රට ම වනසන මැජික් මෂ්රූම්

2017-09-06 11:37:00       823
feature-top
මැජික් මෂ්රූම් හෙවත් “මැජික් හතු” සොයමින් මේ යන ගමන අතිශය දුෂ්කර එකකි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කලෙක පටන් සොයා බැලූ මේ “මැජික් මෂ්රූම්” විකුණන ගෙදර පොලිසිය විසින් හරියට ම නිශ්චිතව හඳුනාගෙන තිබිණ. ඔවුන් එම නිවෙස වටා උකුස්සන් මෙන් රොද බැ‍ඳෙන්නේ ඒ නිසාය.

මෙවැනි දුෂ්කර ව්‍යායාම සඳහා පොලිස් නිලධාරීනට විවිධ රඟපෑම් කරන්නට සිදුවේ. වරෙක තොරොම්බල්කාරයන් මෙන් ම තවත් විටෙක සාරවිටකාරයන්, ශාස්ත්‍රකාරයන් නැතහොත් තැඹිලි වෙළෙන්දන් එසේත් නැත්නම් වින්නඹු මාතාවන් ලෙස ද එසේම වෙනත් ඕනෑ ම චරිතයක් වෙනුවෙන් රංගනයේ යෙදීමට ඔවුන් සූදානම් ය.

සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත පාණදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂවරයාය.

“මෙය හුඟාක් පරිස්සමට කරන්නට අවශ්‍ය රාජකාරියක්. මැජික් මෂ්රූම් කියන චොක්ලට් සහිත මත්ද්‍රව්‍ය වැටලීමට අපි බොහෝ කාලයක් වෙරදැරුවා. මුලින් ම අපේ ඔත්තු ජාලය හරහා තොරතුරු ලැබුණා. මාස ගණනක් අපේ පරීක්ෂණ නිලධාරීන් ලවා ලැබුණු ඔත්තුව ඇත්තද? එය සාධාරණද? ඇත්තට ම එවැනි මත්ද්‍රව්‍යයක් එහි විකුණනවාද? කොතරම් බඩු විකුණනවාද? මෙවැනි දේ සොයා බැලීමෙන් පසුවයි අපි මේ ගමන ගියේ... එතුමා අපට කීයේ ය.

නාරාහේන්පිට මන්ත්‍රී පෙදෙසේ අහස උසට බැඳ ඇති අඩි 20 - 30 උස තාප්පවලින් කොටුවූ මහා මන්දිර පෙළකි. ඒ සියලුම නිවාස “වී.අයි.පී” නිවාස ය. අපේ වචනවලින් සුපිරි පන්තියේ ප්‍රභූ නිවාසය. රත්නපුර මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥයකුගේ නිවෙසින් මේ මැජික් මෂ්රූම් හෙවත් ‘චොකලට් මෂ්රූම්’ එළියට ඒම නිලධාරින් කණ්ඩායමට මහත් ප්‍රශ්නයක් විය.

හරියට කියනවා... මේ ගෙදරද කියලා... වැටලුම් කණ්ඩායමේ ඉහළ නිලධාරියෙක් ඔත්තුකරුවාට අණ කළේය. ඇත්තට ම ඔත්තුකරුවා කීවාට ඔහු ඔත්තුකරුවා විසින් පෙන්වා දුන් “චොකලට් මැජික් මෂ්රූම්” කස්ටමර් ය. එවැන්නෙක් නැතිව ගනුදෙනුව කළ නොහැකිය. තමන්ගේ හුරු පුරුදු ගනුදෙනුකරුවකු කස්ටමර් කෙනෙකු නොමැතිව බඩු ලබාගත නොහැකි බව පොලිසිය ද දන්නා නිසා පෙරමුණේ ගෙන යන්නේ එවැන්නෙකි.

ඔව් සර්, මේ ගේ තමයි... ඔහු බයාදු ලෙස කියයි.

‍හොඳට බලනවා... තමුසෙට වැරැදිලා වෙන්න ඇති... පොලිස් නිලධාරියා එසේ කීවේ එම ගෙදර අයත් වන්නේ කීර්තිමත් ප්‍රධාන පෙළේ වෛද්‍යවරයකුට බව දන්නා බැවිනි.

අනෙක ඒ ගෙදර දිවි ගෙවන ඇත්තන් නවීන ඉංගිරිසි පන්නයේ ඇවතුම් පැවතුම් ඇත්තන් පිරිසකි. පරිගණක, අන්තර්ජාල, ලැප්ටොප්, ටැබ් ආදිය සමඟ නිතර ගනුදෙනු කරන මුදල් හදල් වැඩියෙන් ඇති ‘නවීන වැදගතුන්’ ලෙස සැලකෙන පිරිසක් බව ද දන්නා බැවිනි.

වේලාව සවස 4 පමණ විය. එම දැවැන්ත සුකුමාර මන්දිරය ඉදිරිපස කුඩා ගේට්ටුවක් විය. පත්තරකාරයා, කිරිකාරයා හා අලුතින් මේ ගෙදර ව්‍යාපාරයට හමුවන ගනුදෙනුකරුවන් ඒ ගනුදෙනු කර ගත්තේ මේ පුංචි ගේට්ටුව හරහාය. එහි විවර වන කුඩා කවුළුවකි.

පොලිස් කණ්ඩායමේ මෙහෙයවීම මත චොකලට් මෂ්රූම් ඒ ගෙදරින් ගන්නා කස්ටමර් ගේට්ටුව ළඟට ගොස් නළාව නාද කළේය. මොහොතක් ගත විය. ඈත සිට එබී බැලුවේ භද්‍ර යෞවනයේ වෙසෙන නව යොවුන් සමනළියකි. ඇය තවත් මොහොතකින් ගේට්ටුව වෙත පිය මැන්නා ය.

මට දෙකක් දෙන්ඩ... ඔහු කීවේ පොලිස් නිලධාරියා ලබාදුන් රුපියල් හයදහස දිගු කරමිනි. මේ දාහේ කොළවල අංක හා ඡායාස්ථ පිටපත් කලින් පොලිස් නිලධාරින් විසින් පිටපත් කරනු ලැබූ ඒවාය.

රුපියල් හයදහස ගණන් කැර මිට මොළවා ගත් මේ සුරූපිනිය මැජික් මෂ්රූම් 2ක් කස්ටමර් අත තබා ගේට්ටුවේ විවර වන පුංචි කවුළුව වසා දැමුවාය.

ඒ අතර නිලධාරින් පිරිසක් මේ ක්‍රියාදාමය වීඩියෝ ගත කරමින් සිටියහ. සියල්ල තිතට අනුපිළිවෙළට සිදුවෙමින් තිබේ. ඊළඟ මොහොත ඉතා ම අවිනිශ්චිතය.

මේ නිවෙසෙහි කරන ලද පරීක්ෂණ අනුව දැන් ඉන්නේ මේ සුරූපි තරුණිය හා ඇගේ මෙහෙකාරිය පමණකි. එකවර ගෙට පැන පරීක්ෂා කිරීම ද අමාරුය. ගෙතුළ තිබී මත්ද්‍රව්‍ය හසුවුණොත් වැරැද්දක් නැත. ඒත් වීඩියෝ පටය හා ලබාගත් මත්ද්‍රව්‍ය සාක්කියට තිබේ. පොලිස් කණ්ඩායම රාත්‍රි 7 පමණ වන තුරු තවත් කල්යල් බලමින් සිටියහ. ඒ කණ්ඩායමේ නිලධාරින් 12ක් පමණ වූහ. ඒ අතර කාන්තා පොලිස් නිලධාරිනියන් වන පොලිස් කොස්තාපල් ප්‍රියදර්ශනී හා දුලීකා පෙරටු කැ‍රගෙන ගෙට ඇතුළු වී සෝදිසි කළ යුතු යැයි කණ්ඩායමේ අන්තිමේ තීරණය විය.

නැත්නම් ගෙට ඇතුළු වීමට අපහසු වේ නම් පළාතේ වින්නඹු මාතාවක් ලෙස ගෙට ඇතුළු වීමට ද අදහසක් තිබිණ. එය එසේ වන්නේ මේ තරුණ කාන්තාවට මාස 3 - 4 ක දරුවකු සිටින වග පෙනුණු බැවිනි. දරුවාගේ ප්‍රශ්නයක් කතා කරන මුවාවෙන් ගෙට ඇතුළු වීම එවිට පහසුය.

ඒත් කාරිය කියන තරම් පහසු නොවීය. නොයෙක් බාධා එල්ල විය. ඒත් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් කරන්නට සිදුවන බැවින් ක්‍රමෝපායන් එලෙස ම පෙළගස්වන්නට බැරිය. නැත්නම් 1996 දී පිහිටු වූ මේ මර්දන බළකායට ගිය අවුරුදු 10 ට පමණක් නඩු 37332 ක් උසාවිය ගොනු කර ගන්නට බැරි වනු ඇත.

කෙසේ නමුත් පොලිස් පරීක්ෂක ජනිතකුමාර, පො.ප. කරුණාරත්න ‍පොලිස් සැරයන් (39546) වික්‍රමරත්න පො.කො. 61659 අසංක පො. කො. 428 ජයලාල් පො.කො. 48826 විජේකෝන් පො. කො. 84829 උදයකුමාර පො.කො. 77987 ප්‍රබුද්ධ පො.කො. 77846 මුණසිංහ කාන්තා පොලිස් කොස්තාපල් 9857 ප්‍රියදර්ශනී 9778 පො.කො. දුලීකා ඇතුළු කණ්ඩායම රාත්‍රි 7 ට පමණ ගේට්ටුව නැවත විවර කරවා ගත්තේ නැවතත් ගනුදෙනුකරුවා පෙන්වමිනි.

සුරූපිනිය බිය වී කැඩුණ සිංහලෙන් හා ඉංගිරිසි බසින් කතා කළාය. නිලධාරින‍ියෝ ඇගේ මුළු නිවෙස, කාමරය සෝදිසි කළහ. ඇගෙ දරුවාගේ කබඩයේ සඟවා තිබූ මැජික් මෂ්රූම් බෝල 25ක් එළියට ආවේ එලෙසිනි.

පරීක්ෂණ අනුව තොරතුරු පමණක් සැකෙවින් දක්වමි. ඇය අධ්‍යාපනය හදාළේ කොළඹ ජනප්‍රිය කාන්තා විදුහලකය. පියා වෛද්‍යවරයෙකි. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙකි. අවුරුදු 16 පමණ කාලේ පටන් හඳුනාගත් මිතුරු මිතුරියන් හරහා මේ මත්ද්‍රව්‍ය ගැන උගෙනුමක් ලැබුවාය. කලක් අමෙරිකාවේ ජීවත් වූ ඇය විදේශ මිතුරු - මිතුරියන් රැසක් ද ඇසුරු කරන්නියකි. පොලිසිය ඇය අල්ලා ගන්නා විට ඇ‍‍ඟේ කෙටූ පච්ච (ටැටූ) කීපයක් ම තිබිණ. අතේ, බෙල්ලේ, පිටේ මේවා කොටා තිබුණු අතර ඇගේ වයස තවම 21 ක් විය. ඇයට කුඩා දරුවෙක් සිටි අතර මාපියන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය කටයුතු ම කරන කොණ්ඩා වවා ගත් තරුණයෙක් සමඟ “LIVING TO GETHER” ජීවිතයක් ගත කළාය. නීතියේ විවාහයක් ද සිදු නොවී තිබිණ. මෙයින් කළකිරීමට පත් ඇගේ පියා වූ වෛද්‍යවරයා ද වෙනත් විවාහයක් කැරගෙන ඇගෙන් ඈත්ව ගොස් තිබිණ.

‍මේ සුරූපි මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදුණ යුවතිය ඉහළ පෙළැන්තියේ පිරිසක් අතර තම වෙළෙඳාම කරගෙන ගියත් රුපියල් 3000 ගණනේ මැජික් මෂ්රූම් ගන්නා ඇගේ ගනුදෙනුකරුවන් අතර මංකොල්ලකාරයෝ මෙන් ම පාතාලයෝ ද සිටියහ. ඔවුන් ගැන දැන ගන්නට ලැබුණේ යොදාගත් ඇගේ ම ‘කස්ටමර්’ හරහාය.

ඔහු සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට බොහෝ විස්තර කීවේය. ඉන් කොටසක් පමණක් මෙහි දක්වමි. මේ හේමාල් ප්‍රශාන්තගේ හඬය.

“මේ ‘මැජික් චොක්ලට් මෂ්රූම්’ එකක් රුපියල් 3000 ක් වෙනවා. සාමාන්‍යයෙන් හතර දෙනකුට පාවිච්චි කරන්ඩ පුළුවන් කියනවා. මේ චොකලට් මෂ්රූම් කෑවා ම ඒ ෆීලින් (Feeling) එක දවස් 2 1/2 ක් විතර තියෙන බවයි කියන්නේ මෙය හොඳ වාජීකරණයක් කියලයි විකුණන්නේ. අපි අපේ ඔත්තුකරුවන් ලවා ඒකෙ සත්‍යය තවදුරටත් හෙව්වා. ඒ හරහා තවත් බොහෝ දේ හෙළිවුණා. මේවා හරහා වෙන ම සංස්කෘතියක් නිර්මාණය වෙනවා.

මේ අය මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා වගේ තැන්වල හමුවෙලා හරියට සමාජ ජාල හරහා බීච් පාටිවලට සෙට් වෙනවා වගේ (ඊයෙ පෙරේදා පුවක්පිටියෙ තිබුණෙ) ලොකු හෝටල්වල කාමර ඕඩර කරලා දවස් 3 කට ඒ කාමරවලට යනවා. යන්නෙ හතරදෙනා පස්දෙනා බැගින්. මෂ්රූම් එක ගත්තා ම මේ අයට නටන්න අවශ්‍ය වන නිසා සෙටප් හා වෙනත් සංගීත උපකරණ වගේ දේ අරගෙනයි යන්නෙ. එහෙම ගිහින් මැජික් මෂ්රූම් ගන්නවා. ඒක කෑවා ම කට්ටියම එකම හැඟීමක ඉන්නේ. කෙනෙකුට සින්දු කියන්ඩ අවශ්‍ය වුණාම හැමෝම සින්දු කියනවා. සෙටප් එක සද්දෙට දාගන්නවා. ඊට පස්සෙ කෙනෙකුට හිතුණොත් නිරුවත්ව සටන්න ඊළඟට කට්ටියම නටන්නෙ නිරුවතින්. ඊළඟට කෙනෙක් ලිංගික ක්‍රියාවකට කතා කළොත් සියලු ම දෙනා ඒ වැඩේ තමයි කරන්නේ. මේ අය ඔක්කො ම වෙනම ලෝකෙක ජීවත් වෙනවා ඒ දවස් දෙක හෝ තුන. ගෙවල්වලින් එන්නෙ යාළුවො සමඟ ට්‍රිප් යනවා. අපේ ෆෝන් වැඩ කරන්නේ නෑ. ඒ කන්දේ සිග්නල් නෑ වගේ දේවල් කියලා අම්මලා තාත්තලා රවට්ටලා. මේ අය ධනවත් පවුල්වල දරුවන්. වයස 18, 20, 21 වගෙ තරුණ තරුණියො.”

මේ තම කණ්ඩායමේ ආවේක්ෂණ නිලධාරින් ලවා හා ඔත්තුකරුවන් හරහා සොයා ගන්නා ලද එවැනි තොරතුරුවලින් බිඳක් පමණි.

ඔබේ දරුවාත් ‍මේ මැජික් මෂ්රූම් වලින් මතු නොව Ash නම් ගංජා මලින් පෙරා ගත් තෙල් බින්දුවෙන් බේරා ගැනීමට සැලකිලිමත් වන්නැයි ඒ මහතා දැඩි ඉල්ලීමක් කළේය. එදා රාත්‍රියේ අර සමනළියගේ සැමියා පැමිණි විට ඔහු සෝදිසි කිරීමේදි පොලිසියට හමුවූයේ Ash නම් ගංජා මලින් පෙරන ලද තෙල් බින්දු සහිත බෝතල් කිහිපයකි. ඒ තෙල් බින්දු බීමෙන් ඔබේ දරුවාට ශක්තිය ලැබේයැයි ජාවාරම්කරුවෝ ගෙන යන මිථ්‍යාව ගැන සොයා බැලිය යුතුය. තවමත් මේ සිද්ධියට වැඩි කලක් ගතවී නැත. එම වැටලීම සිදුවූයේ 2016 පෙබරවාරි 18 වැනිදාය. උසාවිය හමුවේ නඩු වැටී තිබුණත් මැජික් මෂ්රූම් ඔබේ ගමේ ද තිබෙන්නට පුළුවන.

More News »