ඖෂධවලින් නිසි ඵල ගැනීමට නම් නිවැරැදිව භාවිතා කළ යුතුයි

2017-09-25 10:55:00       823
feature-top
2017 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ගෝලීය අභියෝගය ලෙස සුරක්ෂිත ඖෂධය භාවිතය තෝරා ගෙන තිබේ. එහි අරුත වන්නේ ඖෂධ භාවිතයේදී සිදුවන වැරැදි හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරුවලින් ඔවුන් වළක්වා ගැනීමය. මෙහි අරමුණ 2020 වන විට ඖෂධ හානි හේතුවෙන් මිනිසාට සිදුවන බරපතළ හානි 50% කින් වළක්වා ගැනීමය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වසරකට ඖෂධ වැරැදීම් නිසා සිදුවන මරණ සංඛ්‍යාව 180,000 ක් යැයි වාර්තා වේ. එහෙත් මෙහි සැබෑ සංඛ්‍යාව 400,000 ක් පමණ වෙතැයි ඇතැම්හු වාද කරති. ‍ෙම් මරණවලින් 51% - 78% දක්වා සංඛ්‍යාවක් වළකවාගත හැකිව තිබූ මරණ වේ. ලංකාවේ ඖෂධ වැරැදිවලින් සිදුවන මරණ පිළබඳ නිශ්චිත දත්ත නොමැති වීම අඩුවක් බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ වේද අංශයේ අධිපති මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසයි. කොළඹ මහා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනකට රෝගීන් 5000 ක් පමණ පැමිණෙන අතර ඔවුන්ගෙන් 100 ක් පමණ ඖෂධ වැරැදීම් හේතුවෙන් ඇතිවූ රෝග සඳහා ප්‍රතිකාර පතති. මේ වැරැදීම්වලින් 50% පමණම වළක්වා ගත හැකි ඒවා බවද මහාචාර්යවරිය කියයි. මේවා වළක්වා ගැනීම සඳහා ඇති හොඳම ක්‍රමය තමා ගන්නා ඖෂධ පිළිබඳ අවබෝධයෙන් සිටීමය. මෙරට ජනතාව ගේ ඖෂධ සාක්ෂරත්ව ඉතා පහළ මට්ටමක පවතී.

ඖෂධ නියම කරන අවස්ථාවේදී, පිටපත් කිරීමේදී, නිකුත් කරන විට හා භාවිතා කරන විට වැරදීම් සිදු විය හැකිය. එමෙන් ම ඖෂධ සකස් කිරීමේදී හා අධීක්ෂණය කිරීමේදී ද වැරදීමට ඉඩ තිබේ. සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියේ ඇති ගැටලු, තදබදය, කාර්ය මණ්ඩලවල අත්දැකීම් මදකම, එක සමානව හඬනැගෙන හා පෙනෙන ඖෂධ මාරු වීම, බහු ඖෂධ, අධි අවදානම් ඖෂධ, රැකබලා ගැනීම් මාරුවන අවස්ථා, රෝහලකට මාරුවන අවස්ථාවල මෙවැනි වැරදීම් සිදුවිය හැකිය.

ඖෂධ වැරැදීම් වළක්වා ගැනීම සඳහා රෝගීන් විසින් දැන සිටිය යුතු මූලික කරුණු කිහිපයකි. ඒවා නම් ඖෂධයේ නම, ගත යුතු මාත්‍රාව, ඖෂධය භාවිතා කරන්නේ කුමන රෝගයට ද යන වග, කී වරක් ගත යුතුද, මිලිග්‍රෑම් කොපමණද, කෑමට පෙරද? පසුද? යනාදී තොරතුරු. මෙයට අමතරව ඖෂධය ගබඩා කළ යුතු ආකාරය (ශීතකරණයකද, පිටතද) ඖෂධයේ අතුරු ඵල, හදිසියේ අතරුඵලයක් ඇතිවූ විට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් රෝගීන් තුළ මෙන්ම රෝගීන් බලා ගන්නා පුද්ගලයන් ද සතු විය යුතුය.

පමණට වඩා ප්‍රතිජීවක ඖෂධ භාවිතය වත්මනෙහි ඇතිව තිබෙන ‍බලවත් සෞඛ්‍ය ගැටලුවකි. අනිසි ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන විට ජීවීන් ඒවාට ප්‍රතිරෝධයක් දක්වයි. එවිට එම ඖෂධවලින් රෝගය සුව වන්නේ නැත. ඖෂධ පිළිබඳ නිවැරැදි තොරතුරු ඖෂධවේදියාගෙන් මෙන් ම වෛද්‍යවරයාගෙන් ද අසා දැනගත හැකිය. නිවැරැදිව ඖෂධ භාවිතා කිරීමට ජනතාව දැනුවත්ව සිටීම වැදගත්ය. ඖෂධවලින් නියම ප්‍රතිඵලය ලැබෙන්නේ එවිට පමණය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »