සවුදි කැලේ පැටවු දාපු සතුන් හොයන්න මාත් කැලේ රිංගුවා
වසර 17ක් සවුදියේ ගව ගාලක දුක් විඳි කුසුමාවතීගේ කතාව

2017-11-07 09:41:00       110
feature-top
* පැත්ත පළාතක කාත් කවුරුත් නැති, නයි පොළොංගු ඉන්න මහ කැලේට මං සතුන් හොයන්න තනියම ගියා
* එළු බැටළු ඔටු පට්ටි ගණන් තනියම බලා ගෙන ගෙදර වැඩත් කළා
* සතුන් ඇඳුම් ඉරන නිසා මං ඇන්දේ පරණ ඇඳුම්
* කාන්තාරයේ සිට පාරට බොහෝ දුර නිසා පැනලා යෑමත් මට හීනයක් වුණා

කුසුමාවතී අඹන්පොළ යටවර ගම්මානය යළි දුටුවේ වසර 17 කට පසුය. ඇගේ ගම දැන් බොහෝ වෙනස් වී ඇත. නෑයන් පමණක් නොව කුඩාවට සිටි ඇගේ දරුවන්ද දැන් ලොකු මහත් වී ඇත්තේ ඇයත් නොදැනීමය. කාලය ඇයට බොහෝ සරදම් කර ඇතැයි සිතුණු වාරයක් පාසා ඇය දුක්වන්නී ය. දැන් ඥාතීන් ඇය වට කර ගෙන සිටියදී ඇයට අතීතය මතක් වේ. එහෙත් ඒ අතීතය බොහෝ සෙයින් අමිහිරිය.

කාන්තාරවලින් වටවූ සවුදියේ සතුන්ට හවුහරණක් දෙමින් වසර 17 ක් ඝන කැලෑවක ගෙවූ ඒ කාලය මතක් කරන්නටවත් දැන් ඇය අකැමැති ය. එහෙත් අප ඇය ගැන ලිවිය යුතුමය. ඒ වසර 17 ක් පුරා සවුදියේ කාන්තාරයක පිහිටි අති දුෂ්කර කැලෑබද ගමක තම පවුලේ උදවිය සමඟ කිසිම තොරතුරු හුවමාරුවක් නොමැතිව කල් ගෙවූ ඇය දුෂ්කර වෑයමකින් අනතුරුව යළිත් සොයා ගත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ය.

ඇය හා කතා බහ කිරීමට අප ගත් උත්සාහය නිෂ්ඵල වූයේ ඇගේ දෛවෝපගත අතීතයේ වැඩිමනත් තොරතුරු හෙළි කිරීමට ඇය අකමැති වූ නිසාය.

ඇය කවිකාරගන්හේලාගේ කුසුමාවතීය. ඇගේ කතාව ඇරැඹෙන්නේ ඇයගේ දුෂ්කර දිවියත් සමඟය. එහෙත් ඈ පැවැසූ බොහෝ දේ මුල මැද අග ඇයට බොහෝ අමතකය. ඈ පැවැසූ ඇගේ කතාව පැටුලුණූ නූල් බෝලයක් දිග අරින්නාක් මෙන් සිළුමිණ හරහා අප පවසන්නේ දුරු කතර ගෙවා පැමිණි ඇයගේ දුෂ්කර වෑයමට යම් අගයක් දෙන්නටය.

“මම ඉපදුණේ ගොඩාක් දුෂ්කර ගමක. ඒ නිසා දුක මගේ ජීවිතයට අලුත් දෙයක් නෙමේ. මේ සිදුවීම වෙනකොට මගේ දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 4 යි. මහත්තයාගේ එක ඇහැක් පේන්නේ නැති වුණත් එයා කළේ මාළු රස්සාව. මමත් වත්තේ පිටියේ මුං, කවුපි, බෝංචි, මෑ වගේ දේවල් හිටවලා පොඩි ආදායමක් ගත්තා. ඒත් අපි ජීවත් වුණේ අමාරුවෙන්. මට රට යන්න පාර කිව්වේ මගේම අක්කා කෙනෙක්. ඒ වෙනකොට මම ගුවන් යානයක් දැකලාවත් තිබුණේ නැහැ. රට යන එක මට හීනයක්. නැතිබැරිකම හැම දේටම වඩා ඉහළින් තිබුණු නිසා දරුවන්ගේ තාත්තත් මං රට යනවට මොකුත්ම කීවේ නැහැ. මේ හැමදේම හදාගෙන මම 2000 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 22 වැනිදා සවුදි ගියා.”

ඇය සවුදියේ දමාම් ගුවන් තොටුපොළින් ගොඩ බැස්සේ කිසිදා නොදුටු අපූරු ලොවකටය. ජීවිතය ගොඩ ගත්තේයැයි යන හැඟීම ඇයට ඇතිවිය. එහෙත් ඇගේ සිතේ මහා බියක්ද විය. ඒ සුළු මොහොතකි. ඇය කැටුව යෑමට ගුවන් තොටුපොළට කෙනෙක් පැමිණ ඇතිබව දැන ගත්විට ඒ බිය ඇය වෙතින් පලා ගියේ ය.

“දමාම් ගුවන් තොටුපොළට රිමාන් බාබා කියලා කෙනෙක් ආවා. එයා මා දමාම්වල ගෙදරකට ඇරලුවා. ඒ ගේ ගාව තමයි පොලීසිය තිබුණේ. මාසෙම මට කිසිම වැඩක් දුන්නේ නැහැ. ටොයිලට් විතරයි හේදුවේ. මම මේ මාසේ පුහුණු වෙනවා විතරයි කියලා පඩියක් දුන්නේ නැහැ. මාසෙකට පස්සේ මේ බාබා මට කතා කරලා කිව්වේ ‘මගේ අම්මයි තාත්තයි ඉන්නේ ටයිට් කියන හරියේ. ඔයා එහේ ගිහිල්ලා දානවා කියලා. මේ වෙනකොට මට ගෙදරට පණිවිඩයක් වත් දෙන්න ශක්තියක් තිබුණේ නැහැ”

රන් කහවණු සොයා දුරු කතර පැමිණි කුසුමාවතීගේ ජීවිතයට සැබෑ දුක පැමිණෙන්නේ මින් අනතුරුවය.

“බාබා දමාම්වල ඉඳන් මා ගොඩාක් දුර අරන් ගියා. කිලෝ මීටර ගණනාවක් මහා කාන්තාරයේ ගියා. ඉන්පස්සේ ලොකු කැලෑවකට ඇතුළු වුණා. සත්තු නයි පොළොංගු ඉන්න මේ කැලෑවේ ගම්මානයක් තිබුණා. මේ ගම්මානයේ බාබාගේ අම්මයි තාත්තයි රෙදි කූඩාරම් ගහගෙන හිටියා. මේ අය සත්තු ඇති කරනවා. එළුවෝ, බැටළුවෝ, ඔටුවෝ වගේ සත්තු පට්ටි මේ අයට තිබුණා. මාව ගෙනත් දැම්මේ මේ සත්තු පට්ටි බලා ගන්න. උදව්වට කිසි කෙනෙක් නැහැ. මම විතරයි හිටියේ මේ සත්තු ඔක්කෝම බලා ගන්න. ඒ විතරක් නෙමේ, මේ අයට උයන්න පිහන්න ඕනත් මම. මම උදෙන්ම නැගිටලා උයනවා. ඊට පස්සේ සත්තු බලාගන්න යනවා. ආයිත් දවල් 10 ට විතර කූඩාරමට එනවා. ඇවිත් හවසට සත්තු බලන්න යනවා. මේ යනකොට නැතුවුණ සතුන් හොයාගෙන කැලෑවටත් යන්න ඕනෑ. අලුත් පැටියෙක් දැම්මා නම් කොහේ හරි ගිහින් ඒ දාපු සතා හොයා ගෙන එන්න ඕන. ඒ හැම දේමත් ගෙදර ලොකු දෙන්නට කියන්න ඕනැ. රෑට උයන්න යන්නෙ සතුන් ඔක්කෝම හොයා ගෙන කොටු කරලා. මේක මහා ඝන කැලෑවක්. කිසිම ගෙයක් දොරක් නැහැ. සත්තු සර්පයි ඉන්න මහා භයානක කැලෑවක්. ඒත් ටික දවසක් යනකොට මම මේ ජීවිතයට හුරු වුණා.”

කුසුමාවතී පවසන පරිදි ඇය බාබා නමින් හඳුන්වන තැනැත්තා යළි ඇය සිටි නිවෙසට පැමිණ ඇත්තේ ඇය ගෙනත් ඇරලවා මාසයකට පමණ පසු ය. මේ ආ සෑම වතාවකම ගෙදරට අමතන්නටත් නැවත සිය රට යන්නටත් ඇය කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළේ ඉතා අමානුෂිකවය.

“මේ වෙනකොට මට මාසේ පඩිය විදියට දුන්නේ රියාල් 400 ක් විතරයි. පඩි වැඩි කරලා දෙන්න කිව්වහම ඒ අය කිව්වේ ‘උඹලගේ රටේ මිනිසුන්ටත් කන්න විදියක් නැහැ. මේ ගාන අරගනින්. වැඩිපුර සල්ලි ඉල්ලන්න එපා’ කියලයි. මේ කරදර නිසා මට පැනලා යන්න හිතුණත් යන්න විදිහක් නැහැ. කාන්තාරයේ ඉඳලා පාරකට කිලෝ මීටර් 80 ක් විතර තියනවා. ගියොත් තිබහෙම මැරෙන බව මම දන්න නිසා ඉවසගෙනම හිටියා. මේ අය මට හොරෙන් මගේ වීසා දික්කරනවා. මේ නිසා පැනලා යන එකත් හීනයක් වුණා. මේ කැලෑවේ ඉඳලා මාව ටවුමකට එක්ක යන්නේ බඩු ගේන්න ගියොත් විතරයි. ගෑනු කෙනා කාරෙක පදවාගෙන ටවුමට ගිහින් මා වාහනයේ දාලා දොර ලොක්කරලා යනවා පැනලා යයි කියලා.

ඒ ඇර සතියකට වතාවක් මේ කැලෑ ගම්මානයට ලොරියක බඩු පටවාගෙන වෙළෙන්දෙක් එනවා. මේ ලොරියේ ඇඳුම් පලතුරු රත්රන් බඩු වගේ හැම දෙයක්ම තිබුණා. මම මට ඕන දෙයක් ගන්නේ මේ ලොරියෙන්. මට අඳින්න ඇඳුමක්වත් හරියට තිබුණේ නැහැ. ගෙදර ගෑනු කෙනාට කිව්වහම එයාගේ ඇඳුම් දෙනවා.

මට ඒවා අඳින්න බැහැ. ලොකුයි. සතුන් ඇඳුම් ඉරන නිසා මම පරණ ඒවාම ඇඳගෙන හිටියා. මේ අතරේ මගේ පාස් පොතේ කාලේ ඉවර වේගෙන ආවා. (ඇය මෙතැන පාස් පොත ලෙස සඳහන් කරනුයේ ඇගේ ගුවන් ගමන් බල පත්‍රය ය) බාබා ඇවිත් මාව පොත හදන්න නගරයට එක්ක ගෙන ගියා. පොත හදනකොට මම දැන ගත්තා මගේ තොරතුරු ඒජන්සිවලට යන බවත් ඒ අය මා හොයන බවත්. මේ නිසා හිතට සතුටක් ආවා. මේ ගමනේදි බාබා මට හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන දුන්නා. මේකෙන් මම ගෙදරටත් කතා කළා.”

කුසුමාවතීගේ පාස් පොත අලුත් කිරීම හරහා ඇයගේ තොරතුරුද යාවත් කාලීන වුවත් ඇය යළිත් රැගෙන ගියේ පරණ කැලෑවටමය. යම් යම් නිලධාරීන් මේ තොරතුරු හරහා ඇයගේ විස්තර සෙවූවත් ඇය කැලෑවක සිටීම හේතුවෙන් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය. එහෙත් වයසක දෙපොළ ගෙන් ඇයට වද හිංසාවක් නොවී ය.

“මට මතක හැටියට මම ගිහින් අවුරුදු 15ක් යනකම්ම මම හිටියේ මේ කැලෑවේ. මේ වෙනකොට මම මුලින් කියපු අර බාබාගේ පවුලත් මේ කැලෑවටම නතර වෙන්න ආවා. දවසක් කැලෑ ගම්මානයේදි මේ බාබාගේ පුතෙක් මැරුණා. ඊට පස්සේ නිතර නිතර ගෙදරට නයි පොළොංගු එන්න ගත්තා. මේ නිසා පෙර පිනකට වගේ අවුරුදු 15 කට පස්සේ සර්පයින්ට බයේ ගෙදර ගෑනු කෙනා අතීස් කියන ටවුමට ආවා. මට ආයිත් පැනලා එන්න හිතුණා. මේ ගේ ගාවමයි පොලීසිය තියෙන්නේ.

දවසක් මම පාන්දර ගිනි පත්තු කරපු ගමන්ම පොලීසියටම පැනලා දිව්වා. පොලීසියට ගිහින් ගමයි ආපස්ස හැරිලා බැලුවේ. පොලීසියේ අය මට උදේ 8 වෙනකල් ඉන්න කිව්වා. ඉන්න කියලා මට හොරෙන් ගෙදර අයට පණිවිඩය දීලා මාව ආපසු ඒ ගෙදරටම යැව්වා. දෙවැනි වතාවේත් මම අර වගේම පැන්නා. වාහනයකට අත ඇල්ලුවා. ඒ අය මගෙන් හැඳුනුම්පත ඉල්ලුවා. මේ නිසා ආපහු ගෙදරටම යන්න වුණා. මම ගිහින් කෑගැහුවා.

මාව ගෙදර යවපල්ලා. නැතිනම් මරපල්ලා කියලා. මේ වෙනකොට පොලීසියෙන් මාව බේර ගන්න හැම තැනම හොයනවා. කොහොම හරි අවුරුදු 17 කට පස්සේ මාව ලංකාවට යවන්න කියලා ඒජන්සියෙන් දන්වලා තිබුණා. මේ වෙනකොටමට රියාල් 38,000 ක පඩි සල්ලි එකතු වෙලා තිබුණා. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මාව ගෙන්වුවාට පස්සේ මගේ හිඟ වැටුප් රියාල් 50,000 ක් ගෙවන්න බාබාට නියම කළා. ඒත් මම දරුවෝ අමතක කරලා හිටියේ. මම හිතුවේ නැහැ ඒ අය කවමදාවත් මට ආයෙත් දකින්න ලැබෙයි කියලා.”

රන් කහවනු සොයා ගොස් ජිවිතය කණපිට පෙරැළුණු ඇය වසර 17 කට පසු නැවතත් මෙරටට ආවේ පසුගියදා ය. ඒ එනවිට ඇගේ මව ද වියෝවීය. දරුවෝ ද උස් මහත්ව විවාහවී සිටියහ.

ගුවන් තොටුපළෙන් ගෙනා ටොෆි චොකලට් කිහිපයක් හැරෙන්නට ඇයට සිය දරුවන්ට ගෙනෙන්නට වෙනත් කිසිවකුත් නොවීය. සතුන් සමඟ ගෙවූ අතීත ජීවිතය අමානුෂික වුවත් ඇය ඒ කාන්තාරයේ ඇය සමඟ සිටි ඒ වැඩිහිටි දෙපොළට ගරහන්නේ නැත. කුසට ආහාරයක් දී හිරිහැරයක් නොකර ඇය රැක ගත් නිසාය.

යළි සියරට පැමිණි ඇගේ ජීවිතය දැන් ගෙවෙන්නේ දරු දෙදෙනා හා ස්වාමියාත් සමඟය. යළි රට යෑම ඇයට වහ කදුරු මෙනි. මේ නිසා ඇය කිසි දිනක යළි දුරු රටකට නොයන්නට සිය 'පාස්පොත' ඉරා කැබලි පවා උඩු සුළඟේ පාකර හැරියාය.

මෙතෙක් විගමනික ශ්‍රමිකයකුට ලබා දුන් වැඩිම හිඟ වැටුප කුසුමාවතීට

 

කුසුමාවතී මහත්මියගේ අතුරුදන්වීම ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මුලින්ම තොරතුරක් ලැබුණේ සවුදියේ රියාද් හි පිහිටි අපේ තානාපති කාර්යාලයෙනි. ඒ වසර දෙකකට පමණ පෙරය. මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වූ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය කුසුමාවතී පිළිබඳ වහා සොයා බලා ලංකාවට එවීමට කටයුතු කරන්න යැයි සවුදි තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය. නිලධාරීනට කුසුමාවතී සොයා ගැනීම අපහසු වූයේ ඇය සිටි තැනක් ගැන හෝඩුවාවක් නොවීම නිසාය. මුලින්ම කුසුමාවතීගේ පවුලේ උදවිය කාර්යංශයට දුන් දුරකතන අංකයට ඇමැතුම් ගෙන ඇය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද, ඒ වෑයම අපොහොසත් වූයේ ඇය සිටි ප්‍රදේශය පිළිබඳ ඇයට ද නිසි අවබෝධයක් නොතිබුණු නිසාය. එහේ කාර්යාංශ නිලධාරීහූ ඇය සෙවීමේ උත්සාහය අත් නොහළහ. නැවතත් එම අංකයට ඇමැතුම් ගත්තද ඒ වන විට ඇයගේ දුරකතනය විසන්ධි වී තිබුණු අතර සෙවීමද දුෂ්කර කටයුත්තක් වී තිබුණි. මේ වන විට ඇයගේ අතුරුදන් වීම ගැන එරට ටයිෆ් ප්‍රදේශයේ කම්කරු උසාවියටද පැමිණිලි කර තිබුණි. අවසානයේ මේ උත්සාහය මල්ඵල ගන්වමින් සවුදියේ ආගමන විගමන කාර්යාලයේ හා සවුදියේ පොලිස් නිලධාරීන්ගේ සහාය ද ඇතිව හා ඇයගේ හාම්පුතුන්ගෙන් ලද තොරතුරු අනුව කුසුමාවතී මහත්මිය සොයා ගන්නා ලදී. ඒ වෙද්දී ඇයට ගෙවා තිබුණේ ඉතා අඩු වැටුපකි. පසුව ශ්‍රි ලංකා රජය විසින් අනුමත කර ඇති ඇයගේ ශ්‍රමයට සරිලන වැටුප් ලබා දීමට ද කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කුසුමාවති මහත්මියට ලැබිය යුතු තවත් රියාල් 50,000 ක් මේ මස 12 වැනිදාට ගෙවීමට ඇයගේ හාම්පුතා හා ගිවිස ගෙන ඇත. මේ අනුව ඇයට ලැබිය යුතු වූ මුළු මුදල රියාල් 88,700 කි. මෙය මෑත ඉතිහාසයේ විගමණික ශ්‍රමිකයෙකුගේ හිමිකම් වෙනුවෙන් ලබාදිය හැකිවූ ඉහළම හිඟ වැටුප වේ. මේ සඳහා කැපවූ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ඇතුළු නිලධාරීන්ට කුසුමාවතී‍‍ගේ පවුලේ උදවිය ස්තුතිය පළ කරති.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »