හරකා බාන ගැන අපි ඉන්නේ බයෙන්

2017-10-31 10:48:00       137
feature-top
හරක් ගෙනියන්න බැරි තැන පොලුවලින් ගසා කකුල් කඩා තුවාල කර යනවා

ජීවත්වීම මේ ලොව උපන් සියලු දෙනාටම පොදු වූ ධර්මතාවකි. මිනිසාගේ පටන් කුරා කූඹියා දක්වා ද ඒ අයිතිය එසේමය. එහෙත් සිත් පිත් නැති මිනිසුන් නිසා අද සත්ත්ව ලෝකයේ පමණක් නොව මිනිස් ලෝකයේද ජීවිත අවදානමකට ලක්වී තිබේ. අද රටේ බොහෝ ප්‍රදේශවලින් දිනෙන් දින හොර හරක් ජාවාරම් පිළිබඳ අසන්නට ලැබෙන්නේ රැල්ලක් ලෙසිනි. නගරයෙන් නගරයට ඉදිවන මස් අලෙවි සල් හමුවේ කැලයේ පමණක් නොව නිවෙස්වල ඇති කරන ගවයන්ද හොර රහසේ ගව ඝාතනාගාර කරා දක්කන තත්ත්වයක් අද උදාවී තිබේ.

ගල්ගමුව වැනි ප්‍රදේශවල ජනතාව අතරින් බොහොමයක් කිරි ටික ගැනීමට මෙන්ම ගොවිතැන් වැඩ සඳහාද නිවෙස්වල ගවයකු දෙදෙනකු ඇති කිරීම කලක සිටම සිදු කළහ. එලෙස නිවෙස්වල ඇති කරන ගවයන් හොර රහසේ පන්නා ගෙන යෑම් පිළිබඳ සිද්ධි මෑත කාලයේ ‍‍බොහෝ අසන්නට ලැබිණි. එලෙස හොරකම් කරන ගවයන් ඉතාම කෲර අන්දමින් ඝාතනය කිරීම් වාර්තා වූයේ මිනිසුන්ගේ හදවත් කම්පා කරමිනි.

මේ වසරේ පසුගිය කාලයේ මෙන්ම ඉකුත් වසරේද ගල්ගමුවේ මෙන්ම ඒ අවට ප්‍රදේශ රැසක ජනතාව දැඩි කම්පාවට පත්වූයේ නිදැල්ලේ දිගේලි කර සිටි තම තමන්ගේ කිරි හරකුන් අමු අමුවේ කපා දැමූ සිදුවීම් පෙළකිනි.

වතුපිටිවලත් කුඹුරු යායවලත් දිගේලි කර සිටි කිරි ගවයන් අමු අමුවේ කපා කොටා මස් කිරීමේ පාපතර ක්‍රියාවලිය ඒ ප්‍රදේශයේ දරුණුවට සිදුවිය. එක් රැයකදී ඇතැම් ස්ථානවල කිරි ගවයන් හය හත්දෙනා මස් කරද්දී මෑතකදී ගල්ගමුවේ අසන්නට ලැබුණේ කිරි හරකුන් 11 දෙනෙකු අමු අමුවේ මස්කරගෙන ගොස් ඇති පුවතකි. ඒ අතර සියලු දෙනාගේම නෙත් කදුළින් පිරුණේ පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටි එළදෙනුන් පස් දෙනෙකුද කපා මස් කිරීමේ දුක්බර සිදුවීමකිනි.

ගව අයිතිකරුවන් පොලිස් පොතේ තම දුක් අඳෝනාව සටහන් කරද්දී කාලයක් යන තුරුම ඔවුහූ නීතියේ රැහැනට හසු නොවී තවත් ගව ජාවාරමේ යෙදී සිටියහ. නමුත් ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පළ දෙන්නට වැඩි කාලයක් ගියේ නැත. ගව හොරුන් අදාළ ජාවාරම කරගෙන ගොස් ඇත්තේ විදේශකයින් ප්‍රවාහනය කිරීමේ නාම පුවරුවක් සවි කළ සුඛෝපභෝගී වෑන් රථයකින් බව හෙළි විය. ගව හොරුත් අදාළ ජාවාරමේ ප්‍රධාන සැකකරුත් පොලීසිට කොටු වූයේ සිතා ගත නොහැකි ආකාරයෙනි.

“මං හවස කිරි එළදෙන ගේ ඉස්සරහා බැන්දා රෑ හතට විතර බලද්දිත් එළදෙන හිටියා. ඒත් උදේ බලද්දි එළදෙන නෑ. මේ වෙනකම් හෙව්වා. ඒත් වැඩක් වුණේ නෑ.” ගැමියකු පැවසුවේ දරා ගත නොහැකි වේදනාවෙනි.

ගව හොරකම්වලට ප්‍රසිද්ධ අනුරාධපුරයේ මෙන්ම ගල්ගමුවේ ද ගවයන් හිටි හැටියේ අතුරුදන්වීම ආරම්භ වී වැඩි කාලයක් නැත. ඔයාකාරයෙන් ආරම්භ වූ ගව සොරකම පසුව ඉතාම මිලේච්ඡ ආකාරයේ සිදුවීමක් බවට පත් විය. එනම් දිගේලි කර සිටින ස්ථානයේදීම ගවයන් මස් කර මස් ටික රැගෙන යෑමය. අමු අමුවේ කිරි ගවයන් කපා හිස් කබල් සම් පා ආදී ශරීර කොටස් එම ස්ථානයේම දමා මේ නරුමයෝ පලා යති.

දරුවන්ට දෙන්නට කිරි ටික දොවා ගත් කිරි එළදෙනුන්ගේ බාරකරුවන් පොළොවේ පස් කෑවේ කොතරම් වේදනාවෙන්ද?. මේ පාපතරයෝ කුඹුක්වැව හා සෙනරත්ගම ගම්මානවල ගැබ්බර එළදෙනුන් මස් කර කුසේ වූ නොමේරු කළල අසල වන රොදකට විසිකර දමා තිබුණහ. එදින එම ගම්මානවල මිනිසුන්ගේ දෑස් කදුළින් බොඳව ගිය අයුරු අපි දුටුවෙමු. කාන්තාවන් දෙනෙත්හි කඳුළු පුරවාගෙන සුසුම් හෙළද්දී පිරිමි සිය වේදනාව වදන්වලට පෙරැළූහ. පපුවේ අත තබා සුසුම්ලෑහ.

“මේ සත්තු අ‍පට ජීවත් වෙන්න මොනතරම් උදව් කළාද? උදේට කිරි අරගෙන ඒ කිරි ටික විකුණලායි අපි ජීවත් වුණේ. ඒකෙන් අපි අනුන්ට අත නොපා ජීවත් වුණා. දැන් අපට දැනෙන්නේ අපේ අත් පා කපා දාලා වගෙයි.”

සෙනරත්ගම ප්‍රදේශයේ වෙල්යායක මේ අපරාධය කර තිබුණේ අලුයම් කාලයේය. අපරාදය සිදු කළවුන් වීදුරු කවුළු අඳුරු කළ කුඩා වෑන් රථයකින් මස් ප්‍රවාහනය කළ බවට තොරතුරු ලැබිණි. ගමේ දෙතුන් වරක්ම එහා මෙහා ගිය මෙම වෑන් රිය වෙල් යාය අසල පාන්දරම නවතා තිබියදී ගමේ අයෙකු ඒ පිළිබඳ විපරම් කර තිබුණි. එලෙස ප්‍රශ්න කරද්දී බියපත් වූ ඔවුන් කිලෝ 50 ක පමණ මස් තොගයක් ද අදාළ ස්ථානයේ දමා වෑන් රියේ නැගී පලා ගොස් ඇත.

රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම ගවයින් තිදෙනාද කිරි ගවයින් ලෙස ඇති දැඩි කරමින් සිය ජීවිකාව ගෙනයන්නට මහා වීරියක් ගත් බව කිරි හරකුන්ගේ අයිතිකරු එච්. එම්. ධර්මරත්න මහතා පැවසීය.

පොල්පිතිගම හාතිගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ඊට වඩා වෙනස් සිදුවීමකි. ඒ පුද්ගලයින් දෙදෙනෙකු එළදෙනුන් තිදෙනකු සොරා ගෙන යමින් සිටියදී එක් එළදෙනක සිය හාම්පුතාගේ නිවෙස ඉදිරිපිටදී බිම වැතිර කෑ ගසන්නට පටන් ගෙන තිබිමය. ඉන් එහාට අඩියක්වත් එම එළදෙනුන් ගෙන යා ගත නොහැකිවූ තැන හරක් හොරුන් කර ඇත්තේ පොල්ලකින් පහර දී එම එළදෙනගේ කකුලක් කඩා දමා තියුණු ආයුධයකින් එළදෙනගේ ශරීරයේ ස්ථාන කිහිපයකටම ඇන පලා යෑමය. තුවාල ලබා වේදනාවෙන් බිම වැටී සිටි එළදෙනට පශු වෛද්‍යවරයා මැහුම් හතක් යොදා කඩා දැමූ පාදයටද අවශ්‍ය ප්‍රතිකාර කර තිබුණි. කෙසේ හෝ ඒ යන අතරමඟදී එම සොරුන් වෙනත් පුද්ගලයෙකුගේ එළදෙනුන් දෙදෙනෙකු සොරකම් කර ගෙන ගොස් ඇත්තේය. පොල්පිතිගම පොලිස් නිලධාරීහූ පසුව ඔවුන් අත්අඩංගුවට ගත්හ.

වරක් ගව ඝාතනය සඳහා ගෙන එනු ලැබ එතැනම අසල ගසක බැඳ සිට බේරා ගත් තවත් ගවයින් දෙදෙනෙකු මර බියෙන් ගැහෙන අන්දම අපි දුටුවෙමු.

මෙලෙස ඝාතන සිදුවෙද්දී පොලිසිය ද නිකම්ම නොසිටියේය. දිනක් අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා ලද දුරකථන අැමතුමකින් ගොම පැල්ලම් සහිත සුඛෝපභෝගී වෑන් රථයක් අඹන්පොළ, සිංහාරගම ප්‍රදේශයේ වාහන සර්විස් කිරීමේ ස්ථානයක ඇති පුවතක් සැලවිය. සැණෙකින් ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ඩබ්. ඩී. එස්. පත්මකුමාර මහතා ඇතුළු නිලධාරීහූ අදාළ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඒ ඔස්සේ පරීක්ෂණ කිරීම ආරම්භ කළහ. මෙතුවක් කාලයක් පුරා ඔවුන් කළ පාපතර ක්‍රියා එකින් එක හෙළි වෙද්දී අතුරුදන් වූ ගවයින්ගේ හිමිකරුවෝ එකා දෙන්නා අඹන්පොළ පොලීසියට ඇදී ආහ. එහිදී විවිධ ප්‍රදේශවලින් ගවයින් සොරාගත් පුද්ගලයින් පස් දෙනෙක් කොටු කර ගැනීමටත්, මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් සොයා ගැනීමටත්, මරා දැමූ ගවයින්ගේ 14 දෙනෙකුගේ සම්, ඇටකටු ආදී කොටසුත් සොයා ගැනීමට හැකි විය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තෙවතාවක්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

ඉන්පසුව ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ගව සොරකමක් සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ නැත. එහෙත් මේ සොරුන් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මේ ක්‍රියාව මෙතැනින් නවතීවිදැයි යන්න ජනතාවට සැකසහිතය. අපරාධකරුවන්ට කලක් වේලාවක් නැති නිසා දැන් දැන් ගල්ගමුවේ ගව හිමිකරුවන්ට සිදුව ඇත්තේ නිරන්තරයෙන් තම සතුන් වෙත දැඩි අවධානයෙන් සිටින්නටය.

“අපි මේ ගවයින් හදන්න පුදුම දුකක් විඳිනවා. වෙලාවට වතුර ටික දෙන්න තණකොළ ටික කපලා ගෙනැත් දෙන්න. බේත් හේත් ටික හරියට දෙන්න අපි විඳින්නෙ පුදුම දුකක්. එහෙම උස් මහත් කරලා පැටියෙක් ලැබුණාම තමා අපිට කිරි ටිකක් ලැබෙන්නෙ ජීවත් වෙන්න. එහෙම කරන මේ සතාට මේ ඇයි මේ විදිහට කරන්නෙ කියලා හිතාගන්න බෑ. මේවා ඇහෙද්දි හිතෙනවා මේ මිනිස්සු මේ තරම් තිරිසන්ද කියලා.” යනුවෙන් ගල්ගමුව ප්‍රදේශයේ ගව පාලනයේ නිරත එච්. එම්. සමන්ත මහතා පැවසීය.

මීගලෑව, ඇහැටුවැව, ගිරිබාව, ගල්ගමුව ඇතුලු ප්‍රදේශවල ගව පාලනයේ නිරත වන්නන් දැන් දැන් මේ පසුවන්නේ මෙම ඝාතකයින්ට බියෙනි. හිරු උදාවෙත්ම ඔවුන් දිව යන්නේ වෙල්යායේ, වැව් තාවුල්ලේ බැඳ සිටින තම ගවයින් සිටිනවාදැයි බැලීමටය. එවන් තත්ත්වයකට අද මේ ප්‍රදේශයන් පත්ව තිබේ. එමෙන්ම කුඩා වසු පැටවුන් මරා මස් කර මුව මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක්ද හෙළි විය.

මාසයක් දෙකක් නිහඬව ඉන්නා ගව ඝාතකයන් යළිත් කලඑළි බසින දිනයක් කවුරුත් නොදනිති. ඔවුන්ගේ ස්වභාවය එය බව ගම්වාසීහූ පවසති.

කල්ලංචිය ප්‍රදේශයේ ආර්. එම්. සුගතපාල සිය දරු පවුල ජීවත් කරන්නේ කිරි විකුණා ලැබෙන ආදායමෙනි.“උදේ පාන්දරම අපේ එළදෙන්නු ටික දකිනකල් අපි ඉන්නෙ බයෙන්. ඒත් මේ වගේ දේවල් වෙද්දී අපට හරි බයයි”

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා සියලු ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීමට නිරන්තර අවධානයෙන් සිටී.

“මේ අපරාධ සිදුකරන පුද්ගලයින් පිළිබඳ අපි නිරන්තර අවධානයෙන් සිටිනවා. එසේම ගව හිමිකරුවන් නිරන්තරයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනවා. සිවිල් ආරක්ෂක කමිටු හරහා අපි අත් පත්‍රිකා බෙදා දීම් සිදු කරනවා. ඒ වගේම තමා අපි ගව හිමිකරුවන්ට දැනුම්දීලා තියනවා තමන් ඇතිකරන සතුන් කිසිදු ආකාරයෙන් නිදැල්ලේ යවන්න එපා කියලා. ඒ වගේම තමන්ගේ සතුන් තමාගේ නිවෙස ආසන්නයේ ම ගාල් කරන්න කියලා. මේ වෙද්දි මේ ප්‍රදේශයේ වුණු සියලුම ගව ඝාතන සම්බන්ධයෙන් අපි කටයුතු හමාර කරලා තියනවා.”

බුදුන් වැඩිය මේ දේශයේ මෙවන් පාපතරයින්ට නීතියෙන් දඬුවම් ලැබෙන්නා සේම ස්වභාවධර්මයෙන් මෙලොවදීම පව් පටිසන් දෙනවා නිසැකය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »