උරුලෑ ‘සුවඳ,ට වශීවෙමු උගුඩුවන් නාවමු

2017-11-02 10:20:00       120
feature-top
“සිංහරාජයේ මම ගියා කැහි බෙල්ලන් බලන්න.” හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ නන්දන අතපත්තු මහතා කතාව ඇරැඹුවේය.

“ඒ කුරුල්ලා පුදුම ලස්සන නිල් පාටයි. ඇස් රතුම රතු පාටයි. හෝටන් තැන්නේ, සිංහරාජේ වගේ තැන් කීපයක විතරයි ඉන්නේ. උසම උස ගස්වල කූඩු හදන්නේ. ඊටත් වඩා උන්ගේ හඬ හරිම මිහිරියි. උදේටයි, හවසටයි තමයි සින්දු කියන්නේ. එවාත් ගස් අත්තක වාඩිවෙලා කියන්නේ එක සින්දුවක්, ඉගිලෙනකොට තවත් සින්දුවක් හරිම ලස්සනයි. ඉතින් ඒ මිහිර විඳගන්න නම් කැලේටම පෙම් බඳින්න ඕනේ.

ඒ අතරේ වැද්දාගල පැත්තේ ඇවිදින කොට කිතුල් රා මදින තැනක් දැක්කා. එතන පොඩි කලබලයක් නිසා අපිත් ගියා බලන්න. ටැප් එකක් ළඟ සෙනඟ පිරිලා. රා බීම පැත්තක තියලා කට්ටියම සතෙක් නාවනවා. අපි බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඒ පැත්තේ තියෙන්නේ හරිම උස කිතුල් ගස්. ඒවායේ මල් පීදුණාම තලන්න ගහට නඟින්න හරිම අමාරුයි. ඒ නිසා ලොකු උණ ගස් කිතුල් ගහේ බැඳලා ඒවායේ අතු දිගේ තමයි රා මදින්නන් උඩට යන්නේ. හැබැයි ගස්වල යන්න පුරුදු උගුඩුවන්ට මේ උස ප්‍රශ්නයක් නෙවෙයි. සමහර විට උනුත් මේ උණ ගහ දිගේම යනවාද දන්නේ නෑ. කොහොම හරි අර කතාවක් තියෙන්නේ ‘රා බීපු උගුඩුවා වගේ කියලා’ අන්න ඒ කතාව ඇත්ත කරන වැඩේ තමයි මෙතන සිද්ද වෙලා තියෙන්නේ. රා කලේ බාන්න අයිතිකාරයා අමාරුවෙන් උණ ගස් දිගේ නැඟලා උඩට ගියාම රා ටික නෑ. ඒ වෙනුවට වෙරි වෙච්ච උගුඩුවෙක් කලේ ඇතුළේ ඉන්නවා බෙල්ල එළියට දාගෙන. ඌ කොච්චර මත් වෙලාද කීවොත් මුට්ටියෙන් එළියට පැන ගන්න තරම් පණක් නෑ. ඉතින් මොනවා කරන්නද? රා වෙනුවට එවා බීපු උගුඩුවාගෙන් පිරුණු මුට්ටිය අරගෙන බැහැලා. උගේ වෙරි හිඳෙනකල් තමයි අර අපි යද්දි ටැප් එකට අල්ලලා නාවලා තියෙන්නේ. වෙරි ටිකක් හිඳුණා විතරයි, දැඟලුවා, දෙපැත්ත බැලුවා, පැනලා දිව්වා.”

වෛද්‍ය අතපත්තු සිය අත්දැකීම විස්තර කළේ සිනා මුසු මුහුණිනි. කැහි බෙල්ලන්ගේ මිහිරි ගී නදින් මන් මත් වී එන වෛද්‍ය අතපත්තුට රා බී මත් වුණු උගුඩුවකු නාවනු දැකීමෙන් ඇති වූ හැඟීම කෙබඳු දැයි මට සිතා ගත නොහැකි විය. කතාවෙන් පසු ඔහු උගුඩුවා ගැන තතු කියන්නට විය.

“උගුඩුවා දිගයි. හොම්බ උලයි. හැබැයි අගිස්සෙන් හතරැස්. ඇස ලොකුයි. බළල් පවුලට තමයි අයිති වෙන්නේ. රා බොන හින්දා ‘ටොඩි කැට්’ (Toddy cat) කියලත් හඳුන්වනවා. ඒත් ‘පාම් කැට්’ (Palm cat) නමින් තමයි ප්‍රසිද්ධ. වලිගේ බටයක් වගේ දිගයි. ලෝම ඝනව පැතිරිලා තියෙන්නේ අවුල් වෙලා වගේ. වර්ණය ඒකාකාරී නෑ. සිරුරේ උඩු කොටසේ කළු-අළු පැහැයක් පෙනුණත් යටි බඩේ සුදුවට හුරු අළු පැහැයක් පෙන්වන්නේ. ඇස් වටේත් ඒ පාටින් පුල්ලි වගේ තිබීම විශේෂයක්. කකුල් සහ වලගය කළු පාටයි. හොම්බේ හොඳට රැවුල් ගස් තිබෙන නිසා හොඳ ඉවක් තිබෙන බවත් පැහැදිලියි.”

රා බොන්නට අමතරව උගුඩුවන්ගේ මෙනු පතේ ඉහළින්ම තිබෙන ආහාර වර්ග පුදුම සහගතය.

“කිතුල් රා වගේම කිතුල් ඇට කන්නත් මුන් හරි හපන්නු. කාලා මළ පහ කළ කිතුල් ඇට දැක්කොත් දැනගන්න පුළුවන් ඒ ගෙවත්තේ උන් ඉන්නවාද කියලා. උගුඩුවා අන්නාසි ඉදෙන කාලෙට ඒ වතුවල එමට දැක ගන්න පුළුවන්. උන් හරි ආසයි ඉදුණු අන්නාසිවලට. මාශ භක්ෂක වුණාට සර්ව භක්ෂක ලක්ෂණ පෙන්වනවා. පළතුරු වගේම පොඩි නයෙක් දැක්කත් අතාරින්නෙ නෑ. ඒ වගේම කටුස්සන්, ගස් ගෙම්බන්, පුංචි කුරුල්ලන්, බිත්තර වේල පිරිමහගන්න ඇති. හැබැයි ඉතින් කුකුළන්ගේ නම් මාරයා. ගෙවල් දොරවල් ආශ්‍රිතව හැදී වැඩෙන උන් බත්-පාන්වලටත් පුරුදු වෙනවා. උන් ගෙදරක සීලිමේ ලැගුම් ගන්න එකේ වාසිය තමයි මීයෝ පැත්තකවත් නැති වෙන එක. හැබැයි ඉතින් සීලිමේ දාරවලින් බේරෙන මූත්‍රාවලින් නහය බේරගන්න තමයි අමාරු.”

වෛද්‍ය අතපත්තුගේ නිදි යහනට උගුඩුවන් කළ දේ සිහි කරමින් ඔහු කීවේ ඒ මොහොතේ සිදු වූ දෙයක් මෙන් නහය හකුළුවමිනි.

“පැටවුන් දාන්නේ ගස්බෙනවල, එයින් කිතුල් බෙන විශේෂයි. උන්ගේ කෙඳිරියත් හරියට කුරුලු පැටවුන්ගේ චීස් බීස් හඬකට සමානයි. උගුඩුවන්ට වගේම කලවැද්දන්ටත් නිශ්චිත අභිජනන සමයක් නෑ. පැටවුන් තුන්හතර දෙනෙක් වරකට බිහිකරනන්න ඉඩ තිබෙනවා. ශරීර ප්‍රමාණයෙනුත් සමානයි. ඒත් හොඳට උල් වුණු කන් දෙකක් නම් තිබෙනවා. වලගය හිසේ සහ සිරුරේ දිගට සමාන තරම්, හුඟක් දිගයි. පැහැදිලි වෙනස ගැහැනු සතුන්ට තිබෙන්නේ තනපුඩු යුවල දෙකයි. රෝම සහිත සිනිඳු ඒකාකාරී ලෝම පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් රන්වන් කහ පාටයි. ඒ අතර දිග අතට පැතිරුණු රේඛා තිබෙනවා. පැටවුන්ට මේ රේඛා පිහිටන්නේ නෑ. ගෑනු පිරිමි භේදය හඳුනන්න අමාරුයි. හැබැයි බළල් පවුලේත් ක්ෂීරපායීන්ගෙත් හැටිය අනුව පිරිමි සතා ලොකුයි. ගැහැනු සතා පොඩියි. මෙනු පතේ වැඩිපුර තිබෙන්නේ පලතුරු වර්ග. කෙසෙල්, පේර, වරකා, අන්නාසි, අඹ වගේ ගඩාගෙඩි හැම එකටම පාහේ කැමැතියි. ඒත් ඉඳලා හිටලා ඔය කටුස්සෙක්, ගස්ගෙම්බෙක් වගේම නාග පැටියෙක් එහෙමත් අතාරින්නෙ නෑ. විශේෂත්වය තමයි මේ අයට ඔය කෙහෙල් ගෙඩියක්, කිරි ටිකක් එහෙම දුන්නොත් පැටවුන් ලේසියෙන් හීලෑ කරගන්න පුළුවන්. මේ නිශාචරයන්ට දවල්ට පේනවා ටිකක් මදි. මම කියන්නේ උගුඩුවා, කලවැද්දා වගේම උරුලෑවා කියන තුන්දෙනාම එහෙමයි.”

වෛද්‍ය අතපත්තු උරුලෑවාද කතාවට ඈඳා ගත්තේය. අප දන්නේ උරුලෑවා ගිය පාර පවා සොයා ගන්න උගේ ‘සුවඳ’ උපකාර බවය.

“ඒ කියන්නේ අපිනේ. සමහරු මේ සුවඳට වශී වෙනවා. දිගු ශරීරයක් වගේම උල් වුණු හිසක් තිබුණට කන් රවුම් වෙච්ච උරුලෑවන්ගේ කකුල් බොහොම කෙටියි. වල්ගේ හුඟක් දිගයි. බළල් පවුලට අයිති වුණාට කලවැද්දා හෝ උගුඩුවා තරම්වත් ජනප්‍රිය සුරතලෙකු බවට තත්ත්වෙට උරුලෑවා පත් නොවන්නේ උගේ ප්‍රීනල් ග්‍රන්ථිය නිසා. එය පිහිටන්නේ උන්ගේ යටි බඩේ. බඩ යට රෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ ළාවට තිබෙන කහ වර්ණය පහළට යන විට තද පැහැ ගැන්වෙනවා. හිස කෝපි පාටයි, හොම්බ සුදුයි. කර වටේ පැහැදිලිව තිබෙන මාල වගේ තිබෙන රේඛා පැහැදිලියි. කෙළවර තනි සුදු වන වලගේ වළලු හත අටක් පේන්න තිබීමත් ඉතා විශේෂ ලක්ෂණයක්. පැටවුන්ගේ ලෝම හරි මෘදුයි. ආසියාවේ බොහෝ රටවල මේ සතා හිටියට අපේ උප විශේෂය අපටම ආවේනිකයි. අඩි 5000ක් උස සීතල කඳුකරයේත් රටේ හැමතැනකමත් මේ අය දකින්න පුළුවන්. කැලෑවට වඩා තේ වතුවල, ගෙවතුවල මේ අය දකින්න ලැබෙන්නේ කැලෑ පාළුවන්ගේ පරිසර හානි නිසා. කැමේ අයගෙත් මෙනු පත අනිත් දෙදෙනාගේ වගේමයි.

උරුලෑවා ගජරාමෙට විහිදුවන ‘සුවඳ’ අපට අමාරු වුණාට ඒකට වශී වෙන පිරිසකුත් ඉන්නවා. ඒ තමයි යාපනය පැත්තේ වශී ගුරුකම් කරන අය. කස්තුරි මුවා තරුණ වෙද්දි තමයි නාභියෙන් ඒ සුවඳ විහිදුවන්නේ. ඒත් ප්‍රජනන සමයේ ගැහැනු සතුන් ආකර්ශනය කර ගන්න. ඒත් ඉතින් කස්තුරි මුවාගේ ඉමිහිරි සුවඳට හාත් පසින්ම වෙනස් උරුලෑ සුවඳ නම් උපන්දා සිට මැරෙනකල්ම උගෙන් විහිදෙනවා. ඒ ආරක්ෂක උපක්‍රමයක් හැටියට. කොහොම වුණත් මේ දෙන්නාගෙම ග්‍රන්ථි ලබා ගන්න නම් උන් මරන්නම ඕනෑ. මිනිස්සු උරුලෑවා මරන්න තිබෙන එකම හේතුව යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම්වලට මේ ග්‍රන්ථිය ගැනීම විතරයි. එහෙම නැතිව හුරතලේටවත්, කෑමටවත් නම් කිසිම කෙනෙක් උරුලෑවන් ළඟටවත් ගන්නේ නෑ.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »