මිනිසුන් නිසා සිඟමනේ යන්නෝ

2017-10-17 11:05:00       104
feature-top
මගේ කුඩා කාලය ගෙවුණේ මොරටුව ප්‍රදේශයේ නිවසකය. නගරයක් තුළ ගමක් බඳු වූ එහි ගහ කොළ යහමින් පිහිටා තිබුණේ සැම නිවසකටම පාහේ යම් ඉඩ කඩක් සහිත වත්තක් හිමි වූ නිසාය. මගේ මතකයට අනුව මේ සිදුවීම 1991 දී පමණ වූවකි.

එදා අපේ තාත්තා මදක් රෑ බෝ වී පැමිණීමට නියමිතව තිබුණි. ඒ ඔහු සංගීතය සැපයූ නාට්‍යයක් සඳහා කොළඹින් තරමක් දුර ගිය නිසාය. අම්මාත් මමත් තාත්තා එන තුරු පාඩම් කටයුතු ආදිය කරමින් නිදි වැරීම අපේ සිරිතයි. ප්‍රධාන දොරටුව ඉදිරි පසින්ම වූයේ රට අඹ ගසකි. වත්තේ දකුණු මායිම සටහන් කරන්නේ අරලිය ගස් පේළියකි. ඒවායේ සුදෝ සුද මල් පොකුරු කෑලි කපන කරුවලේ වුව කැපී පෙනේ. රෑ දහය පමණ පසු වන විට අපේ වත්ත මායිමේ චරස් බරස් ශබ්දයක් ඇසුණි. කිසි දිනෙක සොරෙක් සතුරෙක් ආ බව අසා නැති ඒ පෙදෙසට අලුත් උවදුරක් පැමිණෙන්නේ දැයි අපට මහත් බියක් දැනිණි. නිවැසියන් ගමනක් ගොස් තිබූ පාරෙන් ඉදිරිපස නිවසේ ගරාජයේ කවුරුන් හෝ සැරිසරන්නා සේ ජනෙල් වීදුරු අස්සෙන් බලන අම්මාටත් මටත් පෙනේ. අද මෙන් ජංගම දුරකථන නැති නිසා ඔවුන්ට දැන්වීමටද ක්‍රමයක් නැත. ඊටත් වඩා එළියට බැසීම අනතුරුදායක විය හැකිය. ටික වෙලාවකට පසු ඒ හොරා අපේ වත්තේ අරලිය ගහේ පහළ දෙබලේ හැංගී ඇති බව අපට දැනිණි. පුටුවකට නැඟී වා කවුළුවක් අස්සෙන් එබී බැලූ අම්මා වහා සාලයේ එළි නිවා දැමමින් කීවේ “හොරෙක් කිව්වට මානසික ලෙඩෙක්ද කොහෙද... මම බැලුවම අරලිය මල් පොකුරක් වැනුවා...”කියාය. තාත්තා නිරායුධව පැමිණි විට හොරා ආයුධ සහිතව සිටියහොත් අනතුරක් වේදෝ යන බියත් මුසුව අපි සියලු වැඩ නවත්වා බලා සිටියේ එසැණින් වහා දොර හැර එක්කෝ තාත්තා ගෙතුළට ගැනීමටය. නැතහොත් පැන සොරා අල්ලා ගැනීමටය. තාත්තා එනු ඇසිණි. අපි වහා දොර ඇරීමු. තාත්තා ගෙට ඇතුළු වනවාත් සමඟම කුරු මිනිසෙක් අධිවේගයෙන් ගෙතුළට දිව්වේය. අම්මා හොරෙක් යැයි ගිරිය යටින් කෑ ගැසුවාය. මම තූෂ්ණිම්භූතව සිටියෙමි. තාත්තා සිනාසෙන්නට විය. අප සිතුවේ මද පමණට මදුවිත තොල ගා සිටි නිසා මෙවන් අනතුරකදීත් තාත්තාට සිනා යනවා කියාය. එහෙත් ඇත්තටම සිදු වී තිබුණේ වඳුරකු ගෙට රිංගා ගැනීමයි. මොන විදියකින්වත් ගෙයින් එළියට නොඑන වඳුරා තාත්තාට තබා තිබූ ආනමාළු ගෙඩියට වගකියනු පෙනිණි. දැන් අප එළියේය. වඳුරා ගේ ඇතුළේය. අම්මාගේ බෙරිහන් දීමට අහල පහළ ගෙවල්වල විදුලි බුබුළු එකිනෙක දැල්වෙනු පෙනිණි. දැන් සියල්ලන් අපේ වත්තේය. වඳුරා ඇතුළේය. ඌ අපේ කාමරවල ඇති සුවඳ විලවුන් පවුඩර් ආදිය සිඹ, ඔසවා හැලීය. අම්මාගේ කණ්ණාඩි මේසය මත තිබූ ඕඩිකොලොන් බෝතලය කටේ රුවාගෙන බීවේය. පාන්දර හතර පමණ වනතුරුත් එළියට එන පාටක් නැත. විලවුන් බොතල දුටු සැනින් බීම නිසා දැන් තරමක් මත් වූ ගතියක් පෙන්වන්නටද විය. වඳුරාට ගේ දී අපි දොර වැසුවෙමු. අල්ලපු ගෙවල්වල කාන්තාවන්ගේ විලවුන් සුවඳක් දැනුණ විට ඌ වහා ඒ පැත්තේ වා කවුළුවෙන් එබී බලයි. යාන්තම් ඉර පායන විට සියලු දෙනාගේ මැදිහත් වීමෙන් වඳුරා එළියට ගැනීමට හැකි විය.

අසල්වැසියෙක් ‘පිස්සු වඳුරා’ පිළිබඳ පොලිසීයට දැන්වීමට කටයුතු කළේය. කිසිවකින් කලබල නොවූ වඳුරා අල්ලපු වත්තේ කොස් ගසට පැන්නේය. දැන් ගමටම අවශ්‍ය මේ සතා පැන යා නොදී පොලීසිය එනතුරු රඳවා ගැනීමය. ඒ වත්තේ ඇනෙක්සියේ සිටි ‘අංකල්’ මත්පැන් බෝතලයක් ගෙන එයින් වීදුරුවක් පිරෙන්න දමනු දුටු වඳුරා ළඟට ගියේය. වීදුරුව එක හුස්මට බී යළිත් කොස් ගසට පැන කඳට හේත්තු වී අත්තක ඉඳ ගත්තේය. කාකි ඇඳුමින් පැමිණි පිරිසක් කූඩුවක් ගෙනැවිත් වඳුරා අල්ලා ගත්හ. සතියකට පමණ පසු ආරංචි වුණේ ඒ හෝටලයක අයිතිකාරිය වූ විදේශික කාන්තාවක් ඇති කළ වඳුරා බවය. ඇය රට හැර යෑමෙන් පසු නඩත්තුවට කෙනකු නැතිව අසරණ වූ සත්ත්වයා ඇය භාවිත කළ ආකාරයේ සුවඳ වර්ග ඉව වැටුණ සැනින් ඒ වෙත ඇදී එන්නේ තම ස්වාමි දූට ඇති ආදරය නිසාය.

මේ කතාව ඇසූ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ මතකය අතීතයට ඇදී ගියේය.

“මට අවුරුදු දොළහක් දහතුනක් විතර කාලේ අපේ ගෙදරට කළු වඳුරෙක් ආවා.” ඔහු කතාව ආරම්භ කළේය.

“වෙන උන් වගේ කිසිම බයක් හැකක් නැතිව ඇවිත්, අපේ කුස්සිය ළඟ තිබුණු වතුර පුරවන ටැංකිය අස්සට එබීගෙන ඉන්නවා. එළවන්න හැදුවට යන්නෙත් නෑ. තාත්තා නම් කීවා මේකා කැලේ එකෙක් වෙන්න බෑ, ගෙදරක හදපු එකෙක් වෙන්න ඇති, එක්කෝ ගෙදරින් පන්නලා එහෙම නැත්නම් හොරෙන්ම පැනලා ඇවිත් ඇති කියලා. අපි බලද්දි උගේ ඉණ වටේ කම්බි රවුමකුත් තිබුණු නිසා තාත්තාගේ කතාව තවත් තහවුරු වුණා. අනේ හරිම හුරතල්... අපේ ඇඟට පැනලා බදාගෙන ඉන්නවා, කොණ්ඩෙන් අදිනවා. තාත්තා එයාව අර කම්බි රවුමෙන්ම ලණුවක් දාලා ගහක බැඳලා තිබ්බා. අපි ඉතිං කන්න බොන්න දෙනවා. එයා අපේ ඔළුවේ උකුණන් ඉන්නවාද බලනවා. එහෙම ආදරෙන් ඉඳලා දවසක් බලද්දි ලණුව විතරයි යාළුවා නෑ. එයා කොහොම හරි ලණුව ගලවාගෙන පැනලා ගිහින්. එදා කොච්චර දුක හිතුණාද කීවොත් ආයේ වඳුරන් හැදුවෙම නෑ.”

මෙසේ කියූ වෛද්‍ය අතපත්තු ඊළඟට අපේ රටේ වානර පවුලට අයත් සාමාජිකයකු වන මිනිසා නිසා වඳුරා සහ රිළවා කුඩ්මමාගේ සැලකිලි ලබන ආකාරය පැහැදිලි කළේය.

“කොහොමත් වඳුරන් ඇති කිරීම තහනම්. ඒත් අපේ අය උන් හුරතලේට ඇති කරනවා. රිළවුන් නටවනවා. හැබැයි අන්තිමේදී උන් වයසට ගියාම එහෙම නැත්නම් අයිතිකාරයා රට යනවා නම්, ඒ මුකුත්ම නැතිව සතාව යප්පන්න බැරි වුණාම කට්ටිය කරන්නේ ඌ අතහැරලා දාන එක. ඒත් මේ වෙද්දි අහිංසක සතා අපේ කෑම ක්‍රමයට හුරු වෙලා ඉවරයි. ඒ නිසා උන්ට බත් පාන් ආදිය සොයා ගන්න මිනිස් වාසයේ ඉන්න වෙනවා. ඒත් ගොඩක් අය අයාලේ යන වඳුරෙක් දැක්කාම බයයි. ඒ නිසා උෟට පහර දෙන්න උත්සාහ කරනවා. එතකොට උන් තවත් ප්‍රචණ්ඩ වෙලා ප්‍රශ්න ඇති වන්න පුළුවන්. අන්තිමට වන ජීවි දෙපාර්තමේන්තුවෙන් අල්ලන් ගිහින් උසාවි නියෝගය අනුව කියලා කැලෑවක අතහරිනවා. ඒක ඊළඟ අපරාධය. මොකද මේ වඳුරන්ට කැලේ කෑම හරියන්නේ නෑ. වනසත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතේ හත් වැනි වගන්තියට අනුව වන ජීවී සරණාගත කඳවුරක මේ සතුන් රඳවලා කැලෑවට හුරු වුණාමයි අතහරින්න ඕනා. එහෙම දැනට සිදු වෙන්නේ ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට විතරයි. ඒත් මේ වඳුරන් රිළවුන් වැනි සතුන්ටත් එවැනි තැනක් තිබිය යුතුයි.

ඉස්සර තනි තනි රිළවු, වඳුරෝ අපි දැක්කේ නෑ. ඒ වගේම පොඩි පවුල් හැටියට උන් ඉන්නෙත් නෑ. උන් තිහ හතළිහක කණ්ඩායම් හැටියට හිටියේ. ඒත් දැන් අපි දකිනවා තුන් හතර දෙනාගේ කල්ලි. පැටවුන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක යන අම්මලා. එහෙම වෙන්නේ අපේම වරදින්. ඉස්සර වගේ සතුන්ට කන්න කැලෑවල ගොදුරු බිම් දැන් නෑ. ඒවා එළි කරනවා. පොඩි පොඩි පැටවුන් නම් ගස් ගෙම්බන් වගේ සතුන් අල්ලාගෙන කෑවත් ලොකු වඳුරන්ට එහෙම බෑ. ඒ නිසා උන් ගම් වදින්න, වගා පාළු කරන්න පුරුදු වෙනවා. එතනින් ඇති වන්නේ ගැටුමක්. පැලැස්තර ක්‍රමයට උන් කෑලෑවලට අතහැරියාම මඟ යන එන මිනිස්සුන්ගෙන් හිඟමන් යදින්න පුරුදු වෙනවා. මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. මිනිසුන්ගේ අවශ්‍යතා, ආශාවන් පිරිමහන්න සතුන් එක වරක කොටු කරනවා, පසුව යාචකයන් බවට පත්කරනවා. එහෙම වෙලා උන් අපට කරදරයක් වුණාම මරා දමනවා. මේකද මිනිස්කම කියන්නේ?”

වෛද්‍ය අතපත්තු ප්‍රශ්නයක් ඉතිරි කරමින් කතාව නිමා කළේය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »