හොඳ අලි අපට නරක අලි කැලේට

2017-10-19 10:15:00       147
feature-top
පනාමුරේ අැත් ගාල පිහිටුවීමට මුල් වූයේ ‘නළියන දිය බුබුළේ’ පිහිටීමය. එහි දියබොන්නට එන අලි ඇතුන් වට කර අල්ලා හීලෑ කිරීම සඳහා අක්කර පහක- හයක පමණ කොටසක්ද, මුරණ්ඩු අලින් සඳහා ඇත් ගාල තුළම අක්කර බාගයක පමණ වෙනම සිර ගෙයක් ද වෙන් කර වැට කඩුලු ගැසිණි. ඊට පෙර කුරුණෑගල, තුන් කෝරලය ආදි තැන්වල බැඳණු ඇත්ගාල්වලින් ලද තොරතුරු මෙයට පාදක වන්නට ඇත. මඩුවන්වෙල නිලමේ පළමුවරට ඇත්ගාලක් ඇරැඹුවේ 1889දීය. එය 1950 දක්වා පැවැතිණි. ඇත් ගාල පවත්වන සමයට එය නැරඹීමට එන රදළ පන්තියට වෙනම තාවකාලික බංගලා තනන අතර ඒවායින් සොල්දර සහිත බංගලාවේ කොටසක් ලෙස අඩි 30ක් පමණ උසැති පත්තිරිප්පුව අලි ඇල්ලීමේ වික්‍රමය සදහා නැරැඹුම් මධ්‍යස්ථානය විය. අලි වැට ඉදි කෙරුණේ පාංශුදේහධාරී පුරුෂයන් අතින් ගෙනෙන ලද විශාල ගස් කඳන් ආධාරයෙන් අැතෙකුටවත් සෙලවීමට නොහැකි අයුරිනි. අලි ඇතුන් කොටු වූ පසු උන් අල්ලා බැඳීමට පෙර තොවිලයක් කර ඒ කටයුත්තේ යෙදෙන්නන්ට ආශීර්වාද කිරීම සිරිතක් විය.

අඩි තුන හතර වට ඇති ගස් කඳ    වැටය
අලි ඔළුවක් වගෙයි එක බැම්මක  ගැටය
මහ උල්පතකි මුළු වන පෙත   පියකරුය
බැන්දේ ගාල මේ උල්පත වට    කොටය

හීලෑ ඇතෙකි ගොව්වෙකි පිට උඩට වෙලා
බඩ යට එකෙක් යයි පා මදු ගසනු   බලා
කුපිතව ඇතා වැට ඇන්දට පහර    හෙලා
දෙවනත් කරයි ගස් බඩවැටි පඳුරු   තලා

පනාමුරේ ඇත් ගාල පිළිබඳ කොළොන්නේ සෙනරත් ජයතුංග කවියා විසින් ලියන ලද කවි පන්තිය ‘මඩුවන්වෙලට පියමං‘ පොතේ සඳහන් වී තිබුණේ තවත් සිව්පද කීපයක් සමඟය. එහි පවසන අයුරින්ම ඇත් ගාලේ හීලෑ ඇතුන් සමඟ ගමන් කරන මදු දමන්නන් අලින්ගේ පාද හිටි හැටියේ අල්ලා ගස් බැන්ද විට ඒ සතුන් අසරණව කුංචනාද කරමින් තම රැළේ නායිකාව දෙස හෙළන අනුකම්පා සහගත බැල්ම දුටුවන් කම්පා කරවනසුලු බව සියැසින් අලි ගාල් දුටුවන්ගේ අත්දැකීම් ඇසුරු කිරීමේදී මැවී පෙනේ. එහෙත් ඒ වන විටත් මිනිසාගේ රුදුරු මන්දකට හසු වී සිටින නායිකාව ඒ දෙස බලන්නේ ඊටත් වඩා අසරණ ලීලාවකිනි.

කෙතරම් නුග, බෝ, කොස්, පොල් අතු පිටින් ගෙන දැම්මද ඒවා කෑමට තරම් පිරියක් මේ අලින්ට නැත. අවසානයේ හෙම්බත් වී දුර්වල වීම උන්ටම පාඩුවකි. එහෙත් කෙසේ හෝ පැන යෑමට අවස්ථාවක් සොයන අලි ඇතුන්ට ඒ බව වැටහෙන්නේ නැත.

ජීවිතයත් මරණයත් අතර සටනක් ලෙස කෙරෙන අලි බැඳිල්ලේදී මෙල්ල කර ගත නොහැකි මුරණ්ඩු අලින් සිර ගාලට කොටු කර ගැනීම ඊළඟ පියවරයි. ඒ කිසිවකින්වත් මෙල්ල නොවන අලි සෑම වරකම නොසිටියා නොවේ. එහෙත් කිසිසේත්ම මෙල්ල නොවන අලියකු සිටිය හොත් ඒ අවස්ථාවේදී අලි මෙල්ල කරන්නන්ට විශේෂ අවසරයක් සඳහා මඩුවන්වෙල රටේ රාල හමුවීමට සිදු වේ. ඒ අලියාට ගිනි බිඳ සදහටම මෙල්ල කර දැමීම සඳහාය. පත්තිරිප්පුවේ අඩි තිහකට ඉහළින් සිට මේ සියල්ල නිරීක්ෂණය කර සිටින රටේ රාල දරුණු ඇතාගේ ඉරණම තීරණය කරයි. ඒ අනුව වෙඩි හඬ නැඟෙන්නේ වනය පමණක් නොව අලි ඇතුන්ගේත්, මිනිසුන්ගේත් හදවත් දෙදරවාලමිනි. එසේ මරා දමන අලි ඇතුන් මඩුවන්වෙලගේ නමට ශාප නොකළා යැයි සිතිය හැකිද? නිදහසේ වනේ සැරිසරන සතුන්ගේ දිය පිපාසයේ නාමයෙන් උන් කොටු කර නිරපරාදේ මරා දැමීම සම්බන්ධව සත්ත්ව අනුකම්පාව සහිත සැබෑ මිනිසුන්ගේ හදවත් කම්පා නොවුණේ යැයි කිව හැක්කේ කාටද? එහෙත් සියල්ලන් නිශ්ශබ්දය. ඇත් ගාල කලබලයකින් තොරය.

දින කිපයක් වුවත් ගතවිය හැකි මේ අලි මෙල්ල කිරීමට දායක වූවන්ට සැලකීම ඊළඟ පියවරයි. ඊට පෙර සමස්ත ගාලේ කොටු වූ අලි ඇතුන්ගෙන් තමන්ගේ වලව් වත්ත අලංකාර කිරීම වෙනුවෙන් දෙදෙනකු වෙන් කර ගැනීමට මඩුවන්වෙල අමතක නොකරයි. ඉන් පසු සිදු කරන්නේ අලින් දෙදෙනකුට වඩා මෙල්ල කර ගස් බැඳීමට සමත් වූ හීලෑ අලියකු සිටී නම් ඌ අයිති අලි හිමියාට තවත් වල් අලියකු ප්‍රදානය කිරීම බව ඇඹිලිපිටිය වෘත්තාන්තයේ ඇසින් දුටු සාක්කිකරුවකු වන අක්කර 500 විදානේ මහතාගේ විස්තරයේ දැක්වේ.

නිල වශයෙන් ආරාධනා කළ දිසාපතිවරුන්ටද, රටේ රාළගේ සිත් දිනූ වෙනත් ප්‍රභූවරුන්ටද අලින් තෑගි කළ පසුය අලි වෙන්දේසිය ඇරැඹෙන්නේ. ඒ සඳහා ලන්සු තැබීමට දේශීය මෙන්ම විදේශීය ගැනුම් කරුවන් ඉදිරිපත් විම සාමාන්‍ය ක්‍රියාවලියයි. අලියකු ගෙවත්තේ බැඳ තැබීම වාසනාවේ සංකේතයක් සේම ගම්භීරත්වය වඩවන්නක් නිසා දේශීය ගැනුම්කරුවන් දැඩි තරගකාරීබවකින් මේ වෙන්දේසියේදී හැසිරෙනු දැකිය හැකිය. විදේශීකයන් මේ තරගයට අවතීර්ණ වන්නේ එකල මහත් ලාභදායී ව්‍යාපාරයක් වූ සතුන් වෙළෙඳාමේ අතිශය ලාභ ඉපයිය හැකි සතුන් වන අලින් වැඩි ගණනක් සඳහා අයිතිවාසිකම් කීමටය. කවුරු ලන්සුව දිනුවද අවසානයේ මුදල් හිමි වන්නේ මඩුවන්වෙලටය. 1890 යුගයේ රුපියල් පන් දහසක් යනු එසේ මෙසේ මුදලක් නොවේ. ඇතැම් අලින්ගේ මිල ඒ තරම් ඉහළ ගිය බවටද තොරතුරු පනාමුරේ ඉතිහාසය දන්නෝ කියති.

නළියන දිය බුබුළෙන් දිය බී පිපාසය සන්සිඳුවාගන්නට පැමිණ සිදු වූ දෙයින් හෙම්බත්ව සිටින අලින් මිලට ගත් හිමිකරුවන් පළමුවෙන්ම කරන්නේ තමා ලබා ගත් අලියා ඇත්ගොව්වකු ලවා දිය බුබුළ වෙත ගෙන යෑමය. දින ගණනක බලාපොරොත්තුව ඉටු වීම නිසා සතුටින් දිය බොන අලින් දියට බැස දිය කෙළීමටද යත්න දරනු පෙනේ. එහෙත් උන්ට යළි රෑනට එකතු විය නොහැකිය. දම්වැල් දමා ඇති බැවින් ඕනෑ දෙයක් ඉවසා සිටීම හැර වෙන කළ හැක්කක් නොමැත. සතුටින් එකට සිටි රැළ දැන් සී සී කඩය. එහෙත් තවමත් වාසනාව ඇති අලින් කීපදෙනකු කොටුවේ ඇත. ඒ කිසිවකුගේ අවධානයට ලක් වීමෙන් ලංසු තැබීමට හසු නොවූ, මඩුවන්වෙල රටේ රාලගේ ඇසට ලක් නොවූ, එසේත් නැත්නම් වයස නිසා හෝ වැඩීමේ දුර්වලතා නිසා කොන් කෙරුණු අලින්ය. ඇත් ගාලේ ප්‍රධාන කටයුතු නිම වූ පසු මේ අලි ඇතුන්ගේ පාදවල බැඳි වරපට ලිහා දැමීමට අණ ලැබේ. එයද ලේසි පහසු කටයුත්තක් නොවේ. මිට දිගු කැත්තක් වැනි ආයුධයකින් ඈත සිට අලින්ගේ කකුල්වල ඇති මදු කපා දිවීමට පැවරී ඇත්තන් එය අකුරටම කළ යුතුය. මිටෙන් හළ කුරුල්ලන් මෙන් රැහැනින් මිදුණු අලින් එක එල්ලේ දුවන්නේ නළියන බුබුළේ පහස විඳින්නවය. උන්ට යළි වනයේ නිදහසේ සැරිසැරීමට අවසර ලැබේ.

ඇත් ගාල නිමාවේ. නරඹන්නනෝ තම තමන්ගේ ගම් රටවල් හා නිවෙස් ආදිය බලා ඇදෙති. අලි හිමියෝ තමන් සතු නව වස්තුව සතුටින් රැගෙන යති. ඉරණම වෙනස් වූ අලින්ට අලුත් ජීවන රටාවට හුරු වනවා හැර කළ හැකි යමක් නැත. මඩුවන්වෙල රටේ රාල මෙහෙයවූ මෙවැනි ඇත් ගාල් දහයක පමණද, ඔහුගෙන් පසු ඔහුගේ බිරිය වූ කලවානේ මැණිකෙගේ සොයුරා, කලවානේ දිසාවේ මෙහෙය වූ ඇත් ගාල් හතරක්ද මේ අයුරින් නිම විය. එහෙත් මඩුවන්වෙල රටේ රාලගෙන් පසු ඔහුගේ දේපළවල උරුමය ලැබුණේ ස්වාධීන ලංකාවේ පාර්ලිමේන්තුවේ පළමු කථානායකධුරයට පත් ෆ්‍රැන්සිස් මොලමුරේ වෙතටය. ඒ උරුමය ලැබුණාද ලබා ගත්තාද යන්නට ඉතිහාසයේ සාක්ෂි ඇති තරම් තිබේ. එහෙත් මඩුවන්වෙල නමින් පෙනී සිටියද මඩුවන්වෙල රටේ රාලගේ පියාගේ පෙළපත වන්නේද මොලමුරේ බැවින් ඒ දේපළවල අයිතිය තම ඥාති පුත්‍රයාට ලැබීම පිළිබඳ මඩුවන්වෙලගේ අකැමැත්තක් නොතිබූ බවද ඒ ඉතිහාසයම පවසයි.

අන් සියලු දේපළවල මෙන්ම ඇත්ගාලේ උරුමයද පවරා ගත් ෆ්‍රැන්සිස් මොලමුරේට එය පැවැත්විය හැකි වූයේ දෙවරක් පමණි. පළමු වරට ඔහු ඇත් ගාල මෙහෙයවූයේ 1946දීය. දෙවැනිවර ඇත්ගාල 1949දීය. එහෙත් එය මේ රටේම අවසන් ඇත්ගාල බවට පත් කිරීමට එක් මුරණ්ඩු සතෙක් සමත් විය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »