සීතල හිම කඳු මත රාත්‍රී හතක්

2017-10-30 09:46:00       103
feature-top
* කරකොරාම් හිම කන්ද ප්‍රථම වතාවට තරණය කළ අපේ තරුණයෝ
* ලොව විශාලතම කඳු පන්තිය ලොව දෙවැනි උසම කන්ද තරණයට අසීරු භයානකම කන්ද කරකොරාම්
* නිදා සිට අවදි වෙද්දී තොප්පි මේස් අත් ආවරණ ගල් වෙලා

වත්මන් තරුණ තරුණියෝ විවිධාකාරවූ වීර ක්‍රියා කිරීමට බොහෝ ප්‍රිය කරති. එදා ලොව ප්‍රථම වරට එවරස්ට් තරණය කර ලෝකයේ නමක් රැන්දූ එඩ්මන්ඩ් හිලරි ද එවැන්නෙකි. පසුගිය කාලයේ හිමාලය තරණයට එක්වූ අපේ රටේ ජයන්ති කුරුඋතුම්පාල ද එවැන්නියකි. එවන් ත්‍රාසජනක හා වීර ක්‍රියා කිරීමට පෙලැඹෙන අය අතරින් බොහෝ දෙනෙක් කඳු තරණය තෝරා ගෙන සිටිති. කඳු තරණය කරන්නන්ගේ සංගම් හා ඒ‍ වෙනුවෙන් වන සමාජ ජාල වෙබ් අඩවි දෙස බැලීමේදී කඳු තරණය වත්මන් තරුණ පරපුර අතර කෙතරම් ජනප්‍රිය ද යන්න පසක් කරයි. අප රටේ කඳු තරණයේ යෙදෙන්නන් අතර පිදුරුතලාගල, කිරිගල්පොත්ත, නකල්ස්, බතලේගල, ලකේගල හා දෙතනගල වැනි කඳු ප්‍රසිද්ධව ඇත්තා සේ ලෝකයේ කඳු නගින්නන් අතරින් බොහෝ දෙනකු උත්සුක වන්නේ හිමාලයා සහ එවරස්ට් ගිර තරණයටය. එහෙත් මේ කතාව ලොව තරණයට අසීරු කන්දක් ලෙස ප්‍රචලිත පාකිස්තානයේ කරකොරාම් කන්ද ප්‍රථම වරට තරණය කළ අපේ රටේ තරුණ පිරිසක් පිළිබඳය.

අප රටට ද ජාත්‍යන්තර හිම කඳු ගවේෂණයේ වසර 30 ක පමණ ඉතිහාසයක් ඇත්තේය. ඒ අතරින් බාල දක්ෂ කණ්ඩායම් ද කඳු තරණයට දක්වන්නේ දැඩි උනන්දුවකි. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ප්‍රථමයෙන්ම හිම කඳු තරණයට එක්වූයේ 1985 වසරේදීය. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එවකට බාල දක්ෂ නායකයකු වූ අජිත් ධර්මසේකර ගේ ප්‍රධානත්වයෙනි. එතැන් සිට ධර්මරාජ විද්‍යාලයීය බාල දක්ෂ කණ්ඩායම දස වතාවක් හිමාල කඳු පන්තිය තරණය කරමින් ගවේෂණ සිදු කළේය. ඔවුන් අවසන් වතාවට හිමාල කඳු පන්තිය ආශ්‍රිත ගවේෂණ සිදු කළේ පසුගිය වසරේය. ඒ හිමාල කඳු පන්තියේ මීටර් 6189ක් උසැති 'අයිලන්ඩ් පීක්' නමැති කඳු මුදුන තරණය කරමිනි. එදා මෙදාතුර ජාත්‍යන්තර හිම කඳු තරණයට වැඩිම වාර ගණනක් එක්ව ඇත්තේ ධර්මරාජ බාලදක්ෂයන් ලෙස වාර්තාගතවේ.

ධර්මරාජ බාල දක්ෂයෝ පසුගියදා එවැනිම වූ තවත් දුෂ්කර හිම කඳු තරණයක් සිදු කළහ. ඒ පාකිස්තානයේ පිහිටි ලොව විශාලතම කඳු පන්තිය හා ලොව දෙවැනි උසම කන්ද හා තරණයට අසීරු භයානකම කන්ද ලෙස සැලකෙන කරකොරාම් තරණය කරමිනි.

කන්දක් උසින් වැඩි වූ තරමට එය තරණයට අමාරු කන්දක් ලෙස නොසැලකේ. කන්දක භයානකත්වය හා ‍අසීරුතාව තීරණය කෙරෙන සාධකය වන්නේ එම කන්ද තරණයේදී සිදුවන මරණ අනුපාතයයි. එලෙස තරණයට අපහසු කඳු අතරින් ලොව අංක එකට වැටෙනුයේ නේපාලයේ අනපූර්ණ කන්දයි. එහි මරණ අනුපාතය සියයට 40කි. මරණ අනුපාතය සියයට 4.14ක් වන එවරස්ට් කන්ද එකොළොස්වැනි ස්ථානයේ පවතින අතර කරකොරාම් ගැනෙනුයේ දෙවැනි ස්ථානයටය. එහි මරණ අනුපාතය සියයට 26.47කි. එසේම කරකොරාම් තරණය අධික වියදම් සහිතය.

ලෝකයේ මීටර් 8000ට වඩා උසින් යුතු කඳු 14ක් වෙයි. මීටර් 8848ක් උස එවරස්ට් උසින් පළමු ස්ථානය ගනිද්දී ලොව දෙවැනි උසම කන්ද වන්නේ කරකොරාම් කඳු පන්තියේ පිහිටි මීටර් 8611ක් උසින් යුතු කේ - 2 නමැති කඳු වැටියයි. ධර්මරාජ ආදි සහ වත්මන් බාල දක්ෂයන්ගෙන් සමන්විත කණ්ඩායම තරණය කළේ මේ කේ -2 කඳු වැටියයි. ඔවුන් සිය කඳු තරණය හඳුන්වා ඇත්තේ 'ධර්මරාජිකයන්ගේ ප්‍රථම කේ - 2 කඳු ගවේෂණය 2017' ලෙසිනි. මේ කණ්ඩායමට සාමාජිකයෝ 12ක් ඇතුළත් වූහ. බාලදක්ෂ නායක අනිල් පෙරේරා, සහාය බාලදක්ෂ නායක තිළිණ රුබේරු, ගනිඳු අබේසිංහ, ශෝලිත පලිහවඩන, තිසුන් පෙරේරා, දිදුල විජේසූරිය, සනත් ලිය‍නගේ, සිදත් කුලතුංග, කෝසල වීරසූරිය, ලශ්‍රිත ලියනසූරිය, රවිඳු රත්නායක හා කසුන් බණ්ඩාර එම ශූරයෝය. ඔවුහූ ජනාධිපති බාල දක්ෂයෝද වෙති. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ පසු පාකිස්තානයට ගිය ප්‍රථම කණ්ඩායම ද මෙය විම මේ ගමනේ තවත් සුවිශේසත්වයක් විය.

ඔවුන් ගමන ආරම්භ කළේ පසුගිය අගෝස්තු 31 වැනිදාය. එහෙත් ගමන සැලසුම් කිරිමට වසර එක හමාරකටත් වඩා ගත විය. සැප්තැම්බර් 01 වැනිදා ලාහෝර් නුවරට ළඟා වූ කණ්ඩායම ගමන පිටත් වූයේ ඉස්ලාමාබාද් නුවරිනි.

ඔවුන්ගේ ගමන වැටී තිබුණේ සුප්‍රසිද්ධ කරකොරාම් මහා මාර්ගය ඔස්සේය. කරකොරාම් මහා මාර්ගය කලක් හැඳින්වූයේ ලොව අටවැනි පුදුමය ලෙසය. ලොව විශාලතම කඳු පන්ති තුන වන හිමාල, කරකොරාම් හා හින්දු කුෂ් යන කඳු පන්ති තුන එකම ස්ථානයක සිට නැරැඹිය හැකි ලොව එකම ස්ථානයද මෙය වේ. මේ ගමන ඉතාමත් දුෂ්කර ගමනකි. ගමනේ දෙවැනි දිනයේදී ඔවුහූ පාකිස්තානයේ ජන ශුන්‍යම ප්‍රාන්තය වන ගිල්ගිට් බල්ටිස්ටාන් හි පිහිටි ස්කර්දූ නගරයට ළඟා වූහ. ඒ ගමේ දිනක විවේකයකින් පසු ඔවුන් ළඟා වූයේ තවත් ඈත දුෂ්කර ඇස්කෝලි නමැති ගම්මානයටය. මේ සියලු ගමන් ඔවුන් ගියේ ජීප් රථ මගිනි. ඇස්කෝලි යනු දකුණින් ඉන්දීය දේශ සීමාවත් වමෙන් චීන දේශ සීමාවටත් ආසන්නයේ පිහිටි ගමකි. කිසිම පහසුකමක් නැති වුවද හිම කඳුවලින් වටවූ ඉතා සුන්දර ඒ ගමේ ඔවුහූ රැයක් පහන් කළහ.

“දේශ සීමාවට යන ඕනෑම කෙනෙක් යා යුත්තේ මේ ගම හරහායි. ගමේ පවුල් 50ක් පමණ ඉන්නවා. මේ ගමේ පාසල් නෑ. පොලිසියක් නෑ. පාකිස්තානයේ භාෂාව උර්දු වුණත් මේ ගමේ අය කතා කරන්නේ බල්ටි භාෂාව පමණයි. ඔවුන් කතා කරන අප දන්නා එකම දේ 'හලෝ හලෝ' කියන එකයි. ඒ හැරුණුවිට ඔවුන් කතා කරන්නේ සංඥා භාෂාවෙන්. අප යද්දී මගට අවශ්‍ය සියලු දේ රැගෙන ගියා. කෑම උයන ආවතේවකරුවන් පවා කුලියට ගත්තා. කරකොරාම් කඳු තරණයට යන ගමන මේ ගම්මානයෙන් තමයි පටන් ගන්නේ” යැයි ගමනට එක්වූ ශෝලිත පැවසීය.

“මේ ගම්මුන්ගේ ජීවිත හරිම සරලයි. ඔවුන් නිවාස තනා තිබුණේ ඒ ප්‍රදේශයේ ඇති මැටි විශේෂයකින්. මැට්ටෙන් ගඩොල් කපා ගඩොල් පුලුස්සන්නේ නෑ. ඉබේ වේළෙන්න තබා එම මැට්ටම බදාමයක් ලෙස ගෙන බිත්ති බඳිනවා. අධික ශීත සමයේ ඔවුන් ඉන්නේ ගෙවල් ඇතුළේම පොළොවේ හාරා ගත් ගුහාවලයි.”

ඒ දේශ සීමාව ආසන්නයේ ඇති අවසන් ගම්මානයයි. ඔවුන් යන මාර්ගය වැටී තිබුණේ ගල් දූවිලි පිරුණු කුඩා කඳු හෙල් හා පල්ලම් සහිත රළු දුෂ්කර මාර්ගයකය. ඉන්දු නිම්නය හරහා කළ මේ ගමනේ පළමු දින තුන ඔවුන් ගත කළේ සෙල්සියස් අංශක ඍණ එකත් තුනත් අතර අඩු උෂ්ණත්වයකය. ගමන් මාර්ගයේ වූ දුෂ්කරබව නිසාම ඔවුනට වරින් වර විකල්ප මාර්ග භාවිත කිරීමට ද සිදුවිය. ඒ යන ගමනේදී කුඩා ග්ලැසියර් කීපයක්ම හමුවූ අතර අර්ධ හිම කඳු රාශියක් ද පසුවිය. ලොව තෙවැනි විශාලතම ග්ලැසියරය ලෙසින් සැලකෙන බල්තෝරෝ ග්ලැසියරය ද පිහිටියේ මේ මාර්ගයේය. එතැන් සිට ඔවුන් දිගටම රාත්‍රී ගත කළේ ග්ලැසියර මතය. ග්ලැසියර් මත ඉතා තුනී තියුණු ගල් තට්ටු වූ අතර ගමනේ වෙහෙස නිසාම නින්ද ගියා මිස එහි නින්දට යෑම ඉතා දුෂ්කර හා වෙහෙසකාරීය.

“මේ ගමනේදි අපි අත්විඳපු ලොකුම දුෂ්කරතාව තමයි ග්ලැසියර් මත රාත්‍රී නවාතැන් ගැනීම. උදෑසන අවදි වෙද්දි අපි ‍බොහෝ දෙනෙකුගේ හිස් වැසුම් අත් ආවරණ ගල්වී හිම බැඳී තිබුණා.

“බල්තෝරෝ ග්ලැසියරයෙ සිට දිගටම අවට කඳු වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. සමහර දිනවල රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතේ සිට පහළොව දක්වා අධික සීතලෙන් යුක්ත වුණා. එම දින කීපය හරිම දුෂ්කරයි. අතරමඟ තැන්වලදී හිමකඳු කඩා වැටීම්වලට මුහුණ දෙන්න වුණා. අප සමඟ ගිය පාකිස්තානු ජාතික මාර්ගෝපදේශකයා බොහෝ අවස්ථාවලදී අප අවදානම් අඩු මාර්ග ඔස්සේ කැඳවාගෙන ගියා. ඇතැම් ස්ථානවල ජලය වැසිකිළි ආදී පහසුකම් කිසිවක් තිබුණේ නෑ. ඉතාම දුෂ්කර ගමනකින් පසු සැප්තැම්බර් 11 දා අපි කේ - 2 පහළ කඳවුරට ළඟා වුණා.

“එතැන උස මුහුදු මට්ටමේ සිට මීටර් 5400යි. අපේ අදහස වුණේ ඒ අසලම පිහිටි මීටර් 6379ක් උසින් පිහිටි පැස්ටෝරා පීක් කියන කඳු මුදුනට යන්නයි. ඒත් එදා උදේ පාන්දර තිබුණු දැඩි හිම පතනය නිසා ඒ පළාතම අඩි දෙකක විතර හිම තට්ටුවකින් වැහිල ගමන් මාර්ගය අවහිර වෙලයි තිබුණේ. කිසිම දෙයක් පේන්නෙ නෑ. එවැනි දැඩි හිම පතනයක භාවිත කරන්න තරම් අප සතුව උපකරණ තිබුණෙත් නැහැ. ඒ නිසා අපේ මාර්ගෝපදේශකයා තීරණය කළා හැමෝගෙම ආරක්ෂාව පිණිස එම කන්ද තරණය නොකරන්න. එහෙත් කරකොරාම් කඳු පන්තියේ වැඩිම උස තරණය කළ පළමු ශ්‍රී ලාංකික පිරිස ලෙස ධර්මරාජ බාලදක්ෂ කණ්ඩායම වාර්තාවක් තැබුවා.”

ඉතා අසීරු ලෙහෙසින් තරණය කළ නොහැකි කඳු පන්තියක් තරණය කිරීමේ ප්‍රීතිය හදවතේ පුරවා ගත් පිරිස සැප්තැම්බර් 12 වැනිදා කන්ද බැසීම ආරම්භ කළහ. එහෙත් ආපසු ගමනද ලෙහෙසි නොවීය.

ආපසු එන ගමනේදී කණ්ඩායමේ සාමාජිකයකුට මුහුණ දීමට වූ සිද්ධියක් කසුන් විස්තර කළේය.

“කඳු නැග ගෙන යද්දී අපට කීප වරක්ම ඔක්සිජන් ඌනතාව නිසා යම් යම් රෝග තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණත් කඳු බැස යෑමේදී එසේ වුණේ නෑ. එන ගමනේදී අපට ඉන්දු ගංගාවේ අතු ගංගාවක් තරණය කරන්න වුණා. එහිදී ගඟේ පටු තැනකින් එතෙර වුණේ ගල් මතින්. ගලින් ගලට පැන ඒමේදී අපේ සාමාජිකයෙක් ගලකින් ලිස්සා වතුරට ඇද වැටුණා. එම ගංගා ජලය හිම මිදෙන තරම් සීතලයි. ඔහුගේ ඇඳුම් තෙමිලා ජංගම දුරකථනය හා කැමරා උපකරණත් වතුරේ. ඒත් අප සියලු දෙනා එතැන සිටි නිසා කරදරයක් නැතිව ඔහු ඉක්මනට ගොඩට ගත්තා.”

ඔවුන්ගේ ආපසු ගමනද සිදු වූයේ ඇස්කෝලි ගම්මානය හරහාය. ඒ ගමේ සිට ස්කර්දූ ගම්මානය වෙත දුර කිලෝ මීටර් 114කි. ඒ එන ගමනේ වූ මාර්ග දුෂ්කරතාවක් අප හා පැවසුවේ කෝසලය. ඒ සැප්තැම්බර් 18 වැනිදාය.

“ඒ ගමනේ අපි ජීප් රථ දෙකක ආවේ. මං හිටියේ ඉදිරියෙන් ගිය ජීප් එකේ. අතරමඟදි රිය­ැදුරා ජීප් එක එක්වරම නවත්වලා නළාව නාද කරගෙනම වේගයෙන් ආපස්සට ගත්තා. ඒ පාර හරිම පටුයි. ගංගා නිම්නයක් අයිනෙන් පාර වැටිලා තිබුණේ. රියැදුරා එහෙම කළේ ඇයි කියන එක අපට තේරුණේ ටික වේලාවකිනුයි. අපි ගිය පාරේ ඉස්සරහ හුළඟත් එක්ක ඉහළ සිට ගල් වැටෙනවා. රියැදුරාගේ අත්දැකීම් බහුලකම නිසා අපි ඒ භයානක අවස්ථාවේ බේරුණා. පැය දෙකකට විතර පස්සේ හැමෝම බැහැලා පාරේ වැටිලා තිබූ ගල් පහළ ගංගාව පැත්තට පෙරළලයි අපි නැවත පිටත් වුණේ. එතැනින් පස්සේ අපි ගියේ හරිම පරෙස්සමෙන්”

කරකොරාම් කඳු පන්තිය තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කණ්ඩායම ලෙස නමක් දිනූ ඔවුහු සැප්තැම්බර් 21 වැනිදා ලාහෝර් නුවරට ළඟා වූහ. එහිදී ඔවුන්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. පසුදා ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් පිළිගැනීමට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන්, ධර්මරාජ විදුහල්පති දම්පිය වනසිංහ සහ දෙමවුපියන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ තරුණ පිරිසගේ අභිප්‍රාය වූයේ කවුරුත් නොකළ දෙයක් කිරීමය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ කඳු තරණයයි. යුරෝපීය ජාතිකයන් කඳු තරණයේදී නිතර තෝරා ගන්නා මුත් අප ලාංකිකයන් බොහෝවිට ‍තරණය නොකරන කන්දක් ඔවුන් තරණයට තෝරා ගත්තේද කවුරුත් නොකළ දෙයක් කර නමක් තැබීමටය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ ද ලොව තරණයට අසීරු හා භයානකයැයි වර්ග කරනු ලැබූ කරකොරාම් කන්දයි. මේ කන්ද තරණයට යන වියදමින් හිමාලය කන්ද දෙසැරයක් තරණය කළ හැකැයි පැවසේ. රළු මාර්ග ඝන ගිරි දුර්ග දරුණු කුණාටු හා දැඩි හිමපතන මෙන්ම හිම කඳු කඩා වැටීම් ඔවුන්ගේ ගමනට බාධා කළ ද ඔවුහූ ඒ කිසිවෙකින්වත් පසුබට නොවූහ. ඇතැම් දිනවල සංඥා නොමැතිකමින් කිසිවෙකුත් හා සම්බන්ධ වීමට නොහැකි වෙද්දී මෙරට සිටින මවුපිය නෑදෑයෝ සිය පුතුන් ගැන සිතමින් ළතැවූහ. එහෙත් ඔවුන්ගේ තරුණ ජවයට ඒ සියල්ලම යටපත් විය. නිර්භීත ගමනක සතුට සිත රඳවා ගෙන සිය රට පැමිණි මේ තරුණයෝ යළි එවැනි ගමනකට එක්වීමට පිඹුරු පත් සකසමින් සිටිති.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »