පින්නවල අලි අනාථාගාරය අනාථ වෙයිද?

2016-01-13 11:41:00       826
feature-top
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන පින්නවල අලි අනාථාගාරයේ දිගු කලක් තිස්සේ පවත්නා අඩුපාඩු රැසකි. මෙනිසා එය නැරැඹීමට දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයෝ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති.

මෙය සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු‍වට වැඩි ම ආදායමක් ලබාදෙන සංචාරක කලාප අතරින් එකකි.

අග්නිදිග ආසියාවේ පිහිටි එකම නිදහස් අලි අනාථාගාරය මෙය වීම නිසා මෙහි ඇදී එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

මෙම සංචාරක කලාපයේ පවත්නා අඩු පාඩු නිසා එමඟින් රජයට ලබාගත හැකි විශාල ආදායමක් අහිමි වී ගොස් ඇති බැව් පෙනී යයි.

අලි අනාථාගාරයට නුදුරින් ගලා යන මනරම් මහඔය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගැනීමට තවත් හේතුවකි.

අන‍ූවකින් පමණ සමන්විත සද්දන්තයින් සංඛ්‍යාවක් මෙසේ එකම තැනක නිදැල්ලේ හැසිරෙන අයුරු දැකගත හැකි වෙනත් ස්ථානයක් මෙරට නැති තරම් ය.

පෞද්ගලික සංචාරක හෝටල්වල සිට අලින් නරඹන විදේශීය
සංචාරකයෝ

රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ පිහිටි මේ සංචාරක කලාපයේ පවත්නා අඩු පාඩු සපුරාලන්නේ නම් මොන තරම් ආදායමක් රජයට උපයා ගත හැකිව තිබේද යන්න නොබෝදා අප කළ සංචාරයේදී අපට වැටහිණි.

මෙම සංචාරක කලාපය තුළ දහස් ගණනකට සිය ජීවනෝපාය සලසා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ස්ථිර වෙළෙඳ සල්, කඩ සාප්පු සිය ගණනක් ඇති අතර, සංචාරක වෙළෙන්දෝ ද විශාල සංඛ්‍යාවක් සිටිති.

අලි අනාථාගාරය නැරැඹීම සඳහා විදේශීය සංචාරකයෙකු ගෙන් රුපියල් 2500 ක මුදලක් අය කරනු ලබන අතර, එම මුදලට සරිලන පහසුකම් ඔවුන්ට ලබාදී නොමැති බැව් මනාව පැහැදිලි ය. දේශීය සංචාරකයෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 100 කි.

මෙහිදී අප දුටු ප්‍රධානතම අඩුපාඩුව නම් දෙස් විදෙස් සංචා‍රකයින් පැමිණෙන රථවාහන නතර කර තැබීමට සුදුසු ඉඩ පහසුකම් සහිත රථ ගාලක් මෙහි නොමැතිවීම ය. විශේෂයෙන් ම විදේශීය සංචාරකයින් පැමිණෙන සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ නවතා තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සහිත රථ ගාලක් මෙහි නැත. මේ හේතුව නිසා මහ මඟ දෙපස වාහන නවතා ඇති අතර එනිසාම මාර්ගයේ වාහන තද බදයක් ද නිරතුරුව ම පවතී.

වර්ෂා දිනයන්හි දී සංචාරකයන්ට නැවතීමට ස්ථානයක් මෙහි නොමැත. එහෙයින් වර්ෂාව නිමා වනතුරු තමන් පැමිණි වාහන තුළ හෝ පෞද්ගලික හෝටල් හා වෙළෙඳ සල්වල අගු පිල්වල රැඳී සිටීමට සංචාරකයන්ට සිදුවී තිබේ. විශේෂයෙන් ම විදේශීය සංචාරකයන් ගැන සලකා බලන කල මෙය අප රටට අවමානයක් ගෙන දෙන කරුණකි.

එසේම සංචාරකයන්ට, විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් සඳහා සුදුසු වැසිකිළි, කැසිකිළි පහසුකමක් මෙම භූමිය තුළ නොමැත. මේ හේතුව නිසා සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවට පිහිටි පෞද්ගලික සංචාරක හෝටල් කරා යෑමට සංචාරකයනට සිදුව තිබේ.

දැනට පොලිස් මුරපොළ ආසන්නයේ ඇති වැසිකිළි දෙක දිනෙන් දින ඉහළ යන සංචාරකයන්ගේ සංඛ්‍යාව අනුව බලන කල කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එසේ ම විදේශීය සංචාරකයින්ට සුදුසු ප්‍රමිතියකින් ඒවා ඉදිකර නැත.

මෙම අලි අනාථාගාරයට පිවිසුම් දොරටු දෙකක් තිබුණ ද දැනට භාවිතා කරනුයේ එක් දොරටුවක් පමණි. අනෙක් දොරටුව වසර ගණනාවක සිට වසා දමා තිබේ. අලින් නෑවීම සඳහා මහඔයට රැගෙන යන අවස්ථාවේ පමණක් සුළු වේලාවකට මෙම දොරටුව විවෘත කරනු දැකිය හැකි ය. මෙනිසා ම ස්ථානයට ඇතුළු වන අවස්ථාවේ ඇත්තේ දැඩි තදබදයකි.

මෙම භූමි භාගය තුළ කෙළවරක ඉතා වටිනා සුවිසල් ගොඩනැඟිල්ලක් නිකරුණේ වසා දමා තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගත හැකි වූයේ එම ගොඩනැඟිල්ල භාවිතා කරනුයේ දේශන පැවැත්වීම සඳහා පමණක් බවකි. මෙම ගොඩනැඟිල්ල සංචාරකයින් සඳහා විශ්‍රාම ශාලාවක් වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි වුව ද ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුවී ඇති බවක් නොපෙනේ.

මෙම සංචාරයේදී අප දුටු තවත් සැලකිය යුතු අඩු පාඩුවක් නම් මහඔය පරිශ්‍රයේ අලින් නැරැඹීම සඳහා නැරඹුම් මධ්‍යස්ථානයක් නොමැතිකමයි. මෙම තත්ත්වය යටතේ පෞද්ගලික හෝටල්වලට මුදල් ගෙවා ඒවායේ උඩු මහලේ සිට අලින් නැරැඹීමට, විශේෂයෙන් ම විදේශීය සංචාරකයෝ පෙලැඹී සිටිති.

අලි ඇතුන් ස්පර්ශ කිරීමට ඔවුන් පිටේ යෑමට මෙන් ම ඔවුන් සමඟ එකට සිට ඡායාරූප ගැනීමට ද විශේෂයෙන් ම විදේශීය සංචාරකයෝ මහත් ඇල්මක් දක්වති. එහෙත් ‍එම පහසුකම් සංචාරකයින්ට ලබාදීමේ වැඩපිළිවෙළක් මෙහි ක්‍රියාත්මක නොකෙරේ. දැනට අලි අනාථාගාරයේ බලධාරින් සංචාරකයින්ට ලබා දෙනුයේ අලින් නැරැඹීමේ අවස්ථාව පමණකි.

මෙම තත්ත්වය වටහාගත් අවට පිහිටි සංචාරක නිකේතනවල හිමිකරුවෝ විදේශීය සංචාරකයින්ට එම පහසුකම් ලබාදී දිනපතා විශාල ආදායමක් උපයා ගනිති. එම ස්ථානවල ඇත්තේ එක් අලියෙකි. නැත්නම් දෙදෙනෙකි. කරඬුපන පාරේ මෙවැනි සංචාරක නිකේතන ගණනාවක් ඇති අතර, විදේශීය සංචාරකයින් විශාල වශයෙන් ඒවායේ සැරිසරන අයුරු අපි දුටිමු.

එම ස්ථානවලින් තමන්ට සැලකිය යුතු කොමිස් මුදලක් ලැබෙන බැවින් සංචාරකයින් වැඩි වැඩියෙන් එම ස්ථාන කරා කැටුව යෑමට මාර්ගෝපදේශකයෝ ද පෙලැඹී සිටිති.

ලෝක ප්‍රකට මෙවැනි සංචාරක කලාපයක ඊට ගැළපෙන තරමේ නාම පුවරුවක් සවි කිරීම තරම්වත් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ද කනගාටුවට කරුණකි.

මහඔය වෙත අලින් කැඳවා ගෙන යන

මෙම සංචාරයේදී අපි එහි ව්‍යාපාර පවත්වාගෙන යන වෙළෙඳුන් කිහිප දෙනෙකුගේ ද අදහස් විමසා බැලුවෙමු.

ව්‍යාපාරික කේ.පී. සෝමවීර මහතා:

‍විශේෂයෙන් ම විදේශීය සංචාරකයින්ට ඔවුන් අපේක්ෂා කරන වින්දනය ලබාදීමට අලි අනාථාගාරයේ බලධාරීන් සමත්වී ඇති බවක් පෙනෙන්න නැහැ. මෙම මධ්‍යස්ථානය විවෘත කරන තුරු ඔවුන් පාරේ තැන තැන වාඩිවෙලයි ඉන්නෙ. මේක අපේ රටටත් මදි පුංචි කමක්. පූර්ණ පහසුකම් සලසන්නේ නම් මෙය සල්ලි උල්පතක් කරගන්න පුළුවන්.

අවට පිහිටි පෞද්ගලික සංචාරක ආයතන සංචාරකයන්ට පහසුකම් සලසාදී විශාල ආදායමක් ලබනවා. අපේ බලධාරීන්ට මෙම තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණක්.

ව්‍යාපාරික එන්.එස්. ධර්මසේන මහතා:

දැනට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ සංචාරකයින් මෙහි රැඳී සිටින්නේ ඉතා සුළු කාලයක්.‍ භාණ්ඩ මිලදී ගැනීම අඩු වී ඇත්තේත් ඒ නිසයි. මෙම ස්ථානයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කරන්නේ නම් තව තවත් සංචාරකයින් මෙහි අද්දවා ගත හැකියි. එවිට අපටත් වාසියි. රජයටත් වාසියි. සමහර විදේශීය සංචාරකයෝ වැසිකිළි සොය සොයා අපේ වෙළෙඳ සල්වලටත් එනවා.

අපේ රටේ සංචාරක අමාත්‍යාංශයක් තිබේ. අමාත්‍යවරයෙක් ද සිටියි. සංචාර මණ්ඩල, සංචාරක ප්‍රවර්ධන මණ්ඩල ද ගණනාවක් තිබේ. එහෙත් පින්නවල අලි අනාථාගාරය වැනි විදේශ විනිමය උල්පතක අගය කිසිවෙකුට නොවැටහීම විමතියට කරුණකි.

මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත්, රාජ්‍ය ආයතනයක් වූ අලි අනාථාගාරය අබිබවා පෞද්ගලික සංචාරක නිකේතන සංචාරකයින් සිය ග්‍රහණයට නතු කර ගන්නා දිනය වැඩි ඈතක නොවන බැව් කනගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුව තිබේ.

මෙම සංචාරයේදී විවිධ අයුරින් සහාය දුන් විශ්‍රාමලත් චිත්‍ර කලා ගුරු උපදේශක ආර්.එම්. තිලකරත්න බණ්ඩා මහතාට කෘතවේදී ස්තුතිය හිමිවේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »