අපිත් එකයි ලකුණුත් එකයි

2017-10-18 09:35:00       171
feature-top
අපේ රටේ තවමත් මේ තත්ත්වය පිළිබඳ පර්යේෂණය කර නැහැ. ඒත් අනිවාර්යයෙන්ම මෙවැනි කරුණු කාරණා ගැන අපි සොයා බැලිය යුතුයි. නිවුන් දරුවන් ගත්විට සම නිවුන් දරුවන් වගේම අසම නිවුන් දරුවන් ඉන්නවා. සම නිවුන් දරුවන්ගේ ජාන සියයට සියයක්ම සමානයි. අසම නිවුන් දරුවන්ගේ ජාන සියයට 50 ක් සමානයි. සම නිවුන් දරුවන්ගේ ජාන බොහෝ දුරට සමාන නිසාත් හැදෙන වැඩෙන පරිසරය සමාන නිසාත් මේ අය හිතනපතන විදිහ සමානයි.

බැඳීමත් ගොඩාක් සමානයි. නමුත් සම නිවුන් දරුවන්ගේ ජාන සියයට සියයක් සමාන වුණත් පරිසරයේ යම් යම් වෙනස්වීම් මත මේ දෙන්නගේ වෙනස්කම් තියෙන්න පුළුවන්.

පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකුගේ ජීවිතයේ පළමු කඩඉමයි. අන් රටවල කෙසේ වෙතත් අප රටේ බොහෝ දෙමවුපියන් මේ විභාගයේදී දරුවන් ගැන තියා ගන්නේ අසීමිත බලාපොරොත්තු ගොන්නකි. ඇතැම් දෙනා මේ විභාගය අම්මලාගේ විභාගය ලෙස හඳුන්වන්නේ ද ඒ නිසාය. කෙසේ වෙතත් දැන් විභාග ප්‍රතිඵල නිකුත් වී සතියක කාලයක් ඉක්ම ෙගාසිනි. ඒ සතියක කාලයේ දී ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන බොහෝ කතා කියැවිණි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගනිමින් රටක් හඳුනාගත් පුංචි මල් කැකුළු ගැන අපිද කතා කළෙමු. පූදින්නට වැර දරන මේ මල් කැකුළු දෙස රටම බලා සිටියේ ආඩම්බරයෙනි. මේ කියන්නට යන්නේද ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැනය.

එක බඩවැල කඩාගෙන තත්ත්පරයක දෙකක වෙනසකින් මෙලොවට බිහිවූ නිවුන් සහෝදර සහෝදරියන් කීප දෙනකු එකම ප්‍රතිඵල ලබා තිබිමය.

මේ දරුවන්ගේ හැකියා හරිම අපූරුය. ජීව විද්‍යාත්මක බලපෑමේ සිට ගලා පැමිණි මේ සමානතා අද පොදු විභාගයෙන්ද සනාථ කොට ඇත්තේ මේ සියලු දේ මෙසේ වන්නේ ඇයිද යන්න සොයා බලන්නන්ට නිමිත්තක් සපයමිනි. එහෙත් තවමත් අපේ රටේ මේ පිළිබඳ කිසිදු පර්යේෂණයක් සිදුකර නොමැත්තේය.

මේ සියලු නිවුන් අක්කා නගෝ නැතිනම් අයියා මලෝවරුන්ගේ වයස් පරතරය තීරණය වූයේ තත්ත්පරයක සුළු වෙනසෙනි. උපතට තත්ත්පරයක වෙනසක් ගත්තත් විභාගයේදි මොවුන් එක ලකුණක හෝ වෙනසක් ඇති කළේ නැත. හැඩ රුවින් ගතිගුණයෙන් හැකියාවෙන් හා බලාපොරොත්තුවෙන් සමතැන් ගත් මේ දරුවන් අවසානයේ තමන් හැදූ වැඩූ දෙමවුපියන් මෙන්ම සැවොම මවිතයට පත්කරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සම ලකුණු ගනිමින් පසක් කළේ ඒ නොකැඩෙන ජීව විද්‍යාත්මක බැඳීමද?

මේ අයියා මලෝ හා අක්කා නගෝ අටදෙනාම සම නිවුන්නුය. පාසලට පියමං කළ දා පටන් ඔවුන් පෙන්වූයේද සම හැකියාවන්ය. එක් අයෙකු පන්තියේ පළමුවැනියා වෙද්දි දෙවැනියා වූයේ ඒ නිවුන්නුන්ගේම සහෝදරයා හෝ සහෝදරියය. ගතිගුණයෙන් පමණක් නොව හැඩ රුවින්ද සමාන වූ මේ නිවුන් සහෝදරියන් හා සහෝදරයන් එකකු අනිකා අබිබවා ගියේ නැත. පන්ති කාමරයේ ලකුණකින් දෙකකින් එහා මෙහා වුවද මෙදා එසේ වූයේ නැත. පුංචි සිතට බරින් වැඩි ශිෂ්‍යත්ව විභාගයෙන් නොසිතු ජයක් ලැබූ ඔවුන්ගේ ජය නියම ජයක් විය.

ගාල්ල ඔල්කට් විදුහලේ මහේලි නෙතුම්යා හා සිහේලි සිතුමායාගේ ගුරුවරුන් මෙන්ම දෙමවුපියන් පවා දෙදෙනා හඳුනා ගත්තේ මහත් අපහසුවෙනි. දෙදෙනාගේ හැඩ රුව ගතිගුණ පමණක් නොව හැකියාද සමානය.

“ මේ දරුවෝ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම සමානයි. අඳින පලඳින දේ පවා වෙනසක් නැහැ. සාහිත්‍ය, පිහිනුම් හා චිත්‍ර තරගවලින් මේ දෙන්නා හැමදාම ඉදිරියෙන් හිටියේ. ගණිතයට දෙන්නම දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයට මේ දෙන්නා පාඩම් කළේ එකට. හොඳ ඉස්කෝලෙකට ගිහින් එකම පන්තියේ ඉගෙන ගන්න. දෙන්නගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දෙන්නම ගෙදර ඇවිත් කිව්වේ අපි දෙන්නටම ලකුණු180 ක් විතර ඇති කියලා. ප්‍රශ්න පත්‍රවල දෙන්නට වැරැදිච්චා දෙන්නම ගෙදර ඇවිත් කිව්වා. අපි මේ දෙන්නගේ හැකියා දන්න නිසා හොඳින් සමත් වෙයි කියලා හිතුවත් මේ විදියට සමාන ලකුණු ගනීයි කියලා හිතුවේ නැහැ.” මහේලිගේ හා සිහේලිගේ පියා රංජිත් කුමාර පැවසීය.

“ මට චිත්‍ර අඳින්න ආසා වෙනතොට අක්කාටත් චිත්‍ර අඳින්න ඕනෑ වෙනවා. අපි දෙන්නට අපි දෙන්නා නැතුවම බැහැ. අක්කයි මමයි විභාගය පාස්වෙලා එකම ලකුණු අරගෙන ගාල්ල සංඝමිත්තාවට යනවා මම හීනෙන් දැක්කා. අපි දෙන්නට එකම ඉස්කෝලෙ එකම පන්තිය ලැබෙනවානම් හොඳයි. ඒත් මම කැමැති ඉංජිනේරුවරියක් වෙන්න අක්කාට ඕනෑ වෛද්‍යවරියක් වෙන්නයි.” සිහේලි පවසන්නී ය.

කේසර ප්‍රභාෂිණි මෙන්ම තේනුක තේජාසනීද කෑගල්ල කළුගල ප්‍රාථමිකයේ සම නිවුන්නුය. සිසුන් 67 ක් සිටින මේ පාසලෙන් මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටියේ සිසුන් අට දෙනෙකි.විදුහල්පති ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙවර ශිෂ්‍යත්වයෙන් සමත් වූයේ මේ නිවුන් සොහොයුරියන් දෙදෙනා පමණක් බවය. එයටත් වඩා මේ පාසලේ ගුරුවරියන් පුදුම වූයේ මේ නිවුන් සොහොයුරියන් දෙදෙනා සම ලකුණු එනම් 165 ක් ලබා ගනිමින් විභාගය සමත් වූ නිසාය.

“ මගේ දරුවෝ දෙන්නා ඉගෙනීමට දක්වන්නේ එක වගේ දක්ෂතාවක්. එක් කෙනෙක් අනෙක් කෙනාට වඩා දක්ෂයි කියලා කියන්න බැහැ. දෙමළවලට ගණිතයට මේ දරුවන්ගේ අමුතුම දක්ෂතාවක් තිබුණා. ඒත් එක්කෙනෙක් වැඩිපුර කතා කරනවා. අනිත් කෙනා එහෙම නැහැ. විභාගයට ගිහින් ඇවිත් දෙන්නම කිව්වේ පළමුවැනි පත්‍රය අමාරුයි දෙවැනි එක ලේසියි කියලා. ඒත් දෙන්නටම ඉලක්කයක් තිබුණා. මෙහෙම සමාන ලකුණක් දෙන්නටම එයි කියල අපි හිතුවේ නැහැ.” ප්‍රභාෂිණි හා තේජාසනී ගේ පියා ආර්.ඩී. සිරිවර්ධන මහතා පවසන්නේ ය.

මේ නිවුන් දරුවන් දෙදෙනා උගත්තේ දුෂ්කර පළාතක පිහිටි කළුගල ප්‍රාථමික විද්‍යාලයේය. නගරයේ පාසල්වලට මෙන් මේ පාසල සියලු දෙයින් සම්පූර්ණ නැත. එහෙත් තිෙබන සම්පත් උපයෝගී කරගෙන දරුවන්ට දැනුම දෙන්නට පාසලේ ගුරුවරු සමත් වූහ. අද මේ නිවුන් දරුවෝ ගුරුවරුන්ගේ මහන්සියේ ප්‍රතිඵල පෙන්වූහ.

“ලොකු ඉස්කෝලයකට ගිහින් ගණකාධිකාරවරයෙක් වෙන්න ආසයි. නංගිත් කැමැති බැංකුවක නෝනා කෙනෙක් වෙන්න.”ප්‍රභාෂිණි පවසන්නීය.

මේ පුංචි සිත්වල බලාපොරොත්තු ගොඩනැගුණේ ශිෂ්‍යත්වයෙන් අපූරු ජයග්‍රහණයන් ලබන්නට නොවේ. එකම පාසලක් එකම පන්තියක් බලාපොරොත්තුවෙන් ඔවුහු විභාගයටද මුහුණ දුන්නා ද නොවේ. එහෙත් දෛවය මේ අපූරු බැඳීම් තව තවත් සනාථ කළේය. ඔවුන් පතාගෙන ආ අයුරින් ඔවුනට ඉදිරියේදීත් එකම පාසලේ අකුරු කරන්නට වරම් ලැබී ඇත්තේය.

දෙවිදු චතුරංග හා දෙනෙත් චතුරංග අයියා මල්ලී ලෙස වෙනස් වූයේ තත්ත්පරයක වෙනසිනි. මේ අයියාත් මල්ලීත් අකුරු කරන්නේ හෝමාගම මාගම්මන මහ විදුහලේය. ඔවුන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ ලකුණු 182 බැගින් ලබා ගනිමිනි. කිසිවෙකුටත් පහසුවෙන් වෙන් කර හඳුනාගත නොහැකි මේ පුතුන් දෙදෙනාගේද අපේක්ෂාව උසස් පාසලකට ඇතුළත් වීමය.

“ මේ දෙන්නම එක හා සමානව දක්ෂයි. ගුරුවරුත් ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියේ මේ දෙන්නා ගැන. විභාගය කරලා ගෙදර ඇවිත් කිව්වේ අපි දෙන්නගේම ලකුණු 180 පනියි කියලා. ඒත් දෙන්නම සමාන ලකුණුවලට යයි කියලා එයාලගේත් විශ්වාසයක් තිබුණේ නැහැ. ගෙදර ආවහම දෙන්නම එක වගේ මහන්සි වෙලා පාඩම් කරනවා. නායකත්වය දැරීමේදී වුවත් මේ දෙන්නගේ වෙනසක් දකින්නේ නැහැ. දෙන්නම හැමදාම කිය කියා හිටියේ අපි දෙන්නම අක්කා ඉගෙන ගන්නා පන්නිපිටියේ ධර්මපාලයෙන් එහාට යනවා කියලා. මේ දෙන්නට ඕනෑ වුණේ ලොකු ඉස්කෝලෙකට යන්න.” මේ දරුවන්ගේ පියාවන චමින්ද රෝෂාන් පැවසීය.

වෛද්‍යවරුන් වීමේ ආසාවෙන් පෙළෙන මේ නිවුන් සොහොයුරන් දෙදෙනාගේ එකම ආසාව කොළඹ ආනන්දයට පිවිස අධ්‍යාපනය හැදෑරීමය.

“මටයි අයියටයි ශිෂ්‍යත්වය ගොඩාක් ලේසි වුණා. ඒ වගේම අපි දෙන්නට වැරදුණු තැනුත් තිබුණා. අපි දෙන්නටම ඕනෑ කොළඹ ආනන්ද විදුහලට ගිහින් එකම පන්තියේ ඉගෙන ගන්න. කවදා හරි අපි දෙන්නා දොස්තරවරු වෙලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා.” මේ දරුවෝ පැවසූහ.

අන් අයටත් වඩා සහෝදර බැඳීම නිවුන්නුන්ට වඩාත් ‍හොඳින් දැනේ. එක හා සමානව සෑම දෙයක්ම අපේක්ෂා කළද විභාගය වැනි දෙයකින් සමවීමට නම් ඔව්හූ නොසිතූහ. ඒ ශිෂ්‍යත්ව විභාගය ඔවුන්ට ආගන්තුක නිසාය.

මේ එලෙස ශිෂ්‍යත්ව විභාගයේ සම ලකුණු ලැබූ තවත් නිවුන් දරු දෙදෙනකුය. පාණදුර අගමැති බාලිකාවේ දයන්දි නෙතුලිමා හා තසන්දි ඩිනෙත්මා ය. මේ දරුවන් කවුරුනුත් මවිත කළේ ලකුණු 189 ක් ලබා ගනිමිනි. පාණදුර අගමැති බාලිකාවට ඔවුහු අද මිණි පහන්ය.

“මගේ දරුවෝ දෙන්නා කුඩා කාලයේ සිටම හැම විභාගයකින්ම පළමුවැනියා හා දෙවැනියා වුණා. දහම් දැනුම තරගයෙන් එක්කෙනෙක් පළමුවැනියා වෙන කොට අනික් කෙනා දෙවැනියා වෙනවා. දරුවන්ගේ මේ ජයග්‍රහණය ගැන පන්ති බාර ගුරුතුමියට අපි ස්තුති වන්ත වනවා.”නෙතුලිමා හා ඩිනෙත්මා ගේ මව වන අනූෂා සුමතිපාල පවසන්නීය.

“අපි දෙන්නට විභාගයේදී අමාරු වුණේ එකම දේ නොවෙයි. දෙවිදියකටයි. ඒත් දෙන්නම පාස් වෙන බව අපි දැනගෙන හිටියා. හොඳ ලකුණක් ගන්න බවටත් විස්වාසයක් තිබුණා. ඒත් අපි දෙන්නටම එකම ලකුණක් එයි කියා කවදාවත්ම හිතුවේ නැහැඅපි දෙන්නටම ඕනෑ හොඳ ඉස්කෝලෙකට ගිහින් ඉගෙන ගෙන වෛද්‍යවරුන් වීමටයි.” සසන්දි පවසන්නි ය.

දරුවන් ඉහළ ලකුණු ලැබ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් ගුරුවරුන් හා දෙමවුපියන් සතුටු වෙද්දී මේ දරුවන්ගේ එකම සතුට වී ඇත්තේ පාසලට පා නැගූ දා සිට එකම පන්තියේ සිටි ඔවුන්ට පාසල් දිවියට සමු දෙනතෙක්ම ඉදිරියේදීත් එකම පාසලක එකම පන්තියක සිටීමට ලැබෙනවාය යන තුටු සිත නිසාය.

මහේලි මෙන්ම සිහේලිද, ප්‍රභාෂිණි මෙන්ම තේජානිද, දෙවිදු මෙන්ම දෙනෙත්ද, දයන්දි මෙන්ම තසන්දිද සිය බැඳීම් අභිබවා ගිය ජයග්‍රහණ උරුම කර ගත්තේ මේ ශිෂ්‍යත්ව විභාගයෙනි. අද දින නිවුන් දරුවන් පිළිබඳ පර්යේෂණ කරන්නන් පවා මවිතයට පත්කරන මෙවැනි සමාජ විද්‍යාත්මක කරුණු අප විද්වත් ඇසකින් විමසූයේ විභාගයට ජීව විද්‍යාත්මක සාධකයන්හි බලපෑමක් ඇත්දැයි දැන ගනු රිසියෙනි.

ශ්‍රි ලංකා නිවුන් ලේඛනාගාරයේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ වෛද්‍ය කෞෂල්‍ය ජයවීර මේ පිළිබඳ අප හා අදහස් දැක්වූවාය.

“අපේ රටේ තවමත් මේ තත්ත්වය පිළිබඳ පර්යේෂණය කර නැහැ. ඒත් අනිවාර්යයෙන්ම මෙවැනි කරුණු කාරණා ගැන අපි සොයා බැලිය යුතුයි. නිවුන් දරුවන් ගත්විට සම නිවුන් දරුවන් වගේම අසම නිවුන් දරුවන් ඉන්නවා. සම නිවුන් දරුවන්ගේ ජාන සියයට සියයක්ම සමානයි. අසම නිවුන් දරුවන්ගේ ජාන සියයට 50 ක් සමානයි. එකම ලිංගිකත්වයේ දරුවන් සම නිවුන් දරුවන් ලෙසත් විරුද්ධ ලිංගික දරුවන් අසම නිවුන් දරුවන් ලෙසත් හඳුන්වනවා. සම නිවුන් දරුවන්ගේ ජාන බොහෝ දුරට සමාන නිසාත් හැදෙන වැඩෙන පරිසරය සමාන නිසාත් මේ අය හිතනපතන විදිහ සමානයි.

බැඳීමත් ගොඩාක් සමානයි. නමුත් සම නිවුන් දරුවන්ගේ ජාන සියයට සියයක් සමාන වුණත් පරිසරයේ යම් යම් වෙනස්වීම් මත මේ දෙන්නගේ වෙනස්කම් තියෙන්න පුළුවන්.

සමහර අම්මලා අපෙන් අහනවා මේ දරුවන් දෙන්නා එකම පාසලක එකම පංතියකට නොවැටුණොත් මේ දෙන්නගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්න පුළුවන්ද කියලා. සම නිවුන්නු එකම ගර්භාශයේ එකට හැදුණු නිසා සිතුම් පැතුම් සමානයි. ඒ නිසා මේ අය එකට ඉන්න එකට ඉගෙන ගන්න කැමැතියි. මේ දෙන්නගේ අරමුණු සමාන වෙන්න පුළුවන්. ඉදිරියේදි අපි මේ ගැන විධිමත්ව සොයා බලනවා. දකුණු ආසියාවෙන්ම මේ පිළිබඳ පර්යේෂණය කරන්නේ අපේ රට විතරයි.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »