පොළොවට බරක් නැතිි අපේ ගෙවල්

2017-11-23 09:40:00       103
feature-top
සංවර්ධනයේ නාමයෙන් අධිවේගයෙන් සිදු වන ඉදිකිරීම් නිසා මිනිසාට සොබාදහම අහිමිව යන තත්ත්වයක් උද්ගතව ඇති බව ලොව පුරා බොහෝ විද්වත්හු පෙන්වා දෙති. එහෙත් අතිධාවනකාරී තරගයට මුහුණ දෙන මිනිසුන්-මිනිසුන් අතර මෙන්ම රට-රටවල් අතරද ඇත්තේ එකිනෙකා පරයමින් ‘දියුණුව’ හුවා දක්වන අරමුණින් විසල් ගොඩනැඟිලි ආදිය ඉදිකිරීමේ අභිලාශයකි. පශ්චාත් නූතනවාදයේ ආරම්භයට පවා අඩිතාලම වැටෙන්නේද එකම රටාවෙන් මිදී තමන් කැමති මෝස්තරයකට නිවෙසක් තනාගැනීමට ඉදිකිරීම් ශිල්පීන් ලබා දුන් දායකත්වය බව රහසක් නොවේ. පුරාවිද්‍යාත්මක තොරතුරු බහුතරයක් සපයන්නේ ඒ ඒ වකවානුවල ඉදි කිරීම් බැවින් වාසස්ථාන, රැකියා ස්ථාන යන පටු අරමුණකට වඩා ඔබ්බට ගිය වැදගත්කමක් ඉදිකිරීමක පවතින බව අවිවාදිතය.

එහෙත් වර්තමානයේ පවතින පාරිසරික අර්බුද හමුවේ අපේ රටේ මේ වේගයෙන්ම ඉදි කිරීම් සිදු කෙරුණ හොත් පරිසරයේ සමතුලිතතාවට කුමක් වන්නේද? යන පැනය යෝධ අභියෝගයක් ලෙස අප ඉදිරියේ පෙනී සිටියි. රාජධානි, ස්තූප, වාපි වැනි උසස් ඉදිකිරීම් සංස්කෘතියකට හිමිකම් කියන දේශීය දැනුමක් සහිත ජාතියක් ලෙස එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉලක්ක කරගන්නේ නම් මේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය පෙන්වා දීමට අපේ දේශීය දැනුමට කළ හැකි දේ බොහෝය. මේ කරුණු අරබයා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ දේශීය දැනුම පිළිබඳ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික විද්‍යා පදනමේ පැවැත්විණි. දේශීය දැනුම පිළිබඳ කමිටුවේ සාමාජික මහාචාර්ය නිමල් ද සිල්වා, පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ අධ්‍යයනාංශයේ මහාචාර්ය සමිත මානවඩු, ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය පී.ආර්.එම්.පී. දිල්රුක්ෂි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විජේසිංහ, සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න, පරිසරවේදී මතුගම සෙනෙවිරුවන් යන විද්වතුන් මෙහිදී පෙන්වා දුන්නේ වත්මන් ඉදි කිරීම් සඳහා දේශීය දැනුම නව්‍ය ආකාරයෙන් භාවිත කළ හැකි අන්දමය. මේ සටහන ඒ පිළිබඳවය...

අප ගෙවල් හදන්නේ කාටද? මේ ප්‍රශ්නයට බහුතරයක් දෙනා ලබා දෙන පිළිතුර වන්නේ ‘අපේ දරුවන්ට’ යන්න බව නිසැකය. එහෙත් අපේ දරුවන් අප තැනූ නිවෙසේ කොපමණ කලක් වෙසෙනවාද? එය අප දන්නේ නැත. එනිසා පරම්පරා හතකට හරි-යන ගෙවල් තැනීම ඇත්තෙන්ම පරිසරය සූරා කෑමකි. මෙසේ කියන විට ඇතැමකු පැනයක් නැඟිය හැකිය. එනම් අනුරාධපුර, පොලොන්නරුව වැනි රාජධානි ගැන අප කතා කරන්නේ ඒවායේ ඉදිකිරීම් වසර දහස් ගණන් පැවතීම නිසා නොවේද? යන්නයි. සැබෑවකි. ඒ රජ දරුවන්ගේ විශේෂිත නිර්මාණ, ස්තූප, වාරි ඉදිකිරීම් ආදිය දැකගත හැකි වුවත්, ඒ රාජධානිවල හෝ ආසන්නතම ඉතිහාසය ඇති කෝට්ටේ රාජධානියේ හෝ සාමාන්‍ය පුරවැසියකුගේ නිවෙසක් අද මෙන් සවි ශක්තියෙන් යුතුව පවතින බව සොයාගෙන තිබේද යන්න එවිට අවධානයට යොමු කළ යුතු කරුණ වේ. වෙහෙර-විහාර වැනි මහා පුදුමයන් කළ හැකි නිර්මාණශීලිත්වයක් ඇත්තවුන් තමන්ගේ නිවහන් එසේ තනාගත්තේ රජුගේ අවසරය නැති නිසා පමණද? අනෙක් අතට අපටම නැ‍‍ඟෙන අනෙක් පැනය වන්නේ අවුරුදු තුන්-හාරසියයකට වඩා වැඩි කල් ගත වූ වලව් ආදියෙහි ඔවුන්ගේ පරපුරු කීපයක් පවතින්නේ කෙසේද? යන්නයි.

එය තේරුම් ගත හැක්කේ දේශීය ඉදිකිරීම් පිළිබඳ යන්තම් හෝ අසන්නට කැමැති අයකුටය. අදටත් පවතින ඇතැම් වලව් ආදියේ බිත්ති බැඳ ඇත්තේ මී ඉටි ආදිය යෙදූ මැට්ටෙන් හෙවත් වරිච්චිවලිනි. එහි වෙනස කුමක්ද? සම්මන්ත්‍රණයේ සිටි විද්වතුන් කී ආකාරයට නම්: සවි ශක්තිය හා කල් පැවැත්ම යන කරුණු අතින් ගත් කල වරිච්චිවලට වඩා කොන්ක්‍රීට් සහ සිමෙන්ති විශ්වසනීය යැයි කිව හැක්කේ කාටද? හේතුව: බටහිර දැනුම් පද්ධතියට අනුව යොදාගන්නා වත්මන් ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා බලාපොරොත්තු වන කාලය වසර පනහේ සිට සියයක් දක්වා පමණක් වීමය. එහෙත් වරිච්චියෙන් තනා හුනු පිරියම් කරන නිවෙස් අවශ්‍ය නම් ඊට වඩා වැඩි කාලයක් නඩත්තු කර තබාගත හැකි වේ. නව ක්‍රමයට ඉදි කෙරෙන ස්තිථික සමතුලිතතාවෙන් යුතු දෘඪ ව්‍යූහයක් සහිත ඉදි කිරීමක් පවතින්නේ දැඩි ආතතියක් සමඟය. එහි විශාල ශක්ති ප්‍රමාණයක්ද ගබඩා වී තිබේ. ඒ නිසාම පරිසරයේ සිදු වන වෙනස්වීම්වලට හැඩගැසීමට එය අපොහොසත් වෙයි. එනිසා ඉතා ස්වල්ප වේලාවක් ඇතුළත මහා ශක්තියක් පිට කිරීම හෙවත් මහත් හානියක් කරමින් කඩාවැටෙන අතර එහි සුන්බුන්ද පරිසරයට නැවත එකතු වීමක් නැත. හොඳම උදාහරණය තාක්ෂණයේ හිණිපෙත්තේ සිටින බව කියාගන්නා ඇමෙරිකාවේ ගොඩනැඟිලි මුල් ගැලවී වැටෙන ගස් මෙන් ඉදිරී වැටීමය.

එහෙත් දේශීය ඉදිකිරීම් ශිල්පයට අනුව තනන ගොඩනැඟිලි බිමට සමතලා වූ විට එහි ඇති මැටි හෝ පස් යළි පහසුවෙන්ම පරිසරයට එක් වෙයි. ලොව විශාලතම වෙහෙර අයත් අපේ සංස්කෘතියේ එන දැනුම කිසිදු රටකට දෙවැනි නොවේ. ඒ නිමැවුම් සඳහා පුලුස්සන ලද ගඩොළු වැනි ශක්තිය ගබඩා කළ දෑ යොදාගත්තේ ඒවා කල් පැවැතිය යුතු නිසාය. එහෙත් නිවෙස් යනු හුදෙක් තමන්ට පමණක් විසීමට යොදාගන්නා ගොඩනැඟිල්ලකි. එය පරම්පරා ගණනක් තිබීම අනවශ්‍යය. විශේෂයෙන්ම මගේ කැමැත්තට තැනූ නිවෙස මගේ දරුවාගේ හෝ මුනුපුරන්ගේ කැමැත්ත විය හැකිද? වේගයෙන් වෙනස් වන ලෝකයේ අලුත්-අලුත් නිර්මාණ, පහසුකම්, තාක්ෂණික මෙවලම් ආදිය සමඟ මතු අනාගත පරපුරට, ඒ පරපුරේ සිතිවිලි, අවශ්‍යතා හා ජීවන රටාවලට ගැළපෙන නිවෙසක් අද තනා දිය හැකි වේද? එය කොතෙක් කල් පවතිනු ඇත්ද? අප ගිය පසු අපේ දරු-මුනුපුරන් ඒ නිවෙස වෙනස් නොකර එහිම පදිංචි වනු ඇත්ද? තවත් අතකට සමහරුන් විශ්වාස කරන අයුරින් මගේ නැකතට, මගේ මිනුම්වලට අනුව තැනූ නිවෙස මගේ පරපුරටම එක සේ සුබදායක වනු ඇත්ද? එනම් මගේ වඩු රියන මැන තනන නිවෙස මට යහපත ගෙන දුන්නද මගේ දරුවන්ගේ වඩු රියන් මට වඩා වෙනස් වන බැවින් මා නැති කල දරුවන්ට ඒ නිවෙස ලබා දෙන්නේ මට දුන් සහාය නොවේ. ඇතැම් පරම්පරාවන් පිරිහී යන්නේත් ඇතැම් ගෙවල් භූත බංගලා බවට පත් වන්නේත් මෙවැනි කරුණු නොසිතන නිසාය.

පරිසරයට දරාගත හැකි ආකාරයේ ඉදි කිරීම් වාසස්ථාන ලෙස යොදාගැනීම මේ අභියෝගයට මුහුණ දීමට ඇති හොඳම ක්‍රමයයි. එහි අරුත මහල් විසි-තිස් ගණන්වලින් සමන්විත ගොඩනැඟිලි මැටියෙන් තනාගත යුතුය යන්න නොවේ. එහෙත් මිනිසා තැනූ පළමු නිවෙසේ පටන් මේ වන තුරු සියලු නිවෙස් දිරා පත් නොවී තිබුණා නම් අද අපට බිම් අඟලක්වත් ඉතිරි නොවනු නියතයයි. අද අප පරිසරයට මෙන්ම මතු පරපුරට කරන්නේ එවන් අසාධාරණයකි. අපෙන් මතු පරම්පරා පවා අප කැමැති ආකාරයට තැනූ අපට ගැළපෙන නිවෙස්වල විසිය යුතුය කියා අප තීරණය කරන්නේ කෙසේද? ඒ තීරණය ඔවුන්ගේය. එහෙත් ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීමට අප ඉඩක් තබා තිබේද?

වාස්තු ලෙස හඳුන්වන දේශීය දැනුම් පද්ධතිය ඉඩමක නිවෙසක් ඉදි කළ යුතු ප්‍රමාණය සීමා කරයි. දොර-ජනේල සංඛ්‍යා නිර්ණය මඟින් නිවෙසක වායු සංසරණය වැඩි කරයි. මෙවැනි දෑ බටහිරියන් නොබලනවායැයි සිතුවද ඔවුන් අපටත් වඩා පර්යේෂණාත්මක ලෙස ඒවා විද්‍යාත්මකව තහවුරු කරගෙන 'ස්වර්ණමය අනුපාත' ක්‍රමය වැනි දෑ බෙහෙවින් භාවිත කරන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව වසර 6000කට අධික කාලයක් තිස්සේ ස්ථිර වාසස්ථාන භාවිත කළ ජාතියක් ලෙස අපේ රටෙහි භූගෝලීය හා දේශගුණික වෙනස්කම්වලට ගැළපෙන අයුරින් ඒවා තනා තිබිණි. වසර 2050 වන විට ඇති වීමට නියමිත ඉන්ධන අර්බුදය හමුවේ මෙන්ම 2300 වන විට සූර්යයාගේ හීලියම් ප්‍රමාණය අඩු වීම නිසා සූර්ය බලශක්තිය පවා භාවිත කිරීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වන බව විද්‍යාඥයන් මත පළ කරද්දී අප තවතවත් විදුලි බලයෙන් සහ බල ශක්තිවලින් යැපෙන ඉදි කිරීම් ක්‍රමයක ඇලී-ගැලී සිටිය යුතුද? නොඑසේ නම් ලෝකයටම ආදර්ශයක් දිය හැකි අයුරින් අපේ දේශීය දැනුම නව්‍යතාවකින් යුතුව ඉදිරිපත් කර, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ගමන්මඟ වෙනස් කළ යුතුද? යන්න තීරණය කිරීමට කාලය පැමිණ තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණුවල පදනම වන්නේද පරිසරයත් රකිමින් මිනිසා රැකීමේ ක්‍රමවේදයක් භාවිත කිරීමය. ඒ සඳහා අපේ දේශීය දැනුම් සම්භාරය භාවිත කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම මේ ගමනට නව ජවයක් එක් කරනු නොඅනුමානය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »