සොහොන් බිමේ වැලි ජාවාරම් ගම් හයකට සොහොන් බිමක් නෑ

2017-11-29 11:43:00       47
feature-top
“මොන සෙල්ලම් දැම්මත් කවදා හරි යන්න වෙන්නෙ මහ පොළොව යටටනෙ. එද්දි ගෙනාවෙත් නැහැ යද්දි ගෙනියන්නෙත් නැහැ” අප මේ සියලු කතා පවසන්නේ අවසන් සුසුම් පොද නික්ම ගිය තැනදී මහ පොළොවට පස් කෙරෙන බව පසක් කරමිනි. එහෙත් මරණින් පසු වළ ලෑමට ඇති එකම භූමියත් ඈලියාවට ගිය මිනිසුන් කොටසක් තමන්ට තිබූ එකම සුසාන භූමියත් අහිමිව යෑම නිසා කරකියා ගත දෙයක් නොමැතිව සුසුම් ලන කතාවක් පසුගියදා අපට අසන්නට ලැබුණේ පුත්තලමෙනි. මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති ඔඩයාවේලී සොහොන් බිම බෞද්ධ හින්දු සහ මුස්ලිම් යන සැමටම අවසන් කටයුතු සිදු කිරීමට ඇති එකම භූමියයි. වසර 150ක් පමණ පැරැණි මේ සොහොන් බිම දැනට වසර ගණනාවක සිට හොර ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී නොයෙකුත් අක්‍රමිකතා සිදුවන බවට ප්‍රදේශවාසී ජනතාව මැසිවිලි නගති.

අදාළ සුසාන භූමිය අක්කර 6කට පමණ ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විතය. සොහොන් බිම ගන කැලෑවෙන් වැසී යෑම හේතුවෙන් සොහොන් භූමියේ විවිධ ස්ථාන රැසක මේ වෙද්දී ජයටම හොරට වැලි හෑරීම සිදු කෙරෙන බවත් තවත් තැන් හොර හරක් ගෙනැවිත් මස් කරන තැන් බවට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීහූ පවසති. එපමණක් නොව මත්පැන් පානය කරන්නන්, ගංජා උරන්නන් හා ගණිකාවන්ගේ ද පාරාදීසයක් බවට මෙතැන පත්ව ඇත්තේය.

ප්‍රදේශයේ පදිංචි සෑම ජන වර්ගයකටම අයත් ජනතාව සිය අවමඟුල් කටයුතු සිදු කරනුයේ මේ සුසාන භූමියේය. දෙමළ නම් ඇතත් බොහෝ සෙයින් සිංහල වහරන ජන පිරිසක් සිටින මනල්තීව්, සීමාවෙල්ලි, අනකුත්තු, හතරෙ කණුව, වෙප්පමඩුව සහ විලුක යන ගම්මාන කිහිපයක ජනතාවගේ අවමංගල්‍ය කටයුතු මෙම භූමියේදී සිදුකෙරෙන බව පැවසේ. මෑතකදී අලුතින් භූමදාන කෙරුණු මළ සිරුරු ගොඩ ගෙන ශරීර කොටස් වෙන් කර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා යකැදුරන් මෙය තොවිල් පොළක් කරගෙන ඇති බව අප හා තොරතුරු හෙළි කළ ගම්වාසීහූ පවසති. මෙලෙස පරිහානියට පත්ව ඇති සුසාන භූමිය ජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි තත්ත්වයට පත් කිරීමට කළ යුතුව ඇත්තේ සුළු දෙයකි. ඒ වෙන කිසිවක් නොව සුසාන භූමිය පුරාවට පිහිටා ඇති ගන කැලෑව සුද්ධ පවිත්‍ර කර එළි පෙහෙළි කිරීමය. එහි වගකීම ඇත්තේ ප්‍ර‍දේශයේ බලධාරීන්ටය.

වෙප්පමඩුවේ පදිංචි අන්නදොරේ මහතා උපන් දා සිට ගමේ ජීවත්වන්නෙකි. “අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක් මේ සුසාන භූමියෙ තමයි භූමදාන කරලා තියෙන්නෙ. අද අපිට ඒ තත්ත්වය අහිමි වෙලා යන ලකුණු පේනවා. හේතුව තමා කනත්තට අඩියක් තියන්න බැහැ එකම වතුර පිරෙන වතුර වළක්. අලියෙක් හිටියත් නොපෙනන තරම් ලොකු කැලයක්. කැලයට මුවා වී කනත්ත ඇතුළෙ අරක්කු බොනවා. අරක්කු පෙරනවා. මිනී ගොඩ ගන්නවා. වැලි ජාවාරම ලොකුවටම කරගෙන යනවා. ග්‍රාම සේවකට කොච්චර කිව්වත් ඇවිත් බලන්නෙ නැහැ. දැන් එන්නම් හෙට එන්නම් කියලා මග හරිනවා. කිසිම වගකිය යුතු ආයතනයකින් මේ ගැන සොයා බලන්නෙ නැහැ.”

මේ සම්බන්ධයෙන් අපට තොරතුරු හෙළි කළ සුරේෂ් පැවැසුෙව් මෙවැන්නකි.

“අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි. ඇවිල්ලා බලලා මේකෙ වගකීම කාටද තියෙන්නෙ. මොකක්ද කරන්න ඕනෙ මින් මතුවට මිනී වළදාන්න දෙනවද එක්කො වැලි ගොඩ දාන්න දෙනවද කියන එක කියන්න. ඇතැම් වගකිවයුතු අය ඉන්නේ කඹ ඇදිල්ලක. අවසානෙ ඇස් දෙක පියා ගෙනත් යන්න වෙන්නෙ හොරු රජකරන තැනකටදෝ කියලා අපට එකවෙලාවකට හිතෙනවා.”

සෙල්වලිංගම් පදිංචිව සිටින්නේ අනකුත්තු ප්‍රදේශයේය. ඔහුගේ පරම්පාර ගණනක් භූමදානය කර ඇත්තේ මේ බිමේය. එහෙත් ඔහු පවසන අන්දමට අද ඔවුනට භූමදානය කටයුතු සිදු කිරීමට හරිහමන් තැනක් නැත්තේය.

“අපට සුසාන භූමිය සුද්ද කරලා දෙන්න එහෙම නැත්නම් අපේ වියදමෙන් හරි සුද්ධ කර ගන්න අපිට අවස්ථාව දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. මොකද මේ කනත්ත අවට තියෙන කුඹුරුවල වැටවල් දවසින් දවස කනත්ත පැත්තට ඇවිද ගෙන එනවා. තව දෙයක් වතුර පිරුණාම මිනී වළක් කපන්න බැහැ. කනත්ත වටේට කාණු වටේම කපලා බිම හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ.”

“ගම්මාන පහක විතර ජනතාවට තියෙන එකම සුසාන භූමිය මෙයයි. අපි බලධාරීන්ගෙන් අහද්දි වැඩි දෙනෙක් නිහඬයි. අපි කාගෙන්ද මේ පිළිබඳ අහන්න ඕනෙ කියන එක අපිට ලොකු ගැටලුවක්. ගමේ පොදු තැනක වැලි ජාවාරම්කාරයො තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ ඇවිල්ලා වැලි ගොඩ දානවා. අරක්කු පෙරනවා. එව්වා වළක්වන්න කිසිම කෙනෙක් නැහැ. කනත්තෙ වැලි ගොඩ දානවා කියන්නෙ තව මොන කතාද?” මූර්ති පවසයි.

ගම්මුන් කරන ‍චෝදනා අනුව මේ සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කර දෙන ලෙස ඉල්ලා ජනතාව ලිඛිත දැනුම් දීමක් කර ඇත්දැයි අපි පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් විමසීමු. එම පැනයට එතුමා දුන් පිළිතුර මෙසේය.

“මේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් මා දැනුවත් කරලා නැහැ. සී.ඕ. මහත්තයාට දුන්නා කියනවනම් එයා බලලා හැබැයි මට තාම කිසිම වාර්තාවක් දීලා නැහැ. ඒ පිළිබඳ මම කොහෙත්ම දැනුවත් වෙලා නැහැ. හැබැයි මෙහෙමයි ඕක පොදු සුසාන භූමියක් කිව්වට මේකෙ නෛතික අයිතිය තාම තියෙන්නෙ ප්‍රාදේශිය ලේකම්බාරයේ. මෙහෙ තියෙන සුසාන භූමි තාම ප්‍රාදේශිය ලේකම් විසින් අපිට බාර දීලා නැහැ. පොදු කියා පාවිච්චි කළාට ඕකට අවසර ගන්න ඕනෙ ප්‍රාදේශිය ලේකම්ගෙන් කියලයි මම හිතන්නේ”

මේ ගැන පුත්තලම ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් විමසීමට කෙතෙක් උත්සාහ දැරුවද එතුමා දුරකථනයට පිළිතුරු නොදීම නිසා එය ව්‍යර්ථ විය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »