ත්‍රිමලේ අලි මුහුදු බැස්සේ ඇයි?

2017-09-19 12:14:00       817
feature-top
මෙය අලින්ගේ පුරුද්දක් ඉස්සරහටත් අලි මුහුදට බහීවි

ත්‍රිකුණාමලය සාගර කලාපයේ අතරමංව සිටි අලියකු දෙදෙනකු පිළිබඳ කලබගෑනියක් පසුගිය දිනවල අසන්නට ලැබුණේ ය. වනජීවී නිලධාරීන්ට පවා මෙය ගැටලු සහගත ප්‍රශ්නයක් වූ බව ඔවුන් කළ කී දැයින් ප්‍රකාශ විණ. කෑම සොයා යන ගමනේදී අලි මුහුදට වැටී දිය වැලකට හසු වී ඇති බව වැඩිදෙනෙකුගේ මතය වූ අතර පවතින නියං කාලගුණය හේතුවෙන් හටගත් උණුසුම් දේශගුණයෙන් මිදීමට උන් මුහුදු ජලයට බසින්නට ඇතැයි යන්න තවත් මතයක් විය.

අලි ඇතුන් පිළිබඳ අතීත තොරතුරු ගවේෂණයෙහි යෙදෙන තවත් පිරිසක් මේ සරල පිළිතුරුවලින් සෑහීමකට පත්නොවූහ. අදාළ සිද්ධිය කෙරෙහි ඔවුහූ වඩාත් සංවේදී වූහ. මන්ද අලියා යනු සියුම් බුද්ධි ඥානයක් ඇති එසේ ම සුළු දෙයකින් පවා දැඩි ආතතියකට පත්වන අහිංසක සත්ත්වයෙකි. ඉදිරි මගෙහි ඇති අනතුරක් හෝ බාධකයක් කල්වේලා ඇතිව දුර ඈතක සිට හඳුනාගෙන එවන් බාධක මඟහැර යෑමේ ජානීය හැකියාවක් අලියාට තිබේ. ඌ ගඟක් හරහා පාලමකින් එගොඩවීමේ දී වුව සිය හොඬැඟිල්ලේ ආධාරයෙන් ඉදිරි මාවතේ ඇති වන කම්පන තරංග මාලා නිරීක්ෂණය කර බලන බව වල් අලි ඇසු‍රේ නිදැල්ලේ රාජකාරියේ යෙදුණු කෘතහස්ථ වනසත්ත්වවේදියකු වූ ඕබ්රි එම්. වයිමන් මහතා සඳහන් කරයි. එතුමා දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා ය.

මේ නිසා ම ත්‍රිකුණාමලය මුහුදේ අලි කලංචිය ගැන වැඩි විස්තර සොයා බැලීමේ ආසාවක් මා තුළ උපන. ඊට සුදුසු ම ජීවමාන පුද්ගලයා මගේ මතකයට නැඟුණේය. ඒ දැනට අසූහතර වැනි වියේ පසුවන ඒ.බී. ප්‍රනාන්දු මහතා ය. ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකි. ලංකාවේ වනාන්තරවල විසිරී පැතිරී උප කණ්ඩායම් වශයෙන් බෙදී වාසය කරන අලි සම්පතේ ජනගත චර්යා රටාවන් ගැන ඔහු සතු දැනුම හා ලබා ඇති අත්දැකීම් සම්භාරය අතිවිශිෂ්ටය. තොරතුරු දත්තගත කළ පරිගණකයක් සේ ක්ෂණයකින් හෝ සිය මතකයන් අවදි කරන්නේ ය.

කෙටි පිළිසඳරකින් ඉක්බිති “ඒ.බී. මහත්තයා, මොකක් ද මේ ත්‍රිකුණාමලය මුහුදේ අලි ප්‍රශ්නය” කියා මම පිළිවිසිමි.

“මොකක් ද අයිසේ ඒකේ ඇති ප්‍රශ්නය. ඉස්සරත් ඔය ත්‍රිකුණාමලය පැත්තේ කැලේ ඉන්න අලි ඉඳලා හිටලා මුහුදට බැහැලා පීනාගෙන වරාය තුළ හා අවට තියෙන පර්වත දූපත්වලට ආවා ගියා. විශේෂයෙන් ම සෝබස් දූපත, එලිෆන්ට් දූපත උන්ගේ සංචාරක නවාතැන් ලෙස ප්‍රසිද්ධයි. සාම්පූර් ෆාවුල් තුඩුව පැත්තෙනුත් අලි ආවා. හැබැයි හැම අවුරුද්දේ ම එන්නේ නැහැ. අවුරුදු තුන හතරකට සැරයක් තමයි එන්නේ. රංචු පිටින් නොවෙයි එක්කෙනයි, දෙන්නයි. ඒකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. උන් රෑට ඇවිල්ලා උදේ රැයින් ම ආපසු කැලේට යනවා. සමහර දවස්වල දවස හමාර දූපතේ නතරවෙලා ඉන්නවා. 1950 - 60 දසකවල මගේ රාජකාරී ක්ෂේත්‍ර සටහන් පොත්වල ඔය ගැන විස්තර ලියලා තියෙනවා.”

“අලින්ට ඔච්චර දුරක් මුහුදේ පීනගෙන එන්න පුළුවන් ද?” මම අතුරු ප්‍රශ්නයක් නැඟුවෙමි.

“මොකද බැරි! අලි කියන්නේ දක්ෂ පිහිනුම් ශූරයෝ. සැතැපුම් ගණන් දුරක් වුණත් එකඑල්ලේ පිහිනාගෙන යන්න උන්ට පුළුවන්. අලියා මුහුදේදී හැසිරෙන්නේ සබ්මැරීනයක් වගෙයි. හොඬවැල ජලයෙන් මතුපිටට අරන් ඕනැ වේලාවක ඌට හුස්ම ගන්න පුළුවන්. ඒ නිසා අලියෙක් කවදාවත් දියේ ගිලිලා මැරෙන්නේ නැහැ. හිස නමාගෙන දියයට ගිලෙන අලියා සම්බැරිනයක් වගේ ම දිය යටින් ගොස් ආයිමත් ඈතින් මතුවෙනවා. දක්ෂ මිනිසකුට වගේ ම ඌටත් විනාඩියක් දෙකක් දියයට ගිලිලා ඉන්න පුළුවන්. සී. ඩබ්ලිව්. නික්ලස් (හිටපු වනජීවී අධ්‍යක්ෂවරයෙකි) පී.ඊ.පී. දැරණියගල වගේ විෂයානුබද්ධ උගතුන් ඒ අයගේ පොත්වලින් මේ තොරතුරු රටට එළිදරව් කරලා තියෙනවා. දැන් ඉන්න අලුත් අය ඒවා කියවන්නේ නැහැ. ඒක නේ ප්‍රශ්නයක් වුණාම ඔය හැටි කලබල වෙන්නේ.”

“ඔය ත්‍රිකුණාමලේ අලින්ගේ මුහුදු ගමන් සංචාරයට විද්‍යාත්මක හේතුවක් තියනෙවා කිව්වා නේද? මොකක්ද ඒ?”

“අලින්ට ඛනිජ ලවණ සෑහෙන ප්‍රමාණයක් අවශ්‍යයයි. නියමිත කාලවකවානුවලදී ඒවා ලබාගන්න ලවණ පස් තියෙන ප්‍රදේශවලට ඇදී එන අලි මේ පස් ගල්කැටිතිත් සමඟ සෑහෙන් ප්‍රමාණයක් ගිල දමනවා. ඇතැම් අවස්ථාවලදී පණු අමාරුව නිසා ඇතිවන බඩේ රුදාවට විරේචන ඖෂධයක් ලෙසට ද මේ ලවණ පස් උන්ට ප්‍රයෝජනවත්. එවැනි අලියෙක් ගල්කැටිතිත් සමඟින් ලවණ පස්ගුලි ගිල පසුව ගල්තලාව මතට නැඟ පැය හත අටක් විවේකයෙන් නිසොල්මනේ හිටගෙන ඉන්නවා. සමහරවිට එළිවෙන පාන්දර යාමය වෙනතුරු ම ඔය ආකාරයෙන් ඉන්නවා. පස්සේ ඌට ගල උඩ ම යහමින් බඩේලිය යනවා. ඒකෙන් ම බඩ සුද්දයි. ලෙඩේ සුවයි. ඒ වගේ අලියෙක් වෙන්න ඇති එළිය වැටුණු උදේ කාලේ ආපහු කැලේට යන්න ගිහිං මිනිසුන්ගේ දර්ශනයට ලක්වෙන්නට ඇත්තේ. මිනිසුන්ගේ කෑකොස්සන් හඬටයි, මුහුදු යාත්‍රාවලටයි බයවෙලා ආතතියට පත්වුණු අලියා උගේ සුපුරුදු ගමන් මාර්ගයෙන් ඉවත් වෙලා වෙනත් දිසාවකට පීනන්න ඇති.”

සෝර්බස් දූපත වැනි මුහුදු පර්වත වෙත අලි ඇදී එන්නේ මුහුදු ජලයෙන් වටවුණු එවන් පර්වත බෑවුම් පාමුල ඛණිජ ලවන කැටකැබිලිති මුසු පස්නිධි යහමින් තැන්පත්ව ඇති නිසාය. සෝඩියම් ක්ලෝරයිඩ් මුසු ජලයටත් එම ජලමාලය පිස ඇදෙන සුළඟටත් නිරන්තරයෙන් ගොදුරුවීම හේතුකොටගෙන මේ මුහුදු පර්වත මතුපිට පාෂාණ තට්ටුව වරින්වර දිරාපත් වී සියුම් කැටි කැබිලිති ලෙස බිඳී පර්වත පාමුලට ඇද හැලී පස් තට්ටු ලෙස තැන්පත් වෙයි. ඛනිජ, ලවණ යකඩවලින් පෝෂිත මේ පාංශු ආස්තරණය අනුභව කිරීම සඳහා වනගත අලි උන්ගේ පාරම්පරික ගමන් මාර්ග ඔස්සේ කොට්ටියාරම් මුහුදු පර්වත වෙත ඇදී එන බව සත්‍යයකි. රට මැද වනාන්තරවල ජීවත්වන අලි උන්ගේ ඛනිජ ලවණ අවශ්‍යතා සපුරාගනු ලබන්නේ වැව්පතුල්වල තැන්පත් වන රොන්මඩ ගුලි ගිල දැමීමෙනි. නැතහොත් කඳු බෑවුම්වල නිධිගත වන ලවණ ආවාට හෙවත් සෝල්ට් ලික්ස් නිර්මාණය කර ගැනීමෙනි.

එවන් අභ්‍යන්තර ලවණ ආවාටවලට උදාහරණ ලෙස බළංගොඩ කල්තොට කඳුකරය ප්‍රසිද්ධය. මඩකලපුවේ ද උස්බිම් ආශ්‍රිත වනගත ප්‍රදේශවල මේවා දැකගත හැකිය. මේ ලවණ ආවාට සමහරක් අලියකු‍ බැස සිටීමට තරම් විශාල ඒවාය. ඒවායේ නිර්මාණකරුවෝ ලවණ ලෙවකන වල් අලින්මය.

පී.ඊ.පී. දැරණියගල මහතා මේ ගැන සවිස්තර තොරතුරු රාශියක් පෙන්වා දී තිබේ.

“වියළි සමයට ඇතැම් කඳු පර්වතවල මතුපිට පාෂාණ ස්තරය කැඩී බිඳී පුපුරා ඉරිතලා ගොස් කඳු පාමුල ඛනිජ ලවණ තැන්පතුවක් සහිත ස්තරයක් නිර්මාණය වෙයි. දිගු නියං සමයකට පසුව එලැඹෙන ප්‍රථම වර්ෂාවත් සමඟ මේ ලවණ දියර පස වෙත අලි ඇදී එති. උන් මෙසේ ඇදී එන්නේ ලවණ පස්කැට අනුභව කිරීමට පමණක් නොවේ. දියර පස් තට්ටුව බිඳ හාරා ලවණ ආවාට හෙවත් සෝල්ට් ලික්ස් නිර්මාණය කර ගන්නා මේ අලි ඒ ආවාට තුළ ලැග දඟලමින් ද පෙරළෙමින් ද සිත්සේ ඇ‍ඟෙහි මඩ තවරා ගනිති.”

සිරුරේ තැවැරෙන අමතර මඩතට්ටුව ඉවත් කර ගැනීම සඳහා ගලක හෝ ගසක ගත අතුල්ලා ගන්නා අලි පසුව ඉවත්ව යති. මේ පුරුද්ද නිසා ම වල් අලියාගේ සම මතුපිට වර්ණය අඳුරු පඬු පැහැයෙන් හෝ නැතිනම් අඳුරු රත් පැහැයෙන් දිස්වෙයි. දිනපතා නාවා අතුල්ලා පිරිසුදු කරනු ලබන හීලෑ අලියාගෙන් වල් අලියා වෙනස් වන්නේ උගේ නිදහස් චර්යා රටාවෙන් උරුම වන වර්ණයේ වෙනස නිසාය. උගේ ඒ නිදහස ආරක්ෂා කර දීම අපේ වගකීමකි.

එදා මෙන් හෙටත් ත්‍රිකුණාමලේ මුහුදු තරණය කරන්නට අලි එනු ඇත. උන්ගේ ඒ පාරම්පරික උරුමය අහිමි නොකළ යුතුය. මිනිසාට අවැසි තැන්වල අලි ගාල්කර සීමා බන්ධන පනවා වල් අලි සංරක්ෂණය කළ නොහැකිය. ඉහත සිද්ධියෙන් අප ඉගෙන ගත යුතු ලොකුම පාඩම එයයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »