කබරගොයි හුරතලේ

2017-11-08 09:43:00       121
feature-top
මා බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනියට මිදුලේ කෙළිමින් සිටියා
උගෙ මරුවා ඌ අරගෙන ගිය සැටියා
නිවන්පුරේ පලයන් තලගොයි පැටියා

“මේ කවිය සැලකුවාම අපට පෙනී යන්නේ කලකට ඉහත තලගොයි පැටවුන් සුරතලයට ඇති කළා කියලයි.”

හිටපු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා කතාවට ප්‍රවේශ වූයේ එසේ කියමිනි. එහෙත් වර්තමානයේ තලගොයින් හෝ කබරගොයින් ඇති දැඩි කරන තැන් වාර්තා වන්නේ නැති බවද ඔහු පවසයි. එහිදී මට මතු වූ පැනය නම් වර්තමානයේ යන වචනය විශේෂයෙන් භාවිත කළේ අතීතයේ එවැනි තැන් වාර්තා වුණු නිසාද යන්නය. “අපොයි ඔව්!” වෛද්‍ය අතපත්තු උනන්දුවෙන් ඒ සිදුවීම හෙළි කිරීමට ලකලෑස්ති විය.

“මම දන්න කබරගොයි සුරතලෙක් හිටියා පාණදුරේ පැත්තෙ. 1970 දශකයේ මුල් භාගයේ යුරේසියානු ජාතික (බර්ගර්) කාන්තාවක් ජර්මන් ජාතිකයකු සමඟ විවාහ වුණා. ඔවුන්ට හිටියේ එකම එක පුතයි. පැරැණි බංගලාවක් වගේ පේන ඔවුන්ගේ නිවෙස පිහිටා තිබුණේ කළු ගංගාවේ අත්තක් මුහුදට වැටෙන මෝය කට ආසන්නයේ. බංගලා වත්තේ කෙළවර මෝය කටට මෙහා තිබුණේ වගුරක්. අර ජර්මන් තාත්තා මේ වගුර අයිනේ කබරයින්ට පාං කෑලි එහෙම කන්න දුන්නා. එතකොට උන් යාළු වුණා. පස්සෙ පස්සෙන් එන්නත් ගත්තා. එක කබරයෙක් මේ ජර්මන් ජාතිකයාගේ හුරතලා බවට පත් වුණා. කබර සුරතලාට වැඩිපුර සලකන ක්‍රමයක් හිතුව තැනැත්තා වගුරේ ඉඳන් කානුවක් කපලා කරදරයක් නැතිව කුස්සිය ඇතුළටම එන්න පුළුවන් වන විදිහට බිංගෙයක් වගේ සිමෙන්තියෙන් හදලා නිරන්තර කෑම දෙන්න පටන් ගත්තා. කබරයාත් එතනින් ඇවිත් හොඳට හුරතල් වෙලා කාලා බීලා ඇති වුණාම ආපහු වගුරට යනවා.

“අවුරුදු ගානක් මේ හුරතලේ තිබුණා. ඒ ජර්මන් මහත්තයාට තමන්ගේ රාජකාරි අහවර වෙලා මවු රටට යන්න සිද්ධ වුණා. ඒ නෝනාත් ඩෙන්මාර්කයට ගියා පදිංචියට. හැබැයි ඒ ගොල්ලන්ගේ පුතා තාමත් ඉඳ-හිට ලංකාවට ඇවිත් ඒ ගෙදර සුද්ධ-පවිත්‍ර කරලා ටික කාලයක් නැවතිලා ඉඳලා යනවා. ඔහු මට පෙන්නුවා කබරයාට එන්න හදලා තිබුණු මාර්ගය. තාමත් එය හොඳින් තිබෙනවා. අඩි තුනක් පමණ පළලයි. ඒ තරමටම වගේ උසයි. හැබැයි දැන් කන්න-බොන්න දෙන්න කවුරුත් නැති නිසා කබර සුරතලුන් එතනින් එන්නේ නෑ.”

සතුන් කෙරෙහි ආදරය කරුණාව දක්වන විට අපේ සිරුරේ සිදු වන හෝමෝනවල වෙනස උන්ට දැනෙන බව වෛද්‍ය අතපත්තු කිහිප වරක් පැහැදිලි කළ අයුරු මට සිහි විය. අලි-ඇතුන් හෝ සුනඛයන් හෝ දුටු විට බියපත් වුව හොත් අපේ සිරුරෙන් පිට වන ෆෙරමෝනය උන්ට ඉව වැටේ. එවිට උහු අප පසුපස එළවන්න පටන් ගනිති. එහෙත් සත්ත්ව කරුණාව ඇත්තවුන්ගේ සිරුරෙන් ඒ ෆෙරමෝනය නිකුත් නොවන නිසා අපෙන් අනතුරක් ඇති නොවන බවට උන්ට දැනෙන කරුණාවේ ඉව අපගේ ආරක්ෂාවටද හේතු වේ.

වෛද්‍ය අතපත්තු කබරයින් සහ තලගොයින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරුද කීවේය...

“කසළ ශෝධකයන් හැටියට දිය-ගොඩ දෙකේම කබරයාත්, ගොඩබිමේදී තලගොයාත් වැදගත් වෙනවා. මොකද: ඉන් පරිසර සමතුලිතතාව රැකෙන නිසා. උරග පවුලට අයත් කිඹුලාට මේ දෙදෙනාම නෑකම් කියනවා. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ කිඹුලාගේ මල්ලි හූනා කියන්නයි. කළු පැහැයට හුරු ගෙකෝ වර්ගයේ හූනන් විශේෂය අපේ ගෙවල බිත්ති දිගේ යන ළා පැහැ එකා නෙවෙයි; කළු පුල්ලි ඇති, ගස්වල එහෙම ලගින එකායි.

කොහොම වුණත් කබරයින් වගේම තලගොයින් දිගටි පැතලි සතුන්. දෙදෙනා සැසඳුවොත් කබරයා විශාලයි; තරබාරුයි. වැඩුණු තලගොයකු අඩි තුනහමාරක් විතර වුණාට කබරයකු අඩි පහත් ඉක්මවන අවස්ථා සුලබයි. ශරීර දිගින් තුනෙන් එකක පමණ වල්ගයක් තලගොයින්ට තිබෙන්නේ. ඒත් කබරයාගේ වල්ගය සිරුරේ දිගින් තුනෙන් දෙකක් දිගයි. ආරම්භයේදී මහතට පැතලියට පිහිටන වල්ගය අගිස්සේදී සිහින්. කබරයාගේ මාංසපේශි සැකසී තිබෙන විදිහට වේගයෙන් දෙපසට චලනය කර පහර දෙන්න පුළුවන්. කබර බාවෙන් පහර කා මියගිය බල්ලන් ගැන ගම්වල කතා තිබෙනවා ඕනෑ තරම්. සිරුරේ කිසිම තැනක රෝම නෑ. ඒත් කොරපොතු ලෙස වෙන් නොවූ එකට බැඳී පවතින ඝන කොරොස් ස්තරයකින් සිරුර ආවරණය වෙනවා. පාද, ගෙල කෙටියි. පාද හතරේම නිය පහ බැගින් පිහිටා ඇඟිලි වගේ තිබෙනවා. ඉදිරි පාදවල නිය පස හාරා බිත්තර දැමීමටත් ආහාර සොයාගැනීමටත් උදවු වන්න තරම් ශක්තිමත්. දත් ක්ෂීරපායින්ගේ වගේ බෙදී නෑ. එකට බැඳී කියත් දෙකක් වගේ උඩු තල්ලේ සහ යටි තල්ලේ තිබෙන්නේ. දිව දිගයි; දෙකට බෙදිලා.”

එසේ කී වෛද්‍ය අතපත්තු අපූරු කතාවක්ද හෙළි කළේය...

“විභාග කාලෙට ළමයින්ට ආනමාළු ගෙඩි එහෙම ලැබුණොත් පරිස්සම් වන්න සිදු වනවා. මොකද: සමහරුන් විශ්වාස කරනවා තලගොයි දිව තම්බා කෙසෙල් ගෙඩියක බහා ගිල්ලාම මතක ශක්තිය වර්ධනය වනවා කියලා. ඒත් ඒක අමූලික බොරුවක්; තලගොයි මස්වලට ගිජු අයගේ මිථ්‍යා විශ්වාසයක් විතරයි.”

කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා වනවායැයි කතාවක් අප අතරේ තිබේ. ඒ ගැන වෛද්‍ය අතපත්තුගේ මතය විමසුවෙමි.

“කබර මස් විස සහිත බව තමයි බොහෝ දෙනාගේ විශ්වාසය. ඒක කොහොම වුණත් කබර බිත්තර නම් බොහොම විසයි. ඒ වගේම කබර වසුරු නිරුවත් පයට පෑගුණොත් අතිශයින්ම විසයි. මුලින් කැසීමක් විදිහට ආරම්භ වෙලා පස්සේ සුව වන්නට බොහෝ කල් ගත වන විඳවන්න සිදු වන තුවාලයක් බවට පත් වනවා. මෙය කිඹුල් වසුරුවලද ස්වභාවයක්. ඒ නිසා කබරයින් ඇති තැන්වලින් යද්දි පරෙස්සම් වීම ඇඟට ගුණයි.

කසළ ආහාරයට ගන්නවා යැයි කීවත් මුන් වඩාත් ප්‍රිය කරන්නේ මාංසමය ආහාරවලට. විශේෂයෙන් වරකා වැනි දේවල් වුණත් කුණු වුණාමයි කබර-තලගොයි මෙනු පත්වල ප්‍රමුඛස්ථානයට එන්නේ. කුරුලු බිත්තර, බිම යන කුරුල්ලන්, ගෙම්බන්, වේයන්, වේ පිලව් වගේම පිලා වද, වේ තුඹස් හාරා කන්න උන් බොහෝම කැමතියි.

දුක හිතෙන කාරණේ උන්ගේම පැටවුන්වත් මේ මෙනුපතට ඇතුළත් වීමයි. උරගයන්ගේ මවු-පිය සෙනෙහස අපට දකින්න ලැබෙන්නේ නෑ. කබරයින් වැඩිය ගැඹුරට වළවල් හාරා බිත්තර දාන්නේ නෑ. ඒත් තලගොයා බිත්තර දාන්නෙ බොහොම ගැඹුරු වළවල. පසේ රස්නයෙන් තමයි බිත්තර රැකෙන්නේ. කුකුළු බිත්තර වගේ කටුව තද නෑ; මෙලෙකයි. බිත්තර දහයක් දොළහක් දැම්මට ඉතුරු වන්නේ පැටවුන් එකයි දෙකයි. ඒ උන් ඉපදුණු ගමන් තමන්ගේම අම්මලාටත් ගොදුරු වන නිසා.

ඒත් උන්ගේ අභිජනනය නම් හරියට සටනක් වගේ. ගැහැනු සතා පස්සෙන් දුවගෙන යන පිරිමි සතාට ඇය මෙල්ල කරගන්න ටිකක් වෙලා යනවා. අපූර්වත්වය තමයි ඒ දෙන්නා අභිජනනයේ යෙදෙන්නේ උරගයින්ට උරුම වූ එකිනෙකා බදාගැනීමේ ක්‍රමයටම වුණත් උන් වලග ආධාර කරගෙන හිට ගැනීම. ඈතට පේන්නේ මිනිසුන් දෙන්නෙක් බදාගෙන ඉන්නවා වගේ.”

එසේ කියූ වෛද්‍ය නන්දන අතපත්තුට පොලොන්නරුවේ කබර ප්‍රදර්ශනයක් මතකයට නැඟිණි.

“පොලොන්නරුව පූජා නගරයට ආසන්නයේ පාර හරහා ගලා බසින ඔයක් උඩින් ඉදි කර තිබුණු පාලමක දේශීය විදේශීය සංචාරකයන් පොදි කකා බලන් ඉන්නවා. මමත් බැහැලා එබිලා බැලුවා. අම්මෝ... කිඹුලෙක් විතර විශාල කබරයෙක්. වතුරේ පෙරළි පෙරළි අර කට්ටිය දෙන කෑම අහුලන් කනවා. මගේ හිතට සැක නිසා ටිකක් හොයලා බැලුවාම පෙනුණා, ටිකක් දෙපැත්තට වෙන්න දැල් ගහලා මේ සතාව කොටු කරලා තියෙන්නේ. අයිතිකාරයාගේ සාධාරණකමට හොඳට කන්න නම් දෙනවා. ඒ වගේම කබරයා බලන්න ටිකට් එක තමයි, බිත්තරයක් ගන්න සල්ලි හරි බිත්තරයක් හරි ගෙනත් දීම. ඌට කන්න දුන්නට උගේ අනෙක් අවශ්‍යතාවලට යන්න නිදහසක් නෑ. මමත් බිත්තරයක ගාන දුන්නා. ඒ පවුල යැපුණේ කබරයාගෙන්. ඒත් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතට අනුව කබරයන් වගේම තලගොයන් ආරක්ෂිත සතුන්.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »