නගරය අත්හැර ගමේ සුවය සෙවූ කොළඹ ඇත්තා

2017-08-25 10:54:00       585
feature-top
* පණිභාරත මහත්තයා ගමට ගෙන්වලා ගමේ දරුවන්ට නැටුම් ඉගැන්නුවා
* මහාචාර්ය සරච්චන්ද්‍රගේ පබාවතී නාට්‍යයේ පසුතල හැදුවෙත් කෙනමන් මහත්තයායි

ලාංකික වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛ නායකයෙකු ලෙස සැලකෙන පීටර් කෙනමන් අද ද ජන සම්භාවනාවට පාත්‍රවන අයෙකි. කොල්වින් ආර් ද සිල්වා, එන්.එම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයින්ගේ නම් සමඟ කෙනමන් නම ද කියැවිනි. ඒ පීටර් කෙනමන් ය. මේ හර්බට් කෙනමන් ය. පිටිසර සොබා සෞන්දර්යට මහත් සේ පෙම්බැදි ලේකඛයෙකු ලෙස ප්‍රකටව සිට ඇති හර්බට් කෙනමන් මහතා පීටර් කෙනමන් මහතාගේ සහෝදරයෙකි. තවත් විදිහකින් පැවසුවහොත් පීටර් කෙනමන් මහතාගේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා හර්බට් කෙනමන් මහතා ය.

හර්බට් කෙනමන් මහතා මෙතරම්ම කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇත්තේ අගනුවර සිට මේ හද්දා පිටිසරට පැමිණ, තමන්ගේ යැයි කිවහැකි කිසිවෙකුත් නැති ගම්මැද්දකට වී, ගැමියන් හා කුළුපගව හිද ජීවිතයේ සැදෑ සමය ගතකොට මෙහිම මිහිදන්ව ගිය අයෙකු වන හෙයිනි.

උපතින් බර්ග ජාතිකයෙකු වු හර්බට් කෙනමන් මහතා සිංහල කුල කතක වු මාතලේ ඩොරින් ඒකනායක හා විවාහ වී ඇත්තේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් දරු සුරතල් බැලීමේ වාසනාවක් ඔවුනට තිබී නැත. දෙදෙනාම ගුරුවරුය. මේ යුවළ සොබා සෞන්දර්යෙන් අනුන තැන්හි ගැවසීමට දක්වා ඇත්තේ මහත් වු රුචියකි. එහෙයින්ම ඉඩ ලද හැම වරකදීම ඔවුහු ඈත පිටිසර ගම්මැදි සොයා ඇවිද ගියෝය. ගහ කොළට සතා සිවුපාවුනට පෙම්බැන්දෝය. ගල්ගමුව, ඇහැටුවැවේ අයි.එම්.ආර්. පිංහාමි මහතා හඳුනාගෙන ඇත්තේ ඒ ආ ගමනක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ හමුවීම ජීවිතයේ ඉරණම වෙනස් කරන්නක් වේ යැයි ඔවුන් කවරෙකු හෝ නොසිතන්නට ඇත. එහෙත් හදිසියේ සිදුවු ඩොරින් ඒකනායක මහත්මියගේ වියෝවත් සමග හුදකලා වු කෙනමන් මහතා පිංහාමි මහතා සොයා පැමිණෙනුයේ දෛවය එලෙසම ලියැවී තිබු බැවිනි.

ගම් මායිම වටකොට බැඳි විසල්, විචිත්‍රවත් ගල්කිරියා කඳු සිරස මත හිරුගේ දීප්තිය තීව්‍ර පෙනේ. ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේ සැතපුම් පහළොවක් පමණ ගියතැන හමුවන ඇහැටුවැව ගම්මානයේ මම හිඳිමි. සාම්ප්‍රදායික ගැමි ජීවන රටාවේ නෂ්ඨාවශේෂ තවමත් මේ ගම්මැද්දේ ඇති බවට නම් අනුමානයක් නැත. ගල්ගමුව, ඇහැටුවැව ගම් මැද්දේ අයි.එම්. පුංචි බණ්ඩා මහතා මා ඉදිරියේය. ඔහු මා හා සිහිපත් කරන්නේ මින් දශක පහකට ආසන්න කාලයකට පෙර වූ මතක ගොන්නකි.

අයි.එම්. පුංචි බණ්ඩා මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි. සතුට, සංවේගය මෙන්ම රසවත් බවින් පිරුණු කතාවක් මට ඔහුගෙන් අසා දැනගන්නට තිබේ.

“1972 අවුරුද්දේ මැයි මාසේ 22 වැනිදා තමයි මෙතැන ගේ හදන්න මුල්ගල තිබ්බේ. ඔය දවසෙම තමයි මැතිනිගේ ආණ්ඩුවෙන් ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙරුවේ. ඒ හින්දම ජනරජ නැකතින් ගේ හදන්න පටන් ගත්තා කියලා තමයි හර්බට් මහත්තයා කිව්වේ. ගෙයි සම්පුර්ණ සැලැස්ම එයාගේ. මේ ගම්වල හිටපු මේසන් බාස්ල, වඩු බාස්ල එකතු කරගෙන තමයි ගේ හැදුවේ.” පුංචි බණ්ඩා මහතා කතාව ඇරැඹුවේය.

පිංහාමි මහතා තම වැඩිමල් පුත්‍රයා වු අයි.එම්. ඩිංගිරි බණ්ඩා ට ලියා දී තිබු කුඹුරු ඉඩමක් මිලට ගෙන ඇති හර්බට් කෙනමන් මහතා එහි භුමිය ගොඩකොට දෙමහල් නිවසක් ඉදිකොට ඇත්තේ ජීවිතයේ සැදෑ සමය එහි ගතකරනු රිසියෙනි. විචිත්‍රවත් ඇහැටුවැව් තාවල්ලට මායිම්ව ඇති නිවෙස පරිසර හිතකාමියෙකුගේ මනෝභාවයට කදිමට දෙස් දෙන්නකි.

මේ ගම්මැද්දේ ගෙවීගිය හුදකලා ජීවිතයේ සිනහ කදුළු බෙදා හදා ගන්නට හර්බට් මහතාට මහත් ළෙංගතුව, සමීපව හිඳ ඇත්තේ ඩිංගිරි බණ්ඩා තරුණයා සහ ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනාය. ඒ අයි.එම්. පුංචිබණ්ඩා සහ හේරත් ගල්කඩවල ය. වසර දහයකට පමණ මත්තෙන් ඩිංගිරි බණ්ඩා මහතා ද ජීවිත ගමනට සමුදී ඇතත්, පුංචි බණ්ඩා මහතාට සහ හේරත් මහතාට අතීතය පිළිබඳ ඇත්තේ තවමත් යන්තමින් හෝ බොඳ නොවු මතකයකි.

“මෙහේ කඩවලින් කන බොන දේවල් කිසිම දෙයක් ගත්තේ නෑ. මාසෙකට සැරයක් කොළඹ ගිහිල්ලා කාගිල්ස් එකෙන් තමයි බඩු ගෙනාවේ. මාත් එක්ක සී.ටී.බී බස් එකෙන් ගල්ගමුවට ගිහිල්ලා එතැන ඉඳන් කෝච්චියෙන් තමයි කොළඹ ගියේ. එතකොට මහත්තයාගේ අම්මා හැව්ලොක් ටවුන්වල කුලී ගේක තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. බඩු අරගෙන දවසක් දෙකක් එහේ නවතිනවා. එහේ ඉඳන් ටෙලිග්‍රෑම් එකක් අපිට එවනවා අහවල් දවසේ, අහවල් වෙලාවට කෝච්චියෙන් එනවා ගල්ගමුවට ඇවිත් ඉන්න කියලා. ඉතිං අයිය හරි මං හරි යනවා. ඒ කාලේ ටෙලිපෝන් නෑනේ. ඉවුම් පිහුම් ඔක්කොම කරගත්තෙත් හර්බට් මහත්තයාමයි. එතුමා හොඳ සුපවේදියෙක්.”

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් 1952 වර්ෂයේ දී පබාවතී නාට්‍ය නිර්මාණය කිරීමේ දී එහි පසුතල නිර්මාණය කිරීමේ මෙන්ම නළු නිළියන් පුහුණු කිරීමේ කාර්යන්ට දායක වී ඇත්තේ හර්බට් කෙනමන් මහතාය. මේ ගැමියන් පවසන අන්දමට සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන්ම නර්තනවේදී පණීභාරත වැනි මහත්වරුන් ඔහුගේ ඉතා සමීප මිත්‍රයන් වී හිඳ ඇත.

හේරත් ගල්කඩවල මහතාට ගෙවුණු අතීතය අද ඊයේ මෙන්ය. ඔහු මෙසේ කීය.

“ලෙස්ටර් මහත්තයාගේ දෑස නිසා චිත්‍රපටය හැදුවේ අපේ ගමේ. හර්බට් මහත්තයාගේ ගෙදර තමයි කට්ටිය නැවතිලා හිටියේ. මේ ගෙට පිටිපස්සේ තියෙන වැවේ තමයි ගොඩක් දේවල් කැමරා කෙරුවේ. පණිභාරත මහත්තයා ගෙන්වලා මේ ගම්වල ළමයින්ට නැටුම් පුරුදු කෙරුවා. කොළඹ විතරක් නෙමෙයි ඈත ගම්වලත් දක්ෂ ළමයි ඉන්නවා කියලා පෙන්වන්න හර්බට් මහත්තයාට ලොකු ඕනෑකමක් තිබුණා.”

පිටිසර ගම්මැදිවල ඇවිදිමින් ගැමි දිවියේ රස මුසු තැන් මෙන්ම දුක්ඛ දෝමනස්ස අකුරු කොට ඉංග්‍රීසි සඟරා ආදියට යොමු කිරීමේ කාර්යයේ හර්බට් මහතා නිතර නියැළුණු බව මේ ගැමියෝ පවසති. සරල, සැහැල්ලු, නිස්කලංක දිවියකට ඔහු තුළ වූයේ නොතිත් කැමැත්තකි. එයට නිදසුන් කොතෙකුත් මේ ගැමියන් සතුව ඇත.

“මේ පළාතටම ශීතකරණයක් තිබුණේ හර්බට් මහත්තයාට විතරයි. මේ ඈත ගම්මැදිවලට කරන්ට් එක තිබුණේ නෑ. ශිතකරණය වැඩ කෙරුවේ ලාම්පු තෙල්වලින්. ඒ කාලේ මැතිනියගේ ආණ්ඩුවෙන් එක් අයකුට ගන්න පුළුවන් ලාම්පු තෙල් ප්‍රමාණය සීමා කරලා තිබුණේ. දවසකට සමුපකාරවලින් එක මනුස්සයෙකුට දුන්නේ ලාම්පු තෙල් කාලයි. දවසකට ලාම්පු තෙල් බෝතල් දෙකක් විතර ඕන ශිතකරෙන් වැඩ කරන්න. මං මගේ යාළුවන්ට කියලා කොහොම හරි ලාම්පුතෙල් හොයලා දෙනවා.”

ඒ හඬ නොසිඳෙන උද්යෝගයෙන් පිරී ඇත. වරෙක සිනහවෙන් පිරී යන ඔහුගේ මුහුණ වරෙක හැඟීම්බර වෙයි. හර්බට් කෙනමන්

මහතාගේ අන්තිම කැමැත්තට අනුව අද ඔහු ඉදිකළ නිවෙසේ ජීවත් වනුයේ ඩිංගිරි බණ්ඩා මහතාගේ වැඩිමහල් දියණිය අයි.එම්. රන්දිමාය. මේ නිවස තුළ හර්බට් මහතා පරිහරණය කළ මේස, පුටු, ඇඳන් ආදිය තවමත් පවතී. ඒ සියල්ල යෙහෙන් රැකගන්නට රන්දිමා මහත් වෙහෙසක් ගන්නීය.

“රෑට පෙට්ට්‍රෝල් මැක්ස් පත්තු කරනවා. තව ලන්තෑරුම් පත්තු කරලා එල්ලනවා. කෙනමල් මහත්තයා සමහර දවස්වලට පාන්දර එක දෙක වෙනකන් පොත් කියවනවා. ගෙදර ලොකු පුස්තකාලයක් තිබුණා. කොච්චරද පොත් කියෙව්වාද කියනවා නම් මහත්තයා පාවිච්චි කරපු වැසිකිළියේත් පොඩි පුස්තකාලයක් තිබුණා. පුදුම කැමැත්තක් තිබුණේ පොත් කියවන්න. නත්තල් දවස්වලට කොළඹ ගිහිල්ලා නත්තල් ගස් ගෙනැල්ලා ගමේ ළමයි එක්ක හරියට සතුටු වුණා. ක්‍රිස්තියානි වුණාට ගමේ සංඝබෝධි පන්සලේ සුමංගල ලොකු හාමුදුරුවොත් එක්ක පුදුම බැඳීමකින් හිටියේ.”

හර්බට් මහත්තයා බෙහෙත් ගත්තේ සේනක බිබිලේ දොස්තර මහත්තයාගෙන්. සිගරට් බොන්න එපා කිව්වට ඇහුවේ නෑ. අපිට තේරුම් ගන්න අමාරු මොකක්දෝ දුකක් එයාගේ හිත ඇතුළේ හැංගිලා තිබුණා. එයාට මැරෙන්න ඕනැ වුණේ මේ ගමේ අපිත් එක්කමයි. මිනිය කොහේවත් ගෙනියන් නැතිව මෙහෙම ආදාහනය කරන්න කියලා තිබුණේ. මං හිතන්නේ මොකක් හරි සංසාරගත බැඳීමක් හින්දා අපිව හොයාගෙන ඇවිල්ලා ජීවිතේ අවසාන කාලේ මෙහේ ගත කරන්න ඇති.

මට මතකයි මැරෙන්න දවස් දෙකකට විතර කලින් මට කතා කරලා කිව්වා බයවෙන්න එපා මං අවුරුදු දවස්වල මැරෙන්නේ නෑ ඔයාලා හොඳට අවුරුදු කන්න කියලා. ඇත්තටම අවුරුදු නැකත් තිබුනේ 13, 14 දවස් දෙකේ. අනේ පහළොස්වැනිදා මහත්තයා නැතිවුණා. හර්බට් මහත්තයාට තිබුණු එකම නරක පුරුද්ද තමයි සිගරට් බොන එක. ඒ හින්දම හැදුණු හෘදයාබාධයකින් තමයි නැතිවුණේ. මැරෙනකොට අවුරුදු හැට අටක් විතර ඇති.”

අයි.එම්. පුංචිබණ්ඩා මහතා එසේ කීය. ඔහුගේ දෙනෙතේ යන්තමින් මතුව පෙනෙන කදුළක අයුරුව මම දුටුවෙමි.

ඔහු සමාදානයේ සැතපෙන සොහොන අභිමුව මම මොහොතකට නැවතුණෙමි. ඒ මත වර්ෂ 1977 අප්‍රේල් මස 15 වැනි දින හර්බට් කෙනමන් නම් මානව දයාවෙන් පිරි මිනිසාගේ නික්ම යෑම පිළිබද සංවේගදායක පුවත සටහන්ව තිබුණේය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »