'නීල හරිත යුගයක්' අපිට හරි වැදගත්

2016-01-18 10:03:00       832
feature-top
වර්තමාන ලෝකයේ උණුසුම වැඩිවේගෙන යන අයුරින් වසර 2100 වන විට ලොව උණුසුම 1900 වසරේ පැවැති තත්ත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2කට වඩා වැඩි වුවහොත් අපේ ර‍ටේ ද යාපනය අර්ධද්වීපය නැ‍ඟෙනහිර මුහුදුබඩ පළාත් හා රට වටා ඇති වෙරළ ආශ්‍රිත සංචාරක ගිමන්හල් ඇතුළු මුහුදුබඩ ස්ථාන රැසකට මුහුද ගොඩ ගලනු ඇතැයි ලෝ පතළ භූ භෞතික, පාරිසරික හා කාලගුණික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

ඒ පමණක් නොව මේ සමඟ අපට විවිධ ස්වාභාවික ආපදා, රෝග බිය හා අස්වැන්න අඩුවීම් ආදියට ද මුහුණ දීමට සිදුවනු ඇතැයි පරිසර අමාත්‍යාංශයේ උපදේශක හා විද්වත් පරිසර වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල මහතා ද පවසයි.

මේ අනුව අපේ රටට පමණක් නොව මුළු ලොවටම විවිධ විපත් කැඳවන මේ ලොව උණුසුම් වීම වැළැක්වීමට අපේ රට ද යම්කිසි තීන්දු තීරණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ජගත් ප්‍රඥප්ති කීපයකට ද අපේ රට අස්සන් තබා තිබේ. ඒ අනුව නීල සහ හරිත පාට එක්වූ වත්මන් යහපාලන රජය නීලත් හරිතත් සුරැකීම පිණිස පරිසර හිතැති නව පරිසර සංරක්ෂණ ආර්ථික පිළිවෙතක් රටට ඉදිරිපත් කළේය.

ඒ වනාහි මෙරට ප්‍රථම වරට ජනාධිපතිවරයකු තම මෙහෙයවීම මත ක්‍රියාත්මක කළ අලුත්ම පරිසර සංකල්පය වන නීල හරිත යුගයක් නව වැඩ සටහනයි.

මේ වැඩ සටහනේ සමාරම්භක උලෙළ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසන පරිදි මේ වැඩසටහන වනාහි පරිසර සංරක්ෂණයට මුල් තැන දෙමින් තිරසාර ලෙස මල නොතළා රේණු ගන්නා අයුරින් රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන රට දියුණු කරන පරිසර හිතකාමි රටම වෙලාගත් නව වැඩපිළිවෙළකි.

මෛත්‍රී පාලනයක් ආරම්භ කර වසරක් ගතවී උත්සව පවත්වන මේ වකවානුවේදීම මේ නීල හරිත යුගය සමාරම්භ කිරීම ද විශේෂත්වයකි. ජනාධිපතිතුමා එහිදී පැවසු පරිදි මෙම වැඩ සටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සොබාදහම සුරකිමින් රට සංවර්ධනය කිරීමයි.

සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝකයේ සියලු රාජ්‍යවල සියලු ක්ෂේත්‍රවල විද්වතුන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ තිරසර සංවර්ධනය සඳහාය. පරිසර සංරක්ෂණ සහ හරිත ආකල්ප සමඟම ප්‍රධාන වශයෙන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප මෙහිදී අවධානය යොමුකළ යුතුයි. පෘථිවියේ ජීවත්වන මිනිසා ප්‍රමුඛ සියලු ජීවින් වෘක්ෂලතා හා සොබාදහමේ ආරක්ෂාව ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය පිළිබඳ කැපවී කටයුතු කිරීම අප කාගේත් යුතුකමයි. ඒ සඳහා සාමූහික වගකීම් එකතු කිරීම ඔබ සියලු දෙනා සතුව තිබෙන කටයුත්තක්. එය රටක තිරසර සංවර්ධනය රටේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, පාසල් දරුවන් පරිසර සංවිධාන ඇතුළු සාමාන්‍ය පුරවැසියන් වෙන් වෙන්ව කළ හැකි දෙයක් නොවෙයි. සියල්ලම ජයගත හැක්කේ සාමූහිකත්වය ඇතුව යුතුකම් මනා ලෙස වටහා ගැනීම මඟින් බව ද ඒ සමාරම්භක උලෙළේදී ජනාධිපතිතුමා පැවැසීය. එම පාරිසරික හිතවාදී අදහස මෙරට අන් රාජ්‍ය නායකයකු පරිසර සංරක්ෂණයට මුල් තැන දෙමින් මෑතකදී පැවසූ අදහසක් නම් නොවේ. පාරිසර හිතවාදීව පාරිසරික සංරක්ෂණයට අනුගත වෙමින් රට තිරසර ලෙස සංවර්ධනය කිරීමේ පරම අරමුණ ඇතිව කළ ප්‍රකාශයකි.

ඒ අනුව අපේ රටේ රාජ්‍ය අංශය පෞද්ගලික අංශය පාසල් සිසු දරුවාගේ සිට සෑම තරාතිරමකම අය මේ සඳහා උදවු ලබාදිය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

ඊට අමතරව එතුමා පරිසරවේදීන්ගේ සතුටට හේතු වන තවත් සුවිශේෂ කරුණක් ද ප්‍රකාශ කළේය. ඒ දැනට අප රටේ සියයට 29ක් ලෙස පවතින වන ආවරණය ඉදිරි වසර තුන හතර ඇතුළත සියයට 32 දක්වා වැඩි කරන බවයි. එතුමා මේ සියලු වැඩ කටයුතු සඳහා රටේ පරිසර හිතවාදී සියලු දෙනාගේ ද උදවු ද ඉල්ලා සිටියේය.

විද්වතුන් පවසන පරිදි කාර්මිකකරණයත් සමඟ වායුගෝලයේ පැවැති හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීමෙන් එම වායුවල සමතුලිත මට්ටම ඉක්මවීමට පටන්ගැනීම නිසා දේශගුණ විපර්යාස ඇතිවී තිබේ. මේ අනුව මිනිසාගේ ඍජු හෝ වක්‍ර බලපෑම් හා ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතුණ වායු සංයුතියේ වෙනස් වීමත් සමග දේශගුණයේ වෙනස්වීම් ඇතිවීම, දේශගුණ විපර්යාස ලෙස සරල ලෙස දැක්විය හැකි බවයි. මෙම වෙනස්වීම් කරන වායු අතර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයි‍ෙඩ්‍රාෆ්ලෝරෝ කාබන්, මීතෙන් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව පැරැණි ශීතකරණ වායුසමීකරණ ආදියේ තිබු ක්ලෝරෝෆ්ලෝරො කාබන් ද ඕසෝන් ද ලොව උණුසුම් කරන වායු අතර ප්‍රමුඛත්වයක් ගනී.

මේ අනුව ඉදිරියේදී අපේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන ලෙසම හේතු වන්නේ පොළොව උණුසුම් වීමයි.

සූර්යයාගෙන් පිටවන ආලෝක කිරණ බාධාවකින් තොරව කෙටි තාප තරංග ලෙස වායුගෝලය හරහා ගොස් පෘථිවි පෘෂ්ඨය මත පතිත වෙයි. මෙමඟින් පෘථිවි පෘෂ්ඨය හා ඒ අවට වායුගෝලය ද රත් වෙයි. පසුව මේ පෘථිවි පෘෂ්ඨය මඟින් උරාගත් තාපය අධෝරක්ත කිරණ ලෙස (දිගු තාප තරංග ලෙස) වායුගෝලයට මුදා හරිනු ලැබේ. මෙලෙස පෘථිවි පෘෂ්ඨයෙන් මිදී වායුගෝලයට ඇතුළු වන අධෝරක්ත කිරණ වායුගෝලයේ ඇති හරිතාගාර වායු අණු මඟින් රඳවා ගැනේ. පසුව මේ රඳවා ගන්නා තාප ශක්තිය නැවතත් පෘථිවි පෘෂ්ඨය දෙසට මුදා හරිනු ලැබේ. එවිට සිදුවන්නේ පහළ වායුගෝලයේ තාප තරංග රැස්වී පෘථිවි පෘෂ්ඨය හා අවට වායු ගෝලයේ තාපය ඉහළ යෑමයි. වර්තමානයේදී සිදුවී ඇත්තේ මිනිසා විසින් සිදුකර ඇති විවිධ කටයුතු නිසා ඉහත අප දැක්වූ හරිතාගාර වායුන් වැඩිපුර නිපදවීමෙන් ඒවා මේ සංසිද්ධියට බලපෑම් එල්ල කිරීමයි. ඒ අනුව පෘථිවියෙන් පිටවන ඉහත අධෝරක්ත කිරණවලට වැඩි ප්‍රමාණයක් ඉහත වායු මඟින් ආපසු පෘථිවිය දෙසටම හරවා ඒම සිදු කරයි. එය එවිට පෘථිවියේ පහළ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීම සිදු වේ. මේ තත්ත්වය අපි ගෝලීය උණුසුම් වීම ලෙස හඳුන්වනු ලැබේ.

මේ අනුව ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා ප්‍රමුඛ ලෙසම පෘථිවිය මතුපිට උෂ්ණත්වය ඉහළ යෑම සිදුවන බව ලොව ප්‍රකට විද්‍යාඥයන්ගේ අදහසයි.

ග්ලැසියර් දියවීම හා මුහුදු මට්ටම ඉහළ යෑම, වර්ෂාපතන රටාව වෙනස්වීම, වියළි කලාපවල වියළි බව තවදුරටත් ඉහළ යෑම, වැසි ඇතිවීමේ ශීඝ්‍රතාව වැඩිවීම හා ගංවතුර තත්ත්වයන් ඇතිවීම, සුළං පද්ධති හා සාගර දියවැල් කෙරෙහි බලපෑම් ඇතිවීම ආදිය සිදු විය හැකි බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ඩබ්ලිව්. ඒ. සුමතිපාල මහතා පවසයි.

මීට අමතරව දේශගුණ විපර්යාස නිසා මුහුද ගොඩගැලීම, ගංවතුර නියඟය පාංශු ඛාදනය, මුහුදු ඛාදනය, නායයෑම් ද බහුල විය හැකි බව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ ප්‍රකාශ කරයි.

ආචාර්ය සුමතිපාල පෙන්වා දෙන පරිදි දේශගුණ විපර්යාස මඟින් කෘෂිකර්මයට, මානව සෞඛ්‍යයට, ජෛව විවිධත්වයට, ජල සම්පතට, සාගර හා වෙරළ කලාපවලට, මානව ජනාවාස හා යටිතල පහසුකම් කෙරෙහි මේ දේශගුණ විපර්යාස ඉමහත් අහිතකර බලපෑම් එල්ල කරනු ලැබේ.

ඒ අනුව බලන විට දේශගුණ විපර්යාස නිසා රටට ඇතිවන බලපෑම හා අවම කර ගැනීමනම් නිතරම පරිසර හිතකාමී කර්මාන්ත හා පරිසර හිතකාමී සංවර්ධන කටයුතු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම හැමටම සෙතකි.

ඒ සඳහා උපදෙස් ලබාදීමට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය දැන් දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ද පිහිටුවා ඇත.

මේ සියලු කරුණු කාරණා අනුව ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණු මේ නීල හරිත යුගයක් කරා වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සියලුම දේශපාලනඥයන්, නිලධාරීන්, රාජ්‍ය ආයතන හා පාරිසරික සංවිධාන සමඟ සියලු පරිසර හිතකාමී ජනතාව අතහිත දිය යුතුය. එය අපේ රටේ සියලු දෙනාට මෙන්ම විශේෂයෙන් අපේ දූ දරු පරපුරට පරිසර හිතකාමී, ලෙඩ දුක නැතිව ජීවත්වීමට හැකි රටක් ලබාදීමේ හොඳ ආරම්භයක් වනු ඇතැයි අපි සිතමු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »