ජර්මන් නායිකාවගේ පෙම් පලහිලව්ව

2016-01-15 09:44:00       829
feature-top
මෙම තීරයෙන් මේ දක්වා ඉදිරිපත් කළේ ලොව විවිධ රටවල රාජ්‍ය නායකයන් ගැනය. ඔවුන්ගේ ජීවිතවල ඇතුළු පැත්ත ගැනයි. යෞවන සමයෙහි ඔවුන් පැවැත්වූ ආදර සබඳතා ගැනය. අද ලියන්නේ එවන් රාජ්‍ය නායකයෙකු ගැන නොව රාජ්‍ය නායිකාවක් ගැනය. මෙහි තවත් විශේෂත්වයක් ඇත. එනම් ඇය දැනටත් රටක් පාලනය කරන බලවත් කාන්තාවක වන නිසාය.

ඇයගේ නම ලෝක ජනමාධ්‍යයන්හි වඩාත් ඉහළින් සටහන් වූයේ පසුගිය නත්තල් සමයේදීය. නැතහොත් 2015 වසරේ දෙසැම්බර් අවසාන භාගයේදීය. ඊට මූලික හේතුව ඇය ලෝක ප‍්‍රකට ටයිම් (Time) සඟරාව මඟින් වසරේ ශ්‍රේෂ්ඨතම චරිතය (Person of the year) වශයෙන් නම් කිරීම හේතුකොට ගෙනය.

ජර්මනියේ මුල් පුටුවට පත් එකම කාන්තාව

යුරෝපයේ ශ්‍රේෂ්ඨතම රාජධානියක් වූ ජර්මනියේ මුල් පුටුවට පත්වූ ප‍්‍රථම කාන්තාව ඇයයි. දැන් තිබෙන්නේ එදා හිට්ලර් රජකළ ජර්මනිය නොවේ. මේ කියන ජර්මනිය අද පාලනය කරන්නේ කාන්තාවකි. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනි මාග‍්‍රට් තැචර් මෙන්ම ඇයද යකඩ කාන්තාවකි. ඇය 61 හැවිරිදි ඈන්ජලා මර්කල්ය (Angela Merkel) අද අපේ කතා නායිකාව ඇයයි.

ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් වාහන නිපදවීමේ කම්හලක් ඉදිකිරීමට අනුමැතිය දී ඇත්තේද මේ කියන ඈන්ජලාය. ඈන්ජලාගේ නම 2015 වසර ගෙවී යනවාත් සමඟ ලෝකයාගේ කතාබහට ලක්වූයේ ටයිම් සඟරාව මගින් ඇය වසරේ පුද්ගලිකාව වශයෙන් නම් කිරීමත් සමඟය. ජර්මනිය හැරෙන විට ලොව අනිකුත් රටවල පාලකයන් හඳුන්වන්නේ ජනාධිපති හෝ අගමැති හෝ වශයෙනි. එහෙත් ජර්මනියේ පමණක් එරට පාලකයා හඳුන්වන්නේ චාන්සලර් (Chancellor) යනුවෙනි. ශ්‍රී ලංකාවේ නම් චාන්සලර් යන නාමය භාවිත කරන්නේ විශ්වවිද්‍යාල කුලපතිවරුන් හැඳින්වීමටය.

2005 වසරේ නොවැම්බර් 22දා සිට වසර 10ක් තිස්සේ ජර්මනියේ චාන්සලර් පදවිය හොබවන ඈන්ජලා මර්කල් 2007දී යුරෝපා සංගමයේ සහ ජී8 සමුළුවේ සභාපතිත්වයට පත්වීමද විශේෂත්වයකි. ඇය දිරිය කාන්තාවකි. වංචාව, දූෂණය, අල්ලස, මැර බලය, දේශපාලන ප‍්‍රචණ්ඩත්වය දුරස් කළ, පවුල් වාදය තුරන් කළ රාජ්‍ය නායිකාවකි.

ලොව බලසම්පන්නම කාන්තාව

ලෝක ප‍්‍රකට ෆෝර්බ්ස් (Forbes) සඟරාව මඟින් 9 වැනි වරටත් ඇය ලොව බලසම්පන්නම කාන්තාව (Most powerful woman in the world) වශයෙන් නම් කිරීම, ඇයගේ ශ්‍රේෂ්ඨ චරිතයට සිදු කළ උපහාරයකි. ඈන්ජලාගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැන සොයා බැලීමට පෙර ඉකුත්දා ජර්මනියේදී සිදුවූ එක්තරා අපූරු සිද්ධියක් පිළිබඳව සඳහන් කිරීම වටී.

ඈන්ජලා සහභාගිවූ උත්සවයක පසුපෙළ ආසනයක ඇයගේ පුරුෂයා වූ ජෝචිම් (Joachim) වාඩිවී සිටියේය. මාධ්‍යවේදීන් පිරිසක් මර්කල් මහතාණෙනි (Mr. Merkel) යනුවෙන් ඔහුගෙන් විවිධ ප‍්‍රශ්න විමසන්නට පටන් ගත්හ. මෙය දුටු ජර්මනියේ රාජ්‍ය නායිකාව වූ ඈන්ජලා මර්කල් මාධ්‍යවේදීන් අමතා පැවසුවේ තම ස්වාමිපුරුෂයාට, මර්කල් මහතාණෙනි කියා අමතන්නට එපා (Don't call him Mr. Merkel) යනුවෙනි. මෙය මාධ්‍යවේදීන්ට ඉමහත් ගැටලූවක් විය. තම ස්වාමිපුරුෂයා ඇමතීමට මර්කල් යන නම භාවිත නොකරන ලෙස ඈන්ජලා මාධ්‍යවේදීන්ට පැවසුවේ ඇයි?

ඒක නම් දිග කතාවකි. ආදරයේ මිහිරියාව හා විරහ වේදනාව එකට කැටිවූ අමුතුම කතාවකි. අනිකුත් පාලකයන්ගේ පෞද්ගලික ජීවිතවලට වඩා හාත්පසින්ම වෙනස්වූ සිදුවීම් රැුසක පෙළ ගැස්මකි.

ඈන්ජලා ඩොරති කැස්නර් නැමති කාන්තාව ඈන්ජලා මර්කල් බවට පත්වුණේ කෙසේද? ඇයගේ වත්මන් ස්වාමිපුරුෂයාගේ නමට මර්කල් කෑල්ලක් ඇතුළු වී නැත්තේ මන්ද? මේ සියල්ලට පිළිතුරු ලැබෙන්නේ ඈන්ජලාගේ ජීවිතයේ වගතුග හාරා අවුස්සා බැලීමෙනි. ඇයගේ ජීවිතයට එබී බැලීමෙනි. ඇයගේ ජීවිතය නැමති පොතේ පිටු අතර මේ සියල්ල අපූරුවට සටහන් වී තිබේ.

ඈන්ජලාගේ ප‍්‍රථම ආදරය

1954 ජුලි 17 දා හැම්බර්හිදී උපත ලැබූ ඈන්ජලා ඩොරති කැස්නර් 1978 දී භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ 1978 සිට 1990 දක්වා ජර්මනියේ විශ්වවිද්‍යාල කීපයකම මහාචාර්ය පදවිය හෙබවූ උගත් බුද්ධිමත් කාන්තාවකි. ඇය කුඩා කාලයේ ඇයව හඳුන්වන ලද්දේ කාසි (Kasi) යන සුරතල් නාමයෙනි. ඇයගේ නමේ කොටසක්වූ කැස්නර් යන වචනය කෙටිකර කාසි යන්න මෙසේ භාවිත කර ඇත. එදා කාසි යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලැබූවේ ජර්මනියේ වත්මන් පාලිකාව වන ඈන්ජලා කාසි හෙවත් සල්ලි පස්සේ හඹා නොගිය කාසි යටි මඩි ගැනීමට උත්සාහ නොදරන රාජ්‍ය නායිකාවක වශයෙන් ප‍්‍රචලිත ඇයය. කාසි නැතහොත් සල්ලි මඩිස්සල ගැසීම ඇගේ ප‍්‍රතිපත්තිය නොවේ.

ඈන්ජලා ජර්මනියේ ලීප්සිග් (Leipzig) විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ 1973 දීය. එවිට ඇය යාන්තම් 19 වැනි වියට පා තැබුවා පමණකි. ඈන්ජලා ඩොරති කැස්නර් තරුණ ශිෂ්‍යාවට උල්රිච් මාර්කල් නැමති තරුණ ශිෂ්‍යයා මුණ ගැසෙන්නේ මේ ලිප්සිග් සරසවි භූමියේදීය. දෙදෙනාම හැදෑරුවේ විද්‍යා විෂයයන්ය. ඈන්ජලා භෞතික විද්‍යාව හදාරද්දී උල්රිච් රසායන විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යයෙකි.

ඈන්ජලාගේ මුල් විවාහය

ගැටවර වියේ පසුවූ මේ තරුණ යුවළ එදා සොබාදහමට නතුවූවා යයි කිවහොත් මෙහිදී නිවැරදිය. දෙහදක ආදරය ලියලා දළු ලා වැඩෙන්නට පටන් ගන්නේ යොවුන් වියේදීය. එදා මල්සරා මේ දෙදෙනාගේ හදවත් එකට යා කළාද? සරසවිය වටේ තිබූ සුදෝ සුදු හිමෙන් පිරුණු කඳු ශිඛරයන් සිසාරා හමා ගැලූ සිහිල් සුළං රැුලිවල ආස්වාදයෙන් මුකුලිත වූ මේ පෙම් යුවළ පේ්‍්‍රමය නැමති රස ගුලාවෙහි නිමග්න වූයේ ඉමිහිරි සිතුවිලි මවමිනි.

ඈන්ජලා සහ උල්රිච් දෙදෙනා ආදරයෙන් වෙළුණත් ඔව්හු එය අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගත්හ. සරසවි භූමිය පේ‍්‍රම පාරාදීසයක් බවට පත්කර නොගත්හ. දෙදෙනාම සරසවියේදී ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්හ. වසර 4කට පසු එනම් 1977 වන විට දෙදෙනාගේ සරසවි ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව එළැඹිනි. එනම් ඈන්ජලා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්්‍ය උපාධියක් ලබද්දී උල්රිච් තරුණයා රසායන විද්‍යාව පිළිබඳ ආචාර්්‍ය උපාධියක් ලැබීමයි. 1977 අවසාන භාගයේදී සිදුවූයේ භෞතික හා රසායන යන විද්‍යාවන් එකට එක්වීමයි. එනම් ඈන්ජලා සහ උල්රිච් අතර විවාහය සිදු වීමයි.
ඈන්ජලා ඩොරති කැස්නර් ඈන්ජලා මර්කල් බවට පත්වුණේ මෙසේය. මේ දෙදෙනාගේ විවාහ දිවියේ සිදුවූ තවත් විශේෂ සිද්ධියක් නම් විවාහයෙන් වසර දෙකකට පසු දෙදෙනාම ඔවුන්ගේ විෂයයන් පිළිබඳ මහාචාර්යවරුන් බවට පත්වීමයි. මේ දෙදෙනාගේ විවාහය භෞතික විද්‍යාවත් රසායන විද්‍යාවත් සම්මිශ‍්‍රනය වීමක් වශයෙන්ද හැඳින්විය හැකිය. එහෙත් ලෝක ධර්මතාව අනුව එය තාවකාලික සංසිද්ධියකි. එසේම මේ යුවළගේ විවාහය පැවතියේ වසර හතරහමාරක පමණ සුළු කාලයකි.

නොගැළපුණු මුල් විවාහයේ අවසානය

1982 මුල් භාගයේ  ඈන්ජලා සහ උල්රිච් අතර දික්කසාදය සිදුවිය. මේ දෙදෙනාට දරුවෝ නොසිටියහ. වසර 3ක් ආදරයෙන් වෙලී සිටීමත් වසර 4ක් පමණ එකම වහලක් යට සැමියා සහ බිරිඳ වශයෙන් යුග දිවිය ගෙවීමත් ඈන්ජලාගේ දිවියේ තරුණ අවධිය පිළිබඳව සටහන් කළ හැකි සිද්ධීන් දෙකකි. නොගැළපෙන දෙදෙනෙකුගේ විවාහයක් පවතින්නේ සුළු කාලයකි. ඈන්ජලාගේ විවාහයට සිදුවූයේද එයයි. 1982 තම ස්වාමි පුරුෂයාගෙන් නීතියෙන් වෙන්වූ ඈන්ජලා, දේශපාලනයට පිවිසීම සඳහා ජර්මනියේ අගනුවරට ගිය ගමන ඇයගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් විය. ඇයගේ දිවිය උඩු යටිකුරු කළේ මේ ගමනත් සමඟය. ඒ වනවිට ඇය 28 හැවිරිදි කාන්තාවකි.

 දෙවැනි පෙම්වතා

බර්ලිනයේ හම්බෝල්ඞ් (Humboldt) විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ ජෝචිම් සවර් (Joachim Saver) ඈන්ජලාට හමුවන්නේ මෙහිදීය. ඒ වනවිට ජෝචිම්ද තම මුල් බිරිඳගෙන් දික්කසාද වී සිටි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඈන්ජලා දේශපාලන කටයුතුවල නිරතවී සිටියදීම භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක වශයෙන් විශ්වවිද්‍යාල කීපයකම ඉගැන්වීමේ කටයුතුවලද නිරත වූවාය. ඈන්ජලා - ජෝචිම් යුවළ මුණගැසෙන්නේ මෙසේය. ඈන්ජලාගේ සිත් සතන් තුළට ආදරය පිළිබඳ හැඟීම් යළිත් ඇතුළු වන්නට පටන් ගත්තේ ඇය නොසිතූ පරිදිය. මුල් විවාහවලින් දික්කසාදවී සිටි දෙදෙනකු මෙසේ අත්වැල් බැඳ ගැනීම අපූරු සිද්ධියක් නොවන්නේද?

මුල් පෙම්වතාට වඩා දෙවැනි පෙම්වතා තමාට ගැළපෙන තමාට යෝග්‍ය එකම පුද්ගලයා බව ඈන්ජලා අවබෝධ කරගත්තාය. ඈන්ජලා සහ ජෝචිම් යුරෝපය පුරා සංචාරය කළහ. ඔවුන්ට කිසිවෙකුගෙන් බාධාවක් නොවීය. මේ දෙදෙනාගේ හමුවීම සිදු වුණේ 1984 වර්ෂයේදීය. මේ පෙම් සබඳතාවය වසර 4ක් තිස්සේ පැවතුනි. ඈන්ජලා ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යූනියන් (CDU) පක්‍ෂයේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටි අතර ජෝචිම් ඇයගේ දේශපාලන කටයුතුවලට සහභාගි නොවීය.

ආදරය සනාතන බැඳීමක් බව ස්ඵුට කරමින් මේ දෙදෙනා අතර විවාහය සිදු වූයේ 1998 දෙසැම්බර් 30 දාය. මුළු මහත් යුරෝපයම සුදු හිමවලින් වැසීගිය සොඳුරු දසුනකදී මේ පෙම්වත්හු මෙසේ විවාහ වූහ. මෙහි සඳහන් කළ යුතු එක්තරා විශේෂත්වයක් ඇත. එනම් ඈන්ජලා දෙවන වරටත් විවාහ වූයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සමඟ වීමයි. මෙහි තවත් එක්තරා විශේෂ යමක් සිදුවූ බවද සඳහන් කළ යුතුමය. එනම් ඈන්ජලා තම මුල් ආදරය හා මුල් විවාහය තුළින් ලබාගත් මර්කල් (Merkel) නාමය අත් නොහැරීමයි. දිගටම ඈන්ජලා මර්කල් යන නම භාවිත කිරීමට තීරණය කිරීමයි.

මුල් සැමියාගේ නාමය තම නමෙන් ඉවත් නොකරගත් ඈන්ජලා

ඇය තම දෙවැනි සැමියාගේ ජෝචිම් සවර් යන නාමය තම නමේ අගට යොදා නම වෙනස් කර ගැනීමට උත්සාහ නොකළාය. මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි ඈන්ජලා මාධ්‍යවේදීන් අමතමින් තම වත්මන් සැමියාට මිස්ට මාර්කල් යනුවෙන් අමතන්නට එපා යයි පැවසුවේ මේ නිසාය. නව යුවළටද දරුවන් නැත. ජෝචිම් තම බිරිඳ සහභාගි වන රාජ්‍ය උත්සවවලට සහභාගි නොවේ. විදේශ සංචාර වලදී දෙදෙනා එකට ගමන් ගන්නා බව ඇත්තය. ඈන්ජලාගේ රාජ්‍ය පාලන කටයුතුවලට ජෝචිම් ඇඟිලි නොගසයි. බලපෑම් සිදු නොකරයි. ඔවුන් රාජ්‍ය පාලන කටයුතුවලට ඥාතින් සම්බන්ධ කරගන්නේ නැත.

1990දී ජර්මනියේ බන්ඩෙස්ටග් (Bundestag) ආසනයට තරග කොට මන්ත‍්‍රී පදවියට පත් ඈන්ජලා 6 වරක්ම එම අසුන දිනාගත්තාය. 2005 වනවිට ඇය ජර්මනියේ කොතරම් ප‍්‍රසිද්ධියට පත්වී සිටියේදැයි කිවහොත් ඇයට ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යුනියන් පක්‍ෂයේ සභාපති තනතුර දක්වා ඉහළට නැගීමට හැකිවිය. 2005 වනවිට ඇය ජර්මනියේ ප‍්‍රබල ඇමැති තනතුරු කීපයක්ද දරා තිබුණි. 2005 නොවැම්බර් 22දා ඇය ජර්මනියේ රාජ්‍ය නායිකාව වශයෙන් දිවුරුම් දුන්නාය. ඇය දෙවාරයක්ම ජර්මනියේ පාලන බලය සියතට ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලව පැවැත්වූ මහ මැතිවරණ වලිනි.

මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක සිටීම තුළින් ඇය ලෝකයා තුළ ගෞරවාදරයට පාත‍්‍ර වූවාය. ජර්මනියේ ආර්ථික තත්ත්වය නැංවීමට වසර 10ක් තිස්සේ ඇය ගත් ක‍්‍රියාමාර්ගවලට ජනතා ප‍්‍රසාදය නොමදව ලැබිණි. යුරෝපයේ ජනගහනය වැඩිම රට ජර්මනියයි. එහි ජනගහනය අට කෝටි දස ලක්‍ෂයකට වැඩිය. විශාලත්වය වර්ග කිලෝමීටර 3,57,021කි. 1933 සිට 1945 දක්වා ජර්මනිය පාලනය කළේ හිට්ලර්ය. 1989 වර්ෂයේදී නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය වෙන් කර ඉදිකර තිබූ බර්ලින් තාප්පය (Berlin Wall) බිමට හෙළීමෙන් පසු ජර්මනිය එක රටක් බවට පත්විය. රටේ විශාලත්වය වැඩි වුණේ මෙසේය.

වොක්ස්වැගන්, මර්සිඞීස් බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අවුඩි, පෝර්ෂ්් වැනි ඉතා මිල අධික ලෝකප‍්‍රකට සුඛෝපභෝගි වාහන නිපදවන්නේද ජර්මනියේය. මම කීපවරක්ම ජර්මනියට ගොස් ඇති නිසා එම රට ලබා ඇති දියුණුව සියැසින් දැක ඇත්තෙමි. ජර්මනිය මෙසේ දියුණුවෙන් දියුණුවට පත් වන්නේ දූෂණය, වංචාව, අල්ලස, නාස්තිය පිටු දකිමින් ජනතා සුබසෙත සහ රටේ අභිවෘද්ධිය තකා ක‍්‍රියාකරන ඈන්ජලා මර්කල් වැනි පාලක පාලිකාවන් නිසාය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »