කළු දුමක් නංවා: සඳුන් සුවඳක් හමද්දී ගල් තලාවෙන් මතු වූ නිල් මැණික

2017-11-21 12:11:00       73
feature-top
* සුදු ඇදගත් දෙන්නෙක් විනාඩි 25 ක් විතර යාතිකා කරනවා දැක්කා
* විලේ ජලය ඉසිද්දී නෙළුම් මලක හැඩය සහිත කැටයමක් මතු වුණා
* ගල්කුට්ටියක් අයින් කරද්දී කළුපාට දුමාරයක් උඩට ආවා

අතීතයේ වටිනාකම් බොහොමයක් අපට සමීපය. ඒ අන් කිසිවක් නිසා නොව ලක් දිව සුපතළ පුරාණ රජ දරුවන් සතු වූයේ යැයි පැවැසෙන යම් යම් දෑ අදටත් ශේෂව පැවතීම නිසාය. එම ශේෂ වූ දේ ගැන අද වන විට අසන්නට ලැබෙන්නේ නොයෙක් ආකාරයෙන් ගොඩනැගුණු කතිකා හා පුරාවෘත්ත ඔස්සේය. දියුණු වෙමින් පවතින අපේ රට වැනි රටක මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප සමඟ මුදල් මත පදනම් වූ ආර්ථිකයක් ඇති නිසා කුමන හෝ ආකාරයකින් මුදල් සෙවීමේ කටයුත්තේ මිනිසා නිරතව සිටියි. එලෙස ලෙහෙසියෙන් මුදල් ඉපැයීමේ අරමුණ ඇතිව අද ඇතැමුන් අප රටේ තැනින් තැන තියෙනවා යැයි කියන නිදන් සෙවීමට විවිධ ක්‍රමෝපාය යොදන පුවත් අද වන විට රටේ හතරදිග් බාගයෙන්ම අසන්නට දකින්නට ලැබේ. ඉකුත් දිනක පුත්තලම දිස්ත්‍රික්කයට අයත් නවගත්තේගම ග්‍රාමයේදී ද එවැනි අපූරු නිදන් සෙවීමේ කටයුත්තක් සම්බන්ධ සිදුවීමක් වාර්තා කිරීමට අපට හැකි විය. ඒ නවගත්තේගම, රළපනාව, බලුගොඩයාය රක්ෂිතයේය. එයින් කියැවුණේ එම රක්ෂිතයේ ගල්තලාවක නිදන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නිධානයෙන් ගත් බව කියන නිල් පැහැති මිල කළ නොහැකි මාණික්‍යයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ සිදුවීමකි. එහෙත් ඉන් එහාට කළ ගවේෂණයේදී එහි පිටුපසින් වූ අරුම පුදුම කතාන්දරයක් අපට දැන ගන්නට ලැබුණි.

පසුගිය නොවැම්බර් 08 වැනිදා ගෙවී රාත්‍රිය එළැඹෙන්නට ද තිබුණේ හෝරා කීපයක් පමණි. නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ඩබ්. එම්. නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ දුරකතනය නාද වූයේ රහසිගත තොරතුරක් ගැන ඉඟියක්ද සමඟය. ලද ඇමතුමත් සමඟ ස්ථානාධිපතිවරයා කලබලයට පත් විය. ඉන් කියැවුණේ නවගත්තේගම ප්‍රදේශයේ රක්ෂිතයක ගල්තලාවක කිසියම් පිරිසක් නිදන් හෑරීමේ කටයුත්තක නිරතවන බවය. තොරතුරත් සමඟ ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක විය. අවශ්‍ය නිලධාරීන්ද සමඟ අදාළ ස්ථානය යෑමට සැණෙකින් කටයුතු සූදානම් විය. පොලිස් නිලධාරීන් රැගත් රථය රක්ෂිතයේ අදාළ ස්ථානය බලා විදුලි වේගයෙන් ඉගිළ ගියේය.

රාත්‍රී අඳුර පරිසරය වසා ගනිද්දී පොලිස් නිලධාරීන් රැගත් රථය නවගත්තේගම සිට කිලෝමීටර් 05 ක් පමණ ඇති මාර්ගයක් ගෙවා පැමිණ අදාළ ස්ථානයට මදක් ඈතට වන්නට නතර කරනු ලැබීය. මොහොතක් රථයේ සිටම සියල්ල යළිත් අවධාරණය කරමින් නිලධාරීන්ට උපදෙස් දුන් ස්ථානාධිපතිවරයා අනෙක් නිලධාරීන්ට ඉදිරියෙන් අදාළ ස්ථානය කරා පිය නැගීය. අඳුරු වැටී තිබූ නිසා අවට අපැහැදිලිය. විනාඩිය දෙක ගතවන්නට විය. සතුන් සිව්පාවුන් ගහන පරිසරය මැද ජීවිත අවදානමක් නොතකා පොලිස් නිලධාරීහූ සිය ප්‍රධානියාගේ සංඥාව අනුව එක් එක් තැන්හි ස්ථානගත වූහ.

පොලිස් නිලධාරීන් දෙනෙත් අයා බලා සිටියේ ඉන්පසු කුමක් වේදෝයි සැකයෙනි. මෙම ස්ථානයට පැමිණියද ස්ථානාධිපතිවරයාගේ සිතේ වූයේ ලද තොරතුර ගැන සැකයකි. එහෙත් ඒ සැකය දුරුවීමට ගත වූයේ නිමේෂයකි. කැලයට පිය නැගූ ස්ථානාධිපතිවරයා දුටුවේ තමන් ඉදිරියේ වූ ගල්තලාවේ සිටින සුදුවතින් සැරසුණු පුද්ගලයකු හා තවත් පුද්ගලයෙකි. ඔවුන් කිසියම් පූජාවකට සැරසෙමින් තමන් ගෙනා පූජා භාණ්ඩ පසෙක තබා යාතිකාවක් කිරීමට සැරසුණේ පොලිස් නිලධාරීන්ගේ සැකය තවත් තීව්‍ර කරමිනි. සිදුවන්නේ කුමක්දැයි සියල්ල උකුසු ඇසින් නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරීහූ බාහිර පරිසරයේ සිදුවන කිසිවකට අවධානයක් යොමු නොකරම සිටියහ.

“අපි ඒ ස්ථානයට යන්න පෙර දවසෙත් මට ඇමතුමක් ආවා මේ ස්ථානයේ මේ විදිහට නිධානයක් හාරනවා කියලා. එදත් අපි මේ විදිහටම ගිහින් රැකවල් යොදලා හිටියා. එත් එදා කවුරුත්ම පැමිණියේ නෑ. ඊට පස්සෙ දවසෙ තමා ආයෙත් මේ විදිහට ඇමතුමක් ඇවිත් අපි ඒ ස්ථානයට ආවේ. ඇවිත් ටික වෙලාවක් අපි බලන් හිටියා මොකද්ද මෙතන වෙන්නෙ කියලා. එහෙම ටික වෙලාවක් ඉද්දි අපි දැක්කා ගල්තලාවට ආ එක පුද්ගලයෙක් යාතිකා කරන්න පටන් ගන්නවා. අපි තවත් වෙලාවක් බලාගෙන හිටියා. විනාඩි 25 ක් විතර ඒ අය යාතිකා කළා. ඊට පස්සේ ගල්තලාවේ මේ සිදුවීම වෙන ස්ථානයේ තිබුණු පොකුණට බැහැලා ඒ පොකුණෙ තිබුණු වතුර භාජන දෙකක් යොදා ගෙන ඉවත් කළා. ටික වෙලාවක් යද්දි ජලය ඉවත්කරපු පොකුණේ පතුලෙන් නෙළුම් මලක් සහිත රූපයක් මතුවුණා අපි දැක්කා. ඒත් එක්කම වගේ එතන හිටිය පුද්ගලයින්ගෙන් එක් අයෙක් කුළු ගෙඩියකින් ඒ මල සහිත ගලට ගැහුවා. ඊට පසුව තමයි අනික් පුද්ගලයා අලවංගුවක් අරන් එම ස්ථානයේ තිබුණ කළු ගලෙන් යුක්ත ලෑල්ලක් වගේ කොටසක් ඉවත් කළේ.

ඒත් එක්කම වගේ අදහා ගත නොහැකි දෙයක් සිදු වුණා. එක පාරම ඒ වළෙන් මතුවුණු කළුපාට දුමක් වගේ දෙයක් අහසට ඇදිලා ගියා මම දැක්කා. ඊට ටික වෙලාවකට පස්සෙ සඳුන් සුවඳට සමාන සුවඳක් ඒ අවට පරිසරය පුරාම රැඳිලා තිබුණෙ. ඒ සුවඳ විනාඩි කිහිපයක් යනතුරුම ඒ ස්ථානයේ තිබුණා. ඒත් එක්කම a අපි ඒ ස්ථානයට කඩා වැදිලා ඒ පුද්ගලයින් අල්ල ගත්තා. එතකොටම තරමක් හයියෙන් වගේ වැස්සක් පතිත වුණා. අපි ගිහින් ඔවුන් හාරපු තැන බලද්දි අපි දැක්කා නිල් පාට පාෂාණයක් ඒ පුංචි වළක තියනවා. මම ඒක අතින් ගන්න හදද්දි ඒ අය කිව්වෙ දැන්ම අතින් අල්ලන්න එපා මේක ගොඩක් බලගතු වටින මැණිකක් කියලා. ඊට පස්සෙ මම ඒ මැණික් ගල අතට ගත්තෙ ටික වෙලාවක් ගියාට පස්සෙ” යැයි සිද්ධිය විස්තර කරමින් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා අප හා පැවසීය.

පොලිස් නිලධාරීන්ගේ කඩා පැනීමත් සමඟ සිය අභිප්‍රාය වැරදුණු බව තේරුම් ගත් අදාළ පුද්ගලයින් දෙදෙනා ඉන්පසු උත්සාහ කළේ එතැනින් පැන යෑමටය. එතැන් පටන් ඔවුන්ට අවශ්‍ය වුයේ මැණික් ගල නොවේ. නීතීයේ රැහැනින් මිදී එම ස්ථානයෙන් පිටව යෑමටය. පොලිස් නිලධාරීන් නොඑන්නට ඔවුන් මැණික් ගලත් රැගෙන පිටව යන බව නොරහසකි. නීතියේ රැහැනට කොටුවූ ඔවුන් පොලිස් නිලධාරීන්ගෙන් බේරී යෑමට ඉන්පසු ස්ථානාධිපතිවරයා වෙත ගෙන ආවේ අපුරූ යෝජනාවකි. තමන්ට බේරී යෑමට ඉඩ දුනහොත් රුපියල් කෝටියක මුදලක් පොලිස්ථානාධිපතිවරයාට ලබා දීමට කැමති බව ඔවුහූ ප්‍රකාශ කළහ. ඒ කතා ප්‍රතික්ෂේප වෙද්දී ඔවුන් යළි දයානන්ද මහතාට යෝජනා කළේ එතැනින් ලබා ගත් මැණික් ගල ලබා ගෙන තමන් එම ස්ථානයෙන් නිදහස් කරන ලෙසය. එම යෝජනාව පිළිකෙව් කළ පොලිස්ථානාධිපති දයානන්ද මහතා වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිය නිලධාරීන්ට නියෝග කළේය. අවසානයේ සැකකරුවන් දෙදෙනාගේ දෑතට විලංගු වැටිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් විසින් ගෙනැවිත් තිබූ බඩු භාණ්ඩ ආදියද රැගෙන පොලිස් නිලධාරීහූ නවගත්තේගම පොලිස්ථානය වෙත පැමිණියහ. සැකකරුවන් ගෙනැවිත් තිබූ භාණ්ඩ අතර අලවංගුවක්, කුළුගෙඩියක්, නෙළුම්මල්, බුලත් හුරුලු, පොල් තෙල් ආදී පූජා භාණ්ඩ විය.

පරීක්ෂණ ආරම්භ කෙරුණේ ඉන්පසුය. සැකකරුවන්ගේ පැටිකිරිය ඔවුන්ගේම මුවින් පිටවෙද්දී තොරතුරු සියල්ල පොලිස් පොතේ සටහන් විය. සැකකරුවන් අතරින් අයෙක් මාතර, කැකුණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට අදෘශ්‍යමාන බලවේගයක් ඇති බවත්, එම බලයෙන් මෙම ස්ථානය නිරීක්ෂණය කර සනාථ කර ගැනීමෙන් පසුව මෙසේ අදාළ නිදානය ලබා ගැනීමට පැමිණි බවත් සැකකරු. පොලිසියට ප්‍රකාශ කර තිබිණි. අනෙක් පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොවුන් පිළිබඳ තවදුරටත් තොරතුරු සොයා බැලීමේදී දෙදෙනාම ධනවත් පවුල්වල පුද්ගලයන් බවත් විශාල ව්‍යාපාරයන්හි හිමිකරුවන් බවත් පොලිසියට හෙළි විය. මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා දකුණු ප්‍රදේශයේ මාතර - කතරගම දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාත්වරයකු බවටද කරුණු අනාවරණය විය.

සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම ස්ථානයේ නිධානයක් ඇති බවට මීට කලකට ඉහතදී නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට දුරකතනයකින් දැනුම් දුන් බවත්, එම තොරතුරු ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් තමාට අවැසි බව කියූ බවත්, එම මුදලින් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඔහුට මේ වන විටත් ලබා දී ඇති බවත් අනාවරණය විය. එසේම මෙම කටයුත්ත සිදු කිරීමට මාස 03 ක කාලයක සිට බලවේගය ඇතැයි කියන පුද්ගලයා මස් මාංශවලින් වැළකී අදාළ පිළිවෙත් සිදු කළ බවද ඔහු පොලීසියට ප්‍රකාශ කළේය.

අදාළ මැණික් ගලෙහි බර ග්‍රෑම් 250 ක් පමණ බව පැවසෙන අතර එහි හැඩය සාමාන්‍ය කිකිළි බිත්තරයක හැඩයට සමාන බව බැලූ බැල්මට පෙනෙන්ට තිබිණ. අඟල් හතරක් පමණ ගැඹුරැති අඟල් අටක පමණ විශ්කම්භය ඇති කුඩා වළක් වැනි ස්ථානයක මෙම මැණික් ගල වළ දමා තිබූ බවද හෙළි විය.

අදාළ මැණික් ගල ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියට බාර දුන් අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා එදිනම ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර මෙම මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් රක්ෂිත භූමියකට අනවසරයෙන් ඇතුළුවී නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් සිදු කිරීම යටතේ චෝදනා ගොනු කරනු ලැබිණ.

වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා මුල සිටම වැටලීමට අවශ්‍ය සියනු උපදෙස් ලබා දුන් අතර පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාද වැටලීමේ අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කළේය. පුත්තලම කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන සහ සහකාර පොලිස් අධිකාරී එස්. බී. එස්. පී. සන්දනායක යන මහත්වරු මෙම වැටලීම පිටුපස සිටිමින් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදු කළහ. ඒ සියලුම උපදෙස් හා අධීක්ෂණ යටතේ නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ඩබ්. එම්. නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද සිය නිලධාරීන් සමග එක්ව අදාළ වැටලීම නිවැරැදිව සිදු කළේය. ඒ සදහා නවගත්තේගම පොලිස්ථානයේ උප පොලිස් පරීක්ෂක එම්. එල්. පතිරණ, පොලිස් සැරයන් ධර්මසිරි (41440), පොලිස් කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), කැලුම් (71232), නිදර්ශන (37593) සහ මුදියන්සේ (63079) යන නිලධාරීහූ ද සහයෝගය දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ තවදුරටත් සිදු කෙරේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »