අපේ බුදුන් අපි වඳිමු

2017-12-06 10:50:00       39
feature-top
කුණු කන්දල් ගෙන නොඑමු

සිරිපාද වන්දනා සමය කියන්නේ සමනළ වනපෙත මැදින් දිව යන මාර්ග වන්දනා බැතිමතුන් ලක්ෂ 20ත් 30ත් අතර සංඛ්‍යාවකින් පිරී ඉතිරී යන ප්‍රදේශයක්. හිතන්න එක් කෙනෙක් එක් පොලිතින් උරයක් පරිසරයට නිදහස් කළොත් වන්දනා වාරය අවසානයේ මේ සමනළ වනපෙතේ කොච්චරක් නම් පොලිතින් ප්‍රමාණයක් එකතු වෙයිද? පසුගියදා සිදුවුණේත් අන්න ඒකම තමයි. ඒ කියන්නේ කාලයක් තිස්සේ එකතු වුණු කසළ කඳු ටිකෙන් ටික විශාල වෙලා නාය යෑමයි.

• සිරිපා වන්දනා වාරය අදින් ඇරැඹේ
“අපේ බුදුන් අපි වඳින්ට
පෙරළි පෙරළි අපි වඳින්ට
වම් සිරිපා අපි වඳින්ට
එරන් පතුල අපි වඳින්ට”

ආයේමත් තුන් සරණේ කවි ගී, සිරිපා බිමේ රැව් පිළිරැව් දෙන්න පටන් අරන්. මාස හයක් පුරා වූ සිරිපා අවාර සමය අහවර කරමින් යළිත් වන්දනා සමය උදා වෙලා. අවාරයේ හුදෙකලාවේ පසු වූ සිරිපා අඩවිය යළිත් කාර්ය බහුල වෙන්න පටන් අරන්. දෙස් - විදෙස් වන්දනාකරුවන් දස දහස් ගණනින් මාස හයක් පුරා සමනළ වනපෙතේ ගැවසෙන කාල වකවානුවක් වශයෙන් සිරිපා වන්දනා වාරය හැඳින්විය හැකිය. සිරිපා වන්දනා වාරයේදී පමණක් වාර්ෂිකව දෙස් විදෙස් බැතිමත්හු සහ සංචාරකයෝ ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී පාද වන්දනාවට සහභාගි වෙති. ජාති කුල ආගම් බේද නොසලකා සෑම ජන කොට්ඨාසයක්ම, එක් ජන පවුරක් හා සමව එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් සමනළ ගිර තරණයේ නියැළෙති. මිනිසත්කමේ අගය කියාපාමින් කඳු තරණයේ අසමත් තැනැත්තන් පවා කරමතින් ඔසවා ගෙන යමින් සිරිපා කරුණාවට එක්වෙති.

උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනයෙන් ඇරැඹෙන සිරිපා වාරය, අවසන් වන්නේ එළැඹෙන වෙසක් මස පොහොය දිනෙනි.මෙතෙක් එතෙක් වන මාස හය පුරාම මේ සා විශාල ජන ගඟක් සමනළ වනපෙත මැදින් ගලන්නේ යැයි සඳහන් කළද එහි ඇති අරුමයක් නොමැත. මෙතෙක් නිදහසේ වනපෙත පුරා හක්කලං කළ සතා සිවුපාවුන්ගේ නිදහස් අයිතිය එක් ප්‍රදේශයකට සීමා කරමින් ඇරැඹෙන මේ සිරිපා සමයේදී මිනිසුන් වශයෙන් අප සිතෙහි තබා ගත යුතු වැදගත් කරුණු කීපයකි. මිනිසුන් වන අප මනසින් උසස් යැයි සිතමින් කරන කියන දෑ අද වෙද්දී මහත් වු පාරිසරික ව්‍යසන රැසක් ඇති කිරීමට හේතුවී ඇත්තේය. අද දවසේ අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන්නේ එවැනි තොරතුරුය. පසුගියදා අපට අසන්නට ලැබුණු මහගිරිදඹයට පහළින් කුණු කන්දක් නාය යෑම වැනි සිදුවීම් ඊට සාක්ෂි දරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව රාජකාරීහි නියුතු ස්ථාන බාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් පවසන්නේ මෙවන් සිදුවීම්වලට හේතු වන්නේ වන්දනා වාරයට සිරිපා මළුව ආශ්‍රිතව එකතු වන කැළි කසළ අවිධිමත් ලෙස පිහිලි මාර්ගයෙන් අවට වනයට මුදා හැරිමෙන් මෙවැනි වු කුණු කඳු ගොඩ ගැසීමට හේතුවන බවයි.

“ සිරිපාද වන්දනා සමය කියන්නේ සමනළ වනපෙත මැදින් දිව යන මාර්ග වන්දනා බැතිමතුන් ලක්ෂ 20 ත් 30 ත් අතර සංඛ්‍යාවකින් පිරී ඉතිරී යන ප්‍රදේශයක්. හිතන්න එක් කෙනෙක් එක් පොලිතින් උරයක් පරිසරයට නිදහස් කළොත් වන්දනා වාරය අවසානයේ මේ සමනළ වනපෙතේ කොච්චරක් නම් පොලිතින් ප්‍රමාණයක් එකතු වෙයිද? පසුගියදා සිදු වුණේත් අන්න ඒකම තමයි. ඒ කියන්නේ කාලයක් තිස්සේ එකතු වුණු කසළ කඳු ටිකෙන් ටික විශාල වෙලා නාය ගියා. අවශ්‍ය වෙන්නේ එයින් හෝ පාඩම් ඉගෙන මින් ඉදිරියට එවැනි සිදුවීම් නොවීමට වගබලා ගැනීමයි. සෑම වන්දනා වාරයකදීම පොලිතින් භාවිතය අවම කිරිමේ ඇති වැදගත්කම පිළිබඳ කතා කළත් නාය යෑමට ලක්වූ කසළ කන්දේ සියයට අනූ නවයකට ආසන්න ප්‍රමාණයක් තිබුණේ පොලිතින්. සෑම වන්දනා වාරයකදීම පොලිතින් තහනම් කළත් ඉන් වළකින ලෙස උපදෙස් දුන්නත් අවසානයේ සිදුව ඇත්තේ කසළින් පිරිණු සමනළ වනපෙතක් අපට උරුම වීමයි.

කුණුවලින් යට වුණු සිරිපා මාර්ගය අවට නාය ගිය ප්‍රදේශය මහගිරිදඹයට ආසන්න සුවිශේෂ ජීවින් විශේෂ වාසය කරන බිම් කඩක්. කුණු ගොඩින් නිකුත් වන විෂ වායුවත් අවට වායු දූෂණයට හේතුවක්. ඉන් සිදුවන ව්‍යසනය අතිමහත්. නමුත් මේ භයානක ව්‍යසනය සිදු වුණේ මිනිසුන් වන අප විසින් ඉවත ලූ නොදිරන පොලිතින් සහ සෙසු අපද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරිමෙන් බව සිහිපත් කළ යුතුයි.”

මේ වසරේ නොවැම්බරය සමනළ වනපෙතින් සුවිශේෂී වු නව සොයා ගැනීමක් විදු ලොවට හඳුන්වා දුන් මාසයක් ලෙසද හැඳින්විය හැකිය. රාවණාගේ මැඩිල්ලා ලෙස (Aspidurai ravanai) නම් කර ඇති සර්ප විශේෂයේ නව සොයා ගැනීමත් හා සමගම ශ්‍රී ලංකාවේ වාර්තා වන මැඩිල්ලන් විශේෂ ගණන 08 දක්වා වැඩි වී ඇත. මෙම නව සොයා ගැනීමේ පූර්ණ ගෞරවය වනජීවී පර්යේෂක උරග විදුවර මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට හිමි වේ. එසේම මේ නවමු පණිවුඩය අප වෙත ගෙන එන්නේ තවත් කොතෙක් නම් අනගි ජෛව තැම්පතු මේ පුණ්‍ය භූමිය තුළ සැඟව පවතින බව නොවන්නේද?

මෙම සර්ප විශේෂයට හිතකර පාරිසරික තත්වයන් සමනළ වනපෙතේ මුහුදු මට්ටමින් උස මීටර් 1650 – 2000 ත් අතර කදිමට නිර්මාණය වී තිබීම යහපත් වු ව්‍යාප්තියකට හේතු වී ඇත. එවැනි උන්නතාංශයක් සහිත කදුකර වනාන්තරවල හොඳින් සෙවණ වු ඝන දිරාපත් ශාක කොටස් ආදිය අතරේ බිම් මට්ටමේ හෝ මතු පිට පස් ස්ථරයේ සිට සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරේ බුරුල් පසේ ජිවත් වීමටත් මේ සර්පයෝ ප්‍රිය කරති. නව සර්ප විශේෂය “රාවණාගේ මැඩිල්ලා” ලෙස නම් කර ඇත්තේ සිරිලක ජන්ම භූමිය කොට ගෙන විසූ බවට ජනප්‍රවාදයන්හි සඳහන් රාවණා රජුගේ නාමයට ගෞරව පිණිසය.

සිදුව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය වන්නේ මේ අමිල - අනගි දායාද අනාගතය වෙනුවෙන් රැකිම පසෙකලා අප විසින්ම අඩු තක්සේරුවට ගෙන විනාශ කිරිමය. ආගමික භක්තියට මුල් තැන දෙමින් වන්දනා ගමන ආරම්භ කළත් ඒ ගමනේදී කරන කියන මෙවන් දෑ හේතුවෙන් ඔබ රැස් කර ගෙන ඇත්තේ කුසල් නොව අකුසල් නේද? මන්ද යත් සියලු ආගම්වල මුල් තැන ලබා දී ඇත්තේත්, නිරන්තරවම සිහිපත් කරන්නේත් පරිසරයට ගරු බුහුමන් දැක්වීමටයි. එවැනි වු පසුබිමක් හමුයේ පරිසරය විනාශ කිරීම, අපවිත්‍ර කිරීම පූජනීය වන්දනා ගමනක් අතරතුරදී සිදු කිරීම කෙසේ නම් අනුමත කරන්නද?

ස්වභාව ධර්වයේ අමිල නිමැවුම් රාශියක් තුරුලු කර ගෙන රැක ගෙන සිටින සමනළ වනපෙත පිළිබඳ සහ එම වනපෙත හරහා අප රටට සිදු වන නිහඬ මෙහෙවර ගැන ඔබ මදක් හෝ දැන සිටියේද? සමනළ වන පෙත වන අලි - ඇතුන්ට ද ප්‍රසිද්ධ වනපෙතකි. එනම් අලි - ඇතුන් යනු සමනළ වනපෙතේ එක් සුවිශේෂී වු අනන්‍යතාවකි. වන්දනා සමයට අලි - ඇත්තු සිරිපා ගමන් මාර්ගයෙන් මිනිස් ඇසින් වහන් වී කැලයේ ඇතුළටම ගමන් කරති. ඒ සිරිපා වන්දනාවට පැමිණෙන සුවිසල් මිනිස් ජනකාය සහ මිනිස් අතවරයන්ට ලක් වේය යන අනියත බියකින් විය යුතුය. අප රටේ වන අලි ගහනයෙන් කඳුකර තෙත් සදාහරිත සොබාවික වනාන්තර ඇසුරේ දිවි ගෙවන එකම වන අලි රංචුව හමු වන්නේ සමනළ අඩවියෙනි. සෙසු වන අලින් සමඟ මුහු වීමේ භාග්‍ය නොලද මේ අලි - ඇත්තු සමනළ වනපෙතටම සීමා වී ජීවත් වෙති. එසේම මීට වසර කිහිපයකට පෙර දී සිංහරාජය ආශ්‍රිතවද ජිවත් වුයේ මේ හා සමාන වු වන අලි රංචුවකි. සිදු වු මානව හා පාරිසරික බලපෑම් හමුයේ එම රංචුවද වර්තමානය වන විටදී පිරිමි වන අලින් දෙදෙනෙකුට පමණක් සීමා වී ඇති අතර මේ වන අලි දෙදෙනාද පසු වන්නේ වයස අවුරුදු 35 – 40 ත් අතර වන බැවින් ඉදිරි පරම්පරාවක් ඔවුන් දෙදෙනාගෙන් බිහි වීම සැක සහිතය. මේ දෙදෙනාගෙන් පසුව සිංහරාජයට වන අලින් යනු එක් ජනප්‍රවාදයක් පමණක් වීමට ද ඉඩ ඇත. මේ තත්වය සමනළ වනපෙතට ද කියා දෙන්නේ හොඳ පාඩමකි. එනම් සිංහරාජයට සිදු වු දෙය සමනළ අඩවියටත් සිදු විය හැකි බවයි.

“ නව සර්ප විශේෂය විදු ලොවට අනාවරණය වීම අපට ව්‍යංග­්‍යයෙන් වටහා දීමට උත්සාහ කරන්නේ මෙවැනි වු සුවිශේෂි සංවේදී, පාරිසරික කලාපයක් හරහා වන්දනාව සදහා ප්‍රවිෂ්ට වන බැතිමතුන් නිරන්තරවම අවට පරිසරය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. අපි නොදැනුවත්ව සිදු කරන ක්‍රියාකාරකම් හරහා මෙවැනි වු සත්ව විශේෂයක් හෝ ඔවුන්ගේ වාසස්ථානයක් විනාශ වීමේ වැඩි ඉඩ කඩ පවතිනවා. මුළු ලොවම පීරා හෙව්වත් රාවණාගේ මැඩිල්ලා නමින් හඳුන්වන නව සර්ප විශේෂය හමු වන්නේ මේ අනගි සමනළ වනපෙතින් පමණයි. එය සමනළ වන පෙත වැනි ජෛව විවිධත්වයෙන් පොහොසත් සොබාවික වනවැස්මක් සහිත රටක් තවමත් අපට ඉතිරිවී ඇති බවට මුළු ලොවටම කියන්නට හැකි පණිවුඩයක්, අපට ආඩම්බරයට කරුණක් ” නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් පවසයි.

ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව ව්‍යාප්තිය යහපත් වන්නේ යම් සේද සෙසු ජීවී විශේෂයන්ගේ ගැවසීම අතින් ගත් කල ද සමනළ වනපෙතේ පවතින්නේ සුවිශේෂි වු ජෛව විවිධත්වයකි. අප රටට ආවේණික පක්ෂි විවිධත්වයේ වෙසෙස් තැනක් සමනළ වනපෙත ඇසුරේදී දැක ගත හැකිය. කැහිබෙල්ලා, අරංගයා. බට ඇටි කුකුළා ආදි දුර්ලභ හා ආවේණික විහඟුන් ගේ යහපත් ව්‍යාප්තියක් සමනළ වනපෙතේ වෙයි. ආවේණික මෙන්ම රතු දත්ත පොතට ගිය බොහෝ සත්ව හා ශාක නියෝජන රාශියක්ම සමනළ වනපෙත තුළ දිවි ගෙවයි. සමනළ කඳු වැටියෙන් ආරම්භ වී පහළට ගලා බසිනා දිය පහරවල් වල දිවි ගෙවන බුලත් හපයා, දිමිත්තා, පෙතියන් විශේෂ ආදින්ගෙන් සමන්විත වන මිරිදිය මත්ස්‍ය විවිධත්වයද ඉහළ අගයකි. මේ හේතුවෙන් සිරිපා වන්දනා සමයේදී කැලයට රිංගා ජෛව සොරකමේ යෙදීමට ඉව අල්ලන ජාන හොරු ද වෙති. වන්දනාවේ යන මුවාවෙන් බැතිමතුන්සේ සැරසි ඔවුන් වනයට ඇතුළු වී සිදු කරන විනාශය අතිමහත්ය. දුර්ලභ සහ එක් තැනක පමණක් හමු වන උඩවැඩියා විශේෂ, කෘමි විශේෂ, ඖෂධීය ශාක විශේෂ, වානිජමය පරමාර්ථයන් මුල් කර ගෙන එකතු කිරීමේ ජාවාරම් වන්දනා වාරයට සමගාමීව ආරම්භ කිරීමට ද වංචනික පිරිස් පෙල‍ඹෙති. ඇතැමෙක් මෙම ව්‍යාපාර අන්තර් ජාතිකව ද ව්‍යාප්ත කර ඇත්තාහ. හොර රහසේ කූට උපක්‍රම භාවිත කරමින් වන්දනා වාරයේදී කෙසේ හෝ තම අභිප්‍රායන් යම්යම් පුද්ගලයින් හරහා ඉටු කරවා ගැනීමටද ඇතැම් වංචනිකයෝ උත්සාහ දරති.

පරිසරය සංරක්ෂණය වෙනුවෙන් පනවා ඇති නීති කරදරයකැයි නොසිතන්න. ඒ සියල්ලක්ම නීති ගත කර ඇත්තේ මිනිසුන් වන අප අතින්ම පරිසරයට සිදු වන නොපනත්කම් හේතුවෙනි. පරිසරයේ ස්වාභාවික සම්පත්වල ඉදිරි පැවැත්ම සදහා කළ හැකි දේ කිරීම යනු අපේ නූපන් දරුවන් වෙනුවෙන් අප ඉටු කළ යුතු වගකීමකට එහා ගිය යුතුකමකි. ඉදින් මේ වාරයේ සිරිපා වඳින්න යන මේ නඩවලට පරිසරහිතකාමීව සිරිපා කරුණා කරන්නට හැකි වේවායි ඉත සිතින් පතමු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »