තෙල් නැති දා වාහන ගිනි තපින්නද?

2017-11-30 11:08:00       69
feature-top
එක තෙල් නැවක් ප්‍රමාද වීම නිසා පසුගිය හත් වැනිදා පිරවුම් හල් අසල සිට සැතපුම් ගණන් දුරට වාහන පේළිගැසුණු සැටි! එය අමතක වන්නත් පෙර ගිය සඳුදා අසත්‍ය ප්‍රචාරයක් නිසා තෙල් හිඟ වේයැයි බියෙන් ආපසු වරක් කොළඹ අවට පිරවුම් හල් අසල ඒ අයුරින්ම වාහන පෙළ ගැසෙන්නට විය. සමහරු තෙල් පෝලිමේ සිටියේ කන්තෝරුවේ නිවාඩු දමාය. පෙට්‍රල් පමණක් නොව ඩීසල්ද හිඟ වුණා නම්, පොදු ප්‍රවාහනය නතර වී ලංකාවම නිවාඩු දමා පෝලිම්වලට එක් වන තත්ත්වයක් උද්ගත වන්නට වුවත් ඉඩ තිබුණි. ඒ තරමට ‘තෙල්’ අපේ එදිනෙදා ජීවිතය පාලනය කරන්නට සමත් වී තිබේ.

එහෙත් ඔබ මොහොතකටවත් සිතුවාද මේ ‘තෙලේ බලේ’ තව කොපමණ කලක් අප පාලනය කරයිද කියා? මුළු ලෝකයම දිනපතාම මේ ගැන කීවද අපේ මොළයේ එක සෛලයකටවත් එය කාවැදුණායැයි පෙනෙන්නට නැත. අප ඒ තරමටම කාර්යබහුලය. මියැදෙන්නට පෙර බොහෝ රාජකාරි ඉටු කිරීමට ඇත. දරුවන් වෙනුවෙන් බොහෝ දේ රැස් කර තබා යා යුතුය; වගකීම් ඉටු කළ යුතුය. එහෙත් අප නොදැනුවත්වම මේ සියල්ල අබිබවා යන ප්‍රශ්නය ඇතැම්විට අපේ ජීවිත කාලය තුළදීම හෝ දරුවන්ගේ ජීවිතයේදී අනිවාර්යයෙන්ම අත්විඳින්නට සිදු වන බව අපට අමතක වී ගොසිනි. ඒ තව වසර 35කින් ලෝකයේ ෆොසිල ඉන්ධන අවසන් වන බවය. හදිසි අනතුරක් සිදු නොවේ නම්, මේ වන විට පිළිගෙන ඇති මිනිසාගේ ආයු අපේක්ෂාව සලකා බලන විට 1980න් මෙපිට ඉපදුණු සියලු ලෝවැසියන්ට මෙය විඳවීමේ වරම් ලැබේ.

ෆොසිල යන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේ ඉන්ධන ඉතා පැරැණිය. උතුරු සාගර ආශ්‍රිත ඉන්ධන නිධිවල වයස පමණක් වසර මිලියන 150කට අධිකය. අතැම් ඉන්ධන නිධිවල වයස මෙයින් දෙගුණයකට සමානය. එනිසාම මහා ශක්තියක් තැන්පත් වී ඇති ෆොසිල ඉන්ධන නිෂ්පාදනය වීමට වසර මිලියන ගණනක් ගත වන බව මෙන්ම තැන්පත් වී ඇත්තේ සීමිත ප්‍රමාණයක් කවුරුත් දන්නා කරුණකි. එහෙත් කාර්මික විප්ලවයෙන් පසු වසර දෙසීයකට මඳක් වැඩි වූ කෙටි කාලයකදී එසේ වසර මිලියන ගණනක් තැන්පත් වූ ඉන්ධන වේගයෙන් භාවිත කිරීම නිසා ඒ නිධි හිඳී යමින් ඇති බවද නිරන්තර අපේ සවන්පත්වල වැදී යයි. එහෙත් අපි -එනම්: මේ ලියන මම මෙන්ම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඉන්ධන භාවිත කරන අපි සියලු දෙනා- සාවධානව මේ කරුණ ගැන අවධානය යොමු කරන්නෙමුද?

ලෝක බලවතුන්ගේ සිට අහිංසක අසරණ යාචකයා දක්වා තොරක් නැතිව පුනරුච්චාරණය කරනවා මිස සාධනීය පියවරක් මේ වෙනුවෙන් තබන්නට සූදානම් වන්නේ කවුරුද? සියලු දෙනා කතා කරන්නේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවය. එහෙත් තමන්ගේ වහලේ සූර්යකෝෂයක් රඳවාගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ කීයෙන් කී දෙනාද? එය ප්‍රචලිත කිරීමට නම් රජයන්වලට සිදු වී ඇත්තේ පාරිභෝගිකයන් විසින් ප්‍රධාන ධාරාවට ආපසු ලබාදෙන විදුලිය සඳහා මුදලක් දෙන බවට පොරොන්දු වීමටය. තම දූදරුවන්ගේ අනාගතය ගැන සැබැවින්ම වෙහෙසෙන මවුපියන්ගේ පිළිවෙත විය යුත්තේ එයද? මේ කතා කරන්නේ අපේ රට ගැන පමණක් නොවේ. මුළු ලෝකයේම විදුලිය, ඉන්ධන ආදි බලශක්තිය මඟින් අද සැප විඳින වැඩිහිටියන් ගැනය.

සමහරුන් මේ පිළිබඳ තර්ක කරන්නේ ෆොසිල ඉන්ධන වර්ග තුනක් ඇති නිසා වසර 35කින්ම මේ ප්‍රශ්නය උද්ගත නොවන බවටයි. තෙල්, ගෑස් සහ ගල් අඟුරු ඒ වර්ග තුනය.

ලෝකයේ වසරක තෙල් ඉන්ධන භාවිතය මේ වන විට ටොන් බිලියන 11ට අධික වේ. ඒ මට්ටමින් භාවිත කරමින් වැඩි වන ජනගහනයේ අවශ්‍යතා සපුරාලන්නට ගියහොත් 2052දී තෙල් ළිං සිඳී යයි. එහෙත් ගෑස් සහ ගල් අඟුරු යොදාගනිමින් මේ ප්‍රශ්නය ටික කලකට මඟ හරවා ගත හැකිය යනු ඔවුන්ගේ තර්කයයි. එහෙත් ඒ කොපමණ කලකටද? ගෑස්වලින් 2060 වන තුරුය; වසර අටකටය. ගල් අඟුරු භාවිතයෙන් එය 2088 දක්වා -එනම් වසර 36කට- අර්බුදය පමා කළ හැකිය. එහෙත් ඒ එක් පරම්පරාවකට පමණක් බව කෑදර මිනිසුන් අවබෝධ කරගන්නේ නැත. 2010 ඉපදුණු දරුවකුට මේ වන විට සැප වාහනවල ගොස්, මැදි වයසේදී වායු සමීකරණය කළ කාමරවල රැකියා කළ හැකි වනු ඇත. එහෙත් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ ඉන්ධන නැති ලොවක මිහිපිට අපාදුක් විඳිනු දකින්නට කැමැති වැඩිහිටියන්ට මේ ලිපියෙන් පලක් නැත. එසේ කියන්නේ අධික ඉන්ධන භාවිතය නිසා දැනටමත් ලොව සිදු වී ඇති උෂ්ණත්ව වෙනස, දේශගුණික විපර්යාස අත් විඳිමින් පවා මේ තත්ත්වයට එරෙහිව කටයුතු කිරීමට වගේ වගක් වත් නැති අයුරින් හැසිරෙන නිසාය.

රජයේ ප්‍රතිපත්තිය 2020දී පුනර්ජනනීය බලශක්තිය සියයට 20 දක්වා වැඩි කිරීම බව සඳහන්ය. එය පවතින රජයට පමණක් හෝ අපේ රටේ පමණක් ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තියක් හෝ නොව, 2080 දශකයේ ලොව පාලනය කරන රජයන්වල අවධානයටද යොමු විය යුතු කරුණකි. ඒ වන විට පුනර්ජනනීය බලශක්තිය සියයට සියයක් කළ යුතු වන කාලයක් එළැඹෙනු ඇත.

වායු සමනය කරන ලද ප්‍රාසාදවල, විදුලි බුබුළු දහස් ගණනක ආලෝකයෙන් ලෝක සමුළු පවත්වමින් මේ පිළිබඳ කතා කරනවාට වඩා ප්‍රායෝගිකව කළ හැකි දේ බොහෝය. අපේ පුංචි සිතිවිල්ලක වෙනසක්, අපේ සුළු කැප කිරීමක් නිසා ලොකු වෙනසක් ඇති කරන්නට හැකි බව අපි දනිමු. එනිසා අපේ මුනුපුරන් හා මී මුනුපුරන්ගේ ශාප කිරීම්වලින් ගැලවීමට නම් අපට කළ හැකි දේ අද අදම කරන්නට යොමු වෙමු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »