මෝල් ගහක ඉන්දවා හාල් පිටි වතුරෙන් නාවා අලුත් ජෝඩු පිළිගන්නා අන්දරබැද්දේ වැසියෝ

2017-11-28 09:52:00       69
feature-top
* ලෝකෙ යන විදිහට ගියත් අපි තාමත් චාරිත්‍ර රකිනවා
* තැල්ල කරේ නම් වෙන කසාද බෑ

අභිගුණ්ඨික ජනතාව විවිධ සමාජ අරගලවලට නතුවෙමින් තවමත් සිය සංස්කෘතිය රැකගෙන ජීවත්වන්නට වෙර දරති. මඩකලපුව ප්‍රදේශයේත් තඹුත්තේගම කුඩාගම, කලාවැව හා ගල්ගමුව - අන්දරබැද්ද ගම්මානවල ජීවත්වන මේ මිනිසුන් පිළිබඳ අරුම කථා රැසකි. අපි අන්දරබැද්දට යන්නේ ඒ කතාවලින් ටිකක් අහගෙන එන්නට ය.

ගල්ගමුව නගරයේ සිට ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේ කිලෝමීටර් 15 ක් පමණ දුරින් ‘අන්දරබැද්ද’ නම්වූ මේ විශේෂිත ගම්මානය අපට හමුවන්නේ ය. නමටම සරිලන ලෙස අන්දර යායෙන් ගහන මෙම ගම්මානය පෙර අතීතයේ පැවැති කුඩා ගමක අසිරිය පෙන්වයි. නූතන තාක්ෂණික යුගයේ එවන් ගමක් දැන ගැනීමට ලැබීමත් අසිරිමත් දෙයක් නොවේ දැයි අපි කල්පනා කළෙමු. පාඩිපංචාව, මැදවච්චිය, සියඹලාව, පොරසම්කුලම යන සිංහල ගම්මාන හතරෙන් වට වී අන්දරබැද්දගම පිහිටා ඇත්තේ ය.

හවස් යාමයක ගමට ඇතුළුවන විට අප දුටුවේ ගමේ විශාල පිරිසක් නළ ළිඳ ළඟ වටවී නාන දසුන ය. ඔවුන්ගේ සිනා හඬ, නිරුවත් උඩුකය සහිත කුඩා දරුවන්ගේ කෑ ගැසිලි දුටුවිට පැරැණි ගමක අසිරිය මැවී පෙනිණි.

ආරච්චිලගේ නිවෙස සොයා අප ගමන් අරඹන විට අප ගමන් ගත් මෝටර් රථය පිටුපසින් කුඩා දරුවෝ විසිපහක් තිහක් පමණ රොක් වී සිටියහ. ‍ඔවුන්ගේ මුවග අව්‍යාජ සිනහ මල් පිරී තිබිණි.

“රෙන්ගසාමිගේ මසන්නා” නම් ව‍ූ අන්දරබැද්දේ ආරච්චිල හමුවීමට යනවිට ඔහු සාරිපොටවල් කීපයක් එක්කොට ලණුවක් සාදන අයුරු අපි දුටුවෙමු. “පුතා පැලක් අටවන්න ලෑස්තියි මා මේ ලණු අඹරලා දුන්නා “ යනුවෙන් පවසමින් ‍ඔහු අප පිළිගත්තේ - සිංහල සිරිත් විරිත් සිහිගන්වමිනි.

ආරච්චිලා ඇත්තන් බොහොම කුලුපගය. ඔහු සිය සනුහරේ මතකය අප අභිමුව සීරුවට දිග හැරියේ ය.

“මට දැන් අවුරුදු 78 යි. මේ ගමේ ආරච්චිල වෙච්ච මං දන්න දේවල් මේ ගමේ කවුරුවත් දන්නෙ නැතිව ඇති. අපේ වරිගෙ ආරම්භ වුණු හැටි පන්සිය පනස් ජාතක පොතේ භූරි දත්ත ජාතකයේ සඳහන් වෙනවා. එක ආත්මෙක නාග ලෝකයේ ඉපදුණු බෝධිසත්වයෝ නාග වේසෙන් මනුස්ස ලෝකයට ඇවිත් දවස් හතක් (07) සිල් රැක්කා. ඒ නයා දැක්ක මනුස්සයෙක් නයාව අල්ල ගෙන එක එක රජ මාලිගාවල නයි නටවලා මසුරන් හොයන්න පටන් ගත්තා. ඒ අතරෙ දවසක් මහා සම්මත රජතුමාගෙ මාලිගාවට ගියාම ඒ රජතුමා අහිංසක සතුන්ට හිංසා කරන එකට විරුද්ධ වුණා. බඩගාන සතෙකුට හිංසා කරපු නිසා දඬුවමක් විදිහට අපි ‘අහිගුණ්ඨික’ ජාතිය ලෙසට නම් කළා. ගෙරි මස් කාපු නිසා ‘රොඩියො’ ලෙස හැඳින්වූවා. රෙදි අපුල්ලන අයට, බෙර ගහපු අයට, යකඩ තළාපු අයට, කදගහගෙන ගිය අයට, පැදුරු මලු හදපු අයට, ගොවිතැන් කරපු අයට කුල මල හැදුණාවගේ අපේ කුලය ‘රොඩී’ කුලය බවට පත්වුණා. විජය රජතුමා ලංකාවට එද්දී අපේ කුලයෙ අයත් රජතුමා පිටිපස්සෙ ලංකාවට ආවා. අපිත් රජ කාලෙ ඉඳලා එන පරම්පරාවක්.

මේ ඉඩම් හම්බ වෙන්න කලින් අපි හිටියෙ මැදවච්චියෙ. 1968 අවුරුද්දෙ අගෝස්තුවල කොටි කලබල නිසා අනුරාධපුරේ අනාථ කඳවුරක අපි සෑහෙන දවසක් හිටියා. හැමදාම අනාථ කඳවුරුවල ඉන්න බැරි නිසා අපි අපේ නෑයො ඉන්න තඹුත්තේගම කුඩාගමට ආවා. ඒ ඇවිත් වැව් පිටිවල කූඩාරම් ගහගෙන ඉද්දි තමයි අපිට බන්දුල බස්නායක හිටපු ඇමැතිතුමා මේ ගම වෙන්කරලා දුන්නෙ. අපි මේ ගමට ආවෙ ඒ විදිහට. මට මේ ස්ථිර නිවාසය හදලා දුන්නෙ අපවත්වුණු සෝම හිමි. මම බෞද්ධයෙක්. ඒත් දැන් ගමේ බාගෙකට වැඩිය ක්‍රිස්තියානි ආගම අදහනවා.”

ආරච්චිලගේ බිරිය වූ ටිංමන්නාගේ එංගටක්කා ද අප සමඟ කතා කළා ය. “අපේ ගමේ මරණාධාර සමිතියක් තියෙනවා. ගමේ හැමෝටම සමෘද්ධි, පිං පඩි තියෙනවා. ගමේ ගොඩක් අය නයි නටවන්න, සාස්තර කියන්න, රිළවු නටවන්න රට වටේ ම ඇවිදිනවා. සමිතිය දවසට හැමෝම ගමට එනවා.”

එංගටක්කා අප සමඟ කතා කරන අතර තම නිවෙසට ගිය ආරච්චිල නයින්ගේ ගැලවූ විෂ දළ සහිත භාජනයක් ගෙනැවිත් අපට පෙන්නුවේ ය.

“අපි නයින්ට, පිඹුරන්ට, පොළගුන්ට කැත නෑ. දුටුව තැන අල්ලගෙන විෂ දළ ගලවනවා. මාස කීපයකින් ආ‍ෙය දළ එනවා. ඒවත් ගලවනවා. කුණු ජරාව අදින මිනිහට ඒවයෙ කැත නෑ වගේ සර්පයන් දැක්කම අපිටත් කැත හිතෙන්නෙ නෑ.

මේ නයි නටවන නලාව හැදුවෙ මං ලබු ගෙඩියකින්. නයි පෙට්ටිය වියා ගත්තේ කිරි වැල්වලින්. ඒ උපකරණ අපට පෙන්වමින් ඔහු පැවසුවේ ය.

ඒ අතරතුර එංගටක්කා අප සමඟ තව තවත් විස්තර කථා කිරීමට නොඉවසිල්ලෙන් පසුවුණා ය.

“අපි ඉස්සර මුදල් භාවිතයක් තිබුණේ නෑ. දඩ මස්, ඉඳිකොළ මාගල්, කුළු, වට්ටි, පෙට්ටිවලට වී, හාල්, කුරක්කන් මාරු කරගත්තා. ගම්වලට ගිහින් හවරි වියලා දීලා පොල්, මිරිස් ඉල්ලගත්තා. අපේ සංස්කෘතියෙ විදිහට ගැහැනු ළමයි වැඩිවිය පැමිණි ගමන් ම කසාද බැඳලා දෙනවා. අපි දවස් හතක් මඟුල් කනවා. ඉරිදා දවසේ මනමාලියි මනමාලයයි පිටි කොටන මෝල් ගස් හරහට දාලා ඒක උඩ ඉන්දවනවා. ඊට පස්සෙ කැකුළු හාල් කොටලා ඒ පිටි වතුරවලින් නාවනවා. ජෝඩුවට මස්, මාළු, පිළිහුඩු ජාතිය කන්න දෙන්නෙ නෑ.‍ ඒ සතියෙ කන්න දෙන්නෙ පරිප්පුයි බතුයි. නාවලා ජෝඩුව තල වාඩි දෙකකට වෙන් කරනවා. (තල වාඩි යනු ඔවුන්ගේ තාවකාලික නිවාසයයි) තල කොළ වහල නිසා ‘තලවාඩි’ ලෙස නම් කරයි) කළු පබළුවලින් හදපු තැල්ල බඳින්නෙ සඳුදා උදේට. තැල්ල බැන්දාම මනමාලයට මනමාලි අයිති වෙනවා. ඊට පස්සෙ මනමාලිගෙ තල වාඩියෙ තුන් සැරයක් කැරකිලා මනමාලයගෙ තල වාඩියට මනමාලි එක්ක යනවා. දෙන්නා එක ගෙදර දවස් හතක් එකට ඉන්නවා. ඒ දෙන්නගෙ උදව්වට මනමාලිගෙ මස්සිනා කෙනෙකුයි නෑන කෙනෙකුයි යොදවනවා. දවස් 7 න් මඟුල් කාලා ඉවරයි. තැල්ල කරේ තියෙනකම් ගෑනියෙකුට වෙන මිනිස්සුත් එක්ක දීග කන්න බෑ. ස්වාමියා මළොත් මාලෙ ගලවලා මිනී වළට දමන්න ‍ඕනෙ. එහෙම දැම්මොත් විතරක් එයාට පුළුවන් වෙන පුරුෂයෙක් විවාහ කරගන්න.”

තම පවුලේ සාමාජිකයන් නව දෙනෙක් සමඟ නාන්නට යන අතර ‘සුන්දරා’ අපට හමු විය. ඔහු අප සමඟ පැවසුවේ මෙවැන්නකි.

“අපේ පවුලක අදටත් ළමයි හය, හතක් ඉන්නවා. ළමයි ඉස්කෝ‍ෙල යනවා. ඒවට සල්ලි ඕනෙ. මං මේ දවස්වල මාළු අල්ලලා විකුණනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි අපේ ගමේ ස්ථිර ගෙවල් 39 ක් තියෙනවා. තලවාඩි වගේ කූඩාරම් 20 ක් විතර තියෙනවා. එක ඉඩමේ ගෙවල් හය හතක් තිබෙනවා. ඉඩම් දුන්න අලුත හිටියෙ පවුල් 13 යි. ඉඩමේ ප්‍රමාණය අක්කරයක්. දැන් පිරිස වැඩිවෙලා දැන් ගමට ටී.වී. ගෙනල්ලා. බයික් ගෙනල්ලා. අපිත් ඉතින් ලෝකෙ යන විදිහට යන්න එපායැ.”

ඒ අතර සිටි ලලිතා ද අප හා කතා බහට එක් වූවා ය. අපේ වරිගෙ අය අවුරුදු 13 ක් 14 ක් වෙද්දී කසාද බඳිනවා. පොත්වල ලියලා බඳිනවා අඩුයි. එහෙම කසාද නොබැඳ හිටිය අය ඊයෙ පෙරේදා රජයෙන් බන්දලා දුන්නා. අපේ ජාතියෙ කිසිම කෙනෙක් ගොඩක් දුරට ඉගෙන ගෙන නෑ. රජයේ රැකියා කරන කිසිම කෙනෙක් නෑ. පවුල් පවුල්වලම අය කසාද බැඳ ගන්නවා. එදාට එදාට හම්බ කරගෙන ජීවත් වෙනවා. අපේ ජීවිත හරි සැහැල්ලුයි. අපට ලොකු බරක් නෑ” යනුවෙන් පැවසුවා ය.

ඉටි රෙදි වට‍කරගෙන පොල් අතු වැසූ තාවකාලික නිවෙසක පසෙකින් රෙදිවලින් සැදූ තොටිල්ලක් විය. පොහොර උර කීපයක් එකට එක්කර මෙට්ට කවරයක් මසමින් සිටියේ නඩරාජාගේ බේබිනෝනා ය.

“මේ වත්ත මගේ. මගේ ගෙදරට දෙපැත්තෙම අය ස්ථිර නිවාස හදාගෙන ඉන්නෙ. මගෙ පුතාලා. මම දුවත් එක්ක ඉන්නෙ මේ ගෙදර. මේ සාරි තොටිල්ලෙ ගමේ ගොඩක් ළමයි නැළවෙනවා. පොඩි වුන්ට මේ තොටිල්ලෙ හොඳ සැප” ඇගේ අවසරයෙන් කූඩාරමට ඇතුළු වූ අපට සිහිවන්නේ සෙල්ලම් ගෙදරකි.

කූඩාරමේ අතුවලින් දෙකට බෙදා එක කො‍ටසක උයා පිහා ගන්නා උපකරණ කීපයකුත් අනෙක් කොටසේ ලී දඬුවලින් සාදා පිදුරු ඇතිරූ තාවකාලික ඇඳකුත් දක්නට ලැබිණි. අප අසලට දුවගෙන ආ කුඩා දරුවෙක් “‍මගෙත් පොටෝ එකක් ගන්නකො” යනුවෙන් පැවසුවේ ය. ඔහුගේ අත වූ බත් පිඟානේ මුං ඇට හා බත් විය.

“මේ ළමයින්ට අපේ තෙළිඟු භාෂාව බෑ. අපේ භාෂාවට අකුරුත් නෑ. ළමයි දැන් ඉස්කෝලෙ ගිහින් සිංහල ලියන කියන නිසා අපේ භාෂාව කථා කරන්න බෑ. ඒත් අපි කියන ඒවා තේරෙනවා. ගම අයිනෙන් අලිවැට යනවා. අර පේන මානෙ තියෙන්නෙ රක්ෂිතය. අපිට ගොවිතැන් වැඩ පුරුදුත් නෑ. ගොවිතැන් කරන්න තැනකුත් නෑ. අපේ අය කුලී වැඩට යනවා. ලෝකෙ වෙනස් වෙනවා. හැමදාම එක විදිහට තියෙන්නෙ නෑනෙ.” බේබිනෝනා පවසයි.

අන්දර බැද්ද වැවට එහායින් හිරු ගිලෙන්නට පෙර අපි ආපසු එන්නට පිටත් වුණෙමු. නියඟයට සිඳී ගිය වැව වතුර වළක් සේ දිස් විය. හිස මත කළගෙඩි තබාගත් කාන්තාවන් වැව් බැම්ම දිගේ එක පෙළට ගමන් කරන දසුන ඉතා සුන්දර ය. අප දුටුවේ ඉතා සැහැල්ලුවෙන් ජීවත්වන අව්‍යාජ මිනිසුන් පිරිසකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »