අපට ඉතින් ! කළුවර නෑ

2017-11-09 09:48:00       116
feature-top
මේ තාක් කාලයක් හසලක ගලඋඩදෙබොක්ක හා ගලමුදුනගම ගම්මුන්ගේ දවස සවස පහ හය වෙද්දී ගෙවී ගියේය. වන අලි ගම් වදින ජාමයේ ඔවුහූ කිසිලෙසකින්වත් පාරකට නොබැස්සහ. ලාම්පු එළියක් හැරුණුවිට කිසිදා විදුලිය එළියක් නොදුටු මේ ගමේ දරුවන්ට දැන් හිතේ හැටියට පාඩම් කිරීමට ආලෝකයක් ලැබී ඇත්තේය. රජයේ සංවර්ධන ක්‍රියාදාමයට අතහිත දෙමින් මේ ගම්මුන්ට සූර්ය කෝෂ මගින් විදුලිය ලබාදීමට පෙරමුණ ගත් ජනහිතකාමී ජන සමූහයට අද මේ ගම්මු සිය ස්තූතිය පුද කරති.

* උපන් දා සිට අඳුරේ සිටි ගම්මුන්ගේ ජීවිතවලට එළියක් ලැබුණු දා  
* අපි හැමදාමත් කරුවලේ හිටියේ. ගමට එළිය තිබුණා නම් වන අලි ගම් වැදීම නතර වෙයි
* අකාලේ මැරෙන්න බැරි නිසා ගමේ තරුණ ජෝඩු දරුවන් හදන්නේ නෑ

වෙහෙසකර දිනයක අවසානය සටහන් කරමින් උදා වූ හිරු රතට රතේ ගිලී යන්නේ හාත්පසම අඳුරට ඇද දමමිනි. ඒ අඳුර මේ ගම්වාසීන්ට නම් හැමදාමත් හුරුපුරුදු ය. ඒ ශ්‍රී ලංකාවට විදුලිය බලය ලැබී වසර හැත්තෑවකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද තම ජීවිත කාලයම රාත්‍රිය කුප්පි ලාම්පුවකට සීමාකරන්නට තවමත් මේ ගම්වැසියනට සිදුවී ඇති බැවිනි. කොළොම් පුරය දසත ආලෝකවත් වූ නොනිදන නගරයක් බවට පත්වෙත්දී හසලක උඩගලදෙබොක්ක, ගලමුදුනගම යන ගම්මානයන් හි වැසියෝ අඳුරත් සමඟ රාත්‍රී හය හත වන විටම නින්දට වැටෙති. ඒ අන් කළ යුතු කිසිවක් නොවෙන නිසාය. එලෙසම වන අලින්ගෙන් විසකුරු සතා සරුපයන්ගෙන් බේරීමටය. නිසි ලෙස විදුලිය හෝ ජලය සපයා ගැනීමේ දුෂ්කරතාවට ඔවුන් පත්ව ඇත්තේ අද ඊයෙක සිට නොවේ. එනිසාම මේ ගම්මානයන්හි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. විදුලිය පහසුකම් නොමැති මේ ගම්වාසීන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීමේ අරමුණෙන් සූර්ය බල ශක්ති විදුලි කෝෂ ලබාදීමේ වැඩසටහනක් එම ප්‍රදේශ පුරා පසුගිය දා ක්‍රියාත්මක වූයේ රටපුරාම විවිධ සංවර්ධන කටයුතුවලට උර දෙමින් නිහඬ සමාජ සේවයක යෙදෙන 'ගුණජය සතුට ' පදනම ඔස්සේයි. එමඟින් ගම්වාසීන්ගේ දුෂ්කර දිවි පෙවෙතට අස්වැසිල්ලක් ගෙන එන්නට ඔවුන්ට හැකිව ඇත. එපමණක් නොව සියල්ල රජයෙන් කෙරෙනතුරු බලා නොසිට රජයේ සංවර්ධන ක්‍රියාදාමයට ද අත්වැලක් සපයමින් දුෂ්කර ජීවිත ගත කරන ජනතාවකට විදුලිය ආලෝකය ලබා දිම ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේය.

ඔවුන් එදා සූර්ය විදුලි කෝෂ රැගෙන ගම්මානය කරා සේන්දු වූයේ කඳු හෙල් හා වන දුර්ග ඔස්සේ ඉතා දුෂ්කර ගමනකින් පසුවය. සූර්ය බල ශක්ති කෝෂ ගම්වැසියන් වෙත ලබා දීමෙන් අනතුරුව ගැමියන් ඔවුනට තුති පිදුවේ දෙනෙත්හි පිරුණු සතුටු කඳුළු මැදිනි. මෙදා උඩගලදෙබොක්ක හා ගලමුදුනගම ජනතාවට සූර්ය විදුලිය කෝෂ ‍බෙදා දීමේ සත්කාර්යය මෙන්ම ඉදිරියේ දී මෙවැනි තවත් සත්කාර්යයන් දියත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් එම පදනමේ ව්‍යාපෘති ප්‍රධානී ජොයෙල් ප්‍රනාන්දු අප සමඟ කතාබහ කළේය.

“සූර්ය කෝෂ බෙදා දීමේ මෙහෙවරට අපිට උර දෙන්නට හැකි වුණේ එක් අතීත සිදු වීමක් නිසයි. අපි දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන් තෝරා ගෙන ඒ අයට වර්ෂ අවසානයේ පාසල් පොත්පත් බෑග් බෙදා දෙන වැඩසටහනක් දියත් කළා. 2009- 2010 වර්ෂවල අපි මේ ප්‍රදේශයේ දරු දැරියනට ඒ ප්‍රදානයන් සිදු කළා. ඉන් පසුව කිසි දිනෙක ඔවුන් සමඟ අපිට සම්බන්ධ වෙන්නට නොහැකි වුණා. මේ අතර පසුගිය දවසක පත්තරේක මේ ගම්මානවල ගම් වැසියන් විදුලිය නොමැති කමින් විඳින දුක් ගැහැට පිළිබඳ පුවතක් අපට දකින්නට ලැබුණා. මේ අයට විදුලිය ලබා දිය හැක්කේ කෙසේ ද යන්න සොයා බලන්නටත් ඒ අයට අවශ්‍ය පහසුකම් මොනවාද කියා විමසා බලන්නටත් අවශ්‍ය නිසා අපි නැවත වරක් හසලක මේ කියන ගම්මානවලට ගියා. ඒ ගම්වලට ගියවිටයි අපිට දකින්නට ලැබුණේ දුෂ්කර කියන වචනයේ ඇති ඇත්ත තත්ත්වය. විදුලිය නොමැතිකමින් එතරම්ම දුකක් ඒ ගම්වාසීන් විඳිනවා. මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැන. වැසි වහින කාලෙට ගොවිතැන් කරලා ඒවා ගබඩා කරලා තියාගෙන වැසි නැති කාලයට ආහාරයට ගන්නවා. ඔවුන් බොහොම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ. වැස්ස නැති කාලෙට හේන් ගොවිතැනට බහිනවා.”

උඩගලදෙබොක්ක, ගලමුදුනගම ගම්මාන පිහිටා තිබෙන්නේ හසලක නගරයේ සිට කිලෝමීටර් ගණනක් දුරිනි. සතියකට වරක් කඳු පල්ලම් සහිත අඩිපාරක් වැනි දුෂ්කර මඟක් ඔස්සේ ටවුමට පැමිණෙන මේ ගම්මාවසීහු තමනට අවශ්‍ය කළමනා රැගෙන යළිත් ගම්මාන කරා පිය නගති. ඔවුන් යන එන මාර්ග සියල්ලම පාහේ වැටී ඇත්තේ ඝන කැලෑව මැදිනි. ඔවුන් මේ දුෂ්කර මඟ ගෙවනුයේ කොයි මොහොතේ වන අලින් ගෙන් ගැහැටක් හිරිහැරයක් කරදරයක් වේදෝයි යන බියෙනි. ඒ හැරුණුවිට මේ වන අලි

ඔවුන් වගා කරන හේන් ගොවිතැන් ද විනාශ කරති. විදුලිය නැතිකම නිසා ඔවුන් විඳින මේ අවදානම තවත් වැඩිය.

‘ගුණ ජය සතුට පදනම‘ සිය සූර්ය කෝෂ බෙදා දීමේ ව්‍යාපෘතිය සඳහා මේ ගම්මාන දෙක තෝරා ගත්තේ එම ගම්මුන් විඳින මෙවැනි අසීරුතා සොයා බැලීමෙන් පසුය. මෙම ව්‍යාපෘතිය ය‍ටතේ මේ ගම්මාන දෙකේ ජීවත් වෙන පවුල්වලට පසුගියදා සුර්ය බලශක්ති කෝෂ බෙදා දීම සිදු කෙරිණි.

උඩගලදෙබොක්ක ගම්මානයේ පදිංචි පුංචි බණ්ඩා මහතා අනෙකුත් ගම්වැසියන්ද සමඟ ඔවුන්ට ලබා දුන් සූර්ය කෝෂ රැගෙන යෑමට ගමේ එක්තරා ස්ථානයකට පැමිණ සිටියේය. ගමට යෑමට හරිහමන් මාර්ගයක් නොමැතිකමින් වාහනවලට යෑමට නොහැකි නිසා ගැමියෝ අදාළ උපකරණ දෙවුරින් රැගෙන කන්ද නැඟ ගියහ.

“අපේ ගම්වලට වන අලින්ගෙන් වන කරදර නිමක් නෑ. අදත් උඩගල් දෙබොක්කාව සහ ගලමුදුන ගමට යන අතර පාරට පැමිණි වන අලියෙක් පාර හරහා හිටියා. වන අලි ගම් වැදිලා පහර දීම් නිසා මේ මෑතදී ගමේ දෙන්නෙක් මැරුණා. විදුලිය නැති නිසා අපිට ප්‍රශ්න ගොඩයි. එළිය තිබෙනවා නම් වල් අලි ගමට එන්නෙ නැහැ. කළුවරේ අපිට අලි පේන්නෙත් නැහැ. ඒ හින්දා අපි විඳින දුක නම් කියන්න වචන නැහැ. මේ වන අලි ගම් වැදීමත් අපේ ගම්වලට යන්නට හරි හැටි පාරවල් නොමැති නිසාත් අද ගම් වැසියන් විඳින්නේ සුළුපටු කරදරයක් නොවෙයි. මේ නිසා අපි විඳින දුක කියා නිම කරන්න බෑ.

අලුත බැඳපු තරුණ ජෝඩු අද හිතාමතාම දරුවන් හදන්නේ නැහැ. මොකද දරුවන් ලැබීමට ආසන්න වූ මවුවරුන් කිහිපදෙනකුම අමාරුවෙලා රෝහලට ගෙන යද්දී අතර මැද මහ කැලේදී දරු ප්‍රසූතීන් සිදු වුණා. ඒ අයගෙන් දරුවන් කිහිප දෙනෙක්ම මිය ගියා. මොකද යන්න පාරක් නැහැ. ගල් හෙල් උඩින් තමයි ගෙනි යන්න තියෙන්නේ. නොවිඳිනා දුකක් වින්දා. විදුලිය නැති එක අපට ලොකු ප්‍රශ්නයක්.”ගම්මුන් පවසන්නේ වේදනාවෙනි.

මෙම ගම්මාන දෙකෙහි වෙසෙන ගම්වාසීන් ඉතා ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන බව එහි යන එන ඕනෑම අයකුට පෙනී යන දෙයකි. ඔවුන් අතරින් වැඩි දෙනකු දිවි ගෙවනුයේ කටුමැටි ගැසූ ගෙවල්වලය. වන අලින් ගම්වදින දිනවල බොහෝ ගම් වැසියෝ රත්‍රිය නිදිවර්ජිතව ගෙවා දමති. විදුලිය නොමැති කළුවර අලින්ට ගෙන එන්නේ කදිම නිදහසකි. රිසිසේ හේන් විනාශකර‍, බව භෝග කා දමා යන්නට වන අලින්ට අඳුර ආශිර්වාදයකි. ගම්වාසීන්ට විපතකි.

“ගුවන් විදුලියට සවන් දෙන්නට රූපවාහිනී බලන්නට අපිත් ආසයි. ඒත් ඒවාට කිසිම පහසුකමක් අපිට නැහැ. අපි රටෙන්ම කොන්වූ පිරිසක් වගෙයි අපට දැනෙන්නේ. ඒත් මේ විදුලිය බල සූර්ය කෝෂ ලැබීමෙන් එයට තරමක් දුරට හෝ විසඳුමක් ලැබෙනවා. ඒ ගැන සතුටුයි.”

මෙලෙස ප්‍රදානය කෙරුණු සූර්ය බලශක්ති කෝෂ පිළිබඳ ගුණජය සතුට පදනමේ තාත්ෂණික කළමනාකාර අතුල ක්‍රිෂාන්ත මහතා පවසන්නේ මෙවැන්නකි.

“මේ සූර්ය කෝෂ ගම්වාසීන්ට ලබා දීම සඳහා අප පදනමට දායකත්වය ලබා දුන්නේ 'රෙඩ් ඩොට් පවර්' ආයතනයේ හිමිකරු ඉන්දීය ජාතික විජේ සර්ස් මහතායි. ඔහු නිතරම ගුණජය සතුට පදනම සමඟ විවිධ සමාජ සත්කාර්ය උදෙසා සම්බන්ධ වෙනවා. ඒ අනුව මේ ගම්මාන දෙකේම ජීවත් වන පවුල් 80 ක් සඳහා සූර්ය කෝෂ ප්‍රදානය කළා. මේ සියල්ලම කිලෝමීටර් 7ක් 8ක් දුරගෙවා කරේ තබාගෙන තමයි මේ ගම්මානවලට අපි ගියේ. හරිම දුෂ්කර ගමනක්. සෑම නිවෙසකම මේ සූර්ය කෝෂ සවි කරලා ඒවා නඩත්තු කරන අන්දම අපි ගම්මුන්ට පුහුණු කළා. ඒ අනූව මේ සූර්ය කෝෂ එක් යුනිට් එකක් මඟින් එල්.ඊ.ඩී.විදුලිය බල්බ තුනක් දීප්තිමත්ව වැඩි එළියකින් යුතුව දල්වන්න පුළුවන්. ඒ වගේම මේ හැම යුනිට් එකක් සතුවම ගුවන් විදුලි යන්ත්‍රයක් ද ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජංගම දුරකතනයක් වුණත් චාජ් කිරීමට පුළුවන්. නිවැරැදි ලෙස නඩත්තු කළහොත් වසර ගණනාවක් මේවා පරිහරණය කරන්න පුළුවන්. මේ එක් යුනිට් එකක් සඳහා රුපියල් තිස්පන්දහසක් පමණ වියදමක් දරා තිබෙනවා. මේ සියල්ලටම ලක්ෂ විසිහතක පිරිවැයක් දරා තිබෙනවා. ඇත්තටම දුෂ්කර, දුක්බර දිවියක් ගෙවන මේ ගැමියන් වෙනුවෙන් අත්වැලක් වෙන්නට ලැබීම අපිට සතුටක්. ඉදිරියටත් මෙවැනි සත්කාර්යයන් දියත් කිරීමට අපි කටයුතු කරනවා.”

අඳුරේ පැවැති ගම්මානය ආලෝකවත් කිරිම ගැන ගම්වාසීන්ගේ ප්‍රතිචාර එමට බව අප සමඟ පැවැසුවේ මෙම ගම්මානයන්හි රාජකාරී කටයුතු කරන ග්‍රාමනිලධාරී ප්‍රසන්න ඒකනායකයි. ඔහු පවසන අන්දමට මීට පෙර ජල උල්පත් උපයෝගී කර ගනිමින් ටර්බයිනයක් ඔස්සේ ක්‍රියාක්මක වන විදුලි සැපයුමක් ගම්මානවලට ලබා දී තිබුණත් වැසි නොමැති විට එය අක්‍රීය වන අතර දැනට වසර ගණනාවකට පෙර බෙදා දුන් සූර්ය කෝෂද අක්‍රීය ව පවතියි. මේ නිසා මෙවර ප්‍රදානය කළ තාක්ෂණය අතින් ඉහළ මේ සූර්ය කෝෂ ගම්වාසීන්ට ඉතා ප්‍රයෝජනවත් වන බව ඔහුගේ අදහසයි.

“මේ වසමේ මම රාජකාරි කරන්න ඇවිත් දැන් වසර තුනක් පමණ වෙනවා. ඒ කාල සීමාවේදී මේ ගම්වල ජනතාව විදුලිය නොමැතිකමින් විඳින දුක මම අත්දැක්කා. නිතරම වන අලි ගැහැට. යන්න එන්න පාරක් නැහැ. මේ ළඟදි තමයි එක ගමකට පාරක් කපා ගත්තේ. අඳුර වැටීගෙන එන විට කවුරුවත් එළියට පහළියට යන්නේ නැහැ. ලැබුණු සූර්ය බල කෝෂවලට ගම්වැසියන් හරි කැමැතියි. මේ ගම්මාන දෙක මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම් දෙකක්. ගම් දෙකටම පාසල් දෙකක් තිබෙනවා. දරුවන් එහි අධ්‍යාපනය ලබනවා. ගලමුදුන ගමේ විශ්වවිද්‍යාලේ යන දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මොනතරම් දුෂ්කර වුණත් මේ දරුවන් අධ්‍යාපනයට දක්ෂයි. හුඟක් වෙලාවට ගම්වාසීන් සතියකට සැරයක් කොලොංගොඩට හරි උඩවෙලට හරි පයින් ඇවිත් අත්‍යවශ්‍ය දේවල් රැගෙන යනවා. ප්‍රවාහන පහසුකම් කිසිවක් නැහැ.

මේ දවස්වල මොරගහකන්ද පිරෙන නිසා ලග්ගල පැත්තේ අලි රංචු දවල්ට මේ ගම්මාන කරා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමඟයි මේ ගම්වාසීන් ජීවත් වන්නේ. ඒ වගේම මේ ගම්වාසීන්ට රජයෙන් විදුලිය ලබා දෙයි කියලා නිතරම ඔවුන් ඒ ගැන බලාපොරොත්තුවෙන් තමයි කටයුතු කරන්නේ. කොහොම වුණත් මේ ලැබුණු විදුලි බල සූර්ය කෝෂ නිසා ගම්වාසීන්ගේ වැඩ කටයුතු පහසු වේවි කියා මම හිතනවා.”



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »