හිරු දෙවියන් වැඳ පෙම්වතියන් සොයන්නෝ

2017-11-22 10:48:00       102
feature-top
“යාල වනයේ දවසක් මම ඇවිදිද්දී විශාල උකුස්සෙක් ඊයක් වගේ වේගයෙන් බිමට පාත් වුණා. ඒ ඉලක්කය බලද්දී නයෙක් ඇදෙනවා. එකපාරටම කොහෙන්දෝ මොනරෙක් පැනලා සර්පයා පාගාගත්තා. උකුස්සාට කේන්ති ගියා, උගේ ගොදුර වෙන සතෙක් ඩැහැගත්තා කියලා. ඊටපස්සේ කෙටුවේ මොනරාට. එතන මොනර-උකුසු මහා සටනක් එක්ක පාට පාට පිහාටු ගොඩාක් විසිරෙන්න ගත්තා. ඒ අතර අපි දැක්කා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සර්පයා පැනලා යනවා. ඊළඟ මොහොතේ සර්ප මස් වෙනුවට මොනර මස් කන උකුස්සා දැකගන්න පුළුවන් වුණා. ඒක තමයි සොබාදහමේ පුදුම රීතිය.”

හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා කතාව ඇරැඹුවේ අතීත මතකයකිනි. එවන් දුර්ලභ දසුන් දකින්න නම් මහ වනයේ ලෝබ නැතිව කාලය වියදම් කරමින් ඇවිද යා යුතු බවයි ඔහු පවසන්නේ.

ඒ කතාවේ ගොදුරක් වෙනුවෙන් දිවි පිදූ මොනරාට අද දිවි පුදන්නට වී ඇත්තේ, තමන්ට හිමි පරිසරය මිනිසා විසින් ආක්‍රමණය කිරීම නිසා බව වෛද්‍යවරයා විස්තර කරන්නට විය...

“දවසක් මම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ යද්දී 76 සැතපුම් කණුව ළඟ සුදු මොනරෙක් දැක්කා. මට සැක හිතුණා. මොකද: සුදු මොනරු අපේ රටේ නැහැ. ඉන්නවා නම් කුරුලු උයනකින් පැනලා ඇවිත් වෙන්න ඕනෑ. ඒත් ගාල්ල කිට්ටුව ඒ වගේ කුරුලු උයනක් මගේ මානයන්ට හසු වෙලා නෑ. අධිවේගී මාර්ගයේ වාහන නතර කිරීම තහනම් වුණත් ඒ වෙලාවේ වැඩි තදබදයක් නොතිබුණු නිසා මම බැහැලා බැලුවා හීලෑ එකෙක්ද කියලා. ඒත් ළඟට යද්දී ඌ දිව්වා. ඒ කියන්නේ උෟ කොහේවත් ඇති කළ එකෙකුත් නෙවේ. ආයේ කවදාවත් මම ඒ වගේ සතෙක් ලංකාවේ දැක්කෙත් නෑ. අපට හිතන්න වෙන්නේ ඇළි මොනරුන් දැන්-දැන් අපේ මොනර පරපුරට එක් වෙනවා ඇති කියලයි. එයින් විශාල ප්‍රශ්නයක් ඇති නොවන නිසා මම ඉතින් විශේෂයෙන් ඒ ගැන වාර්තා කරන්න ගියෙත් නෑ.

“සූරියවැව, රජයේ සත්ත්වෝද්‍යානයේ සුදු මොනරුන් ඉන්නවා. එහෙන් පැනපු එකෙකුගෙන් සමහර විට මුහුන් වෙන්න ඇති. ඉන්දියාවේ සුදු මොනරු ඉන්නවා. අපේ මොනරුන්ට ප්‍රසිද්ධ දකුණේ හම්බන්තොට පැත්තේ ගුවන් තොටවල්, වරාය ආදිය තැනීමට වන-ඉඩම් ගැනීම මම දකින්නේ වන සතුන්ට තිබුණු ඉඩම් කොල්ල - කෑමක් ලෙස. කොටසක් රජය කපා - දැම්මා. ඉතිරිය අහල - පහළ මිනිස්සු කැපුවා. එහි ප්‍රතිඵලය තමයි මොනරුන් මේ ආකාරයෙන් පාරට පැමිණීම. ඒත් මොනරුන් පිළිබඳ ඇති දේව විශ්වාසය නිසා දඩමසක් ලෙස ජනප්‍රිය නැහැ. කදිර දෙවියන්ගේ වාහනය මසට ගන්න බොහෝ දෙනෙක් බයයි. ඒත් සමහරු ඒ ගැන තකන්නේත් නෑ. කොහොම වුණත් අතීතයේ සුන්දර සතකු ලෙස සිටිය මේ මොනරා දැන් පළිබෝධකයකු වෙලා. එදා නො අා තරම් රංචු පිටින් ඇවිත් කුඹුරුවල වී ඇට අහුලනවා; කිරිවදින ගොයම් කනවා; වගා පාළු කරනවා.

“එහෙම කළත් මේ අහිංසකයා ලංකාවේ පක්ෂීන්ගෙන් විශාලතමයා. තරමක් පියඹන්න පුළුවන් වුණත් දවල් කාලයේ වැඩිපුර බිම හැසිරෙමින් කෑම සොයන්නත්, රාත්‍රියට ගස් මත ලගිමින් බෙල්ල පිහාටු අස්සේ ගසාගෙන නිදාගන්නත් හරි ශූරයි. ඒ වෙලාවට උණහපුළුවා පුළුවන් තරම් නිශ්ශබ්දව ගහට නැඟලා මොනරගේ බෙල්ලට පනින බව අපි උණහපුළුවා ගැන කියද්දී කතා වුණා.

“වෙන කුරුල්ලන්ට නැති නොසෙල්වෙන තරම් තද කිරුළකට හිමිකම් කීම මොනරුන්ගේ විශේෂයක්. දිග බෙල්ල වගේම වලග පිහාටු වර්ණ රැසකින් සැරසිලා තිබෙනවා. ඒත් පිටුපස පිහාටු වාර්ෂිකව හලනවා. ඒ අභිජනන සමය නිම වුණාම. පිල් වැඩී ඇති කාලේ රැඟුම්වලින් සෙබඩුන් වශී කරගන්නවා. කාලේ ඉවර වුණාම ඒ පිල් තැනින් තැන හලා දමා අවසානයේ ගෑනු සතකු හා සමාන පෙනුමක් ගන්නවා. පිල නැති වුණත් ගැහැනු සතා වගේ දෙගුණයක් විශාලයි. පා යුගලේ නිය සහිත ඇඟිලි තුනක් ඉදිරියටත් එක් නඛරයක් පිටුපසටත් යොමු වනවා. දණහිස් දක්වා රෝම රහිතව කහ පැහැ කොරලවලින් වැසී තිබුණත් ඉන් උඩ ඉතා සියුම් රෝම වැනි පිහාටුවලින් වැසී තිබෙන්නේ. බඩ යට සුදුයි.

“මොනරා හිරු නැඟෙද්දීත්, බැස යද්දීත් කරන අභිජනන රංගනය ගැමියන් හඳුන්වන්නේ 'හිරුදෙවියන් වැඳීම' කියලයි. ඒත් ඇත්ත කතාව ඒ වෙලාවට තමයි සෙබඩන් කෑම සොයා ඇදෙන්නේ. 'චපල පෙම්වතුන්' වන මොනරුන්ට එක අභිජනන රංගනයකදී වශී කරගන්නා සෙබඩුන් කීපදෙනකු සමඟම සබඳතා පවත්වන්න පුළුවන්. ඒ පෙම්වතියන් වුණත් එක් මොනරකු මත්තේ ඉන්නේ නෑ. වෙන වෙන මොනරුන් සමඟ සම්බන්ධතා ඇති කරගන්නවා. නැටුමට වේලා ගත්තාට සම්භෝගය ඉතාම ක්ෂණිකයි. ඒ නිසා සමහරු කියනවා මොනරා නටද්දී උෟ විසිරුවන බීජාණු අහුලන් කාලා සෙබඩන්ගේ බිත්තර මෝරනවා කියලා. ඒක බොරු කතාවක්. කිකිළියන් වගේ හැමදාම බිත්තර නොදාන සෙබඩන් දින දෙක-තුනක් තිස්සේ එකම තැනක බිත්තර හෙළනවා. කූඩු හදන්නේ නෑ. හැබැයි ගස්බෙනයක, ගල් පැල්මක දාන බිත්තරවලට කෝටු කෑලි, ගල්කැට වගේ දේවල් වටේ තියලා ආරක්ෂාව සලසනවා. හදිසියේ සෙබඩ මැරුණොත් බොහෝ විට වෙන්නේ ඒ බිත්තර නරක් වෙන-එක. ඒත් සමහර බිත්තර ගල්වල රස්නයට මෝරනවා. සෙබඩුන් සාමූහික බිජු ලෑමක් කරන බව තමයි මගේ නිරීක්ෂණය. එකම ගල්තලාවක ළඟ-ළඟ බිත්තර දාන්නේ. ඒක සමහර විට අනතරුදායකයි. කබරයින්, තලගොයින්, වඳුරන්, රිළවුන් වගේම මිනිසුන් වගේ විලෝපිකයන්ට බිත්තර ටික හසු වෙන්න ලේසියි. සමහර ගැමියන් මොනර පැටවුන් ඇති කරන්න ගන්නේ මේ බිත්තර ගෙනැත් එක්කෝ කිකිළියට රකින්න තියලා; එහෙම නැත් නම් කෘත්‍රිමව රකින්න සලස්වලා. ඒ මොනර පැටවුන් ගෘහස්ථ කෑම් බීම්වලට හුරු වෙලා නිසා ලේසියෙන් කැලේට යන්නේ නෑ. එත් කුඩා කාලේ කීකරු වුණාට කරදඬු දික් වුණාම හැම තැනම පියඹා ගිහින් හිරිහැරයක් බවට පත් වෙනවා. ඒ වගේම දිලිසෙන දේවලට කොටන්න හරි කැමැති නිසා පුංචි දරුවන් ඉන්න තැන්වල මොනරුන් ඇති නොකළ යුත්තේ තහනමට වඩා දරුවන්ගෙ ඇස්වල පරිස්සම වෙනුවෙන්.

“මොනරුන් කෑගහද්දී නයින්ගේ බිත්තර පැළෙනවා කියන්නේ පට්ටපල් බොරුවක්. ඒකේ තේරුම මොනරාගේ නද ඒ තරමටම අමිහිරියි කියන-එකයි. හැබැයි සෙබඩගේ හඬ මොනරාගේ තරම් කැත නෑ. සමහරු මොනරුන් ඇති කළාට ගිරවුන් මයිනන් තරම් ජනප්‍රිය සුරතලෙක් බවට මොනරා පත් නොවන්නේ මේ හඬ නිසා කියලාත් මට හිතෙනවා.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »