අවුරුද්දේ මාසවලට නම් දුන්නේ කවුද?

2016-01-12 11:00:00       832
feature-top
ඉස්සර කාලය තරම් හොඳ කාලයක් තවත් නැත. ඒ කාලයේ යොවුන්ව සිටියෙමු. එදා වසන්ත මල් කැකුළු පිබිදුණේය. වසක් සමයේ විහඟුන් ගී ගැයුවේ ඒ කාලයේයි.


ඔලිවර් වෙන්ඩල් හෝම්ස්

(1841 - 1935)

ඇමෙරිකාවේ කීර්තිමත් විනිශ්චයකාරවරයා

සති, මාස, දින ගණනින් කාලය ගෙවී ගොස් නව වසරක් උදාවන විට, අප බොහෝ දෙනාගේ සිත් තුළ පහළ වන්නේ කාලයාගේ නොනවත්නා ගමන පිළිබඳ චින්තන ධාරායි.

සංචාරයේ යෙදෙන කාලයා පිළිබඳව, ජගත් සන්නිවේදන ඍෂි, ආතර් සී. ක්ලාර්ක් විසින් පැවසූ, මනස අවදි කරවන අදහසක් මගේ මතකයට නැ‍ඟෙයි. අනූ වන වියට පත්වූ ඒ මහා විද්වතා මෙසේ කීවේය:

මා මේ වන විට, පෘථිවි යානයේ නැඟී අනූ වතාවක්, සූර්යයා වටා ගමන් කරලා තිබෙනවා. මේ කියවන ඔබත්, වාර කිහිපයක් සූර්යයා වටා සවාරියේ යෙදී ඇති බව සහතිකයි. මා, සූර්යයා වටා අනූ හතර වතාවක් ගමන් කොට, අනූපස් වන ගමන් වාරය ආරම්භ කළේ නොබෝදායි.

අද ලොව බොහෝ දෙනා, නිල වශයෙන් සූර්යයා වටා සිය වාර්ෂික චාරිකාව ආරම්භ කරන්නේ, ජනවාරි මස පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේයි.

බටහිර සංස්කෘතීන් විසින් උදාකරන ලද මේ මාස රටාව, මේ වන විට, පෙර - අපර දේශ දේශාන්තරවල සංස්කෘතිය හා යාවී තිබේ.

ජගත් වාසීන්ගෙන් බහුතරයක්, මේ බටහිර ශිෂ්ටාචාරයෙන් ලද පුරුද්ද, තමන්ගේ සංස්කෘතියෙහි අචල අංගයක් බවට පත්කොට ගෙන සිටින්නේ, ස්වීය, දේශජ අලුත් අවුරුද්දක් තිබියදීමය.

අලුත් දොළොස් මහ උදාවී තිබෙන මේ මොහොතේ, අපගේ සිත් යොමුකළ යුතුව තිබෙන අති විචිත්‍ර සිද්ධියක් ඇත. දිගු ශතවර්ෂ සංඛ්‍යාවක් මුළුල්ලේ පැවත එන, මේ ජාත්‍යන්තර වර්ෂයේ මාස දොළහට නම් දුන්නේ කවුද?

මේ ප්‍රශ්නය විමසා සිටින විට, ස්වභාව ධර්මයේ විවිධ දේවලට නම් දුන්නේ කවුදැයි කියන අතුරු පැනයක් ද ඉස්මතු වේ.

අනන්ත සාගර ජලයෙහි සිටින මාළුන්ට - සෙසු ජලජ ජීවින්ට - නම් තැබුවේ කවුද? ගහ - කොළ - පැළෑටි ආදි නේක වාර්ගික ශාකවලට නම් ලැබුණේ කෙසේ ද? පෘථිවි වාසී කෝටි සංඛ්‍යාත, පේන - නොපෙනෙන ප්‍රාණීන්, නම් ලබා ගත්තේ කාගෙන් ද?

ඒ අතුරු පැන පෙළ ඔස්සේ නොගොස් අපට අදාළ නම් වැල දෙස යොමුවන්නෙමු.

'කාලයේ' බෙදුම් සඳහා නම් දීම, ඈත අතීතයේ සිට, ඉපැරැණි ශිෂ්ටාචාර විසින් ආරම්භ කරන ලද ක්‍රියාදාමයකි. ලෝකයේ ඇතැම් සංස්කෘතීන් විසින්, දින, මාසවලට පමණක් නොව වර්ෂවලට ද නම් දෙති.

චීනය, මෙයට ඉතා හොඳ නිදර්ශනයකි. අතීතයේ සිට, චීන සංස්කෘතියෙහි, වර්ෂ සඳහාත් නම් සැපයෙයි. දැන් චීනයේ අලුතෙන් උදාවී තිබෙන්නේ වානර වර්ෂයයි. වානර වර්ෂය වන 2016, සුබ ඵලදායි කාල පරාසයකැයි චීන ජාතිකයෝ විශ්වාස කරති. නක්ෂත්‍ර විද්‍යාව අනුව, චීනයට දැන් ලබා තිබෙන වානර වර්ෂය සාර්ථක කාල පරාසයකැයි සලකනු ලබන්නේ, වානරයාගේ (වඳුරාගේ) ගති - පැවැතුම් අනුසාරයෙනි. වානරයෝ, බුද්ධිමත් සත්ත්ව විශේෂයකැයි සලකනු ලබති. ක්ෂණික තීරණවලට එළඹිමෙහි දක්ෂයෝය. ශඨ - කපටය. උදාර චේතනාවලින් යුක්ත වෙති. එසේම, වානරයෝ, අභීත වීර ක්‍රියාවලට කැමැත්තෝයි. මේ වානර කුසලතා, මේ වර්ෂය පුරා, ඒ මුළු මානව කණ්ඩායමටම හිමි වනු ඇතැයි ජනතාව විසින් සැලැකේ.

අද බහු සාංස්කෘතික සම්මුතිය ලබන මාස දොළහේ වර්ෂය සැදෙන්නේ, ඈත අතීතයෙන් ඇරැඹුණු සැලසුමකිනි.

දෙමාසේ වර්ෂ

පුරාණ ලෝකයේ, හැම සංස්කෘතියකම මාස දොළහේ වර්ෂ ව්‍යවහාර වූයේ නොවේ. ඇතැම් රටවල, පුරාතනයේ දී, මාස දෙකේ වර්ෂත් තිබුණු බව පුරා ඉතිහාසය විසින් ප්‍රකාශ කෙරේ.

එසේම වර්ෂය සකස් කිරීමේ මුල් යුගයන්හිදී, වර්ෂයේ මාස දොළහ පෙළගසා තිබුණෙත්, අද ව්‍යවහාර වන අනුපිළිවෙළට නොවේ. වර්තමානයේ ජගත් ව්‍යවහාරයේ පවත්නා මාස දොළහ, ආරම්භ වන්නේ ජනවාරි මාසයෙනි. එහෙත් ඇතැම් පැරැණි සංස්කෘතීන්වල වර්ෂය පටන් ගත්තේත් ජනවාරි මාසයෙන් නොවේ.

එක්තරා යුගයක, සමහර පැරැණි යුරෝපා රාජ්‍යවල, නව වර්ෂය ආරම්භ වූයේ ජනවාරියෙන් නොව, අප්‍රේල් මාසයේ පළමුවැනි දිනයෙනි. මේ නිසා ඇරැඹුණු හාස්‍යොත්පාදක සම්ප්‍රදායයක් ද මෙහිලා සඳහන් කළ යුතු වෙයි.

අප්‍රේල් පළමුවැනිදා නව වසර ආරම්භ කිරීමේ සම්ප්‍රදාය අත්හැර දමා, වර්ෂයේ ආරම්භය ජනවාරි මාසයේ පළමු වැනිදාට ගෙන යෑම නිසා, සමාජයේ බෙදීමක් හට ගත්තේය.

ජනවාරි පළමු වැනිදා නව වසර ආරම්භ කළ යුතු යැයි තීරණය වී තිබියදීත්, ඇතැම්මු පරණ පුරුදු අප්‍රේල් පළමු වන දිනයෙහිම එල්බගෙන සිටියහ. එවිට ජනවාරි කාරයෝ අප්‍රේල් කාරයන්ගේ ක්‍රියාවට සිනා සෙමින්, ඒ අය අප්‍රේල් මෝඩයන් යැයි සරදම් කළහ. අප්‍රේල් මෝඩයන් යැයි කියන කතාව ආරම්භ වූයේ ඒ ආකාරයෙනි.

අද, ඇතැම් පෙදෙස්වල අප්‍රේල් පළමු වන දිනය බොරු කියන දවස හැටියටත් සැලකෙයි. අද ලොව පුරාම ව්‍යවහාර වන මතයට අනුව වර්ෂය ආරම්භ වන්නේ ජනවාරි මාසයෙනි. ජනවාරි මාසයට මුල් තැන දෙනා අද ලොව හැම දෙනාගේම සම්මුතිය ලබන වර්ෂ ක්‍රමය, ග්‍රෙගෝරියන් දින දර්ශනය යැයි නම් කෙරේ.

ඒ නම ලැබීමට හේතු වූයේ, ඒ දින දර්ශනය සකස් කරන ලද්දේ, දහතුන් වැනි ග්‍රෙගරි පාප් වහන්සේගේ, ජ්‍යොතීර් විද්‍යාඥයන් විසින් හෙයිනි. ග්‍රෙගරි දින දර්ශනය සම්මත වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් පසු දහසය වන ශතවර්ෂයේදීය.

මේ ග්‍රෙගෝරියන් දින දර්ශනයට පෙර යුරෝපීය ජාතිකයන් විසින් භාවිත කරන ලද්දේ, රෝම පාලක ජුලියස් සීසර් විසින් සම්මත කරන ලද දින දර්ශනයයි.

ජූලියස් දින දර්ශනය වශයෙන් නම් කෙරුණු එය, ස්ථාපිත කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 46 යේදීය.

ජුලියස් වර්ෂ ක්‍රමයට අනුව, අවුරුද්දට දවස් 365 කි. අවුරුදු තුනකින් පසුව එළඹෙන හතර වන වර්ෂයෙහි දින ගණන 366 කි. එවැනි දිගු වසරක් නම් කෙරෙන්නේ අධි වර්ෂයක් වශයෙනි.

මේ 2016 අධි වර්ෂයකි. ජුලියස් දින දර්ශනයට අනුව, වර්ෂයක දින ගණන 365.25 කි. මේ ක්‍රමයට අනුව, ජූලියස් දින දර්ශනයේ වර්ෂය, සත්‍ය වශයෙන් ම පෘථිවියට සූර්යයා වටේ වරක් ගමන් කරන්නට ගතවන කාලයට වඩා විනාඩි 11 කුත් තත්පර 14 කින් වැඩිය. මෙසේ, ජූලියස් දින දර්ශනයේ වර්ෂය, පෘථිවිය ඇත්තටම සූර්යයා වටේ වරක් ගමන් කරන වේගයට වඩා වැඩිය.

ජූලියස් දින දර්ශනය වෙනස් කරන්නට සිදු වූයේ ඒ නිසයි. ක්‍රිස්තු වර්ෂ 1580 වන විට, ජූලියස් දින දර්ශනය, ස්වාභාවික ඍතු වෙනස් වීමේ වේගයට වඩා දින 11ක් ඉදිරියෙන් සිටියේය.

ග්‍රෙගෝරියන් දින දර්ශනය විසින් මේ අධික වේගය නවත්වනු පිණිස කරන ලද්දේ 1582 ඔක්තෝබර් මාසයේ පස්වන දිනය, 1582 ඔක්තෝබර් මාසයේ 15 වන දා බවට පත්කිරීමයි.

එදා පටන්, ලෝකය ග්‍රෙගෝරියන් වර්ෂ ක්‍රමය භාවිත කරන්නට පටන් ගත්තේය. රෝමානු ජාතිකයන් විසින් කරන ලද්දේ වර්ෂයේ දින ප්‍රමාණය ගණන් ගැනීම පමණක් නොවේ. මාස දොළහට නම් දෙන ලද්දේත්, රෝම ජාතිකයන් විසිනි. ඒ නම් දොළහ මෙසේ විස්තර කළ හැකිය. රෝම ජාතිකයන් වර්ෂයේ පළමුවන මාසය නම් කරන ලද්දේ ජනවාරි (ජැනුවරි) වශයෙනි.

අප්‍රේල් මෝඩයා

ජනවාරි මාසයට ඒ නම ලැබුණේ රෝම දෙවියෙකුගේ නමිනි. ජේනස් නම් ඒ දෙවියාට මූණු දෙකකි. වර්ෂයේ පළමුවන මාසය සඳහා ඒ මූණු දෙකේ දෙවියාගේ නම දෙන ලද්දේ, ඒ දෙවියාට එකැවර, අතීතයත්, අනාගතයත් නැරැඹිය හැකි හෙයිනි.

වර්ෂය ආරම්භයේ දී, හැමෝම, පසුගිය කාලය විමසා බලා, අනාගතය සැලසුම් කොටගත යුතු ය යන අදහස, මේ ජනවාරි යන නාමයෙන් ඇ‍ඟෙන්නේය.

රෝම ග්‍රෙගෝරියන් දින දර්ශනයේදී දෙවන මාසය පෙබරවාරි යැයි නම් කෙරේ. මේ දෙවන මාසය ලබන කාලයෙහිදී, රෝම ජාතිකයෝ ෆෙබ්රුව නම් ජාතික උත්සවයක් පැවැත්වූහ. ඒ නිසා, ඒ දෙවන මාසය පෙබරවාරි යැයි හැඳින්විණි. තෙවන මාසය 'මාර්තු' නම් වේ. ඒ නම, යුද්ධයට අධිපති අඟහරුගේ නාමයයි. අඟහරු දෙවියාගේ රෝමානු නාමය මාර්ස් යන්නයි. ඒ ආශ්‍රයයෙන් තෙවන මාසය මාර්තු වෙයි.

රෝම දින දර්ශනයේ සිවුවන මාසය අප්‍රේල්ය. ලතින් බසින් ඇපරීරේ යන පදය පිපෙනවා යන අර්ථය ගනී. වසත් සමය ආරම්භයේදී මල් පිපෙන්නට පටන්ගන්නා හෙයින් රෝම දින දර්ශනයේ හතර වන මාසයට ඒ නම ලැබිණ. ප්‍රේමයට අධිපති රෝම දෙවඟන වන ඇෆ්‍රොඩීටි ගේ නම නිසාත් අප්‍රේල් මාසයට ඒ නම ලැබිණැයි ඇතැම් විද්‍යාඥයෝ සිතති. කෙසේ වුවද, අප්‍රේල් මාසය මල් පිපෙන, ප්‍රේමය උතුරා යන මාසයකැයි පැරැණි රෝම වැස්සෝ සිතූහ.

පස්වන මාසය මැයි මාසයයි. සොබාදහමේ විභූතිය ප්‍රකට කෙරෙන මාසය හැටියට පැරැණි රෝම ජාතිකයන් විසින් සලකන ලද මේ පස්වන මාසයට අධිගෘහිතව සිටින්නේ මේ යා නම් සමෘද්ධිය පිළිබඳ දෙවඟනයැයි ඔවුහු විශ්වාස කළහ. මැයි මාසයේදී ජන උත්සව පැවැත්තේය. සොබා දහමේ සිරියාව දකිමින්, නැටුම් - ගැයුම් පැවැත්වීමේ පුරුද්ද, මැයි මාසය හා ආශ්‍රිතය.

හයවන මාසය වන 'ජුනි' මාසය, යෞවන යෞවනියන්ගේ මාසයයි. අපරදිග රටවල මෙනෙවියන්, සිය විවාහ මංගල උත්සව සඳහා ඉතාම සුදුසු මාසය සේ දකින්නේ ජුනි මාසයයි. යෞවනියෝ 'ජුනි මනාලියන්' (ජූන්බ්‍රයිඩ්) වීමේ සීනයට කැපවී සිටිති. ජුනි මාසයට නම ලැබෙන්නේ ජූනෝ නම් දෙවඟන ගෙනි. ඒ දෙවඟන දිව්‍ය ලෝකයේ රැජිණ යැයි සම්මතයි.

සත්වන මාසය වන ජුලි මාසය ඒ නම ලබන්නේ රෝමයේ මහා පාලකයෙකුව සිටි ජුලියස් සීසර්ගෙනි. අටවන මාසය අගෝස්තු නම් වේ. ඒ මාසයට නම ලැබෙන්නේ ප්‍රතාපවත් රෝම පාලකයෙකුගෙනි. ඔගස්ටස් සීසර් නම් වූ ඔහු බලගතු ජූලියස් සීසර්ගේ මුනුපුරායි.

මෙතැන් පටන් එළඹෙන ඉතිරි මාස හතර (නවවන මාසය, දශවන මාසය, එකොළොස් වන මාසය හා අවසාන දොළොස් වන මාසය) නම් කෙරෙන්නේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වශයෙනි. වර්ෂයේ නවවන මාසය වන සැප්තැම්බර් මාසයට ලැබෙන නමෙහි අරුත සත්වන මාසය යන්නයි. පැරැණි යුගවල, මෙය වර්ෂයේ සත්වන මාසයට පැවැති හෙයිනි. (සෙප්ටම් - සප්තම් - හත)

දහවන මාසය ඔක්තෝබර්ය. ඒ නමේ අර්ථය අටවන මාසය යන්නයි. පැරැණි යුගවල මෙය වර්ෂයේ අටවන මාසය විය. (ඔක්ටෝ - අට්ඨ - අට) එකොළොස් වන මාසය නොවැම්බර් නමි. නොවැම්බර් යන්නෙහි අරුත නවය යන්නයි. පැරැණි කාලවල එය වර්ෂයේ නවවන මාසය වූයේය. (නොවෙම් - නවම - නමය)

අවසාන මාසය දෙසැම්බර් මාසයයි. ඒ මාස නාමයේ අර්ථය දසවන මාසය යන්නයි. (ඩිසම් - දශම - දහය) මෙසේ අද ලොව පුරා භාවිත වන දොළොස් මස් වර්ෂයේ, එක් එක් මාසයට, ග්‍රෙගෝරියානු දින දර්ශනයේදී නම් ලැබූයේ මේ ආකාරයෙනි. ජනවාරියේදී අලුත් අවුරුද්ද ඇරැඹෙන විට, දෙසැම්බර් මධ්‍යම රාත්‍රිය හා ජනවාරියේ උදෑසන ද එකට එකතු වේ.

ඒ මොහොත, උත්සව ශ්‍රීයෙන් ගතකිරීම, අද ලොව බොහෝ දෙනාගේ අන්තර් - සාංස්කෘතික චාරිත්‍රයයි. මේ පරණ අවුරුද්ද ගෙවී නව වසර උදාවන මොහොත උදෙසා පැවැත්වෙන ඇතැම් චාරිත්‍ර විස්මය දනවන සුලුය.

ස්පාඤ්ඤ ජාතිකයන් සතු පුදුම විශ්වාසයක් ඇත්තේය. මධ්‍යම රාත්‍රියේ දොළහේ කණිසම දක්වන ඔර්ලෝසු රාවය හෝ ඝණ්ඨාරාවය, ඒ ජාතිකයන්ට විශේෂ සිද්ධියකි. දොළොස් වරක් ඔරලෝසුව හෝ ඝණ්ඨාරය නාද කරන විට, ඒ දොළොස් වාරය තුළ මිදි ගෙඩි (මුදිරප්පලම්) හැකි තරම්ම සංඛ්‍යාවක් ඉතා ඉක්මණින් කා දැමිය යුතු වේ. විශාලම සංඛ්‍යාවක් කෑ විට, මුළු වර්ෂයේම සෞඛ්‍යය යහපත් වේයැයි ඔවුහු අදහති.

මූණු දෙකේ දෙවියා

මේ නිසා, ස්පාඤ්ඤයේ ඇතැම් නගරවල අය, නගරයේ මහා ඔර්ලෝසු කණුව භාර නිලධාරියාට කියා තිබෙන්නේ දෙසැම්බර් මධ්‍යම රාත්‍රිය දක්වන රාව දොළහ, හැකි තරම් දික් කරන්නට යැයි කියාය. දොළොස් වරක් ශබ්ද නඟන්නට ගතවන්නේ සාමාන්‍යයෙන් විනාඩි පහක් නම්, අඩු තරමින් ඒ සඳහා විනාඩි දහයක්වත් ගත කරන්නැයි ඔවුහු ඔර්ලෝසුව භාරකාරයාට දන්වති. එවිට ඔවුන්ට මිදි ගෙඩි විශාල සංඛ්‍යාවක් කන්නට වෙලාව ලැබෙන හෙයිනි.

චීනය, ජපානය වැනි ඇතැම් පෙරදිග රටවල, පැරැණි අවුරුද්ද ගෙවී නව වසර උදාවන මොහොතේ විචිත්‍ර චාරිත්‍රයක් පැවැත්වේ. ඒ රටවල, වර්ෂය පුරා, මුළුතැන්ගෙයි දේව රූපයක් තබා තිබේ. වර්ෂයේ අවසාන දවසේ රාත්‍රියේදී, ඒ මුළුතැන් ගේ දෙවියන්ට කට ඇලෙන රස කැවිල්ලක් පූජා කෙරේ. ඉනික්බිතිව, ඒ වසරක් පුරා මුළුතැන්ගෙයි සිටි දෙවියාගේ රූපය, ගඟට හෝ මූදට දමනු ලැබේ.

අවසාන මොහොතේදී ඒ දෙවියන්ට කට ඇලෙන රස කැවිලි දෙන්නේ, එක්තරා හේතුවක් නිසාය. ඒ කැවිලි දී දේව රූපය දියට දැමූ විට, දෙවියා, තමන්ගේ නිවස වන සුරපුරට යන්නේය. කට ඇලෙන කැවිලි දෙන්නේ, දෙව් ලොවට ගොස් අවුරුද්දක් පුරා තමන් වාසය කළ ගෙදර ගැන නරක දෙයක්, කියන්නට අනික් දෙවිවරුන්ට කියන්නට බැරි වනු පිණිසයි.

අවුරුද්දේ මාස දොළහ සඳහා භාවිත වන සිංහල නම් මෙසේය: දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල් සහ උඳුවප්. මේ නම්වලින් ද කෘෂි ජීවිතයත්, සොබා සිරියත් දැක්වෙන අර්ථ ප්‍රකාශ වෙයි. (බක් යනු භාග්‍ය යන අරුත් ගනී.)

මාස දොළහේ නම් කවරේ වුවද, ඒ දොළොස් මස පුරාම, සැමටම සෞභාග්‍යය වාසනාව උදා වේවා. අපටම විශේෂ වූ සිංහල අවුරුදු උලෙළේ කථාව, පසු විටෙක කියමු.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »