෙය තනිකරම අපේ රටේ වැඩක්. මේ සඳහා මුලින් ඇස්තමේන්තු ක‍ළ මුදල රුපියල් මිලියන දාහතර දහස් දෙසිය විසි හතයි. ඒත් සංශෝධිත ම‍ුදල රුපියල් මිලියන එකොළොස්දාස් පනහයි. එක්තරා විදේශීය සමාගමක් මේ වගේ තුන් ගුණයක් වියදම් වන බව කිව්වේ. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා යෝජිත මුදලින් තුනෙන් එකක මුදලක් තමයි වැයවී තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන දෙදහස් පන්සිය පහක් ලබාදී තිබෙනවා. මේ වනවිට රුපියල් මිලියන තුන්දාස් පන්සියකට ආසන්න මුදලක් වැයවෙලා තියෙනවා. රජය කඩිනමින් මුදල් ලබා දුන් නිසයි ව්‍යාපෘතිය ඉක්මනින් නිම කිරීමට ලැබී තිබෙන්නේ.” ව්‍යාපෘති අධ්‍යක්ෂ රාජපක්ෂ මහතා පැවසීය.

ජනතාව මැසිවිලි නැඟූ කලක් කාටත් එපා වී තිබූ ප්‍රදේශය දැන් ප්‍රියමනාප වෙමින් පවතින්නේය. මේ පරිසරය රැක ගැන්මේ වගකීම හා යුතුකම මහජනතාව සතුය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »